මතක දිගහැරුම 13 – අප්සාරි සිංහබාහු තිලකරත්න

දහතුන්වන දිගහැරුම ,

ලංකාවේ ප්‍රධාන පෙළේ හෝටලයකට විවිධ තනතුරු සඳහා නව සේවකයින් බඳවා ගන්නා බවට පුවත්පත් දැන්වීමක් පළ වී තිබුණි . මා බලාපොරොත්තු වූ මොහොතක ම එම දැන්වීම පළවී තිබූ බැවින් මා එසැනින් ක්‍රියාත්මක වී ඒ සඳහා අයදුම්පතක් යොමු කළෙමි. ඉන්පසුව මගේ වාසනාවකට මෙන් එම හෝටලයේහි මාස හයක පුහුණුවීම් කාලයක් සහිතව මා තේරී පත්විය.

එම පුහුණුවීම් කාලයේ අපට නියමිත වුණු පළවෙනි රාජකාරිය පිළිබඳව සඳහන් කිරීමට මා කිසි විටෙකත් මැලි වන්නේ හෝ ලැජ්ජා වන්නේ නැත. මුලින්ම අපට නියමිත වූයේ එම හෝටලයෙහි සෝදා පිරිසිදු කර රැගෙන එන විවිධාකාරයෙහි වීදුරු හරියාකාරව හොඳින් පිස දැමීම ය . එම වීදුරු වල ඇගිලි සලකුණු නොසිටින සේ පිස දැමීමට ක්‍රමයක් ඇති අතර අප කළේ මුළු දවස පුරාවටම වාඩි වී එම වීදුරු පිස දැමීම ය .
ඉන් අනතුරුව අප හට නියම වූයේ හෝටලයට පැමිණෙන අමුත්තන් ආහාර ගැනීම සඳහා භාවිතා කරන හැඳි ගෑරුප්පු සහ පිහි ආදිය පිස දැමීමටය.
එම ක්‍රියාවලියෙන් පසුව අපට නියමිත වූයේ සර්වියට් නැමීමය. විවිධ හැඩවලට, එනම් නෙලුම් මල් වල හැඩ, ඉටිපන්දම් වල හැඩ වලට ආදී ලෙස සර්වියට් නැමීමට අපට සිදුවු අතර හෝටලයේ විවාහ මංගල උත්සවයක් හෝ වෙනයම් උත්සවයක් පැවැත්වෙන විට සර්වියට් දහස් ගණන් නැවීමට ඇතැම් විට අපට සිදුවිය.

ඒ වගේම අමුත්තන් සඳහා සංග්‍රහ කරන ආකාරය , ඔවුන් සමග කතා බස් කරන ආකාරය, ඔවුන්ට සලකන ආකාරය , හෝටලයේ මුළුතැන්ගෙයි සකස් කරන විවිධාකාර ආහාර වල නම් , අලුත් ආහාර වර්ග වල නම් , ඒවා සකස් කෙරෙන ආකාරය ආදී බොහෝ දේ මට එහිදී ඉගෙන ගන්නට ලැබුණි. එම මාස හය ඇතුළත ජීවිතයට අත්දැකීම් සම්භාරයක් ඒකරාශී කර ගැනීමට මට හැකියාව හිමි විය.

ජපන් භාෂාව මැනවින් හැසිරවීමට මට හැකියාව තිබූ නිසා හෝටලයෙහි පුහුණු කාලය තුළදී ජපන් භාෂා පරිවර්තකයකු ලෙස කටයුතු කිරීමටද මට අවස්ථාව ලැබුණි.

ජේ. ආර් ජයවර්ධන මැතිතුමා ජනාධිපති වශයෙන් කටයුතු කළ කාලයේ මා දෙවරක්ම ජනාධිපති මන්දිරයට ගොස් ඇත. එකල නිතරම පාහේ ජපානයේ සිට අමුත්තන් පැමිණෙන අතර හෝටලයේ කළමනාකාර තුමා ඇතුළු පිරිසක් පිරිසක්ද එයට සහභාගී වෙයි. එවන් අමුත්තන් පිරිසක් පැමිණෙන දිනක කළමනාකාරතුමා මට විශේෂ යෝජනාවක් කළේය .එනම් එවර ජනාධිපති මන්දිරයට යනවිට මට කිමෝනාවකින් සැරසී එන ලෙසයි . මා ඉතාම කැමැත්තෙන් එම යෝජනාවට එකඟ වී ජනාධිපති මන්දිරයට යන දිනයේ කිමෝනාවකින් සැරසී ආවෙමි.

මා එහි ගිය අවස්ථාවේදී ශ්‍රී ලාංකීය ජාතික ඇඳුමින් සැරසුණු ජපන් ජාතික පිරිමි ළමයකු මා අසලට පැමිණ මා සමග සිංහලෙන් කතා කතාබස් කළ අතර මම ද ඔහු සමඟ සිංහලෙන් කතා කලෙමි. මා ඔහු සමග කතා කරමින් සිටින විට පිටුපසින් පැමිණි කිසිවකු විසින් මගේ පිට ස්පර්ශ කරනු මට දැනුනි. මා පිටුපස හැරී බලන විට ඒ ජනාධිපතිතුමන් ය . මා ප්‍රශ්නාර්ථ සලකුණ සහිත මුහුණෙන් යුතුව ඔහු දෙස බලා සිටියෙමි.

” දුව හොඳට සිංහල කතා කොරනවනෙ “

ඔහු එසේ පවසද්දී මම තවදුරටත් කිසිවක් සිතා ගත නොහැකිව ඔහු දෙස බලා සිටියෙමි . ඒ මොහොතේ එතැන සිටි හෝටලයෙහි කළමනාකාරතුමා වහාම ජනාධිපතිතුමාට පිළිතුරු දෙන්නට ඉදිරිපත් වුණේය .

” මේ ජපන් කෙල්ලෙක් නෙමෙයි උතුමාණනි.මේ අපේ කෙල්ලෙක් . එයා කාලයක් ජපානේ ඉගෙන ගෙන ලඟදි තමයි මෙහෙට ආවේ. ඉතින් අපි එයාට කිව්වා කිමෝනා එක ඇදගෙන එන්න කියලා “

” ආ ඒකනෙ මම බැලුවේ, මේ දූ හොඳට සිංහල කතා කරනවනෙ කියලා “

ජනාධිපතිතුමා එසේ කියන විට ඒ අසල සිටි ජනාධිපති ආර්යාව ද එතැනට පැමිණියාය.

” අනේ මේ දූ ඇත්තටම ජපන් කෙල්ලෙක් වගේ “

ආර්යාව එසේ කියමින් හිනැහෙන විට ජනාධිපතිතුමා ද ඇය සමඟ එක්ව හිනැහෙන්නට පටන් ගත්තේය. එම සිදුවීම මට මගේ ජීවිතයේ කිසිදාක අමතක නොවන සිදුවීමකි .

මා සේවය කළ හෝටලයේ ලොබිය තිබුනු ස්ථානයේ මා සිටින ඇතැම් දිනවල air lanka ආයතනයේ සේවය කරන ගුවන් සේවිකාවන් කොළ පැහැති ඔසරි වලින් සැරසීගෙන තම තමන්ගේ ගමන් බෑග් ද සහිතව එම ස්ථානයේ වාඩි වී සිටිනු මා දකිමි. ඒ ,ගුවන් ගමන් වාර වලට සහභාගී වීමට ඔවුන්ගේ ප්‍රවාහන සේවය ඔවුන්ව රැගෙන යන්නේ එතැන් සිට නිසාය .මා ඔවුන් දෙස බලාගෙන මටත් එසේ යන්නට ඇත්නම් යැයි සිතමින් සිහින දකිමි .

එම හෝටලයේ ප්‍රධාන කළමනාකාරතුමා ගැන ද මා අනිවාර්යෙන්ම සඳහන් කළ යුතුය.ඔහු ඇතැම් අවස්ථාවල හෝටලයේ තත්ත්වය බැලීම සඳහා හෝටලය පුරාම ඇවිද බලන අතර අමුත්තන් ආහාර ගන්නා අවන්හල වෙත ද පැමිණෙයි . ඔහු එසේ පැමිණෙන අවස්ථාවක යම් හෙයකින් අමුත්තෙකු ආහාර ගෙන අවසන් වී , හිස් වූ ආහාර පිඟාන මේසය මත තිබෙනවා දුටුවහොත් ඔහු නොපැකිලව එම පිඟාන රැගෙන ගොස් හෝටලයෙහි මුල්තැන්ගෙයි තබයි .ඔහු කිසිම විටක තමන් සිටින තනතුර හිස මත දරාගෙන ආඩම්බර කමින් සිටියේ නැති අතර ඔහු තුළ වූයේ පුදුමාකාර නිහතමානීකමකි.

හෝටලයේ අවන්හලෙහි දිනපතාම බුෆේ එක පැවැත්වෙන අතර දවල් කාලයෙහි බොහෝවිට කාර්යාල වල වැඩ කරන අය ද වෙනත් අමුත්තන් ද පැමිණෙයි . ඒ කෙසේ වෙතත් දිනපතාම පාහේ ආහාර විශාල ප්‍රමාණයක් ඉතිරි වේ . කොපමණ ප්‍රමාණයක් ආහාර ඉතිරි වුවද කිසිම දිනක හෝටලයෙහි කිසිම සේවකයෙකුට බුෆේ එකෙන් ආහාර ලබා ගැනීමට අවසර තිබුණේ නැත . එම ආහාර වලට සිදුවන්නේ කුමක් දැයි මා නොදන්නා අතර බුෆේ වේලාව අවසන් වී අවන්හල වසා දැමුණු පසුව මුලුතැන්ගෙයි සේවකයන් විසින් ආහාර සියල්ලම එතනින් ඉවත් කරනු ලබයි .හෝටලයෙහි සේවකයන් සඳහා වෙනමම ආපනශාලාවක් තිබූ නිසා අමුත්තන් සඳහා වූ බුෆේ එකෙහි ආහාරවල රස බැලීමට සේවකයන්ට තහනම් විය.

තත්වය එසේ වුවත් ඇතැම් තරුණ පිරිමි ළමුන් කළමනාකරුවන් අවන්හලට පැමිණෙන්නට පෙර බුෆේ එකේ ඇති ආහාර කඩිමුඩියේ පිඟන් වලට බෙදා බුෆේ මේසය යට හෝ ලාච්චුවල හෝ කබඩ් වල හෝ සඟවයි . අවන්හල වැසූ පසූ , කළමනාකරුවන්ද පෙනෙන තෙක් මානයේ නැතිවිට ඔවුන් හැකි ඉක්මනින් එම ආහාර වල රස විඳියි. තරුණ පිරිමි ළමුන් එසේ කරන බව දැන සිටි මානුෂීය ගුණ සහිත කළමනාකාරවරුන්ද සිටි අතර ළමුන් එසේ ආහාර ගන්නා බව දැනගෙන දඬුවම් පැමිණවූ කළමනාකාරවරුන්ද හෝටලයේ විය .

අවන්හලට ආහාර ගැනීම සඳහා පැමිණෙන සමහර අමුත්තන් පැය ගණනාවක් පුරාවටම එකිනෙකා සමග සමග කථාබහ කරමින් අවන්හලෙහි රැඳී සිටී. ඇතැම් විට අවන්හල වසන වේලාවද පසු වන තුරු ඔවුන් එසේ රැඳී සිටින අතර එවිට එහි සේවයේ යෙදී සිටින සේවකයන්ට ද ඔවුන්ගේ රාජකාරි වේලාවෙන් පසුව ද අවන්හලේ රැඳී සිටීමට සිදුවේ . සමහරක් සේවකයන්ට අලුයම් කාලය වන තුරු එසේ රැඳී සිට නැවත පසු දින සේවයට වාර්තා කිරීමට සිදුවන අවස්ථා ද තිබුණි. කිසිදු විවේකයක් නොමැතිව එසේ අසීරුවෙන් සේවය කල දුප්පත් පවුල් වල ළමුන්ගේ දුක්ගැනවිලි පවා ඇතැම් විට මට ඇසී ඇත.

හෝටලයේ සේවය කළ එම ළමුන්ගේ ඒ අත්දැකීම් දෑසින් දුටු මා වර්තමානයේ දී මගේ පවුලේ අය සමග කෑම වේලක් සඳහා හෝටලයකට ගිය විට කල්වේලා ඇතිව නැවත පැමිණෙන්නේ සේවකයන්ට අවන්හල වැසීමට පෙර ඒවා අස්පස් කර පිරිසිදු කිරීමටද යම් කාලයක් වැය වන බව අත්දැකීමෙන්ම දන්නා නිසාවෙනි . ඇත්ත වශයෙන්ම පැය ගණනාවක් පුරාවටම ඉතා වෙහෙස මහන්සි වී රැකියාව කරන එවැනි මිනිසුන් ගැනත් අප සිතිය යුතුය .ඔවුන් වැටුපක් ලබමින් සේවය කළ ද ,එය ඔවුන්ගේ රැකියාවෙහි කොටසක් වුවද මානුෂීය ගුණාංග සහිත මිනිසුන් වශයෙන් සැමදෙනාගේම රැකියා වලට එකලෙස ගරු කිරීමත් , රැකියා වල ඇති අසීරු කොටස් හඳුනාගෙන අනෙකා අපහසුතාවයට පත් නොවන ලෙස කටයුතු කිරීමත් අනිවාර්යයෙන්ම අප අතින් සිදුවිය යුතුය .

එම කාල වකවානුව අතරතුර දිනක් මගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින් මා හට ලිපියක් ලැබිණ. එය එවා තිබුණේ Air Lanka ආයතනයෙන් වන අතර ඔවුන්ගේ සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන ලෙස එහි සඳහන් වී තිබුණි. Air lanka ආයතනයට සම්බන්ධ වීම එකල එතරම් ලේසි පහසු දෙයක් නොවූ නිසා මම ඉතාම නොයිවසිල්ලෙන් සම්මුඛ පරීක්ෂණය සදහා සහභාගී වීමට ඔසරියක් ද සූදානම් කර ගතිමි

මතු සම්බන්ධයි

Related Articles

Don't Miss


Latest Articles