මතක දිගහැරුම 117 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය දාහත්වන දිගහැරුම ,

2020 වසරේ වෙසක් පෝය දිනයේදී මගේ පුතුන් දෙදෙනා පිළිබඳව රූපවාහිනී වැඩසටහනක් තිබුණු අතර ඔවුන් එයට සහභාගී වූයේ බලවත් පෙරැත්තය මතය.කොවිඩ් වසංගතය මෙරට පැතිර ගිය මුල් කාලයේදී පුතුන් දෙදෙනාගෙන් එක් අයෙකු සිටියේ ස්වාමීන් වහන්සේලා සමඟ ආරණ්‍යයේ ය .එම දිනවල ඔවුන් කුඩා හෝ විවේකයක් ලද විගස එම ආරණ්‍ය වෙත ගොස් ගල්ගුහාවල සහ ඒ අවට පරිසරයේ සිට ස්වාමීන් වහන්සේලාගෙන් ධර්මාවබෝධය ලබා ගැනීමට හුරු වී සිටියහ.අපගේ දෙවන පුතු එසේ අරණ්‍යයේ වාසය කරද්දී අප සිටියේ කතරගම පිහිටි අපගේ නවාතැනෙහිය.කොවිඩ් වසංගතය නිසා ආරණ්‍ය වලට දාන සැපයීම නතර කෙරුනු නිසා නැවත නිවසට යන ලෙස ස්වාමීන් වහන්සේලා විසින් අපගේ පුතු ද පවසා තිබුණි.ඒ අනුව ඔහුව කැටුව ඒම සඳහා අප කතරගම සිට සූරියවැව ප්‍රදේශයට ගියෙමු.ඒ මොහොතේ දී අප ඔහුව දුටුවේ දින ගණනාවකට පසුවය .අපගේ පුතු සුදු ඇඳුම ඇද ගමන් බෑගය එල්ලාගෙන ආරණ්‍යයේ සිට පහලට පැමිණෙන විට හෂාන් ඔහු අසලට ගොස් ඔහුව වැළඳ ගත්තේය.මම එම අවස්ථාව ඡායාරූපයට නගා ගත්තෙමි.එම ඡායාරූපය මා මගේ මුහුණුපොතෙහි පළ කළෙමි.එය දුටු ස්වර්ණවාහිනි නාලිකාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකතුමා මා ඇමතුවේය.

” අප්සාරි අක්කේ ලොක්ඩවුන් එකත් එක්ක මේ රටේ ලොකු ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා .දෙමව්පියන් ළමයි එක්ක රණ්ඩු කරනවා.දරුවන්ටත් දෙමව්පියෝ එක්ක දවස් ගණන් එක දිගට ගෙවල් වල ඉඳලා පුරුදු නැහැ.ඒ නිසා ඒ අය අතර ඇතිවෙන ප්‍රශ්න අපේ ප්‍රවෘත්ති අංශයට දැනගන්න ලැබෙනවා.තව සමහර තැන්වල මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උන දරුවෝ එක දිගටම ගෙවල් වල ඉඳලා දෙමව්පියොත් එක්ක රණ්ඩු කරනවා.ඒ විතරක් නෙමෙයි සැමියා සහ බිරිඳ අතර ඇතිවෙන ආරවුල් දවසින් දවස වැඩි වෙනවා .එක තැනකට වෙලා ඉඳලා මේ සමාජයේ මිනිස්සුන්ට පුරුදු නැහැ .ඒ නිසා අපිට බැරිද මේ තරුණ පරපුරට පණිවිඩයක් දෙන්න පුතාලා දෙන්නා හරහා ? “

ඔහු පවසන්නේ කුමක් පිළිබඳව දැයි ඒ අතරතුර මා කල්පනා කළෙමි .

