තමන්ගේ මුදල් ලබා ගැනීමට බැංකුවක් මංකොල්ල කෑ තරුණියක්

බැංකුවක් කඩපු කාන්තාවක්!

එහෙම ඇහෙද්දී ඔබට ඇතිවන හැඟීම මොන වගේ එකක්ද? කාන්තාවකට ඒ තරමට දරුණු වැඩක් කරන්න පුළුවන්ද කියන පිළිකුල සහ තරහ ඔබට ඇති වෙන්නට පුළුවන්.

ඒත් සැලී හෆීස්ගේ කතාව සම්පූර්ණයෙන් ඇහුවම එහෙම හිතන්න ඔබට බෑ. ඇයට එහෙම කරන්න හේතු වූ කතාවක් තිබුණා.

සැලී ලෙබනනයේ ජීවත් වන්නියක්.ලෙබනනය ස්වභාවික සෞන්දර්යෙන් අනූන වූ රටක්. නමුත් එහි විශාල ආර්ථික අවපාතයක් ඇති බව ලෝකයේ සෑම කෙනෙකුම දන්නා කාරණාවක්. එහි භාණ්ඩවල උද්ධමනය පැයෙන් පැයට ඉහළ යනවා. එය සාමාන්‍ය මිනිසෙකුට දරා ගත හැකි මට්ටමක පවතින්නේ නෑ. කඩයකට ගොස් උදෑසන මිලට ගත් භාණ්ඩය හවසට ලබා ගත හැකි වන්නේ ඊටවඩා කිහිප ගුණයක් ඉහළ මිලකටයි. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සෑම එකක්ම පාහේ ඉතා ඉහළ මිල දරන්නට පටන් ගෙන තිබුණා.

මේ තත්ත්වය වඩාත් දරුණු වූයේ පුද්ගලයන්ට බැංකුවලින් තමන්ගේ මුදල් නැවත ලබා ගන්නට නොහැකි වූ පසුවයි. ආර්ථිකය පහතට වැටීමත් සමග ලෙබනීස් මුදලේ අගය පහල යන්නට පටන් ගත්තා. මේ නිසා මිනිසුන් කලබලයට පත් වී තමන්ගේ මුදල් නැවත ලබා ගන්නට පටන් ගෙන තිබුණා. මේ නිසා බැංකුවල මුදල් හිස් වේ යැයි බියට බැංකු විසින් මිනිසුන්ට නැවත මුදල් ලබා දීම නවතා දමා තිබුණා. 

තමන් ජීවිත කාලයක් ඉපයූ මුදල් බැංකුවේ සිරවීම සම්බන්ධයෙන් මිනිසුන්ට තිබුණේ විශාල භීතියක්. එය දරා ගත හැකි සීමාවේ තිබුණේ නැහැ.මිනිසුන් සිය ගණනකට නොව මිලියන ගණනකට මේ පීඩාව දැනෙන්නට වුණා.

සැලී ඉන් එක් අයෙක්. ඉහළ යන උද්ධමනය සහ රටේ ආර්ථික තත්ත්වය සමඟ කෙසේ හෝ ජීවත් වන්නට උත්සාහ දැරූ ගැහැනියක්. ඇගේ වැඩිමහල් සහෝදරිය පිළිකා රෝගියෙක්. ඇගේ තත්ත්වය අසාධ්‍ය වෙමින් පැවති අතර රෝහල් බිල ගෙවීමට මුදල් වුවමනා වුණා. මුදල් ලබාදීම බැංකුව නවතා දැමුවේ මේ අවස්ථාවේදී. දැඩි ලෙස රෝගීව සිටි වැඩිමහල් සහෝදරියගේ බිල ගෙවීමට සැලීට මුදල් අවශ්‍ය වුණා.

කළහැකි අවසාන පියවර ක්‍රියාත්මක කරන්නට සැලී තීරණය කළා. ඇය සෙල්ලම් තුවක්කුවක් ගෙන බැංකුවට කඩා වැදුණා. බැංකුවේ සේවකයෙක් තම ග්‍රහණයට ගත්තා. ඉන්පසු ඩොලර් 14000ක් ලබා ගත්තා.ඇය කාගේවත් මුදල් සොරකම් කළේ නැහැ ඒ මුදල් ඇයගේ ගිණුමෙන් ලබාගත් ඒවා වුණා.

මම සැලී හෆීස්. මම බැංකුවට ආවේ මගේ සල්ලි ගන්න. ඒ ඉස්පිරිතාලෙ මියැදෙමින් ඉන්න මගෙ අක්කා වෙනුවෙන්

සැලී එසේ ප්‍රකාශ කරන වීඩියෝවක් ද වෙනවා.

මේ ක්‍රියාව සිදු කළෙත් සැලී පමණක් නොවේ. ලෙබනනයේ බොහෝ මිනිසුන් තමන්ගේ ම මුදල් ලබා ගන්නට බැංකුවට කඩා වැදුණු අවස්ථාවන් තිබෙනවා.

සැලීව සිරගත කිරීමක් සිදු වුණේ නැහැ. නමුත් දැන් ඇයට බැංකුව වෙත එන්නට ඉඩක් නැහැ. ඇයගේ මුදල් තවමත් බැංකුවේ තිබුණත් ඒවා ලබා ගන්නට ඉඩ බැංකුවෙන් ලබා දෙන්නේ නැහැ. ඇය බැංකුව ළඟින් ගියත් ඔවුන් ඇයට බියක් දක්වන බවයි සැලී පවසන්නේ.

සැලී සෙරක් වන්නේ නැහැ.ඇය තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ ගැහැනියක් පමණයි. තමන්ගේ මූලික අයිතිවාසිකම්වත් ලබානොදෙන රටක නීතිගරුකව ජීවත් වීම අසීරු බව සැලී හෆීස් සිහිපත් කරනවා. ඇය වීර්යවන්ත ගැහැනියක ලෙස ඉතිහාසගත වන්නේ ඒ නිසා.

කරන්නටම දෙයක් නැති මොහොතක කළ හැකි අවසන් පියවර ක්‍රියාත්මක කරන්නට ගැහැනුන් පසුබට නොවන බව සැලී ලෝකයට සිහිපත් කරනවා.

මූලාශ්‍ර : Nas Daily ෆේස්බුක් පිටුව

Related Articles

Don't Miss


Latest Articles