එළවළු වෙළඳාමෙන් ඉපයූ මුදලින් දුප්පතුන්ට නොමිලේ බෙහෙත් දෙන රෝහලක් ඉදිකළ ඇය

ලෝකයට යහපත සිදු කරන ලෝකය වෙනුවෙන් කැපවෙන කාන්තාවන්ට SmartLady අපේ ආචාරය සහ ගෞරවය කවදත් හිමි වෙන බව නොකියාම බැහැ. පද්ම ශ්‍රී සම්මානයෙන් පවා පිදුම් ලැබූ ඉන්දීය දිරිය ගැහැනියක වූ සුභාසිනි මිස්ත්‍රි සතු මනුෂ්‍යත්වයේ කතාව ඔබට කියන්නට අපි හිතුවේ ඒ නිසා.

සුභාසිනි මිස්ත්‍රිගේ දුක්බර අතීතය.

සුභාසිනි මිස්ත්‍රි 1943 වසරේදී දිළිඳු ඉන්දීය පවුලක උපන් ගැහැනියක්.ඇය විවාහ වෙන්නේ අවුරුදු දොළහේ දී.ඉන්දීය සමාජයේ ළමා විවාහ කොහොමටත් වෙනම කතා කළ යුතු තරමේ අඳුරු මාතෘකාවක්.සුභාසිනි මිස්ත්‍රිට විවාහයෙන් දොළොස් වසරකට පසු සැමියා අහිමි වෙනවා.1971 වසරේ ඇගේ සැමියා වූ චන්ද්‍රා මිය යන්නේ මුදල් නැතිකම නිසා.ටොලිගුන්ජ් හි දිස්ත්‍රික් රෝහලට ගෙන ගිය චන්ද්‍රාට වෛද්‍යවරුන් සහ හෙදියන් අවධානය යොමු කිරීම ප්‍රතික්ෂේප කරන්නේ සතයක් හෝ අත නොතිබීම නිසා.මේ රජයේ රෝහලේ දුප්පතුන්ට නොමිලේ සේවය ලබා දීම අනිවාර්යය කර තිබුණත් එය ක්‍රියාත්මක වී නැහැ.මුදල් හෝ සම්බන්ධතා සේවය ලබා ගැනීමට අත්‍යවශ්‍ය දෙයක් වී තිබුණා.
සැමියා මිය යද්දී සුභාසිනි වයස අවුරුදු විසි හතරක තරුණ ගැහැනියක්.දරුවන් හතර දෙනෙකුගේ අම්මා කෙනෙක්.ඇය ජීවත් වීම වෙනුවෙන් ගෘහ සේවය තෝරා ගන්නවා.නිවාස පහක ගෘහ සේවිකාව වන ඇය මාසයකට උපයන්නේ රුපියල් සියයක පමණ මුදලක්.දරුවන් හතර දෙනෙකු රැක බලා ගත නොහැකි නිසා ඇය වැඩිමහල් පුතු ළමා නිවාසයකට යවන්නට පියවර ගෙන තිබෙනවා.

“මට කිසිම ඉගෙනීමක් තිබුණේ නැහැ.අඩුම තරමේ වෙලාව කියන්නවත් මට බැහැ.ඒ නිසා මට කරන්නට තිබූ එකම රැකියාව ආයා කෙනෙකු වීම පමණයි” ඇය NDTV සමඟ රූපවාහිනි සාකච්ඡාවකට එක්වෙමින් එසේ පවසා තිබුණා.

ධෛර්යය උපයා ගත් සුභාසිනි මිස්ත්‍රි

ඉතිරි දරු තිදෙනා සමඟ ධාපා නගරයට සංක්‍රමණය වන සුභාසිනි මිස්ත්‍රි එළවළු විකිණීමට පටන් ගත්තා.සුභාසිනි සැමියා මිය ගිය දිනයේ ඇයටම යම් පොරොන්දුවක් වී තිබෙනවා.ඒ ඇගේ ඉරණම කිසිවෙකුටත් හිමි නොවිය යුතු බවයි.ඒ නිසා ඇය කල් තියාම ඇගේ එක් පුතෙකු වෛද්‍යවරයෙක් විය යුතු බවත් දිනයක දුප්පතුන් උදෙසා රෝහලක් තැනිය යුතු බවත් අදිටන් කර ගත් බව පැවසෙනවා.මාසයකට රුපියල් පන්සියයක පමණ මුදලක් එළවළු විකිණීමෙන් උපයා ගන්නා අතර සුභාසිනි මිස්ත්‍රි හැකි සෑම විටකම ඇගේ ඉතිරි කිරීමේ ගිණුමේ සුළු මුදලක් තැන්පත් කිරීමට තීරණය කර තිබෙනවා.

වසර විස්සකටත් වඩා ඒ අදිටන ඇතිව මුදල් එකතු කරන සුභාසිනි මිස්ත්‍රි 1992 දී Hanspukur ගම්මානයෙන් අක්කරයක ඉඩමක් මිලට ගන්නවා.දුප්පතුන් උදෙසා රෝහලක් ඉදි කරන බවට ඇය ඇගේ සැලසුම ගම්මුන්ට පවසනවා.ඒ සඳහා කැමති අයට දායක විය හැකි බව පැවසූ විට ගම්මුන්ද හැකි අයුරින් එයට දායක වී තිබෙනවා.විශාල මුදල් ප්‍රමාණයක් ලබා දෙන්නට දුප්පතුන් වූ ඒ ගම්මුන්ටත් හැකියාව නැහැ.ඔවුන් බෙහෙත් ශාලාවක් ලෙස පිදුරු මඩුවක් ඉදි කරන්නට හැකි උපරිම සහයෝගය ලබා දී තිබුණා.ඉන්පසු ශබ්ද විකාශන යන්ත්‍රයක් සහිතව රික්ෂෝ රථයකින් නොමිලේ ප්‍රතිකාර ලබා දෙන ලෙස වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීම් කරන්නට ඔවුන් පටන් ගත්තා.ගම්වාසීන්ගේ අතිරික්ත ඖෂධ රෝහලට පරිත්‍යාග කරන මෙන් ඉල්ලා සිටියා.

සුභාසිනි මිස්ත්‍රි ඉටු කරගත් සිහිනය.

වෛද්‍ය රඝුපති චැටර්ලි නම් වෛද්‍යවරයා මුල්ම ස්වේච්ඡා වෛද්‍යවරයා වුණා. සාමාන්‍ය වෛද්‍යවරයෙක්,ළමා රෝග වෛද්‍යවරයෙක්,ව්කලාංග වෛද්‍යවරයෙක් අක්ෂි වෛද්‍යවරයෙක් ආදී වශයෙන් රෝහලට ස්වේච්ඡා සේවාවන් ලැබෙන්නට පටන් ගත්තා. එය ඉතා අවම පහසුකම් තිබූ තැනක්.එහෙත් කිසිවෙකුත් උත්සාහය අත් හරින්නේ නෑ.ඒ නිසාම 1993 දී Humanity රෝහල මුදල් ලබා නොගෙන දෙසිය පනස් දෙනෙකුට පමණ ප්‍රතිකාර කිරීම ආරම්භ කරනවා. මෙහි මුල්ගල් තැබීම කිසිම පුවත්පත් වාර්තාකරුවෙකු හෝ සහභාගී නොවූ උත්සවයක්.නමුත් ප්‍රාදේශීය මන්ත්‍රී සහය ඇතුව රෝහල විවෘත කිරීමට බටහිර බෙංගාල ආණ්ඩුකාරවරයා ගෙන්වා ගන්නට සුභාසිනි ක්‍රියා කරනවා.එය මාධ්‍යයේ ඇස හරවන සිදුවීමක් වන්නේ ඉන්පසුවයි.

සුභාසිනි මිස්ත්‍රිගේ තව සිහිනයක් ඉටු කරගනිමින් කොල්කටා වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වූ ඇගේ පුතු වෛද්‍යවරයෙක් වී රෝහල පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කරනවා.ඔවුන් Pathar Prathima වල තවත් රෝහල් ඒකකයක් ද පිහිටුවනවා.නාරිවේදය,හෘද රෝග,ENT,මුත්‍රා රෝග,පිළිකා සහ දියවැඩියාවට එහි ප්‍රතිකාර කරනවා.

මෙය දුප්පතුන් උදෙසා වන රෝහලක්.ව්‍යාපාරයක් නොවේ.පරිත්‍යාග මත සදාකල් පවතින්නට නොහැකි නිසා දරිද්‍රතා රේඛාවට ඉහළින් ඉන්නා අය මෙයින් ප්‍රතිකාර ලබා ගනිද්දී රුපියල් දහයක මුදලක් ගෙවීම අනිවාර්යය වනවා.

“තවම මගේ කාර්යය අවසන් වී නැහැ.රෝහල් දෙකම විශාල කාර්යය මණ්ඩලයක් සමඟ තවත් වර්ධනය විය යුතුයි.පැය විසි හතරම සේවය ලබා දිය යුතුයි” ඇය ඒ සඳහා රජයේ ආධාර ද බලාපොරොත්තු වෙමින් එසේ පවසනවා.

ජීවිතයේ අඳුරු කාලයක දෙවියන් ඇයට දර්ශනයක් ලබා දුන් බවයි ඇය පවසන්නේ.ඇය බොහෝ කාලයක් එළවළු විකිණීම ම කළ අතර ඇගේ වැඩිමහල් දරුවන් ද ඒ ව්‍යාපාරය සිදු කරනවා.වෛද්‍ය පුතු සුභාසිනිට විවේක ගැනීමේ වටිනාකම පහදා දී ඇයව එළවළු විකිණීමේ රැකියාවෙන් ඉවත් කරගෙන ඇත්තේ බලහත්කාරයෙන්.

සුභාසිනි මිස්ත්‍රා නිහඬ වීරවරියක්.ඇගේ ඉරණම තව කෙනෙකුට නොලැබීම පිණිස සටන් කළ ගැහැනියක්.ඉන්දීය රජය ඇයට පද්ම ශ්‍රී සම්මානය ද පිරිනමන්නට තීරණය කළේ එනිසාමයි.

තමන් ජීවිතය තුළ විඳින ලද ගැහැට අනිත් අය විඳීම වළක්වන්නට නිහඬ සටන්වල නියුතු ගැහැනු ලෝකයේ ඕනෑ තරම් හිඳිනවා.එවැනි නිහඬ වීරවරියන්ට SmartLady අපේ උපහාරය!

Related Articles

Don't Miss



Latest Articles

ශරදාකාසේ -33

පංචලී පුතෙකු බිහි කළා ය. පෞද්ගලික රෝහලක සුව පහසු ලෙස ඒ අත්දැකීම විඳ ගන්නට ශාරද ඇය ට අවස්ථාව උදා කර දී තිබුණේ...

කුඩුකේඩුකම්

"අම්මේ,මම දැක්කනෙ දෙව්මි පිරිමි ළමයෙක් එක්ක බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා." චතුරි ගෙට ගොඩ වුණේ එහෙම කියාගෙන.විශ්ව විද්‍යාලයේ ඉඳලා කාලෙකට...

වැටකොළු පොතු අපතේ නොදා සැකසිය හැකි ආහාර

මේ බොහොම අසීරු කාල පරිච්ඡේදයක්.ගෘහණියන් හැටියට අපිට කිසිවක්ම අපතේ යවන්නට මේ කාලයේ බැහැ.එළවළු පිරිමසාගෙන ඉවුම් පිහුම් කරන්න අපි හුරු වෙන්න ඕනෑ.ඒ නිසාම...

හිමගිරි අරණ -18

"මම හිතුණොත් පාරමීට කියනවා මං ගැන බලාපොරොත්තු තියා ගන්න එපා කියලා." රවිඳුගේ ඒ වචන හිමාෂා තිගැස්මට ලක් කරන්නට සමත්...

(අ)හිමි සිහින -122

දින කිහිපයක්ම ඔබට අහිමි සිහින ගෙන එන්නට නොහැකි වීම ගැන මුලින්ම අපි ඔබෙන් සමාව ඉල්ලා සිටිනවා.යම් අපහසුතා කිහිපයක් නිසා තමයි ඔබ මඟ...