රෝද පුටුවක් මත දිවි ගෙවමින් ලෝකයක් දිනන්නට වෙර දරන “යකඩ ගැහැනිය”

යම් දිනක ඔබට ඔබේ දෙපා අහිමි වුණොත්? නැතිනම් දෙපා පණ නැතිවී ජීවිත කාලයම රෝද පුටුවක් මත ගෙවන්න සිදු වුණොත්? ඔබට කුමක් සිතෙයිද? නිසැකවම ඔබට දැනෙයි ඔබ මුලු ජිවිතයම පරාජය උනා කියලා.එවන් පරාජයක් තම ශක්තිය කරගෙන ජීවිතය ජයගන්න උත්සහ දරන යකඩ ගැහැණියක් ගැනයි අද ඔබට මේ ලිපියෙන් කියන්න සූදානම් වන්නේ.අභිප්‍රේරණ කථකයෙක් ,චිත්‍ර ශිල්පිණියක් සහ නිරූපණ ශිල්පිනියක් වන ඇය ගායිකාවක්ද වෙනවා.

ඇය ” මුනිබා මසාරි ” . 1987 වර්ශයේ මාර්තු තුන්වන දින පාකිස්තානයේ රහීම් යාර් ඛාන් නගරයේ ඇය උපත ලබනවා. තද නීති වලින් සැදුම් ලත් ,පියාගේ තීරණය අවසන් තීරණය වන සාම්ප්‍රදායික පවුලක දියණියක් වූ ඇයට අධ්‍යාපනය අවසන් කළ.වහාම විවාහ වන්නට සිදු වෙනවා. පාකිස්තානයේ හිටපු ගුවන් හමුදා නියමුවරයෙක් වන කුරාම් ෂාසාඩ් සමඟ වයස අවුරුදු 18 දී විවාහ වන මුනිබාට එය සතුටුදායක විවාහයක් වන්නෙ නෑ.
විවාහයෙන් වසර දෙකකට පසු එනම් 2008 පෙබරවාරි මස 27 වනදා මුනිබාට දෛවපෝගත ඉරණමකට මුහුණදෙන්න සිදුවෙනවා. සැමියා සමඟ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටින විට ඔහුට නින්ද යෑම හේතුවෙන් පාලනයෙන් ගිලිහුණු මෝටර් රථය ප්‍රපාතයකින් පහලට පෙරලී යනවා.පෙරලී යන මෝටර් රථයෙන් මුනිබාගේ සැමියා වන කුරාම් කෙසේ හෝ එළියට පැන ගත්තත් මුනිබා රථය තුල සිර වෙනවා.හදිසි මෙහෙයුම් කණ්ඩායම් පැමිණ ඇයව බේරාගැනීමට උත්සහ කළත් එය සිතූ තරම් ලේසි පහසු කටයුත්තක් වන්නෙ නෑ. අනතුරට පත්වූ රථයෙන් ඉතා අසීරුවෙන් ගලවා ගත් මුනිබා ඒ වනවිටත් දරුණු තුවාල ලබා තිබුණා.ඇගේ අතේ අස්ථි ,ඉළ ඇට , උරහිස් සහ කොඳු ඇට පෙළට දරුණු ලෙස හානිවී තිබුණා. එමෙන්ම ඇගේ පෙනහලු හා අක්මාද අභ්‍යන්තරයෙන් කැපී තිබුණු බව වෛද්‍යවරුන් පවසා තිබෙනවා.

අවුරුදු දෙකක් පුරා රෝහල් කාමරයේ දිවි ගෙවූ මුනිබා තමන්ගේ ඒ අඳුරු අත්දැකීම විස්තර කරන්නෙ මෙලෙසින්.

“පළමුවෙනි දවසේ වෛද්‍යවරයා මගෙ ළඟට ඇවිත් කිව්වා ඔයා චිත්‍ර ශිල්පිනියක් කියලා මට දැනගන්න ලැබුණා.ඒත් කියන්න කණගාටුයි ඔයාට ආයෙ කවදාවත් චිත්‍ර අඳින්න වෙන්නෙ නෑ කියලා.ඒ වේදනාව මම දරාගත්තා. දෙවනි දවසේ වෛද්‍යවරයා ඇවිත් කිව්ව ඔයාගෙ සුෂුම්නාවට සහ කශේරුකාවට වෙච්ච හානිය නිසා කවදාවත් ඔයාට ඇවිදින්න බෑ කියලා. ඒ වේදනාවත් මම දරාගත්තා.තුන්වෙනි දවසේ වෛද්‍යවරයා ඇවිත් කිව්ව ඔයාට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බෑ කියලා.ඒත් ඒ වේදනාව දරාගන්න මට බැරි වුණා “

මේ අනතුර නිසා පසුකාලීනව මුනිබාට තම සැමියාගෙන් දික්කසාද වන්නට සිදු වෙනවා. හිත ශක්තිමත් කර ගන්න ඇය තම සැමියා වූ කුරාම්ව විවාහ බන්ධනයෙන් නිදහස් කරනවා. පසු කලෙක ඔහු නැවත විවාහ වන බව සැලවීමත් සමඟ ඔහුට සුබ පතා පණිවිඩයක් යවන්නට තරම් මුනිබා ශක්තිමත් වෙනවා.

වසර දෙකක් ගිලන් ඇඳ මත සිටින මුනිබාට වෛද්‍යවරුන් විසින් භෞත චිකිත්සාව ආරම්භ කිරීමෙන් පසුව ඇයට රෝද පුටුවක් භාවිතා කිරිමට තරම් සුවයක් ලැබෙනවා. ඇයට ඇගේ සුන්දර වූ තාරුණ්‍යය අංශභාග රෝගියෙක් ලෙසයි ගත කරන්නට සිදුවන්නේ.

අනතුරෙන් වසර කීපයකට පසුව ඇයට දරුවෙකුගේ අවශ්‍යතාවය තදින්ම දැනෙනවා. ඒ නිසාම ඇය අසරණ දරුවන්ට රැකවරණය දෙන සංවිධාන වල ලියාපදිංචි වෙනවා.දිනක් එවන් සංවිධානයකින් ඇයට ඇමතුමක් ලැබෙනවා. ඒ කුඩා පිරිමි දරුවෙක් සිටින බව කියමින්.ඇය වහාම එහි ගියත් ඇයව දුටු විගසම ඔහු තැතිගැන්වෙනවා .කෙසේ හෝ ” නීල් ” නැමති සුරතල් පිරිමි දරුවාගෙ මව වන්නට මුනිබාට වාසනාව හිමි වෙනවා.

අකාරුණික ලෙස ලියවී තිබූ දෛවය වෙනස් කරන්නට සිතමින් මුනිබා ඇය ආදරය කලා වූ චිත්‍ර කලාවටද නැවත යොමු වෙනවා.රෝද පුටුවක දිවි ගෙවන්නට සිදු වූවත් ඇය විවිධ දේ සඳහා යොමු වීමට කාලය වැය කරනවා.
එලෙස විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ජනතාවගේ ආදරය දිනාගැනීමට මුනිබා සමත් වෙනවා. ඇය මෙන්ම ජිවිතය කඩාවැටුනු මිනිසුන්ට දිරිය දෙන ඇය දක්ෂ අභිප්‍රේරණ කථකයෙක් වෙනවා.

ලෝක ප්‍රකට රූපලාවණ්‍ය සන්නාමයක් වන” පොන්ඩ්ස්” විසින් ඇයව “යුගයේ ආශ්චර්යමත් කාන්තාව” ලෙසද නම් කරනවා. ඒ ඈ ලෝකයට පෙන්වූ දස්කම් නිසාවෙන්මයි.

එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානයේ පාකිස්ථානු තානාපතිනිය වන්නේද මුනිබා යි.

කුඩා කල පටන්ම පියාගෙ අණසකට යටත්ව සිටි මුනිබාට දැන් තම දෙපයින් නැගී සිටින්නට නොහැකි වුණත් ඇය නොපසුබට උත්සාහයෙන් ජීවිතයට මුහුණ දෙන ශක්තිමත් කාන්තාවක්.

මුනිබා මසාරිගේ ජීවිතයෙන් ඔබට ගන්නට බොහෝ දේ ඇති.ඔබ ශක්තිමත් වන තරමට ජීවිතය පහසු වනු ඇතැයි කියා දැන් ඔබට වැටහෙනවා ඇති.

” සෑම මොහොතකම ජීවත් වන්න .ඔබගේ මරණයට පෙර මිය නොයන්න
Live every moment .Don’ t die before your death

Related Articles

Don't Miss


Latest Articles