මතක දිගහැරුම 123 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය විසිතුන්වන දිගහැරුම ,

2016 වසරේ දිනක ,එකල ක්‍රිකට් ආයතනයේ සභාපතිතුමන් වූ තිලංග සුමතිපාල මහතා හෂාන් ඇමතුවේය.ඔහුව මුණ ගැසීම සඳහා ඔහුගේ නිවසට පැමිණෙන ලෙස ඔහු මටත් හෂාන්ටත් ආරාධනා කළේය.බොහෝ කලක සිට අප සියලු දෙනා ඉතා ළඟින් ඇසුරු කළ බැවින් හෂාන් සහ මම එම ආරාධනාව පිළිගෙන දිනයක් යොදාගෙන ඔහුගේ නිවස වෙත ගියෙමු.

” මට උදවුවක් ඕනේ.ඒක ඕනේ හෂාන් ගෙන් නෙමෙයි අප්සාරි ගෙන්. කාන්තා ක්‍රිකට් එක මට හොඳ තැනකට ගේන්න ඕනේ .ඒක ඉස්සරහට ගෙනියන්න පුළුවන් හොඳ කෙනෙක් මට ඕනේ.අපිට වෙන කෙනෙක්ව හිතාගන්න බෑ .අප්සාරි නංගිව තමයි අපිට මතක් උනේ .අප්සාරී නංගිට පුළුවන්ද මේ කාන්තා ක්‍රිකට් එක බාර අරගෙන ඉදිරියට අරගෙන එන්න ? ගම් මට්ටමින් අලුත් ළමයින්ව ඉදිරියට ගේන්න වැඩපිළිවෙළක් හදන්න ඕනේ “

තිලංග සුමතිපාල මහතා යෝජනා කළේ මා කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දෙයකි.විවාහ වීමෙන් පසුව කිසිදු රැකියාවක නිරත නොවූ මා එකවරම හෂාන් දෙස බැලූවෙමි.ඔහු එම යෝජනාවට කැමති බව හඟවමින් හිස වැනුවේය.ඒ අතරතුර තිලංග සුමතිපාල මහතා අපට තව තවත් විස්තර පැවසුවේය.කාන්තා ක්‍රිකට් ඉහලට ඔසවා තැබීම සඳහා කල හැකි දේවල් සහ ඔහු බලාපොරොත්තු වන දේවල් පිළිබඳව කරුණු රාශියක් ඔහු විස්තර කළේය.අවුරුදු ගණනාවක් පුරාවට ම මා හෂාන් සමඟ ක්‍රිකට් තරග නැරඹීමට සහ ක්‍රිකට් පුහුණුවීම් වලට සහභාගි වූ නිසා ක්‍රිකට් පිළිබඳව විශාල දැනුමක් මා සතුව ඇති බව තිලංග සුමතිපාල මහතා විශ්වාස කළේය.අනෙක් විශේෂම කාරණාව නම් කාන්තා ක්‍රිකට් වලට සම්බන්ධ වල සියලුම ගැහැණු දරුවන් භාරදීම සඳහා හොඳ මවක් අවැසි බව ඔහු පැවසුවේය.ඒ වගේම සියලුම කටයුතු සඳහා හෂාන් ගෙන් මා හට හොඳ සහයෝගයක් ලැබෙන බවටත්, ක්‍රිකට් ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ දෙනාව විටත් මා හඳුනන නිසා ඒ සියලු දෙනත් සියලු දෙනාගෙන් ම විශාල සහයෝගයක් මා හට ලැබේයැයි තමන් විශ්වාස කරන බව තිලංග සුමතිපාල මහතා තවදුරටත් කියා සිටියේය .

” මම ගෙදර ගිහිල්ල හෂාන් එක්ක තවත් කතා කරලා දැනුවත් කරන්නම් “

තිලංග සුමතිපාල මහතා ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව හෂාන් සමග කතා කථා කිරීමට මා හට උවමනා විය

” මම දන්නවා ඔයාට මේක කරන්න පුළුවන් .දැන් අපේ පුතාලත් ලොකුයි නේ.ඒ නිසා ඔයාට වැඩ කරගෙන යන්න පුළුවන්.මේක හොඳ සේවයක් නේ.ඔයාට ලොකු දෙයක් කරන්න පුළුවන් රට වෙනුවෙන්.ඒ නිසා ඔයා බාර අරගෙන මේක කරන්න “

හෂාන් එසේ පැවසුවේය.ඔහු නිරන්තරයෙන්ම පවසන ආකාරයට වර්තමානයේ දී මෙන් නොව එකල ක්‍රිකට් ක්‍රීඩාවට අවංකව ආදරය කළ බොහෝ පිරිසක් මෙරට සිටියහ.යම් ආකාරයකින් කුමක් හෝ තරගයකින් ක්‍රිකට් කණ්ඩායම පරාජය වුවහොත් වර්තමානයේ දී මෙන් ක්‍රිකට් ලෝලීන් ක්‍රිකට් කණ්ඩායමට බැණ වැදුනේ නැත.ඊළඟ තරගය ජයග්‍රහණය කරනු පිණිස ඔවුන් ක්‍රිකට් කණ්ඩායමට තමන්ගේ ආදරණීය ආශිර්වාද එකතු කළහ.එහෙම ආශිර්වාද නිසාවෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් බොහෝ දුර යාමට තමන් ඇතුළු කණ්ඩායමට හැකි වූ බව හෂාන් විශ්වාස කළේය.එම නිසා මමත් ලද හැකියාවෙන් සහ ක්‍රීඩාවෙන් ලද ප්‍රසිද්ධියෙන් සේවයක් කළ හැකි නම් , ඕනෑම අවස්ථාවකදී එම සේවය ඉටු කළ යුතු බව හෂාන් පැවසුවේය.

” ඔයාට ලැබිලා තියෙන්නෙ හොඳ අවස්ථාවක්.ගොඩක් ගම්වල දක්ෂ දරුවෝ ඉන්නවා .ඔයාට පුළුවන් මේක ලස්සනට කරන්න “

හෂාන් ඒ ආකාරයට මා දිරිගැන්වූ නිසා ලද අවස්ථාව පිළිගැනීමට මා තිරණය කළෙමි.උදෑසන සිට සවස් වනතුරු කාර්යාලයේ රැඳී සිටීමට අවශ්‍ය නොවූ අතර මට අදාල රාජකාරි කටයුතු අවසන් කිරීමෙන් පසුව නිවසට පැමිණිය හැකි නිසා දරුවන්ගේ වැඩ කටයුතු ඉටු කිරීම පිළිබඳව ගැටලුවක් ද මා හට තිබුණේ නැත.කෙසේ හෝ 2016 වසරේ මැද භාගයේදී කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිනිය ලෙස මා හට පත්වීම ලැබුණි.

කාන්තා ක්‍රිකට් මෙරට ප්‍රසිද්ධ කිරිම අප කළ යුතු විය.ශ්‍රී ලංකාව තුළ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් සිටින බව වත් ඇතැම් ගම්වල ගම්වැසියන් දන්නේ නැත.ගැහැනු දරුවන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වනවාදැයි තවත් සමහර ගම්මානවල අය නොදන්නා අතර , බොහෝ දෙනකුට ක්‍රිකට් පිළිබඳව හරි හැටි අවබෝධයක් ද තිබුණේ නැත.නිතර නිතරම මාධ්‍යයන් ඔස්සේ මා කාන්තා ක්‍රිකට් සමග පෙනී සිටින නිසා බොහෝ දෙනා වටහාගෙන ඇත්තේ සම්පූර්ණයෙන්ම මා කාන්තා ක්‍රිකට් පිළිබඳව කටයුතු කරන බවටයි.ජාතික ක්‍රිකට් , ජාත්‍යන්තර ක්‍රිකට් සහ දේශීය ක්‍රිකට් යනුවෙන් කාන්තා ක්‍රිකට් කොටස් කිහිපයකට බෙදී තිබේ.මගේ රාජකාරිය වූයේ මූලික වශයෙන් ම දේශීය කාන්තා ක්‍රිකට් ක්‍රීඩා කටයුතු නංවාලීම යි.ජාතික කාන්තා ක්‍රිකට් පිළිබඳව සොයා බැලීම සඳහා වෙනමම කළමනාකරුවන්, පරිපාලකයන් සහ පුහුණුකරුවන් සිටිති.එම කටයුතු නිසි ආකාරයෙන් කාලයක් පුරාවටම සිදු කෙරීගෙන යන නිසා ජාතික කාන්තා ක්‍රිකට් වල යෙදී සිටින ගැහැනු දරුවන්ට යම් ගැටළුවක් හෝ වෙනත් අවශ්‍යතාවයක් ඇති විට ඒ පිළිබඳව මවක මෙන් සොයා බැලීම පමණක් මා කල යුතු විය.ඒ හැරුණු කොට අනෙක් සියලුම කටයුතු නිසි පරිදි තවමත් කෙරෙමින් පවතී.

මා සේවයට අවතීර්ණ වන විට කාන්තා ක්‍රිකට් වල නිරත වෙමින් සිටියේ කොළඹට ආසන්න ප්‍රදේශවල ක්‍රිකට් සමාජ 7ක් පමණි.රට පුරා විවිධ ගම්වල සිටින දක්ෂ දරුවන්ට ජාතික තලය දක්වා පැමිණීමට ඒ වන විට හරිහැටි මාර්ගයක් තිබුනේ නැත.ඒ වන විටත් කාන්තා ක්‍රිකට් වල නිරත වන්නේ සැබැවින්ම දක්ෂ දරුවන් දැයි දැන ගැනීමට මා හට උවමනා විය.එම නිසා මා ඒ පිළිබඳව විශේෂයෙන් සොයා බැලුවෙමි.එම සොයා බැලීමේදී මා හට දැනගන්නට ලැබුනේ ඒ වන වනවිට කාන්තා ක්‍රිකට් වල නිරත වන සියලු දෙනාම අවුරුදු 26න් ඉහළ අය බවයි.එමගින් මා හට හොඳින්ම පැහැදිලි වූයේ නවකයන්ට සහ තරුණ දරුවන්ට ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසීම සඳහා හරිහැටි මාර්ගයක් නොතිබෙන බවයි.පිරිමි පාර්ශවයෙ ක්‍රිකට් ක්‍රීඩාව අද වන විට හොඳ ස්ථානයක තිබෙන්නේ පාසල් මට්ටමේ සිටම ඉතා ස්ථානයක තිබෙන බැවිනි.කාන්තා ක්‍රිකට් වල තත්වය එසේ වූයේ නැත.ඒ අනුව මුළු ලංකාව පුරාම සිටින දක්ෂ දරුවන්ට ඉදිරියට ඒම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව මා කල්පනා කළෙමි.මුල් කාලයේදී කිසිඳු කටයුත්තක් මා හට පහසු වූයේ නැත.ක්‍රිකට් ආයතනයේ සභාපති සහ උප සභාපති ඇතුළු සියලු දෙනාම මා හට විශාල සහයෝගයක් ලබා දුන්හ.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles