මතක දිගහැරුම 115 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය පහලොස්වන දිගහැරුම ,

අප මව් කුස සිට මෙළොව එළිය දකින විටම අපගේ ජීවිතයේ සියළු දේම තීරණය වී ඇති බව මා දැඩි ලෙස විශ්වාස කරමි.මේ සංසාරය පුරාවටම අප ඉපදී ඇති විවිධ ආත්මවල , විවිධ චරිත හා භූමිකා නිරූපණය කර ඇත්තෙමු.චක්‍රයක් වැනි මෙම සසරේ අප සෑම කල්හිම සැරිසරමින් සිටින අතර මේ ආත්මයේදී අපට මුණ ගැහෙන්නේ පෙර ආත්ම වල දී අප සමග කුමක් හෝ සම්බන්ධතාවයක් පැවැත්වූ අයවය. ඔවුන් සමග පෙර ආත්මවලදී අප අවසන් නොකළ ගනුදෙනු ද තිබෙන්නට පුළුවන .ඒ හේතුව නිසා මේ ආත්මයේදීත් අපට ඔවුන් මුණ ගැසේ .

මගේ ජීවිතය ගත් කල බොහෝ දේවල් මා හඹා ගෙන ගොස් ලබා ගත් ඒවා නොවේ.යම් බලවේගයකින් හෝ විශ්ව ශක්තිය මගින් නිරායාසයෙන්ම ඒවා වෙත මාර්ගය පෙන්නුම් කරමින් මා ඒ වෙත කැටුව ගොස් ඇත.කුඩා කාලයේ සිටම මගේ ජීවිතයේ විවිධ අවස්ථාවන් මා සැලසුම් කර ලබාගත් ඒවා නොවන අතර කුමක් හෝ ආකාරයකින් ඒවා වෙත යාම සඳහා මා හට මංපෙත් විවර විය.එවැනි අවස්ථාවන් නිතරම පාහේ අපගේ ජීවිත වලට පැමිණෙන්නේ නැත.ඒවා පැමිණිවිට ඒවා හඳුනාගෙන අපගේ ජීවිතයට ඒවා ගැලපෙනවාද නැද්ද යන්න තීරණය කර ඒ අනුව අප කටයුතු කළ යුතුය.අපව නොමග යැවිය හැකි වැරදි අවස්ථාද අපගේ ජීවිතයට පැමිණිය හැකිය.අප කුමක් හෝ අකුසලයක් කර ඇත්නම් එවැනි වැරදි අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට අපට සිතුවිලි ඇති වීමට ඉඩ තිබේ.කෙසේ නමුත් අප මේ ආත්මයේ දී ඉපදීමෙන් පසුව ගත කරන්නේ අප උපත ලැබීමට පෙර සිට ම ලියැවී තිබුණු ආකාරයට ය.

ජීවිතයේ අපට විවිධාකාර මිනිසුන් මුණගැසෙන්නේ ද පෙර සිට පැවත එන ගණුදෙනු වලට අනුවය.ඉතා හොඳ වේශයෙන් අපගේ ජීවිත වලට පැමිණෙන සමහර අය අපේ ජීවිතයේ පිටව යන්නේ අපට විශාල ගැටලු ,සිත් රිදීම් සහ කලකිරීම් ඉතිරි කර දීමෙන් පසුවය.පෙර සසරේ ගනුදෙනු අවසන් නොකළ එවැනි අය ගනුදෙනු අවසන් කර යන්නට පැමිණෙන්නේ ඒ ආකාරයටය.එවැනි බැඳීම් සැමියා හෝ බිරිඳ ලෙසද ,දෙමව්පියන් සහ සහෝදර සහෝදරියන් , මිතුරන් ලෙස ද පැමිණිය හැකිය.

ඒ ආකාරයටම අපගේ ජීවිතයට යහපත උදාකරන යහපත් මිනිසුන් ද මුණගැසේ.මගේ ජීවිතය ගත්කල මා හට එවැනි අය හමුවී ඇත.ඉතා අහම්බෙන් මුණ ගැසෙන සමහර අයව මීට පෙර දී මුණ ගැසී ඇති බවත්, ඉතා හුරුපුරුදු බවත් සහ ඉතා ලෙන්ගතු බවක් දැනෙන්නේ සැබැවින්ම පෙර ආත්මයකදී අප සමග සම්බන්ධතාවයක් තිබූ අයවය.මා හට බොහෝ මිතුරු මිතුරියන් ඇති අතර ඒ අතුරින් පෙර සසරේ සිටම මා හා සම්බන්ධතා පවත්වා ඇති බව දැනෙන අයද ඇත.ඒ වගේම මා විශ්වාස කරන ආකාරයට මාගේ දෙමාපියන් සහ නංගි,මගේ සැමියා සහ පුතුන් ද පෙර සසරේ සිට ම මා පතාගෙන පැමිණි , මා සමග සම්බන්ධතා පැවැත්වූ අය බව මට දැනේ.

මගේ හොඳම මිතුරිය වන නිරෝෂා වික්‍රමසිංහ පිළිබඳවද මා කිව යුතුමය.ඇය පැවසූ ආකාරයට රූපවාහිනී වැඩසටහන් වල දී, පුවත්පත් වලින් සහ විවිධ ආකාර වලින් මා දැක ඇති ඇය මා හට බොහෝ සේ ආදරය කිරීමට පටන්ගෙන ඇත. ඇය මාගේ ඇඳුම් විලාසිතා වලට සහ කොන්ඩ විලාසිතාව ට පවා බොහෝ සේ කැමති වී ඇති අතර ඇය ද ඒවා අනුගමනය කරයි. ඇත්ත වශයෙන්ම මට වඩා තරමක් උසින් අඩු වුවත් ඇය මගේ පෙනුමට සමාන ය.එම නිසා වර්තමානයේ දී අප දෙදෙනාව දකින බොහෝ දෙනා හිතන්නේ ඇය මගේම සහෝදරිය කියාය.

කලකට ඉහතදී අපට හිතවත් සුමාල් පෙරේරා අයියාගේ බිරිඳගේ පුණ්‍ය කටයුත්තක් වෙනුවෙන් අපට ආරාධනා ලැබුණි.එයට නිරෝෂාට ආරාධනා කර තිබුනේ අප හමුදාපතිතුමන් ගේ බිරිඳ වන සුජීවා නෙල්සන් ය.මා සුජීවා හඳුනාගන්නේ හෂාන් දේශපාලන කටයුතු වල නියැලෙන කාලයේ සිටය.දිනක් සුජීවා මා ඇමතුවාය

” අප්සාරි අපි fashion show එකක් කරනවා.අස්ලම් තමයි ඇඳුම් සප්ලයි කරන්නේ.එයාගේ සාරි.ඔයා කැමතිද සම්බන්ධ වෙන්න ? “

මගේ මතකයේ හැටියට එය පිළිකා රෝගීන්ට උපකාර කිරීම වෙනුවෙන් පැවැත්වෙන විලාසිතා දැක්මක් ය .එම නිසා මා ඉතාම කැමැත්තෙන් එයට ඉදිරිපත් වූයෙමි.සුජීවා ඇගේ හිතවතියක වන නිරෝශා හටද ආරාධනාව කර තිබුණු අතර ” අප්සාරිත් එනවා ” යනුවෙන් ද ඇයට පවසා තිබුණි.ඒ වන විට සැබැවින්ම අප හමු නොවී තිබුණු නිසා මා දැක ගැනීමට ඇති ආසාවට නිරෝෂා සුජීවාගේ ආරාධනය පිළිගෙන තිබුණි.කෙසේ හෝ එම charity show එකට පෙර , ඒ සඳහා වූ පෙර පුහුණුවීමක් පැවැත්වුණි.එදින ,නිරෝෂා මා අසලට පැමිණ මා සමඟ කතාබස් කළා ය.ඉතින් එම කතාබහට පසුව ඇය මා හට හුරු පුරුදු ගතියක් සහ කුළුපග ගතියක් දැනුනි.ඇය නිහතමානීව මා සමග කතා කළ ආකාරය පිළිබඳව ඇය පිළිබඳව විශාල පැහැදීමක් ද මා තුළ ඇති විය.අදාල Charity show එක පැවැත්වුනේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේය.එදින ද මට නිරෝෂා ව මුණ ගැසුණි.

” මම ඔයාටත් එක්ක මේකප් බඩු ගෙනාවා.ඔයා මගේ ඒවා පාවිච්චි කරන්න “

ඇය පැවසුවේ ඉතාම ආදරයෙන් ය.එම වැඩසටහන අතරතුර අප දෙදෙනා කාලය ගත කළේ ද එකටමය.එසේ ඇතිවූ හිතවත්කම අනුව පසු දිනක දී ඇය අපේ නිවසට ද පැමිණියාය.ඒ ආකාරයට ක්‍රම ක්‍රමයෙන් සමීප මිතුරන් බවට පත් වූ අප දෙදෙනා එකම මවකගේ කුසින් නොපැමිණියද ,එකම මවකගේ කුසින් පැමිණි සහෝදරියන් ලෙස මේ වනවිට බැඳී සිටින්නෙමු.මා විශ්වාස කරන ආකාරයට පෙර ආත්මයක දී ද මා හා ඇසුරු කළ ඇය මේ ආත්මයේ දී ද කෙසේ හෝ දෛවෝපගත ලෙස මට හමු වන්නට ඇත.නිරෝශාගේ මව සහ පුතුන් දෙදෙනාද මා හට බෙහෙවින් ම ආදරේ කරන අතර ඇගේ පවුලේ අයව මට දැනෙන්නේ මගේ පවුලේ අය ලෙසය .ඇයත් මගේ පවුලේ අයට සලකන්නේ පවුලේ අය ලෙසටය.

විශේෂයෙන්ම නිරෝෂා යනු මගේ ජීවිතයේ සැපතේ දී වඩා මා දුකට පත්ව සිටි අවස්ථාවලදී , ජීවිතය කඩා වැටීම් සිදු වූ අවස්ථාවලදී මා හට ශක්තියක් වූ තැනැත්තියකි.මා අසනීප වූ අවස්ථාවලදී ද ඇය මා වෙනුවෙන් කරදර වන්නීය.නිරන්තරයෙන් මා පිළිබඳව සොයා බලන ඇය මට අවශ්‍ය බෙහෙත් පවා නිවසටම එවූ අවස්ථා ඇත.අප දෙදෙනාම එකිනෙකාට අවශ්‍ය අවස්ථාවන්වලදී එකිනෙකාට ශක්තියක් වන්නෙමු.

මා හට මිතුරු මිතුරියන් බොහෝමයක් සිටින බව මම පෙරදී පැවසුවෙමි.විවිධ තරාතිරම්වල මිනිසුන් මා ආශ්‍රය කරන අතර ඔවුන් දුප්පත්ද ,පොහොසත් ද යන වග මා සලකන්නෙ නැත.ඒ සියලු දෙනාගේම ආදරය මා හට නොමදව හිමිවන්නේ පන්ති භේද නොසලකමින් සියලු දෙනාටම මා එක හා සමානව සලකන නිසා බව මා විශ්වාස කරමි.අප දුක හා සැප යන දෙක ම විඳ ඇති නිසා මධ්‍යස්ථව ජීවත් වන්නේ කෙසේ දැයි මා හොඳින්ම දනිමි.බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට මධ්‍යම ප්‍රතිපදාවට අනුව ජීවත් වන විට ගැටළු ඇති වීමේ ප්‍රවනතාවය අඩුය.

මා හට විශාල මිතුරු මිතුරියන් ප්‍රමාණයක් සිටින නිසා මා කිසිම දිනයක කෙනෙකුගේ අඩුපාඩු සහ වැරදි තවත් කෙනෙකු සමග පවසන්නේ නැත.කෙනෙකුගේ වරදක් දුටු විට එකහෙලාම ඔවුනට පෙන්වා දීම සැබෑ මිතුරෙකු ගේ ගති ලක්ෂණයක් ලෙස මා දකිමි.එසේ කරනවා මිසක කෙනකුගේ වැරදි හෝ තවත් අය සමග පැවසීම සැබෑ මිතුරෙකු විසින් සිදු කරන්නේ නැත.එම නිසා මා හට ළෙන්ගතු සහ ඉතාම හිතවත් මිතුරෙකු ගේ ඔවුන්ගේ දරුවෙකුගේ හෝ වැරදි අඩුපාඩු දුටුවිට මා ඉඟියකින් හෝ ඒ බව පෙන්වා දෙමි.ඇතැම් අවස්ථාවල දී ඒ පිළිබඳව මගේ මිතුරු මිතුරියන් මා හට ස්තුතිවන්ත වූ අවස්ථාද ඇත.

මා සෑම විටම මගේ මිතුරන් වෙනුවෙන් පෙනී සිටින අතර මා සිතන ආකාරයට කල්‍යාණ මිත්‍රත්වය යනු එයයි.කවුරුන් හෝ මගේ මිතුරෙකුව මා ඉදිරිපිට විවේචනය කරනවා නම් එම මිතුරා වැරදි හෝ නිවැරදි වුවත් මා ඔහු හෝ ඇය වෙනුවෙන් පෙනී සිටින්නෙමි.ඒ මොහොතේදී අන් අය ඉදිරියේ ඔහු හෝ ඇය වෙනුවෙන් පෙනී සිට ඇත්ත වශයෙන් ම අදාළ මිතුරාගේ වරදක් ඇත්නම් ඔවුන්ට එය පෙන්වා දීම අපට සිදු කළ හැකිය .එවැනි සිදුවීම් ඕනෑතරම් මගේ ජීවිතයේ සිදුවී තිබේ.තමන්ගේ මිතුරෙකු නොමැති තැන අන් අය සමග එකතු වී ඔවුන්ව විවේචනය කරනවාට වඩා , තමන්ගේ මිතුරා නොමැති තැන දී වුවත් ඔහුගේ හෝ ඇයගේ ගෞරවය ආරක්ෂා කිරීමට හැකි නම් එය කල්‍යාණ මිත්‍රත්වයේ ලක්ෂණයක් බව මා සිතමි.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles