දරුවන්ව දෑස මානයේ රැක ගත යුතු බව නැවතත් සිහි කරන කුඩා ජොනතන්

දරුවන් මල් පෙති මෙන් සියුමැලි වග කියන්නටවත් උවමනා නෑ. ඔවුන් අප ඇස් මානයේ තබා රැකිය යුතු වන්නේ මේ අසන්නටවත් අසීරු තරමේ දරුණු ප්‍රවෘත්ති ලෝකය පුරාම පැතිර යන කාලයක් නිසා. දරුවෙකුට අනතුරක් වන්නට ඇසිපිය හෙළන කාලය ප්‍රමාණවත්. ඒ අනතුරු ඊට මීට පෙර නෑසුණු අන්දමේ අනතුරු වන්නට ද පුළුවන්.

මේ එවැනි කතාවක්.

පසුගිය දින කිහිපය මුළු රටම සංවේගයට පත් කළේ කුඩා ජොනතන් මාක් ෆොන්සේකා පුතු විසින්. කුඩා සිරුරකට උසුලා ගත නොහැකි කැපුම් තුවාල සහිතව ජොනතන් පුතුගේ මළ සිරුර හමු වෙන්නේ මාලඹේ හල්බරාව ප්‍රදේශයේ දී. ඒ පොලිසියට ලැබෙන තොරතුරක් හමුවේ. දරුවා ලේ ගලන තුවාල සමග මියගොස් සිටින අයුරු පොලිසියට දැක ගන්නට ලැබුණා.වඩාත් හානි සිදුවී තිබුණේ දරුවාගේ උදර ප්‍රදේශයටයි. සිරුර ආසන්නයේ ලේ පැල්ලම් සහිතව කැඩුණු වීදුරු බෝතලයක් ද දකින්නට ලැබුණා.දරුවාගේ එක් සෙරෙප්පුවක් පසෙකට විසි වී තිබුණු අතර අනෙක් සෙරෙප්පුව ඔහුගේ පාදයේ ම දක්නට ලැබුණා.දරුවාට වීදුරු බෝතලය ඇනී ඇති බව සැක කළත්  සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයට යොමු කෙරුණා. දරුවා මියයෑමට පැයකට පෙර දරුවා නිවස ඉදිරියේ වැඩ බිමක සිටින අන්දම දැක තිබුණේ ප්‍රදේශවාසී කාන්තාවක් විසින්. එතැන පුද්ගලයෙන් තණකොළ කපමින් සිටියා. ඒ සිදුවීම සිදු වූ දින හවස් යාමයේ දී. පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිදරව් වූයේ ජොනතනගේ උදරය තියුණු ආයුධයකින් කැපී ඇති බවයි. 

ජොනතන් පුතු පාසල් නිවාඩු කාලය විඳිමින් සිටි පළමු ශ්‍රේණියේ දරුවෙක්. ඔහුගේ මව්පියන් වෙන්ව වෙසෙන්නන්. ජොනතන්ගේ අම්මා සහ ආච්චි රැකියාවට යන්නේ දරුවා  සීයාට බාර කිරීමෙන් පසුවයි. සීයා මේ අනතුර වූ වැඩබිමේ මුරකරු වුණා.සීයා ගමනක් යාමට සූදානම්ව දරුවා අසල නිවසකට ගෙන ගොස් තිබුණා.නමුත් ජොනතන් වැඩබිමේ තණකොල කපන්නා වෙත ගොස් තිබෙනවා.

තණකොළ කපන්නා දිවවිත් පැමිණ ජොනතන් කැපුම් තුවාල සහිතව වැටී සිටින බවත් ඔහුගේ බඩවැල් එළියට පැමිණ ඇති බවත් අසල්වාසීන්ට පවසා තිබුණා. වීදුරු බෝතලයකින් කැපුම් සිදුවී ඇති බවයි තණකොළ කපන්නා පවසා තිබුණේ..අසල්වැසියම් එතැනට යන විටත් දරුවා මියගොස් තිබුණා.නමුත් වීදුරු බෝතලය සහ දරුවා අතර සම්බන්ධයක් නැති බව පොලිසියට සැක ඇති වුණා. ඉන් අනතුරුව පරීක්ෂණ ඇරඹුණා.  

සීයා සහ තණකොළ කපන්නා අත් අඩංගුවට ගැනෙන්නේ ඉන්පසුවයි.

තණකොළ කපන්නාගේ යන්ත්‍රයේ දෝෂයක් හටගෙන තිබුණා. එය පරික්ෂා කිරීමට යාමේදී අසල තිබූ වීදුරු බෝතලයක් එහි වැදී බිඳී ගොස් තිබුණා. වීදුරු බෝතලය බිඳී විසිරී යාම වලක්වා ගැනීමට ඔහු මන්ත්‍රී පසෙකට ගත් අවස්ථාවේදී සිදු වූ වැරැද්දකින් ජොනතන් දරුණු කැපුම් තුවාල ලබා තිබෙනවා. ඉන් බියපත් වී තණකොළ කපන්නා පලාගොස් තිබෙනවා. වීදුරු බෝතලයක් බිඳී දරුවා ඒ මත වැටී මිය ගිය බව හැඟවීමට ක්‍රියා කළ බව ඔහු පාපොච්චාරණය කර තිබුණා. ඔහු 119 හදිසි අංකය අමතා දරුවෙකු වැටී මියගොස් සිටින බව පවසා ද තිබුණා.

එය සත්‍ය වශයෙන්ම අත්වැරැද්දක් වන්නට ඇති. තණකොළ කපන පුද්ගලයා සතුව මලක් වැනි කුඩා ජොනතන් ඝාතනයට කිසිම අදහසක් නොවූ බව දැන් පැහැදිලි වී තිබෙනවා.

නමුත් අත්වැරැද්ද ආපසු ගන්නට බැහැ.

පවුලේ ආර්ථික මට්ටම සහ තවත් හේතු නිසා මවකට දරුවන් බලා ගනිමින් නිවසේ රැඳී සිටින්නට බැහැ. ඇය රැකියාවක් කිරීම වරදක් හෝ පාපයක් වන්නේ නැහැ. නමුත් එවැනි අවස්ථාවන් වලදී තමන්ගේ දරුවන්ට ආරක්ෂාව සැපයෙන්නේ කොහොමද කියලා මවක් ඉතාම සැලකිලිමත් වන්නට ඕනෑ. ජොනතන් බොහෝ අවස්ථාවලදී අසල්වැසි නිවසක රැකවරණය ලබන බව මේ සිදුවීමේදී පැහැදිලි වී තිබුණා.

එය ඉතා අපරීක්ෂාකාරී දෙයක්!

දරුවෙකුට ස්ථිර රැකවරණයක් සහ එවැනි රැකවරණයක් සපයන ස්ථානයක් තිබිය යුතුමයි. දරුවන් ආච්චිලා සහ සීයලා වෙත පැවරීමේ දී මෙවැනි අනතුරු සිදුවන්නට ඇති ඉඩ වැඩි වන්නේ ඔවුන්ට දරුවන් කෙරෙහි ඇස ගසා සිටින්නට නොහැකි වීම නිසා. වෙනත් කටයුතු වල නිරත වීම හෝ අපරීක්ෂාකාරී බව නිසා දරුවන් අවදානමට ලක් වන්නට වැඩි ඉඩක් තිබෙනවා. ඒ නිසා දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක රැඳවීම කිසිසේත්ම අපරාධයක් වන්නේ නැහැ. නිසි ප්‍රමිතියක් ඇති ආයතනයක් සොයාගෙන දරුවෙකු එවැනි තැනක රැඳවිය හැකි නම් මෙවැනි අනතුරු වීමේ ඉඩ ඉතාම අල්පයි. ඒ නිසා දරුවන් ආරක්ෂාකාරී ස්ථානයක රැඳවීම කොපමණ වැදගත් දැයි මව්වරුන් නැවත නැවතත් සිතා බැලිය යුතුමයි.

ජොනතන්ගේ අහිමි වීමෙන් පසු ඔහු දකින්නට ආ ඔහුගේ පන්තිභාර ගුරුතුමිය පැවසූ කතාවකට ද මාධ්‍යවල විශේෂ අවධානය යොමු වුණා.

“දරුවන්ට පාසල් නිවාඩුව තිබුණේ සති දෙකයි. ඒ සති දෙක දරුවන්ව හැකි පමණ ආරක්ෂා කරන්න කියලා මම මව්වරුන්ට පැවසුවා. ඇයි මේ සති දෙක දරුවා බලාගන්න බැරි උනේ කියලා මම ජොනතන් ගේ අම්මගෙන් දැන් ඇහුවා”

මේ කතාව ඇත්තටම අඬමින් සිටි අම්මාට ඇහැට ඇඟිල්ලෙන් අනින්නට සමත් කතාවක්.

සමහර කාරණා මොනතරම් සත්‍ය වුවත් අපි ඒවා පැවසිය යුතු නැති තැන් තිබෙනවා. ගුරුවරිය කියන්නේ සත්‍යයක්. නමුත් වසර පහමාරක් තිස්සේ දරුවා රැක බලා ගත් අම්මාගෙන් සති දෙකක වරදක් ගැන විමසීම ද අතිශය වැරැද්දක්. අප බොහෝ අවස්ථාවල සහකම්පනයෙන් තොරව ක්‍රියා කරනවා. ඒ ප්‍රශ්නයද සහකම්පනය බිඳුවක් හෝ නැති ප්‍රශ්නයක් බව නොකියාම බැහැ. වරදක් සිදු වී හමාරයි. එවැන්නක් නැවත ඇති නොවීමට අනිත් මව්වරුන් දැනුවත් කරනවා මිසක වේදනාවෙන් පීඩිත මවක තවදුරටත් පෙළන්නට යාම අනවශ්‍ය ක්‍රියාවක්.

දරුවන් නොසිතූ අනතුරු කරගන්නට සමත් අය. ජොනතන් පුතු ඒ බව යළි යළිත් අපට මතක් කර දෙමින් නික්ම ගොස් අවසන්. දරුවන් දෑස මෙන් රැක ගත යුතු බවත් ඔබ කාර්යබහුල අවස්ථාවන්වලදී ඔවුන්ව වගකිය යුතු රැකවරණයක රැඳවිය යුතු බවත් හොඳින් සිහිතබා ගන්න.

ජොනතන් නික්ම ගියේ ඒ පාඩම අපට කියා දෙමින්.

(ප්‍රවෘත්තිය සම්බන්ධ විස්තර ලබා දීම – asianmirror.lk )

Related Articles

Don't Miss


Latest Articles