මතක දිගහැරුම 94 – අප්සාරි සිංහබාහු තිලකරත්න

අනූ හතර වන දිගහැරුම ,

නංගි සහ මම යන දෙදෙනාම මව් පදවිය ලැබීමට සූදානම් වන බව දැනගත් පසු අම්මා සහ තාත්තා බොහෝ සතුටු විය.ඉන්පසුව මා සාමාන්‍ය පරිදි හෂාන් සමඟ නිතර නිතර ම කතරගම අපගේ නවාතැන වෙත ගියෙමි.දිනක් එසේ අප කතරගම නවාතැනෙහි සිටින විට එකල ක්‍රිකට් ආයතනයෙහි සභාපතිතුමන් වූ තිලංග සුමතිපාල මහතාගෙන් හෂාන් හට දුරකථන ඇමතුමක් ආවේය.

” මොනවද හෂාන් ඔයාලා කැලේට වෙලා කරන්නේ ? ඔයාව හොයනවා හොයනවා ඔයා කොළඹ නැහැ “

යනුවෙන් කියමින් ඔහු විහිලුවක්ද කළේය.

” ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ කරලා සුනාමියෙන් ව්‍යසනයට පත් වෙච්ච දරුවන්ට පිහිට වෙන්නයි , ලංකාවේ හතර තැනක සුනාමි ගම්මාන හතරක් පිහිටුවන්නයි අපි වැඩසටහනක් ආරම්භ කරනවා.ඒකට පිටරටවල් වලින් සල්ලි ගොඩක් එනවා.මට ඒක බාර දෙන්න හොඳ විශ්වාසවන්ත කෙනෙක් ඕනේ.මට ඔයා ඇර වෙන විශ්වාස කෙනෙක් නැහැ.ඔයා දැන් ක්‍රිකට් ගහන්නේ නැහැනේ,ඒ නිසා ඔයා ඇවිල්ල මේක භාර අරගෙන CEO විදියට මේ කටයුත්ත කරන්න. ඔයාට මාසෙකට වැටුපකුත් දෙනවා “

තිලංග සුමතිපාල මහතා අදාල කාරණාව එසේ විස්තර කළේය.හෂාන් ඉතා කැමැත්තෙන්ම එම ආරාධනාව පිළිගත්තේ එය ඉතා වටිනා වැඩක් වන නිසාය.

” හොඳයි. මම ඇවිල්ලා මේ වැඩේ බාර අරගෙන කරන්නම්.නමුත් මට කිසිම වැටුපක් එපා.රටට වියසනයක් වෙලා තියෙන මේ වගේ වෙලාවක මේක රට වෙනුවෙන් කරන්න පුළුවන් සේවයක්.ඒ නිසා මම මේ දේ කරන්නම් “

තමන්ගේ අදහස එසේ පැවසූ හෂාන් තිලංග සුමතිපාල මහතාගේ ආරාධනය ට එකඟත්වය පළ කළේය.ඉන්පසුව වැඩ බාර ගැනීම සඳහා හෂාන් මා කැටුව කොළඹ පැමිණියේය.ඉන්පසුව ක්‍රිකට් ආයතනය වෙත ගිය ඔහු අවශ්‍ය සියලු දෑ කතාබහ කරගෙන වැඩ භාර ගත්තේය.

ඉතා හොඳ ව්‍යාපෘතියක් වූ එයට මුදල් ලැබුණේ විදෙස් රටවල් වලින් ය.ඉන් එක ව්‍යාපෘතියක සැලසුම වූයේ සුනාමියෙන් අවතැන් වූ ළමුන් දාහක් වැනි පිරිසකට ශිෂ්‍යත්වයක් ලබා දීමය.එහිදී මාසිකව ඔවුන්ට යම් මුදල් ප්‍රමාණයක් ලබාදීමට නියමිතව තිබුණි.අනෙක් ව්‍යාපෘතිය වූයේ ප්‍රදේශ හතරක සුනාමි ගම්මාන හතරක් පිහිටුවීමය.සෑම ගම්මානයක ම නිවාස 100 ක් වැනි ප්‍රමාණයක් නිර්මාණය කර එම හැම ගම්මානයකම ක්‍රිකට් පිටියක් නිර්මාණය කිරීම ද සැලසුමෙහි ඇතුළත් විය .එම ගම්මාන හතර පිහිටුවීම සඳහා ප්‍රදේශ හතරක් ද ඒ වනවිට තෝරාගෙන තිබුණි .ඊට අමතරව විවිධ ප්‍රදේශවල සුනාමියෙන් අවතැන් වී සිටි අය වෙත ආධාර ලබා දීම ද , විවිධ ප්‍රදේශ වල පිහිටුවා තිබූ සුනාමි කඳවුරු වල සිටින අය වෙත අවශ්‍ය බඩු භාණ්ඩ ලබාදීමද සැලසුමෙහි ඇතුළත් විය.

Cricket Aid නමින් නම් කල, ක්‍රිකට් ආයතනයෙන් සැලසුම් කළ මෙම ව්‍යාපෘතිය සඳහා සේවය කල සියලුදෙනාම සේවය කළේ ස්වෙච්ඡාවෙන් ය .අරමුදලෙහි කටයුතු සදහා වෙනමම ගණකාධිකාරවරයෙක් ද සිටියේය.ඒ වගේම ක්‍රිකට් ආයතනයේ ලිපි කරුවාගේ සිට සුළු සේවකයා දක්වාම සේවකයන්ද , ක්‍රිකට් ක්‍රීඩකයන්ද මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ස්වේච්ඡාවෙන් දායක වූහ.ඉතා හොඳ වැඩසටහනක් වූ මෙහි වැඩකටයුතු ඉතා ඉක්මනින් සිදු විය .
ව්‍යාපෘතිය මගින් පලවෙනි මාසයේදී අවතැන් වූ දරුවන් තෝරා ගෙන වෙනුවෙන් හැඳුනුම්පතක් ද සකස් කර ලබාදීම සිදුකෙරිණි .ළමුන් සඳහා විවිධ තෑගි යැවීම ද ඒ යැවීම ද ඒ අතරතුර සිදු විය. ඒ වන විට ගැබිනියක්ව සිටි මා ද එම තෑගි සූදානම් කිරීමේ කටයුතු වලට සහයෝගය ලබා දුන්නෙමි.

දෙවැනි දරු ප්‍රසූතියට සූදානම් වීම මා හට තරමක අභියෝගාත්මක කාලයක් විය.පලවෙනි දරු ප්‍රසූතියෙන් වසර නමයකට පසුව දරු ප්‍රසූතියකට සූදානම් වන නිසා ශරීර සෞඛ්‍ය මනාව පවත්වාගෙන යාම කෙරෙහි මා වැඩි වශයෙන් අවධානය යොමු කළෙමි. බොහෝ අවස්ථාවන්වල දී හෂාන් ක්‍රිකට් ආයතනයේ කටයුතු වලට යන විට මම ද ඔහු සමඟ ගොස් ක්‍රිකට් ආයතනයට යාබදව තිබෙන SSC පිටියෙහි ඇවිදීමද , ඊට අමතරව ව්‍යායාම් කටයුතු වල දිගින් දිගටම නිරත වීම ද සිදු කළෙමි.ඊට අමතරව බැට්මින්ටන් ක්‍රීඩා කිරීම ද අප පුරුද්දක් කර ගත්තෙමු.වෛද්‍යවරයාගේ උපදෙස් අනුව ව්‍යායාම කටයුතු සියල්ලම මා නොකඩවාම සිදු කලෙමි.නිවසේ සිටින අවස්ථාවන්වලදී මා කුස සිටින දරුවා වෙනුවෙන් කුඩා ඇඳුම් මැසීම සිදු කළේ නිවුන් පුතුන් දෙදෙනා වෙනුවෙන් කළ ආකාරයටමය.ඔවුන් දෙදෙනා වෙනුවෙන් මිලදීගත් පාවිච්චි කළ කල සහ නොකල බොහෝ දේවල් ඒ වන විට සුරැකිව මා සතුව තිබුණි.නමුත් සමහර ඒවා මා තවත් දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කලෙමි.කෙසේ හෝ උප දීමට නියමිත දරුවා වෙනුවෙන් සූදානම් වීම ද , කතරගම නවාතැන වෙත යාම මෙන්ම Cricket Aid ව්‍යාපෘතියේ වැඩ කටයුතු වැඩ නිසා ද අප දෙදෙනාම තරමක් කාර්ය බහුල ජීවිතයක් ගත කළෙමු.

එම කාල වකවානුව ත්‍රස්තවාදී ක්‍රියාවන් දරුණු ලෙස පැවැති කාලය ය.සුනාමි ගම්මාන ඉදිකිරීමේ ඉදිකිරීමේ කටයුත්තක් සඳහා හෂාන්ට කිලිනොච්චිය වෙත යාමට සිදුවූයේ එවැනි කාල වකවානුවක දී ය .ඒ වන විට A9 මාර්ගය පවා වසා තිබුණේය.පෙර කලෙක සාම සාකච්ඡා සිදු කෙරෙන කාල වකවානුවේදී එම මාර්ගය විවෘත කර තිබූ අවස්ථාවක අප යාපනයේ ගිය විට ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් හානි වූ නිවෙස් ද , විනාශ වී ගිය තල් ගස් නිසා ක්ෂේම භූමියක් වී ලැබුණු පරිසරයද දැක ගැනීමට ලැබුණි.ඕමන්තේ ප්‍රදේශයේදී යාපනයට ඇතුළුවීමට පෙර අප සියලු දෙනාවම පරීක්ෂාවට ලක් කෙරුණි.ඒ අසල එල්ටීටීඊ කඳවුරු පිහිටා තිබූ අතර සිංහල මිනිසුන් කෙරෙහි ඔවුන්ගේ සිත් වල තිබූ යම් යම් දේවල් නිසා ඔවුන් අප දෙස බලන ආකාරයෙහි පවා අමුත්තක් දක්නට ලැබුණි.

කිලිනොච්චිය සුනාමි ගම්මාන පිහිටුවීම සඳහා එල්ටීටීඊය සමග සාකච්ඡා පැවැත්වීමට හෂාන්ට යාමට සිදු වූ අවස්ථාවේ දී ඔහු ඔහුගේ ජීවිතය පිළිබඳ වත් නොසිතා එහි යාමට සූදානම් වූයේ ය.එල්ටීටීඊ සංවිධානයේ අදාළ කටයුතු බාරව ඉන්නා අය විසින් ,හෂාන්ට සහ තවත් එක් අයකුට පමණක් පැමිණිය හැකි බව දන්වා තිබුණි.ව්‍යාපෘතියේ අරමුදල් වල වැඩ කටයුතු සඳහා හෂාන්ට සහයෝගය ලබාදුන් අයිවන් කෙවිටියාගල මහතා හෂාන් සමග කිලිනොච්චිය බලා යාමට සූදානම් වූයේ ඒ අනුවය.සහ එහි යාමට සූදානම් වීම පිළිබඳව මා මෙන්ම මෙන් ම දෙමවුපියන් ද බොහෝ සේ බියට පත් වුණෙමු.මහාමාර්ගවල බිම්බෝම්බ පවා සවි කර තිබෙන නිසා හෂාන් පිළිබඳව බිය වූ දෙමව්පියන් හඬා වැටුණු ආකාරය මා හට මතකය.

කිලිනොච්චියට යන අතරමගදී මහා මාර්ගයේ තිබුණු මළ සිරුරු ඇතුළු බොහෝ දේ දුටු බව හෂාන් පැවසුවේය.ඕමන්තේ ප්‍රදේශයට ගිය විට හෂාන් ව සහ අයිවන් මහතාව භාරගැනීමට පිරිසක් පැමිණ තිබූ අතර ඉන්පසු ඔවුන් දෙදෙනාව එල්ටීටීඊ කඳවුරු වෙත රැගෙන ගොස් ඉතාම හොදින් කතා බහ කර තිබුණි.එපමනක් නොව ඔවුන් ඉතා හොඳින් සලකා, හොඳ කෑම බීම වලින් සංග්‍රහ කර තිබුණි.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles