දික්කසාද නොවූ පෙම්වතා සමඟ විවාහ වීම නිසා ගැටළුවකට මැදි වූ තරුණිය

(නීතිඥ බුද්ධිනී දයාරත්න මෙනෙවියගේ අත්දැකීම් ඇසුරෙනි.වෘත්තිය සදාචාරය මත නම් ගම් මනඃකල්පිත වේ)

නදීකා විසි එක් හැවිරිදි යුවතියක්.ඇය කටුනායක වෙළඳ කලාපය වෙත පැමිණෙන්නේ කොළඹින් බොහෝ දුර බැහැරක සිටයි.මව පියා අහිමි ඇයට සිටියේ ආච්චි පමණයි.ආච්චිට ඇගේ සෑම වියදමක්ම දරන්නට නොහැකි නිසා පාසල් අධ්‍යාපනයෙන් පසු විවිධ රැකියාවල නිරත වෙමින් සිටි නදීකා  අවසානයේ වෙළඳ කලාපයට පැමිණීමට තීරණය කළ තිබුණා.

ඇයට සාගර හමුවන්නේ වෙළඳ කලාපය තුළදීමයි.ඔවුන් අතර ඉක්මනින් ප්‍රේම  සම්බන්ධයක් ගොඩනැගෙනවා.

“අපි එක බෝඩිමක් අරගෙන එකට ඉමු.ගොඩක් අය එහෙමනෙ ඉන්නේ.බෝඩිං ගාස්තු වුණත්  ඉතුරු වෙනවානේ.”

සාගරගෙන් එහෙම යෝජනාවක් පැමිණියත් නදීකා එයට  එකඟතාවයක් පෙන්වන්නේ නැහැ.ඇත්තටම ඇය සාගර කාගේ කවුදැයි කියා වත් දැනගෙන සිටියේ නැහැ.ඒ නිසා එයට එකඟ නො වන්නට ඇය තීරණය කර තිබුණා.

මීට සති දෙකකට උඩදි සාගර නදීකාව විවාහ රෙජිස්ටාර්වරයෙකු විවාහය ලියාපදිංචි කර තිබුණා.මුදලට ගත් මිනිසුන් දෙදෙනකු සාක්ෂියට අත්සන් කරන්නට යොදා ගෙන තමයි මේ විවාහය සිද්ධ වී තිබුණේ.නදීකා මේ කතාව ආච්චිට දන්වා නැති අතර  සාගරගේ කිසිම කෙනෙක්ද විවාහය වෙනුවෙන් පැමිණ තිබුණේ නැහැ.

විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා සාගරගේ බෝඩිමට පදිංචියට ගොස් තිබුණා.ලිංගික එක්වීමට උත්සාහ කර තිබුණත් නදීකාට වැජිනිස්මස් යැයි සැක කළ හැකි තත්ත්වයක් ඇතිවීම නිසා එය ඇනහිට තිබුණා.නමුත් වැඩි හොඳට බව පවසා සාගර විසින් නදීකාට උපත් පාලන පෙති කිහිපයක් පවා ලබාදී තිබෙනවා.

ඊළඟ දවසේ නදීකා රැකියාවට ගොස් එද්දී සාගර දුරකථනය කා සමග හෝ රණ්ඩු කරමින් සිටින බව ඇයට ඇසී තිබුණා.ඒ ගැන විපරම් කරත් ඇයට යහපත් හෝඩුවාවක් ලැබී තිබුණේ නැහැ.

“හරි වැඩේ නදී.අම්මට සනීප නෑ.මම ගමේ යනවා.හෙට උදේම මම යනවා.ගියාම මම ඔයා ගැන අම්මට කියනවා. ඊළඟ පාර මමත් එක්ක ගමේ යන්න ඔයාටත් පුළුවන්.

එවැනි කථා රාශියක් පවසා සාගර ගමට යන්නට නදීකාගේ අවසර ඉල්ලා තිබුණා

“මම හෙට උදෙන්ම වැඩට යන්න ඕනේ .ඔයා ගමේ යනකොට දොර වහලා යතුර වෙනදට තියෙන තැනින් තියල යන්න.”

නදීකා පසුදින රැකියාවට ගියේ සාගරට එසේ පැවසීමෙන් අනතුරුව.

ඇය රැකියාවට ගොස් පැමිණෙද්දී සාගර නිවසේ සිටියේ නැහැ.සාමාන්‍යයෙන් වෙළඳ කලාපය ආශ්‍රිත රැකියාවක් කරද්දී දහවල් කාලයේ දුරකථන ඇමතුම් ගන්නට ඉඩ නොලැබෙන නිසා ඇය වහාම සාගරට ඇමතුමක් ගන්න සැකයකින් නොවේ.ඔහු නිවසට ගියේ දැයි බලන්නටයි.නමුත් සාගරගේ දුරකථනය ක්‍රියා විරහිත කර තිබෙනවා.එය එසේ වන්නට හේතුව එහි බැට්‍රිය බැසීම දිය හැකි බව සිතමින් ඇය පැය කිහිපයක්ම කල් මරනවා.නමුත් සාගරගේ දුරකතනය රාත්‍රියේ වත් ක්‍රියාත්මක වන්නේ නැහැ.නදීකාට සැකයේ බීජය රෝපණය වන්නට ගන්නේ ඒ අවස්ථාවේදී. 

නදීකා තමන්ගේ ඇඳුම් බෑගය පරික්ෂා කරනවා.එහි තිබූ ඇගේ රත්තරන් කරමාලයත් මුදලුත් අතුරුදහන් බව වැටහෙන ඇය ඉතාමත් වියවුලට පත් වනවා.ඇඳුමක්වත් ඉතුරු නොවන්නට සාගර සෑම ඇඳුමක්ම රැගෙන ගොස් ඇති බවත් ඇයට දැනගන්නට ලැබෙන්නේ ඒ මොහොතේදී.ඔහුගේ මිතුරන් බව සැලකෙන අයට සහ ඔහු සේවය කරන තැන අයට ඇය දුරකථන ඇමතුම් ලබා දෙනවා.නමුත් සාගරගේ දුරකතන අංකය ලෙස නදීකා දැන සිටි අංකය හැරුණු විට වෙනත් කිසිම හෝඩුවාවක් ඔවුන් ද දන්නේ නැහැ.  

සාගරගේ ඒවා ස්ථානයට ගොස් සත්‍ය පවසා පරික්ෂා කිරීමේදී ඔහු විවාහකයෙකු බව ඇයට හෙළිදරව් වෙනවා.නදීකා විශාල අවුලකට පත් වී ඇතැයි තේරුම් ගන්නා සාගරගේ ආයතනයේ මානව සම්පත් කළමනාකරු ඇතුළු පිරිස සාගර ගේ පෞද්ගලික දත්ත වාර්තාවේ ඇති තොරතුරු ඇයට ලබා දී තිබුණා.එහි ඇති ලිපිනයට ගොස් බැලුවද එවැනි ලිපිනයක් සැබෑවටම පැවතියේ නැහැ.නදීකා දින ගණනක් කාමරයට වී වැලපෙනවා.වැජිනිස්මස් තත්ත්වයක් තිබුණද යම් ලිංගික ඇසුරක් සිදු වූ නිසා තමන් ගර්භණී භාවයට පත්වී ඇත්දැයි යන විශාල බියෙන්ද ඇය පෙළෙන්නට පටන් ගන්නවා.

“මොනවා වුණත් උඹව බැඳලනෙ ඒ මිනිහා.”

මිතුරියන් එසේ පැවසුවද ඔහු නැවත එන බවට ඇයගේ විශ්වාසයක් නැහැ.දින ගණනාවක් කාමරයට වී හඬමින් විෂාදයට ගොදුරු වන ඇය අනතුරුව තීරණයකට එළැඹෙනවා.ඒ ජීවිතය නැති කර ගැනීමයි.එය වෙනුවෙන් ක්‍රියාත්මක වන්නට සිතමින් දුම්රියට පනින්නට යන ඇයව බේරා ගන්නේ ඒ අසල රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන කාන්තාවක් විසින්.නදීකාගේ කතාව අසා සිටීමෙන් පසු ඇයට අවශ්‍ය වන්නේ නීතිමය උපදෙස් බව වටහාගන්නා රූපලාවණ්‍ය හිමිකාරිය වූ මිෂෙල් මහත්මිය ඇය අප වෙත රැගෙන එනවා.

“මට මේ ළමයාව ට්‍රේන් කරලා අරගෙන රස්සාවක් දෙන එක ලොකු දෙයක් නෙමෙයි.ඒත් මෙයා මේ මැදිහත් වෙලා ඉන්න ගැටලුව නීතිමය පැත්තෙන් විසඳ ගන්න ඕනි කියලයි මම හිතන්නේ.”

පීඩාවට පත්වන්නන් වෙනුවෙන් පෙනී සිටින මිෂෙල් මහත්මිය නදීකා වෙනුවෙන් සිට ගැනීම ගැන අපට ද දැනුණේ විශාල සතුටක්.ඇය නදීකාව මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු කර ප්‍රතිකාර ලබාදීම ද ආරම්භ කර තිබුණා.මේ අතර තමන්  ගැබ්ගෙන ඇතැයි  නදීකා බොහෝ බියට පත් වී සිටීම නිසා ඒ සම්බන්ධ පරීක්ෂණ කරන්නට ද අප උනන්දු වුණා.නියමිත කාලයේ දී ගර්භනී පරීක්ෂාවක් කිරීමට අප යෝජනා කළේ ඇය ගැබ්ගෙන තිබේනම් මේ සම්බන්ධයෙන් සාගරට තවත් නඩුවක් පවරන්නට සිදුවන නිසා.

ලිංගික හැසිරීමට දැක්වූ අධික බිය නිසා හෝ අකමැත්ත නිසා සම්පූර්ණ ලිංගික එක්වීමකට නොහැකිවීම නිසා නදීකා ගැබ් ගෙන නොමැති බව තහවුරු කරගන්නට වෛද්‍ය පරීක්ෂණයෙන් හැකිවුණා.එය ඇයට විශාල සහනයක් වූ බව කිව යුතුමයි.

ඊළඟ කටයුත්ත වූයේ ඇය දෙවැනි වතාවට විවාහ වූයේ සත්‍ය වශයෙන්මද නැතිනම් රැවටීමකට හසුවී ඇත්තේ දැනගැනීමයි. එතැන සැබෑ විවාහයක් වී ඇත්නම් ඇගේ විවාහය ශූන්‍ය සහ බලරහිත කරන්නට උවමනා වෙනවා.මිෂෙල් මහත්මිය අපේ උපදෙස් පතමින් සිටියේ ඒ වෙනුවෙන්.

නමුත් දැඩි පරිශ්‍රමයකින් යුතුව සාගර සම්බන්ධ සත්‍ය තොරතුරු සොයා ගන්නට ඔවුන්ට හැකි වුණා.ඔහුට අනුරාධපුර ප්‍රදේශයේ පවුලක් තිබූ අතර කුඩා දරුවන් දෙදෙනෙකු ද සිටින බව හෙළිදරව් වුණා.ඒ නිසා නීත්‍යානුකූලවම නදීකාගේ විවාහය බලරහිත වනවා.

එහෙත් මෙවැනි වංචාවක් සිදු කර අහිංසක යුවතියක වූ නදීකාව මානසික රෝගී තත්ත්වයකට ඇද දැමූ සාගරට සමාව නොදිය යුතු බවට තරයේම ප්‍රකාශ කර සිටින්නේ නදීකාගේ වර්තමාන භාරකාරිය වන මිෂෙල්.ඇය සාගරට එරෙහිව බහුවිවාහ නඩුවක් පවරන්නට නදීකා මෙහෙයවූ අතර මේ වන විට එය ක්‍රියාත්මක වෙමින් පවතිනවා.නදීකාට නඩුව අවසානයේ වන්දි ලබා ගැනීමේ හැකියාවද පවතිනවා.

ඇගේ රෝගී තත්ත්වය නිසා ඇය දූෂණයට ලක් නොවීමත් ඒ නිසාම ඇය ගර්භනීයක නොවීමත් නදීකාට යළි ගොඩනැගෙන්නට තිබූ වාසි ලෙස හඳුන්වන්නට පුළුවන්.නමුත් අම්මා තාත්තා නැති අසරණ ළාබාල යුවතියක වන ඇයට මේ රැවටීම සහ වංචාව දරාගැනීම තවමත් අපහසුයි.ඒ හේතුවෙන් ඇයට දිගටම දිගටම මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට මිෂෙල් මහත්මිය කටයුතු කරනවා.මේ අතර ඇය රූපලාවණ්‍ය පාඨමාලාවක් හදාරමින් සිටිනවා.

ග්‍රාමීය  පරිසරයෙන් නාගරික ජීවිතවලට එළඹෙන යුවතියන් පමණක් නොවෙයි,ඕනෑම යුවතියක්ම මෙවැනි වංචා කාරයින්ට හසු වන්නට පුළුවන්.විවාහයක් වැනි තීරණයකට එළඹීමේ දී ඉතා වන ආකාරයේ නොවුණහොත් ඔබ විශාල අනතුරුවලට ලක්විය හැකි බව අමතක නොකළ යුතුම කාරණාවක්.ඒ නිසා සෑම විටම පරීක්ෂාකාරී වන්න.විශ්වාසයට වඩා සැකය පෙරමුණේ තබා ගන්න.

වෘත්තීය මානසික උපදේශනය වගේම නීතිය ද පවතින්නේ ඔබ ගැටළුවකට පත් මොහොතක ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට බවත් අමතක කරන්නට එපා. 

Related Articles

Don't Miss


Latest Articles