දෙමාපියන්ගේ බල කිරීමට දික්කසාදයකට සැරසුණු අලුත් මනමාලි

(නීතිඥ මේකලා දහනායක මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් සකසා ඇත.වෘත්තිය ආචාරධර්ම වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ.)

නර්මදා සහ ලහිරු මුණ ගැහෙන්නේ රැකියාව කරන කාලයේදී. බොහොම ලස්සන රූපයක් තිබූ නර්මදාට ලහිරුගේ ආදර යෝජනාව ප්‍රතික්ෂේප කරන්නට හැකියාවක් තිබුණේ නෑ. ඇය මාස කිහිපයක් කල් අරිමින් හිඳ ඔහුගේ ආදරය බාර ගන්නේ ඒ නිසා.ඒ ආදරය ඉතා සුන්දරව ගලා යන්නට පටන් ගත්තා. ඔවුන් දෙදෙනා ඉතා ගැළපෙන යුවළක් බව හැම කෙනෙකුටම පෙනුණු කාරණාවක්. ලහිරු නර්මදා කෙරෙහි දක්වන ආදරයත් නර්මදා ඔහු කෙරෙහි දක්වන සැලකිල්ලත් සැබෑවටම ඉතාම සුන්දර දෙයක්.

“ඔයාලා දෙන්නට මාර කෙමෙස්ට්‍රියක් තියෙන්නේ.මාර ගැළපෙන ජෝඩුවක් කියලා එකපාරක් දකින අයට පවා තේරෙනවා.”

මිතුරන් එවැනි කතා පැවසුවේ ඔවුන් එතරමටම ගැළපෙන නිසා. ඔවුන් ඉතා ආදරයෙන් ජීවත් වුණා.වසර කිහිපයක් ආදරය කිරීමෙන් පසු ඔවුන් සම්බන්ධය ගැන නිවෙස්වලට දන්වන්නට තීරණය කළා.විවාහ වන්නට කාලය එළඹෙද්දී නර්මදාගේ නිවසින් ලහිරුට එතරමට මනාපයක් පළ වුණේ නෑ. ඇත්තටම සුළු කුල අඩුපාඩුවක් මහා ලොකු දෙයක් කරන්නට නර්මදාගේ අම්මාටත් තාත්තාටත් ඕනෑ වුණා. ඒ හැරෙන්නට ලහිරුගේ වෙනත් කිසිම අඩුවක් වූයේ නෑ. නමුත් කුලය මහා දෙයක් කරගනිමින් ඔවුන් නර්මදාට දොස් නැඟුවා.

“ඔය පහත් කුලවල උන්ගෙ ගති කවදම හරි මතු වෙනව.”

අම්මා ඒ කතා පැවසුවාට නර්මදා ඒ ගැන වැඩිය හිතන්නට උත්සාහ කළේ නෑ. ඔවුන් සරල මංගල උත්සවයක් රැගෙන විවාහ වුණා. විවාහයෙන් පසු රැකියා ස්ථානයට වඩාත් ළඟ නර්මදාගේ නිවස නිසාත් නර්මදාගේ අයියා බිරිඳ සහ දරුවා රැගෙන විදේශගත වීම නිසා ඇයට මහ ගෙදර රැඳී සිටින්නට සිදු වුණා.

නමුත් ලහිරුට නර්මදාගේ නිවසේ රැඳී සිටීම කිසිම අයුරකින් ලේසි වුණේ නෑ. ඔහු නිරන්තරයෙන්ම නර්මදාගේ දෙමාපියන්ගේ අපහාස කිරීම් වලට සහ නොසලකා හැරීම් වලට ලක් වුණා. නර්මදාගේ අම්මා නර්මදාට ඔහු ගැන කේලම් කියන්නටත් පෙළඹෙන්නේ ඔය කාලයේදී.සමහර කතා නර්මදාට විශ්වාස කරන්නට සිදු වුණා. රන්රස ලෙස ගැළපුණු යුවළ අතර ගැටුම් ඇති වෙන්නට පටන් ගත්තා.

“මට මෙහෙ ඉන්න බෑ.මහ පුදුම මානසික පීඩාවක් ඔයාගේ අම්මලා මට දෙන්නේ. මං යනවා යන්න.”

ලහිරු එසේ කියමින් යන්නට ගියා.විවාහයෙන් මාස පහකට පමණ පසු නර්මදා අප වෙත එන්නේ දික්කසාදයකට යොමු වෙන්නටයි. මේ වෙද්දී ලහිරු නිවස හැර ගොස් අවසන්. කළ යුත්තේ දික්කසාද වීම බව නර්මදාට දෙමාපියන් උපදෙස් දී තිබුණා.

සාමාන්‍යයෙන් දික්කසාදයකට එන අනිත් කාන්තාවන්ට වඩා වෙනසක් අපිට නර්මදාගෙන් පෙනෙන්නට තිබුණා. ඇය ලහිරුගේ දොසක් කියන්නට කැමති නෑ. ආවේගයෙන් කතා කරන වෙනත් සේවාදායිකාවන් අතර නර්මදා කරේ දිගටම හැඬීම පමණයි.

“ඔයා ලහිරුට තාම ආදරෙයිද?”

අපි එහෙම ඇහුවේ ඒ නිසා. නර්මදා ඒ ප්‍රශ්නයටත් හඬන්නට පටන් ගත්තා.

ඔවුන් දෙන්නාගෙන් කිසිම කෙනෙක්ට වෙනත් සම්බන්ධතාවයක්වත් මේ වෙද්දී ඇති වී නෑ. ඇය ඔහුට ආදරේ කරන තරමටම ඔහු ඇයට ආදරය කරන බව අපිට පැහැදිලි වුණා. 

“ලහිරුගේ හැසිරීම් ගැන, එයාව සැක කරන්න පුලුවන් දේවල් ගැන අම්මලා කියනකොට මගෙ හිත සෑහෙන්න කැඩුණා.”

නර්මදා එහෙම කියනවා. නමුත් ඔවුන් තවමත් උදෑසන Good morning කෙටි පණිවිඩය හුවමාරු කරගන්නවා. උපන්දිනයට කාටත් කලින් සුබ පතනවා. තවමත් ෆේස්බුක්, වට්ස් ඇප් ප්‍රොෆයිල් පික්චර්ස් පවා දෙදෙනා එක්ව ගත් ඡායාරූප දෙදෙනාගේම ගිණුම්වල තිබෙනවා. පරණ මතක සිහි කරමින් දුක් වෙනවා.

“අපි වෙන් වුණේ ගෙවල්වල බල කිරීමට. දැන් කරන්න දෙයක් නෑ. අපි දික්කසාද වෙන්නම්.”

නර්මදා එහෙම කියන්නේ ද හඬමින්. ඇත්තටම ඇයට උවමනා දික්කසාද වෙන්නට නොවන බව ඒ නිසා අපිට වැටහුණා. එවිට කළ යුතු වන්නේ නඩු පැවරීම නොවෙයි.දික්කසාද වෙන්නට පැහැදිලි හේතුවක් තිබිය යුතුයි. ගෙදර මිනිස්සුන්ට සහකරු අප්‍රසන්න වීම එය කරන්නට හේතුවක් වන්නේ නැහැ.අනිත් අතට කුලය සහ අම්මා සිතූ තරම් ධනවත් නොවීම හැරෙන්නට ලහිරුගේ කිසිම වරදක් ද තිබුණේ නෑ.දික්කසාදය වෙනුවට පවුල් උපදේශනය තෝරා ගන්නට අපි ඔවුන්ට යෝජනා කළා. ද්වේෂ සහගත හැරයෑම්, අනාචාරය, ලිංගික බෙලහීනතා කිසිවක්ම නැති සුන්දර විවාහයක් දෙමාපියන් නිසා අවසන් කරන්නට සිදු වීම අපරාදයක් බව අපේ හැඟීම වුණා.

“ලොකුවට ගෙවල් දොරවල් තියන නිසා ගෙවල් හදන්න ඕන නෑ කිව්වට නර්මදාගේ ගෙදරනම් ආයේ ඉන්න බෑ.”

අපේ කැඳවීමට පැමිණි ලහිරුට තිබුණේ එවැනි අදහසක්. එය පිළි ගන්නට අවශ්‍ය අදහසක්. ඔහු පීඩාවට ලක් වෙමින් එතැන රැඳිය යුතු නැහැ.

“නර්මදා, පවුල් උපදේශනයට යන්න. ඊටපස්සේ වෙනම පුංචි ගෙයක් අරගෙන ඔයාලගේ ජීවිතේ පටන් ගන්න.”

අපි ඇයට යෝජනා කළා.නර්මදා එය ඉස්මුදුනෙන් පිළිගත්තා. ඒ නිසාම ඔවුන්ගේ විවාහය උසාවියෙන් කෙළවර වුණේ නැහැ.

කාන්තාවක් විවාහය තුළ රැවටීමට ලක් වෙනවානම්, සැමියාගේ හිංසනයට ලක් වෙනවානම්, සැමියා ඇය අත් හැර ඇත්නම්, ඔහුට වෙනත් සබඳතා ඇත්නම්  දුක් විඳිමින් විවාහය තුළ රැඳී සිටිය යුතු වන්නේ නැහැ. හිංසා සහගත විවාහයක් සඳහා හොඳම විසඳුම වන්නේ දික්කසාදයයි. නමුත් වැඩිහිටියන්ගෙන් පරණ හණමිටි මතවලට සහ ඔවුන්ට ඔබෙන් සපුරාගත යුතු ඉලක්ක වලට ඔබේ විවාහය පාවා දෙන්නට කිසිම විටෙක සූදානම් වන්නට එපා. ආදරය සැමවිටම හමු නොවන අතර ඔබේ ආදරය අවංක එකක් බව ඔබට හැඟෙනවානම් ජීවිතය එක්ව ගෙවන්නට එය ප්‍රමාණවත්. අනෙක් කාරණාව දෙමාපිය බලපෑම මත දික්කසාද වන බොහෝ යුවළවල් එයට යොමු වන්නට හේතුව වන්නේ දෙමාපියන් සමග එක්ව වාසය කිරීමයි. ඒ නිසා විවාහයෙන් පසුව කුඩා නිවහනක හෝ වෙනම ජීවත් වන්නට හැකි තාක් උත්සහ කරන්න. එය ඔබේ විවාහය රැක දෙන්නට හේතුවක් වෙනවාට සහතිකයි.

අසාධාරණ හේතු මත කිසිම වෙලාවක දික්කසාදයක් ලබා ගන්නට එපා! සමහර ගැටළු අසා හිඳීමෙන් පසු ඔවුන් උසාවියට නොව මනෝ උපදේශනයට යොමු කිරීමට අප ප්‍රවේසම් වෙන්නේ ඒ නිසාමයි.

Related Articles

Don't Miss


Latest Articles