විනාශ වීමට ගිය ලේලියගේ ජීවිතයට පිළිසරණක් වූ ආදරණීය නැන්දම්මා

සාමාන්‍යයෙන් ඔබට මතක ඇත්තේ ඉන්දියන් සෝප් ඔපෙරා එහෙම නැත්නම් මෙගා ටෙලි නාට්‍ය කිහිපයක් සිහිකර බලන්න.ඒ හැම එකේම දුෂ්ටයා වුණේ කවුද? ටෙලිනාට්‍ය දහයක් ගත්තොත් හය හතකම දුෂ්ට වෙන්නේ නැන්දම්මා.
නැන්දම්මා කියන චරිතය බොහෝ කාන්තාවන්ගේ ජීවිතවල දුෂ්ඨයා වීම ආසියාතික රටවල් බොහොමයක පාහේ දක්නට ලැබෙන ඛේදනීය සිදුවීමක්.
අපේ සමූහයේ නිර්නාමික ගැටළු වලත් නැන්දම්මාගේ කරදර ගැන ලියා එවන සහෝදරියන් ඕනෑ තරම්.

එවැනි නැන්දම්මලා පිරුණු ලෝකයක ඇසීම පවා සතුටක් වූ පුවතක් නිර්මාණය කළ නැන්දම්මා කෙනෙක් ගැන තමයි මේ කතාව.

ඉන්දියාවේ මවක් වූ කමලා දේවි වෘත්තියෙන් ගුරුවරියක්.ඇගේ එක් පුතෙකු වූ සුබ්‍රම් විවාහ වන්නේ සුනීතා සමඟ. විවාහයෙන් වසරකට පසු මොළයේ ඇති වූ ආබාධයක් නිසා ඇගේ පුතු මිය යනවා.විවාහයට වසරක් වත් පිරෙන්නට කලින් තමන්ගේ පුතු මිය ගියාම බොහෝ අම්මලා එහි වරද පටවන්නේ ලේලියට.ඒ ඇගේ කාලකන්නිකම ලෙස සරලම හේතුවක් දෙන්න ඔවුන් පසුබට වන්නේ නැහැ.කමලා දේවි ඒ අය හැමටම වඩා ඉහළින් සිටින්නේ එතැන් පටන් ඇගේ හැසිරීම නිසා.

රාජස්ථානයේ ගමක ජීවත් වූ  සුනීතාට ඇගේ නැන්දම්මා වූ කමලා දේවි අපූරු නීතියක් ගෙන එන්නේ සැමියාගෙන් මරණයෙන් පසුවයි.ඇය නැවත ඉගෙනීම ආරම්භ කළ යුතුයි.ශාස්ත්‍රවේදී උපාධිය අවසන් කරන සුනීතාට ඉන්පසු ශාස්ත්‍රපති උපාධිය ද ලබාගන්නට සිදුවෙනවා.දැන් ඇය රජයේ පාසලක ඉතිහාස ගුරුවරියක්.පුතු මිය ගිය නිසා ලේලියට උගන්වා ඇයට රැකියාවක් ලබා දී ඇගෙන් යැපෙන්නට නම් නොවේ කමලා දේවි මෙවැන්නක් සිදු කරන්නේ.

ඇය තවත් ඉදිරි පියවරක් තබමින් සුනීතාට විවාහයක් සැලසුම් කරනවා.

කමලා දේවි විවාහව සිටියේ වෛද්‍යවරයකු සමඟයි.තමන්ගේ දරුවන්ට මහන්සි වී ඉගෙන ගෙන උසස් රැකියා කරා යන්නට ධෛර්යය දුන් කමලා දේවි ඒ ධෛර්යය ම පස් වසරක් තිස්සේ ලේලියට ලබා දෙනවා.තමන්ගේම දරුවෙකුට මෙන් සුනීතාට ද ආදරය කළ බව පවුලේ සමීපතමයන් පවසන කාරණාවක්.උපාධි ලබා ගැනීමෙන් පසු ගුරුවරියක් වූ සුනීතාව ගණකාධිකාරීවරයෙකු ට විවාහ කර දෙන්නට කමලා දේවි වගබලා ගන්නවා.

ඉන්දියාවේ ඇති තවත් ඛේදාන්තයක් වන්නේ දෑවැදි රහිතව විවාහයක් සිදුකර ගැනීමට තරුණියන්ට ඇති නොහැකියාවයි.කමලා දේවි ගේ තවත් විශේෂත්වයක් වන්නේ උගත් ලේලිය දෑවැදි සහිතව රැගෙන යා යුතු නැති බව ඇය මනමාලයන්ට තරයේම පැවසීමයි.දෑවැද්දක් නොපතන ගණකාධිකාරිවරයා වූ මුකේෂ් අනතුරුව සුනීතාව විවාහ කරගන්නවා.කමලා දේවි මොනතරම් සුන්දර අම්මා කෙනෙකු ද කියනවා නම් විවාහය සඳහා වියදම් දරන්නේ ද ඇය විසින්මයි.

මේ මනුෂ්‍යත්වය අහිමිව යන ලෝකයක්.නැන්දම්මා ලේලි අර්බුදය  නොනැසෙමින් තවමත් ඉදිරියට ගලා යනවා.එවැනි ලෝකයක තමන්ගෙ පුතුට වැන්දඹුවට හිස කෙළින් තබා ගෙන ලෝකය වෙත යන්නට උදව් දෙන නැන්දම්මා කෙනෙකු ගැන ඇසීම පවා සහනයක්.නැන්දම්මා කිසිම දිනක අම්මා කෙනෙක් නොවෙන වග ජනප්‍රිය කතාවක්.නමුත් තමන්ගේ ලෙයින් උපන් දරුවෙකුට තරමටම තමන්ගේ වැන්දඹු ලේලියට ආදරය කර කමලා දේවි ලෝකය පුරා ගැහැනුන්ට ලබා දෙන්නේ අපූරු පාඩමක්.

ඇය පුතු විවාහයට වසරක් වත් පිරෙන්නට පෙර මියගියේ ලේලියගේ අවාසනාවට බව කියමින් සුනීතාට පැවරුවා නම් සුනීතා එකතු වන්නේ ඉන්දියාවේ උපාධිධාරී ලේඛනයට නොවේ.සියදිවි නසාගත් අයගේ ලේඛනයටයි.
දරුවෙකු අහිමිවන ශෝකය තරම් ශෝකයක් මිනිසෙකුට ඇත්තේ නැහැ.එහෙත් කමලා දේවි එය දරාගෙන සැමියා අහිමි වූ තරුණ බිරිඳකට ස්වාධීනව සහ ධෛර්යමත් ව නැගී සිටින්නට අත දුන් ආකාරය කාන්තා ඉතිහාසය තුළ ස්වර්ණමය අකුරෙන් ලියවිය යුතු කතන්දරයක්.

කෙනෙකුව රිදවීම ඉතා පහසු කාරණාවක්.නමුත් රිදීම් බිඳීම් සහිත ගැහැනියකට තමන්ගේ මාවතක් සොයා දීම ඊටත් වඩා පහසු කාරණාවක් බව කමලා දේවි අපට කියාදෙන අපුරු පාඩමයි.වෛරය වෙනුවට ආදරය වැපිරවීම මොනතරම් සුන්දර දැයි මේ විශ්‍රාමික ගුරුවරියගෙ කතාවෙන් මනාව පැහැදිලි වෙනවා.ලෝකයේ හැම සම්ප්‍රදායක්ම වෙනස් කරන්නට පුලුවන්.නැන්දම්මා ලේලි ආසියාතික රටවල සතුරන් සඳහා සමාන පදයක් ලෙස භාවිතා කරන්නට හැකි වුවත් කමලා දේවි ඒ සම්ප්‍රදාය වෙනස් කර තිබෙනවා.

දරාගැනීමේ සහ ආදරයේ පාඩම මාතෘ ගුණයෙන් කියාදුන් ඒ උතුම් ගැහැනිය සැබෑ අම්මා කෙනෙක්!

Related Articles

Don't Miss


Latest Articles