” මම දැක්කා පුතාලා ආරණ්‍යයකට ගිහින් ඉන්නවා. ඒ ගැන අක්කා ලියලා තිබ්බ ඒවත් මම දැක්කා.පුතාල දෙන්නත් එක්ක අපිට වැඩසටහනක් කරන්න පුළුවන් නම් ලොකු දෙයක් .මේ රටේ ඉන්න තරුණයන්ට ලොකු පණිවිඩයක් ගෙනත් දෙන්න පුළුවන් වෙයි “

ඔහු පවසන කාරණය පිළිබඳව මා හට හරියටම අදහසක් ලබා ගැනීමට හැකි වූයේ එවිටය.

” අපි පොඩි කතා බහක් ඒ දෙන්නත් එක්ක කරමු.ඒක අපේ ප්‍රවෘත්ති වෙලාවට දාන්න තමයි මම හිතාගෙන ඉන්නේ. අක්කා මොකද කියන්නේ ? “

ඔහු එසේ විමසුවත් පුතුන් දෙදෙනා එවැනි ප්‍රචාරණ කටයුතු වලට අකමැති බව මා දැන සිටියෙමි .ඔවුන් දෙදෙනා ඔවුන් දෙදෙනාගේ පෞද්ගලික කාරණා පිළිබඳව බොහෝ විට සමාජගත කරන්නේ නැත.ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා පැවසූ වැඩසටහනට ඔවුන් දෙදෙනාව එකඟ කර ගැනීම අපහසු කාර්යයක් බව වටහා ගත් නිසා මා ඒ පිළිබඳව හෂාන් සමග සාකච්ඡා කළෙමි.ඒ වන විට මාධ්‍ය වල බොහෝ දෙනා හෂාන් සහ මා සමඟ බෙහෙවින්ම හිතවත් විය.හෂාන් දේශපාලනයේ නියැලෙන කාලයේ සිටම මාධ්‍ය තුලින් ලැබුණු දිරිගැන්වීම අතිමහත්ය.එම නිසා ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාගේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම මා හට කිසිසේත්ම කළ නොහැකි විය.විශේෂයෙන්ම මා කිසිවෙකුගේ සිත රිදවීමට අකමැති නිසා එම වැඩසටහන වෙනුවෙන් පුතුන් දෙදෙනාව සහභාගී කරවා ගැනීමට මා උත්සාහ කළෙමි.එම නිසා දිනක් හෂාන් පුතුන් දෙදෙනා සමඟ සාමාන්‍ය කතා බහක යෙදෙමින් සිටින අතරතුර අදාළ වැඩසටහන පිළිබඳව විමසීමට සූදානම් වූයේය.

” පුතා ස්වර්ණවාහිනියෙන් කතා කරලා තියනවා පොඩි වැඩසටහනකට.තරුණ පරපුරට ආදර්ශයක් දෙන්න පුළුවන් විදියෙ වැඩසටහනක් .ඔයාලා කැමතිද මේක කරන්න ? “

” අනේ තාත්ති අපි මේවා පෙන්න පෙන්න කරන්නේ නෑනේ “

හෂාන් වැඩසටහනට පිළිබඳව විමසූ විගසම ,අප බලාපොරොත්තු වූ ආකාරයටම ඔවුන් දෙදෙනාගේ පිළිතුර වූයේ එය ය. මාධ්‍ය වල හෝ සමාජ මාධ්‍ය වල අප කුමන දෙයක් පල කලත් ඇතැම් අවස්ථාවලදී බොහෝ දෙනා ඒවාට දක්වන්නෙ සෘණාත්මක ප්‍රතිචාරයන් ය.සමහර අවස්ථාවලදී මිනිසුන් එවැනි සෘණාත්මක අදහස් පළ කරන්නේ අදාල පුද්ගලයාගේ ජීවිතයේ බොහෝ තැන් පිළිබඳව හරි හැටි කිසිවක් නොදැන ය.එවැනි ද්වේශ සහගත කාරණා සහ වෛරී සහගත ප්‍රකාශයන් දුටු විට අදාළ පුද්ගලයා පත් වන මානසික තත්ත්වය පිළිබඳව බොහෝ මිනිසුන් සිතන්නේ නැත.සමහර කාන්තාවන්ට එවැනි සෘණාත්මක සහ ද්වේෂ සහගත ප්‍රකාශ පළ කරන්නේ දියණියන් සිටිනා පියවරුන් වීමම කනගාටුවට කරුණකි .මා සිතන ආකාරයට අප යම් පුද්ගලයෙක් පිළිබඳව හරි හැටි නො දන්නේ නම් හෝ යම් පුද්ගලයෙකුට අකමැති නම් ඇය පිළිබඳව විවේචනය නොකර සිටීම සහ අපහාස කිරීමෙන් වැළකී සිටිය යුතුය .මේ කාරණා පිළිබඳව හොඳින්ම දැන සිටි අපගේ පුතුන් දෙදෙනා ඔවුන් ගත කරන ජීවිතය සහ ධර්මාවබෝධය පිළිබඳව මාධ්‍ය වල පල කිරීම පිළිබඳව දෙගිඩියාවෙන් පසු වූහ.

” නෑ ඔයාල මේ ගැන බයවෙන්න එපා.සමහරවිට ඔය දෙන්නට සියදෙනෙක් බැන්නොත් එක්කෙනෙක් හරි ඔය දෙන්නා යන හරි මාර්ගයේ යන්න පුළුවන් .එක්කෙනකුට හරි පින තියෙයි තමන්ගේ ජීවිතය හරි විදිහට හැඩගස්වා ගන්න. ඒ නිසා අපි මේක කරමු “

අප කෙසේ කීවත් පුතුන් දෙදෙනා වැඩසටහනට සහභාගි වීමට විශාල අකමැත්තක් දැක්වූහ.ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ලෙස සේවය කළ සංජීව මල්ලී කිහිප වරක්ම මාගෙන් ඒ පිළිබඳව විමසීය.ඔහුට වුවමනා වූයේ කෙසේ හෝ එම වැඩසටහන වෙසක් පොහොය දිනයේ දී ප්‍රචාරය කිරීමට ය.මා නැවතත් දරුවන් දෙදෙනාගෙන් ඒ පිළිබඳව විමසූ විට ඔවුන් ඒ සඳහා එකඟත්වය පළ කළහ .එම නිසා නිසා මා දරුවන් දෙදෙනා වැඩසටහනට සහභාගී වීමට කැමති වූ බව ඔහුට පැවසුවෙමි. මා එසේ පැවසුවායින් පසුව කුමක් හෝ හේතුවක් මත නැවතත් දරුවන් දෙදෙනාම වැඩසටහනට සහභාගි වීමට අදිමදි කළහ.එම නිසා මෙහිදී අපට හදිසි ගමනක් යෙදී ඇති බව මා සංජීව මල්ලිට දැනුම් දුන්නෙමි.මන්ද , ඔහුගේ හිත රිදවීමට මා හට නොහැකි විය.

” අනේ පුතා අපි මේක කොහොම හරි කරමු.ඒක වෙසක් පෝයටනෙ යන්නේ.වෙසක් පොහොය වෙනුවෙන් ඔයාලා අම්මියි තාත්තියි වෙනුවෙන් කරන ධර්ම දානයක් කියලා හිතාගෙන මේක කරන්නකෝ.එක්කෙනෙක් හරි මේකෙන් යහපත් දෙයක් ගත්තොත් ,එක්කෙනෙක් හරි එයාලගෙ ජීවිත ගොඩනගා ගත්තොත් ඒක අපිට පිනක් නේද ? “

හෂාන් සහ මම නැවතත් දරුවන් දෙදෙනාට ඇවිටිලි කළ විට ඔවුන් වැඩසටහනට සහභාගී වීම සඳහා එකඟත්වය පළ කළහ.

කෙසේ හෝ දරුවන් දෙදෙනා වැඩසටහනට සහභාගි වීමට කැමති බව මා ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා වන සංජීව මල්ලිට දැනුම් දුන්නෙමි.ඔහු ඇතුළු කණ්ඩායම අපගේ නිවසට පැමිණ ප්‍රවෘත්තිවල පළ කිරීමට සුදුසු ආකාරයෙන් වැඩසටහන පටිගත කළහ. දරුවන් දෙදෙනා භාවනා කරන රූප රාමු කිහිපයක් වැඩසටහන් ඒ අන්තර්ගත වූ නිසා බොහෝ දෙනා එය වටහා ගෙන තිබුණේ අපගේ දරුවන් භාවනාවකට යොමු වී ඇති බවයි.නමුත් ඔවුන් දෙදෙනා වැඩසටහන අතරතුර කළ සාකච්ඡාවේ දී පැවසූ කරුණු සමාජයේ බොහෝ දෙනාට වැදගත් විය.එම කරුණු වැරදි ලෙස වටහා ගත් පිරිසක් ද විය.

” අපි පාටි වලට යනවා.කනවා බොනවා හොදට විනෝද වෙනවා.හැබැයි ඒ හැම හැමදේම කරන්න ජීවිතය ගැන හොඳ අවබෝධයක් ඇතිව “

එම වැඩසටහන අතරතුර දී අපගේ පුතුන් ඒ ආකාරයට පැවසුවද ඔවුන් දෙදෙනා අදහස් කළ දේවල් සමහර මිනිසුන් වටහා ගෙන තිබුණේ නැත.කෙසේ හෝ එම වැඩසටහන බොහෝ දෙනෙක් නරඹා තිබුණු අතර අපට දුරකතන ඇමතුම් විශාල වශයෙන් පැමිණෙන්නට විය.මෙවැනි ද පුතුන් දෙදෙනෙක් රටට දායාද කිරීම පිළිබඳව බොහෝ දෙනා අප හට ස්තූති වන්ත වූහ.සමහර දෙමව්පියන් ස්වර්ණවාහිනී නාලිකාවට අමතා අපගේ දුරකථන ඉල්ලා ඇවිටිලි කර තිබුණි.මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ දරුවන්ගේ දෙමව්පියන් ද ඔවුන්ගේ දුක් ගැනවිලි පිළිබඳව පවසමින් අප අමතන්නට වූහ.බොහෝ දෙනෙක් අපගේ දරුවන්ට ආශිර්වාද කිරීම හෂාන්ට මෙන්ම මටද විශාල සතුටක් විය.කෙසේ හෝ එම වැඩසටහන නිසා පුතුන් දෙදෙනා ගමන් කරන පාර ඔස්සේ ගමන් කිරීමට කැමැති බව පවසා ඒ පිළිබඳව විස්තර විමසූ තරුණ දරුවන් ද විය.දරුණු වසංගතයක් ලොව පුරා පැතිර යන සමයක එවැනි වැඩසටහනකට අපගේ දරුවන් දෙදෙනා සහභාගී කරවා බොහෝ දෙනා ම යහපත් මාර්ගයන් වෙත යොමු කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව අප සැම දෙනාගේම සිත් තුළ ඇත්තේ නිහතමානී සතුටකි.කිසියම් කෙනෙකුට ධර්මය පිළිබඳව කියා දීම ,ධර්මය පිළිබඳව පොතක් නිකුත් කිරීම සහ ධර්මය අසන්නට සැලැස්වීම පින් සිදුවන කාර්යයන් නිසා එවැනි පින් කටයුත්තකට දායක වීම ලැබීම අප ලද භාග්‍යයකි.මේ සියලු කාරණා වලට මුල්තැන වූයේ කල්‍යාණ මිත්‍ර සේවනය බව මා ඉහත පැවසූ සියලුම කාරණා වලින් ඔබට වැටහෙන්නට ඇත.අප යහපත් මිනිසුන් ආශ්‍රය කරන විට අපගේ ජීවිතය යහපත් මාර්ග ඔස්සේ ගමන් කිරීමට අවශ්‍ය හේතු නිරායාසයෙන්ම සකස් වනු ඇත.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles