ප්‍රේමය යනු හිමි කර ගැනීමම නොවේ..

  “මට සමාවෙන්න මායා…කවදාවත් මට වෛර කරන්න එපා.. මම හරි අසරණයි…”

“අනේ ඔයා මේ මොනවද කියන්නේ කුසල් …? මට ඔයාව තේරුම් ගන්න පුළුවන්. ඔයාගෙ අම්මාගේ හිත රිදවලා ඔයාට මාව කසාද බැදලා සතුටින් ඉන්න බෑ කියල හිතනව නම් මන් ඔයාගෙ තීරණයට බාධා කරන්නෙ නෑ. මට පුලුවන් මගේ හිත හදාගන්න. මට පුලුවන් උපරිමෙන් මන් ශක්තිමත් වෙන්නම්. ආදරෙ කල ඔයාට වෛර කරන්න තරම් මන් දුර්වල කෙනෙක් නෙවෙයි කුසල්. අපි තරහ කාරයො වෙලා ජීවිතේ ඉතිරි කාලය ගෙවන්න ඕන කියල මන් කවදාවත් හිතන්නෙ නැ..

කුසල් මුළුතැන්ගෙයි සිට කල්පනා කලේ මීට මාස කිහිපයකට උඩදී තමන්ගේ ජීවිතයෙන් ඈත් වුණු මායා ගැනයි. පාසැල් ප්‍රේමයක් වුණත් බොළඳ නොවුණු කුසල්ගේත් මායාගේත් ආදරයට අවුරුදු හයක් ගත වුණා. තම සහෝදරයෙක් වගේම හරිම පරිස්සමට කුසල් මායාව පරිස්සම් කලා. ඒ ආදරේ හරි පිරිසිදුයි. එකම පාසලේ ඉගෙන ගත්තු කුසල්ගේත් මායාගේත් ආදරයට වැට බැදුණේ දුප්පත්කමයි පොහොසත් කමයි අතර තිබුණු නොගැලපීමයි.

“උඹ ඔය කෙල්ලව බැද ගත්ත දවසට මම මේ බාල්කේ එල්ලිලා මැරෙනවා…අක්කා ලොකු ලමයෙක් වෙච්චි වෙලාවේ කනේ තිබුණු කරාබු ජෝඩුව තමයි තාමත් ඔය මායාගේ කනේ තියෙන්නේ…උන් අපේ රෙදි අපුල්ලපු අය බව අමතක කරන්න එපා පුතේ…”

ගුණවතී තම පුතාට නිතරම මේ කුල මාන්නය ගැන කිව්වේ තරහින්. පන්සලේ නායක හාමුදුරුවන්ද කුසල්ටත් මායාටත් ආශිර්වාද කොට ගුණවතීගේත් අවසරය ලබා දෙන්නට උත්සාහ කලද ගුණවතී නිවසට වැඩම කොට නැවතත් විහාරයට යන නායක හාමුදුරුවන් දෙස බලා,”උන්නාන්සේ දන්නේ මොනවද…සියල්ල අතහැරලා සාසනේට ආපු උන්නාන්සේ පවුලේ ගෞරවයක් කියලා  දෙයක් දන්න එකක්යැ…”යැයි කීවේ කුසල් දෙස බලමිනි. දහම් පාසලේ ගුරුවරියක් වුණු මායාගේ ඇති හොඳ ගතිගුණ ගැන දහම් පාසලේ ගුරු මණ්ඩලයේම පැහැදීමක් තිබුණා.

” පුතේ….”

Angry Couple

ගුණවතී කාමරයේ සිට අමාරුවෙන් කුසල්ට කතාකරද්දී අතීතයට ගොස් සිටි කුසල් ඉක්මනින් කොත්තමල්ලි කෝප්පයද ගෙන ගුණවතීගේ කාමරයට ගියා. දොර රෙද්ද මෑත් කරද්දීම ඔහුට සියල්ල පැහැදිලි වුණා. මීට මාස කීපයකට  පෙර සිටම ගුණවතී ඇඳට පමණක්ම සීමා වුණා. ඇය එක්තැන් වුණා. එතැන් සිට ගුණවතීගේ සියලු ආවතේව කටයුතු සිදුකලේ කුසල්ගේ අතින්. ගුණවතීගේ එකම දියණිය වරුණි නොගැලපෙන කසාදයක් කොට ගුණවතී දෑවැද්දට දුන් සියලු ඉඩකඩම් විකුණා කොළඹ පදිංචියට ගියා. එතැන් සිට ඇය තම මව දකින්නට ගමට ආවේ අවුරුද්දට නෑගම් එන නැකතටයි. කොටින්ම ගුණවතී එක්තැන් වූ දින සිටත් මේ දක්වා වරුණි ගමට ආවේ එකම එක වතාවක් පමණි.

“පුතාගේ ඉස්කෝලේ වැඩත් එක්ක මට ගමේ එන්න බැහැ. අම්මව ගෙදර එක්කගෙන ගිහින් මට බලාගන්න බැහැ මල්ලි. ඒක මගේ ගෙදර නෙමෙයිනේ. ඒක බන්දුලගේ ගෙදර…”

අවසාන් වතාවට අම්මව බලන්නට ආ වරුණි වත්තේ පොල් ගස්වලින් පොල් ගෙඩි කඩාගෙන කාරයට පටවාගෙන ගියේ අම්මාගේ සියලු වගකීම් කුසල් පිට පටවාලයි. නමුත් ඒ සියල්ලටම සරිලන අලුත් නෑදෑකමක් ඇතිකරන්නට මඟපෑදුවේද වරුණිමයි.

“අම්මා…හේෂානි කියන්නේ බන්දුලගේ නැන්දගේ දුව.මල්ලිට හොඳට ගැලපෙනවා. බන්දුත් මේ කසාදයට කැමතියි. මේ රෙදි අපුල්ලන කෙල්ලන්ව බන්දුලට වුණත් හඳුනලා දෙන්න ලැජ්ජා නැද්ද අම්මා…”

“මමත් පොඩි පුතාට කිවිවේම ඕකම තමයි. දුව ඔන්න ඔය ලමයව කතා කරන්න. මේ හැමදේම ඒ ලමයට කියලා කියන්න. මට මේවා බලාගන්න පුලුවන්. ඕනනම් පොඩි පුතාටත් කොළඹ පදිංචි වෙන්න බැරියැ…”

අම්මයි අක්කයි ගෙනා විවාහ යෝජනාවට  අවසානයේදී කැමති වෙනවා හැර කුසල්ට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මායා කිසිම දවසක කුසල්ගෙ ජීවිතේ ට බාධා කරන්න ගියේ නෑ. ඇය උපේක්ෂාවෙන් සියල්ල දරා ගත්තා.

“දුක්වෙන්න එපා දරුවො… කවුරුවත් කාටවත්ම වෛර කරන්න එපා… සියල්ල යහපත් විදියට විසදේවි. ඔය දරුවා ඉස්සරහ ජීවිතේ ගැන බොහොම බුද්දිමත්ව තීරණ ගන්න ඕන.

මායාට නායක හාමුදුරුවන් කිව්වේ එහෙමයි. මේ විදියට කාලය ගෙවුනේ වේගයෙන්..

“පුතේ…මයේ පුතේ…”

“හරි අම්මා…හරී…අද අපි නාමුකෝ…හොදේ…”

ගුණවතීට නැගිට ගන්නට හයියක් තිබුණේ නැහැ. ගමේ ගෙදරකින් ගුණවතීටත් කුසල්ටත් කටට රසට කෑම ටික ලැබුණා. ඒ සදහා කුසල් සැලකිය යුතු මුදලක් ඔවුන්ට දුන්නා. ගමේ තිබුණු ඉඩකඩම්, කුඹුරු, තේ වත්තෙන් සැලකිය යුතු විශාල මුදලක් කුසල්ට ලැබුණා. ඒ නිසාම ආර්ථිකය සම්බන්ධයෙන් ගැටලුවක් කුසල්ට තිබුණේ නැහැ. නමුත් එක්තැන් වුණු අම්මා බලාගන්නට තමන්ගේම කියලා කෙනෙක් කුසල්ට හිටියේ නැහැ.

“කුසල්…කුසල්…කෝ ඔයා..?ඊ….යා…. මොකක්ද අනේ මේ ගෙට ඇතුල් වෙද්දීම එන ගඳ….”

දිනක් අම්මා පිරිසිදු කරන්නට වතුර සූදානම් කරමින් මුළුතැන්ගෙයි සිටි කුසල්ට හේෂානිගේ හඬ ඇසුණා. කොළඹ සිට ගාල්ලට එනතුරු ඇය එන බවවත් කුසල්ට පැවසුවේ නැහැ . හයිවේ මාර්ගයෙන් කොළඹ සිට ගාල්ලට වැඩි කාලයක් ගත නොවන නිසාත් තම පෙම්වතාව සප්‍රයිස් කරන්නටත් සිතූ හේෂානි තම මෝටර් රථයෙන් කුසල්ගේ නිවසට පැමිණියා. නමුත් ඒ ආගමනයෙන් කුසල්ට සිදුවූ සප්‍රයිස් එකක් නැහැ.

. ඒ මොහොතේ ගුණවතී සිටියේ ඇඳේම මුත්‍රා කරගෙනයි.”කෝ…ඔයා… මොනවද ඔයා කරන්නේ…ඊ…යා… මොකක්ද කුසල්  මේ අම්මගේ කාමරේ හැටි… කොණ්ඩේ හැටි බලන්නකෝ…පිස්සියෙක් වගේ…මුලු ගෙදරම ගඳයි. හොද වෙලාවට මම මිලාන්ව එක්ක ආවේ නැත්තේ… එහෙම වුණානම් මේවා මගේ යාලුවෝ දැකලා මාව තමයි සප්‍රයිස් වෙන්න තිබ්බේ…”

“මම ඔයාට තේ එකක් හදන්නද…?”

“ඊ…යා… මට එපා. ඔය අත් වලින් නේද ඔයා අම්මවත් ඇල්ලුවේ. ඉක්මනට ඔයා ගිහින් නාලා එන්න…මම කා එකට වෙලා ඉන්නම්. මේ ස්මෙල් එකට මට හෙඩේක් වගෙයි…”

“අනේ සොරි හේෂානි…මම මේ වතුර රත්  කලේ අම්මව නාවන්නයි.දැන් එයාව නාවල අම්මගේ රෙදිත් හේදුවට පස්සේ තමයි මට නා ගන්න පුළුවන් වෙන්නේ. ඒකට ටිකක් වෙලා යයි. ම්…ම්…මම කියන්නද…ඔයත් උදව් කරන්න. අපි දෙන්නම එකතු වෙලා අද අම්මව නාවමු.අම්මත් ආස වෙයි ඔයා අද අම්මව නාවලා ඔයාගේ අතින්ම එයාට බත් ටිකක් කවද්දී…”

“ඊ…යා…මට බැහැ ඕවට හෙල්ප් කරන්න. මොන කරුමයක්ද මේක…අනේ…ප්ලීස් කුසල් අපි ආන්ටිව කොළඹ හොඳ වැඩිහිටි නිවාසයක නතර කරමු. අපිට මාසයකට හොඳ ගානක් ගෙවන්නන් පුලුවන්නේ…”

ඒ හේෂානි කුසල්ගේ නිවසට ආ අවසාන් දිනයයි. එදා කුසල්ට නොහිතු ලෙස කේන්තියක් හිතට ආවා. කොහොම වුණත් මේ තමන්ගේ අම්මා…කාත් කවුරුවත් නැති කෙනෙකු සේ වැඩිහිටි නිවාසයකට ගොස් දැමිය හැකිද..? කුසල් සමඟ රංඩු වුණු හේෂානි දිවගොස් කාරයට නැංගේ “ඔය අම්මණ්ඩි මැරෙනකම් මම මේ ගෙදර පස් පාගන්නේ නැහැ” කියමිනි.එතැන් සිට කුසල් හේෂානි ලබාදුන් එකඳු ඇමතුමකටවත් උත්තර දුන්නේ නැත. අරමුණක් නැති ඔහුගේ මුලු ජීවිතයම එක්තැන් වුණු අම්මා වෙනුවෙන් කැප කරන්නට ඔහු සිතා ගත්තා.

“කුසල් මහත්තයෝ…මේ කෑම ටික…”

“අනේ…ඕක මේසේ උඩින් තියන්න නැන්දේ…ඔය මම සල්ලිත් තියලා ඇති. ඒකත් ගන්න… මම මේ අම්මගේ කාමරේ ඉන්නේ නැන්දේ…”

හැමදාමත් කෑම ගෙනෙන මාලතී සුපුරුදු පරිදි කෑම මේසය උඩින් තබා මුදල් රැගෙන ගියා.මොන දේ නැතත් අම්මාට කටට රසට කෑම ටික ලැබුණා. කුසල් අම්මාව වාරැ කරගනිමින් නැගිටින්නට උත්සහ කලා.මාස ගණනාවක් පුරාවට තනිවම මේ දේවල් කරන එක වෙහෙසකර වුණත් කුසල් දැන් ඒ ජීවිතයට හුරු වී අවසානයි. නමුත් උදේ සිට කෑමක් තියා තවමත් තේ උගුරක් නොගත් කුසල්ට තද පිපාසයක් දැනුණා. ඒත් මළ මුත්‍රා සමඟ ඇඳේ හිඳින අම්මාව පිරිසිදු නොකොට තමන්ගේ කුස පුරවාගන්නේ කොහොමද..?

“කුසල්…”

කුසල්ට ඒ හඬ ඇසුණේ හීනකින් වගෙයි. අවුරුදු ගාණක් පුරාවට ඇසුණු ඒ හඬ අමතක කරන්නේ කොහොමද..?ඒත් තමන්ගේ දොරකඩින් ඒ හඬ නැවත ඇසේවිද..?කුසල්ට නැවතත් ඒ හඬ ඇසුණා. අම්මාව නැවතත් ඇඳේම හාන්සි කල කුසල් දොරකඩට ගියා. ඔහුට විශ්වාස කරන්නට බැරිය. ඇස් අදහාගත නොහැකිය.මේ හීනයක්දැයි ඔහු නැවතත් සිතුවා. නමුත් මේ ඇයමය.

“මා…යා….?”

“මම නැන්දා බලන්න ආවේ…”

කුසල් ඇයව ගුණවතීගේ කාමරයට එක්කරගෙන ගියා. කුසල් මෙන්ම ගුණවතීද කාලයකට පසුව තමන්ගේ නිවසට ආ මේ අමුත්තිය දැක පුදුම වුණා.

“දුවේ…”

“නැන්දේ…”

ඇය ඇඳ පාමුල වාඩිවුණා.

“මායා ඔතන වාඩි වෙන්න එපා. ඔතන…මේ…මේ….”

කුසල් ගොත ගැහුවා. ඇද පාමුල ඇති ගුණවතීගේ කිළිටි රෙදි දුටු මායා කුසල් දෙස බැලුවා.

“අපි නැන්දව නාවමු කුසල් …”

එතැන් සිට ඇය කඩියකු සේ වැඩ කලා. උණුවතුර සූදානම් කර ඇය කුසල් සමග ගුණවතීව මිදුලට ගෙන ගියා. මාස ගණනාවකට පසුව මිදුලට ආ ගුණවතී වල් වැදුණු මිදුල දෙස බැලුවේ දුකෙන්.සාත්තුවක් නැති එලවලු පැල මල් පැල වේලිලා ගිහින්. මේ හැම දෙයක්ම තනිවම කුසල්ට කල නොහැකි බව ඇය දැන සිටියා. හොදින් නාවා අලුත් ඇඳුමක් ඇන්දවූ මායා ඇයව ඉස්තෝප්පුවේ හාන්සි පුටුවක වාඩි කෙරුවා. ඒ අතරේ මායා ගුණවතීගේ ඇද ඇතිරිලිද සෝදා අලුත් ඇතිරිලි දමා කාමරයට නැවුම් පෙනුමක් එක්කලා.

“අපි බත් ටිකක් කමු නැන්දේ…”

මායා ගුණවතීට බත් කවද්දී කාලයකට පසුව හිතේ සැනසීමෙන් නා ගෙට ගොඩවුණු කුසල් මේ දසුන බලා සිටියේ ඇස්වල කදුළු පුරවගෙනයි.

“කුසල් මහත්තයෝ…මට සමාවෙන්න…”

මාලතී එසේ කියද්දී හිස පිසදමමින් සිටි කුසල් පිටුපස හැරී බැලුවා.

“මේ සල්ලි මට එපා . කුසල් මහත්තයාලට කෑම හැදුවේ මායා දුවයි. මට කියන්න එපා කිව්වා. හැමදාම රහට කෑම හදලා මගේ අතේ එව්වා. කුසල් මහත්තයා තනියම විඳින දුක දැකල  මට ඉවසගෙන ඉන්න බැරි වුණා. ඒ නිසා මම අද ගෙදර ගිහින් මේ හැමදේම මායා දුවට කිව්වා. මායා දුව කෑම වලට දීපු සල්ලි ගත්තේ නැහැ. මේ ඒ සල්ලි…”

බත් කටක් කමින් සිටි ගුණවතී මායා දෙස ආදරෙන් බැලුවා.

“මාලතී නැන්දා ඕක තියාගන්න…”

කුසල් කිව්වේ අම්මගේ හිස අතගාමින්. ගුණවතී කුසල්ගේ අත අල්ලා සිඹගත්තා.

“මේ දරුවාගේ මේ අත් පව් දුවේ…මේ අත් දෙකෙන් මගේ කොච්චර කැතකුණු අතගාන්න ඇත්ද..? මට සමාවෙන්න දරුවෝ…මම ඔයාලව වෙන් කරල ලොකු පවක් කරගත්තේ. දැන් මගේ හිත නිදහස්. ඉක්මනට මේ ගෙදරට වරෙන් දුවේ…

තමන්ගේ ජීවිතේ වටිනාම දේ ඇගෙන් ඈත් කල ගුණවතී ගැන කලක් හිතෙන් සමාව දෙන්න බැරි වුන ඇගේ හිත හිත සුවපත් කල නායක ස්වාමීන් වහන්සේ දේශනා කල කරුණු සිහිපත් කල මාය එවරත් ගුණවතී දෙස බලා සිනා සුනේ උපේක්ෂාවෙන් මයි.

-දිශානි ජයමාලි කරුණාරත්න –

More Stories

Don't Miss





Latest Articles

හසරැලි වැස්සේ -36

"මෝඩ විදියට හැසිරුණු කාලේ නම් හැදෙයිද කියලා අපි ඉවසගන බලාගෙන හිටිය.ඒ උනාට දැන් වැඩ කරන්නේ මහම මහ ගොබ්බ විදියට.."

(අ)හිමි සිහින -19

සංසාරගත බැඳීමක් බව සිතූ ප්‍රේමය හැරදා පැමිණි පසු මම අසංකට ආදරය කළාද කියලා ඔයාලාට හිතෙනවා ඇති.අම්මට තාත්තට අසංක සැලකීම ගැන ඇතිවෙන්න තරම්...

සඳ කත් මිණි ඇස් 15

සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ...

හසරැලි වැස්සේ – 35

"මම්මේ…."රෝහල් කාමරයේ ඇත්තේ පාළු ස්වභාවයකි.මට මම්මා සමග එක්වී අතීතය දිග ඇවිද යාමට සිත් විය.මා වෙනුවෙන් තේ සාදමින් සිටි...

(අ)හිමි සිහින -18

යුද්ධය නිසා ජීවිතය අහිමි විය හැකි, ආබාධිතයකු බවට පත් විය හැකි, තමන්ගෙ මහන්සියෙන් උපයා ගත් දෙයක් මිසක ඒ තරමට දේපල නැති සුදාරක...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content