එයා මැරිලා හුඟක් කල් 19

රාජරත්නම් මගේ අත් දෙක අල්ලගෙන මගේ මූණ දිහා බලාගෙන හිටියා.

“ඩොක්ටර් … ඇත්තටම මම මේවට කොහොමද ස්තුති කරන්න ඕනේ කියලා මම දන්නෙ නෑ.මම මේ වැඩේ පටන් ගත්තේ ප්‍රහන් මගේ යාළුවා හින්දා.අන්තිමේදී ඔයාලා දෙන්නා මගේ සහෝදරයෝ වගේ වෙලා.මේ ප්‍රශ්නය සාමාන්‍ය එකක් නෙමෙයි කියලා පෙනි පෙනී ඔයාලගේ ජීවිත අවදානම හිතන්නෙත් නැතුව මාව තනිකරන්නෙක් නැතුව මේ විදිහට ප්‍රශ්නය ඉවර වෙනකන් මාත් එක්කම මේ ගමන යන්න තීරණය කරපු එක මට හිතාගන්න බෑ.මට තේරෙන්නෑ ඩොක්ටර්  මම කොහොමද ඔයාලට ස්තුති කරන්න ඕනේ කියලා.”

“නෑ…රාජා..දැන් අපි හැමෝගෙම පොදු සතුරා රත්නාලෝකයා..සමහර විට මේ ජාලයට තවත් ප්‍රබල දේශපාලනඥයන් සම්බන්ධ වෙලා ඉන්නත් පුළුවන්.මේකෙ අවසාන උත්තරය අපි නොහිතනම දෙයක් වෙන්නත් පුළුවන්.අන්තිමේදි මේකේ උත්තරය හම්බුනාම අපිට උසාවිය මාර්ගයෙන් විසඳගන්න බැරි දෙයක් වෙන්නත් පුළුවන්.එහෙමත් නැත්තං සමහරවිට අපි හතර දෙනාටම මේ රටෙන් පනින ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්.සාමාන්‍යයෙන් මම කියන්නේ මේ වගේ ප්‍රශ්නෙක අවසානය සිද්ධ වෙන විදිහ.මොන දේ උනත් අපි හතර දෙනා එකට ඉමු.”…

තලම්මැහැර  එහෙම කිව්වහම රාජරත්නම්  අපි දෙන්නගෙම අත් දෙක අල්ලලා ස්තූති කළා.

“හරි මම එහෙනම් හෙට හවස අර ගමන ලෑස්ති කරන්නම්..මං හිතන්නේ මෙහේ ඉඳලා ටිකක් දුරයි.එන ඕන දේකට මුහුණ දෙන්න බලාගෙන අපි මේ ගමන යමු…”

එදා හවස් වෙනකොට අපිට ආපහු ගෙවල්වලට යන්න සිද්ධ වුණේ තලම්මැහැර එයාගේ රාජකාරිය කරන්න යන්න තිබුන නිසයි. ඇත්තටම ඒ වෙනකොට ප්‍රහාන් හිටියේ මේ ප්‍රශ්නයේ අගමුල මොකක්ද කියලා දැනගන්න පුදුමාකාර කැමැත්තකින්.

“මට තව ඇතිවෙන දෙයක්වත් නැතිවෙන දෙයක්වත් නෑ ඩොක්ටර්.මගේ මුළු සම්පූර්ණ ජීවිතයම විනාශ වෙලා ඉවරයි.මම ගොඩනඟපු සිහින මාලිගාව මගේ කකුල් දෙක ඉස්සරහම බිඳිල ගිහිල්ලා ඉවරයි.ආශිකා ගෙයි පොඩි එකාගෙයි ආත්ම වලට පින් පමුණුවන්න පුළුවන් පන්සල් ගිහිල්ලා නෙමෙයි ඩොක්ටර් …මේ අපරාධය කරපු එවුන්ව බෙල්ලෙන් අල්ලගත්තු දවසටයි..”

“අපරාධය ? …
ඇයි ප්‍රහාන් එහෙම කියන්නේ …
ආශිකාව කවුරුවත් මැරුවේ නැහැ..ප්‍රහන් කියන විදිහට එයා සියදිවි නසාගෙන තියෙන්නේ..”

“ඔව් ඩොක්ට ඒ අහිංසකී සියදිවි නසා ගත්තා තමයි..හැබැයි ඒත් පියවි සිහියෙන් නෙමෙයි.මගේ ජීවිතයේ ඇතිවෙච්ච හැම ප්‍රශ්නයකටම අම්මා වගේම මාත් එක්ක මාර හයියකට හිටිය ආශිකා  තමයි. ඒ වගේ මනුස්සයෙක්ගේ  බලාපොරොත්තු ඔක්කොම එක පාර කඩාගෙන වැටුනහම සියදිවි  නසාගන්න තත්ත්වයට පත්වෙන එක අහන්නත් දෙයක්ද… මගේ ආශිකාට ඒ වගේ දෙයක් කරගන්න හේතු වෙච්ච කෙනාවයි මට හොයාගන්න ඕනේ…ඒ වගේ තත්ත්වයක් ඇතිකරපු කෙනාවයි මට හොයාගන්න ඕනේ..ඒ වගේම ඩොක්ට එදා රෑ ජනාධිපති මන්දිරයේදී මොනවා හරි දෙයක් උනා කියන්න නම් මම දන්නවා.ජීවිතයට අහල දැකලා නැති නැති  ඒ විදිහේ දෙයක් දරුවට සිද්ධ වුණහම මට ලොකු සැකයක් ඇතිවුණා. ඒ වුණාට මට ඒක ඔප්පු කරගන්න විදිහක් තමයි නැතුව තිබුණේ.මොනවා හරි කරදරයක් විපතක් උනහම අපි හැමතිස්සේම කියන්න පුරුදු වෙලා ඉන්නවා  ඒක මහා අද්භූත  දෙයක්… ඒක වෙන්ඩ තිබුණු දෙයක් …වගේ දේවල්….
ඒවා සේරම අපි හිත හදාගන්න කියන දේවල්..මේ සිද්ධියේදීත් මට මහා අසාමාන්‍යකමක් දැනුනට ඒ අසාමාන්‍යකම කොතනින්ද දැනුනේ කියන්නයි තේරුනේ නැත්තේ…සමහරවිට මමත් එළිපිට කිව්වනං මේක මහා අසාමාන්‍ය සිද්ධියක් කියලා… මම යනකම් ඉඳලා මිනිස්සු මට අනුකම්පා කරයි අනේ පව් අහිංසකයා කියලා.. සමහර විට ඒ හැම ප්‍රෙශර් එකක්ම මට බලපාන්න ඇති කතා කරගන්න බැරුව යන විදිහට..
කොහොම හරි ඔයාලා තුන්දෙනාගේ මේ ප්‍රභල මැදිහත්වීම හින්දම මට දැන් දැනෙනවා ආශිකා වෙනුවෙන් මට ආපහු දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා..එයාට පණ ගන්න බැරුව ගියත් එයාට සිද්ධ වෙච්ච අසාධාරණය වෙනුවෙන් පොඩි හරි සාධාරණයක් කරන්න මට පුළුවන් වුණොත් ඒ ඇති..එදා ජනාධිපති මන්දිරය ඇතුළෙදි මොනවාම හරි දෙයක් සිද්ධ වුණා කියන්න මම දන්නවා.මම කවදාවත් වැඩිපුර බොන කෙනෙක් නෙමෙයි ඩොක්ටර්.

මම කොහොමත් ලිකර් ගන්නේ බොහොම පරිස්සමෙන්. මම එදා ගත්තේ හරියටම ඩ්‍රෑම් එකයි. ඔයාලගේ කතාවල් වලින් කියවිච්ච දේවල් අහගෙන ඉන්නකොට එක එක ගෙස් කිරීම් වලින් තමයි මට තේරෙන්නේ ජනාධිපති මන්දිරයට ගිය වෙලේ ඉඳන් රත්නාලෝක ආශිකා දිහා කන්න වගේ බලාගෙන හිටියයි කියලා.මට ඒකෙ ලොකු වෙනසක් ඒ වෙලාවේ නොතේරුනාට අද ඔයාලා කතා වෙච්ච දේවල් අහගෙන ඉන්නකොට තමයි මට සමහර දේවල් ආපහු ආපහු මතක් වෙන්නේ… අපි දෙන්නා ව මුලින්ම ජනාධිපති මන්දිරයේ දොර ගාවදී රත්නාලෝක දැක්කහම
රත්නාලෝක නිකන් ගල් වෙලා වගේ ගියා. ආශිකා දිහා එක දිගටම එයා බලාගෙන හිටියා.
අවංකවම ඩොක්ට මම ඒ වෙලාවේ හිතුවා ආශිකා ප්‍රෙග්නට් වෙලා හිටියත් එයා ඇත්තටම ලස්සන කෙල්ලෙක්.. රත්නා ලෝක එයාගේ ලස්සන දිහා වශී වෙලා බලාගෙන හිටියයි  කියලා.

ඒ වෙලාවේ කාටවත් නොකිව්වට හිත යටින් මට අමුතු ආඩම්බරයකුත් දැනුනා. එතන තිබුනේ මොකක් හරි විකෘති ලිංගික ආශාවක් කියන එක මට කොහොමටවත් දැනුනේ නැහැ. මම බීපු එක ඩ්‍රෑම් එකට සිහි නැති වෙනකන් මට වෙරි වෙයි කියලා මම කීයටවත් හිතන්නේ නැහැ.ආශිකාටත් ඒ විදිහට මත්වෙලා වගේ නින්ද යන්න මොනවා හරි දෙයක් කෑමට දාලා දුන්නයි කියන එක දැන් තමයි මට හිතෙන්නේ.මේ හැම දෙයක්ම එකින් එක ගැලපිලා තේරුම් යනකොට වෙන්න ඕනේ දේවල් හැම එකක්ම වෙලා ඉවරයි ඩොක්ටර් ….”

කියලා  ප්‍රහාන් කෑ ගහලා වාහනය ඇතුලේ අඩන්න ගත්තා … මම හෙමිට වාහනයක් පාර අයිනට කරලා නැවැත්තුවා.ඇත්තටම මනුස්සයෙක්ගේ මානසික පීඩනය අඩුවෙන්න හොඳ ක්‍රම දෙකක් තියෙනවා.පළවෙනි එක තමයි තමන්ට ඉතාමත් හොඳින් ඇහුම්කන් දෙන කෙනෙකුට තමන්ගේ දුක වේදනාව ඉවර වෙනකන් කියන්න ලැබීම.කිසිම කලබලයක් නැතුව ප්‍රශ්නය වෙච්ච පුද්ගලයාට සම්පූර්ණ අවධානය දීලා  ප්‍රශ්නය වෙච්ච කෙනාගේ හිත හදමින් ඒ දේට ඇහුම්කන් දෙන්න පුළුවන් කෙනෙකුට ප්‍රශ්නය කීමෙන් මානසික පීඩාව සියයට අනූවක් විතර අඩු කරගන්න පුලුවන් එක පළවෙනි ක්‍රමය.
දෙවනි ක්‍රමය තමන්ට හිතවත් කෙනෙක් ළඟ හෝ තමන්ගේ ප්‍රශ්නය ඇහුම්කන් දෙන කෙනෙක් හෝ තනියම හෝ තමන්ගේ හිතේ ඇතිවෙලා තියෙන දුක පීඩාව ඉවර වෙනකන් කෑ ගහලා අඬලා කඳුළු පිටවෙන්න ඉඩදීම… කොයිම වෙලාවකවත් තමන්ගේ පීඩනය වෙනුවෙන් දුක දැනෙන කොට … ඒක තද කරගෙන දරාගෙන ඉඳිල්ල එච්චර සුභදායී දෙයක් නෙමෙයි. පළවෙනි ක්‍රමයට හෝ දෙවැනි ක්‍රමයට ඒ වේදනාව පිට කරලා දැම්මහම ඇඟ ඇතුලෙ තියෙන පීඩනය ගොඩක් අඩුවෙනවා. ඒකෙන් අපි ආපහු ශක්තිමත් වෙනවා.ප්‍රහාන් දැන් ඒ ක්‍රම දෙකම කරමින් ඉන්න නිසා  මානසික රෝගී වෛද්‍යවරයෙක් හැටියට මට දැනුනේ හිතට සතුටක්. ඇත්තටම දැන් ප්‍රහාන් ශක්තිමත් මනුස්සයෙකුගේ ලක්ෂණ පෙන්නුම් කරමින් හිටියා.

අපි හුඟක් වෙලාවට වැරදියට තේරුම් ගන්න දෙයක් තමයි දරා ගැනීම… කාගෙන ඉඳිල්ල වගේ කියන වචන   ඔලුවේ මවාගෙන ප්‍රශ්නය පිටට නොපෙන්වා කඳුළු තද කරගෙන හිනාවෙලා ඉඳිල්ල. ඩිප්‍රෙශන් රෝගියෙකුගේ මූලික අවස්ථාව තමයි තමන්ගේ වේදනාව ඇඟ ඇතුලේ හංගගෙන පිටත ලෝකය  එක්ක බොහොම හිනාවෙලා සුහදශීලීව කටයුතු කිරීම.. හුඟක් වෙලාවට රෝගය උත්සන්න වෙනකන් තවත් කෙනෙකුට මෙයා ඩිප්‍රෙශන් රෝගියෙක් නේද කියලා අඳුනගන්න බැරිවෙන හේතුවත් ඔන්න ඕකම තමයි.. පිරිමියෙක් වුණහම අඬන්න හොඳ නෑ. ඉකේ අඬනවාද …පිරිමියෙක් නේද ඔයා කියලා පොඩි කාලේ ඉඳලම අපි අහලා තියෙන  ඒවා නිසා ඒවා අපේ ඔලු ඇතුළට කා වැදිලා ඉවරයි.. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් වුණහම අඬනකොට අනිච්චානුකව හිත යටින් අපිට කියනවා පිරිමි වුණහම අඬන්න හොඳ නැහැ කියලා…ඊට පස්සේ මනුස්ස හිත ඔටෝ ඒ දුක හිර කරගන්න උත්සාහ කරනවා..

එතනදි සිද්ධ වෙන්නේ වේගයෙන් ගලාගෙන එන ටැප් එකක් අත තියලා වැහුවා වගේ ලොකු ප්‍රෙශර් එකක් ඇතුලට දැනෙන එකයි.ඒකම තමයි ප්‍රහන්ට මුලින් සිද්ධ වුණේ..අනවශ්‍ය විදිහට තමන්ට දැනිච්ච දුක පීඩනය පිට කරගන්න විදිහත් තිබුණෙ නැතිකම… ප්‍රහන් සෑහෙන වෙලාවක් වාහන ඇතුලේ ඉඳලා අඬලා අඬලා හෙම්බත් වෙච්ච විදිහට සීට් එකට ඔලුව තියා ගත්තහම මම ඒ විස්තරය කිව්වා.ප්‍රහාන් ඇස් දෙක වහගෙන උනත් මම කියන දේ හොඳින් ඇහුම්කන් දෙන බව මට තේරුණා.

“ප්‍රහාන් .. හෙට හවස අපි කට්ටියම අර ගෑණු කෙනාව හම්බවෙන්න යමු.අපි ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා.අවධානයෙන් එයා කියන දේවල් අහගමු. ඒ තරම් රහසිගත දෙයක් නම් එයා එහෙම එකපාරටම එළි කරයි කියලා හිතන්න බැහැ..ඒත් ඒකටත් රාජරත්නම් මොකක් හරි ගැටයක් ගහලා ඇති…” 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles