ආදරය පෙන්වන්න පමා නොවෙන්න

ෂෙහාරා ගෙට ගොඩ උනේ තද හිසේ කැක්කුමක් එක්ක. ශාක්‍ය එන්න තව වෙලා තියෙන නිසා ඇය සීතල වතුර වීදුරුවක් අරගෙන එක හුස්මට බිව්වා. පුටුවකින් වාඩි වුණු ෂෙහාරාගේ දෑස් පිය උනේ ඇයටත් නොදැනීම 

” ෂෙහාරා නැගිටින්න ” 

ශාක්‍ය ගේ හඬට ෂෙහාරා අවදිවෙන කොට තමන්ට පැයකටත් වඩා නින්ද ගිහින් කියලා ෂෙහාරාට තේරුණා 

” අනේ සොරි ශාක්‍ය. ඔයා එනවා වත් මට ඇහුණෙ නැහැ . අද ඔෆිස් එකේ හරිම මහන්සි දවසක් ” 

ෂෙහාරා කියපු දේවල් නෑහුනා වගේ ශාක්‍ය කාමරේට ගියා. නාන කාමරයේ දොර වහන හඬ ඇහෙනකොට ඔහු තව පැය භාගයකට වත් එළියට එන්නේ නෑ කියලා තේරුණ නිසා ෂෙහාරා එහෙමම කුස්සියට ගියේ රෑ කෑමට ලේසියෙන්ම හදන්න පුළුවන් දෙයක් හදන්න හිතාගෙන 

” ඔයාට මහන්සි නම් මොනව හරි ඕඩර් කරමු. උයන්න ඕනෙ නැහැ ” 

හිතුවටත් වඩා කලින් නාන කාමරයෙන් එලියට ආව ශාක්‍ය කුස්සියටම ආවේ ෂෙහාරා උයන්න එළවළු තෝරමින් ඉන්නකොට 

” අනේ පුළුවන් නම් ලොකු දෙයක් ශාක්‍ය. මට අද හරිම අමාරුයි ” 

ෂෙහාරා ඔහු දිහා බැලුවේ ස්තුති පූර්වක බැල්මකින්. ස්වභාවයෙන්ම නිහඬ මනුස්සයෙක් වුන ශාක්‍ය මුහුණට මද හිනාවක් ගත්තා මිසක් වෙන මුකුත්ම කිව්වේ නැහැ 

ෂෙහාරා නාන කාමරයට වැදිලා ටිකක් වෙලා අරගෙන නා ගත්තේ තාමත් සුව නොවුන හිසේ කැක්කුම නිසාමයි

” මේනකා එයාගේ වෙඩින් එකට ඉන්වයිට් කලා කළා අපි දෙන්නටම ” 

රෑ කෑම අතරතුරදී ෂෙහාරා මතක් කළා

” ඔෆිස් එකේ නිවාඩු ගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ ෂෙහාරා ” 

” අනේ ශාක්‍ය.. ගොඩ දවසකින් අපි දෙන්නට කොහෙවත් යන්නත් බැරි උනානේ. අනික අපි දෙන්නටම ඉන්වයිට් කරපු එකේ මම තනියම යන එක හරි නැහැනේ ” 

ෂෙහාරා කිව්වේ බැගෑපත් හඬින්. ඒත් ශාක්‍ය ට ඒ ගැන එතරම් උනන්දුවක් තිබුණ බවක් පේන්න තිබුණේ නැහැ. මේනකා කියන්නේ කාර්යාලයේ ෂෙහාරාගේ ළඟම මිතුරිය. ඇගේ විශේෂම දවසට සහභාගී නොවී බැරි නිසාම ෂෙහාරා ඒකට ලෑස්ති උනේ ශාක්‍ය එන්න වෙන්නේ නැහැ කියලා කිව්වට පස්සේ ඇතිවුණ හිතේ කනස්සල්ලත් එක්කමයි.

” එයාට මේ ටිකේම හරියට වැඩ. නිවාඩු ගන්න බැරි වුණා ” 

ෂෙහාරා සුපුරුදු බොරුව මිතුරියන් ඉදිරියේ දිග හැරියා.

” ශාක්‍ය.. අරලිය හොටෙල් එකේ හොඳ offer එකක් දාලා තියෙනවා.මේ වීක් එන්ඩ් එකේ අපි  යමුද ? ” 

ලැප්ටොප් එකට එබීගෙන ඉන්න ශාක්‍ය ගෙන් ෂෙහාරා ඇහුවේ අහම්බෙන් මුහුණුපොතේ දැක්ක දෙයක් නිසා

” මං මේ බලන්නේ කීයක් හරි ඉතුරු කරගන්න.අපි දෙන්නම රස්සාවල් කරලත් තාම ඉන්නේ කුලියටනේ ෂෙහාරා. ඒ අස්සේ ඔයා විකාර කතා කරනවා ” 

ශාක්‍ය උත්තර දුන්නේ ෂෙහාරා ගේ මූණ දිහා නොබලමයි. ෂෙහාරා ගේ ආසාව උපන් තැනම මියැදුණේ ඇගේ මුහුණට කළු වලාවක් එකතු කරන ගමන් 

” අද ඔෆිස් යන්නේ නැද්ද ෂෙහාරා ? ” 

එක දවසක් උදේ ශාක්‍ය ගෙ කෑම එක විතරක් පුරුදු විදියටම ලෑස්ති කරලා මේසෙ උඩ තියෙනවා දකිනකොට ශාක්‍ය ඇහුවේ රැකියාවට යන්න ලෑස්ති වෙන ගමන් 

” මට හෙම්බිරිස්සාව ශාක්‍ය. උණ ගන්නත් වගේ ” 

” එහෙනම් ගෙදරට වෙලා ඉන්න ” 

එහෙම කියපු ශාක්‍ය ගෙදරින් පිටත් වුණා .ඊට වඩා ආදරණීය යමක් ඔහුගෙන් බලාපොරොත්තු වුණත් ඒක බලාපොරොත්තුවක්ම විතරයි කියලා තේරුම් ගත්ත ෂෙහාරා බෙහෙත් පෙති කීපයක් බීලා විවේක ගත්තා

ශාක්‍ය හවස ගෙදර ආවේ රෑට කෑමත් අරගෙනමයි. ඒ නිසා ෂෙහාරා ගේ හිතට දැනුනේ සතුටක් 

” අද දවල් කෑම වල තුනපහ විතරයි.ලුණු බිංදුවක් නෑ. රෑට හරි හොඳට කන්න ඕනේ කියලා හිතාගෙන මම මේ එළියෙන් කෑම අරගෙන ආවේ ” 

පිහිතුඩු වගේ වචන වලින් ශාක්‍ය දමලා ගහනකොට ෂෙහාරා ගේ හිත ඕනෑවටත් වඩා රිදුනා 

” මම අද අනිත් කාමරේ නිදා ගන්නං . ඔය හෙම්බිරිස්සාව මටත් හැදුනොත් ඔෆිස් එකේ වැඩක් කරගන්න වෙන්නෙත් නෑ ෂෙහාරා ” 

ෂෙහාරා රාත්‍රී ආහාර වත් නොගෙන නින්දට වැටුණේ ගතට දැනෙන අපහසුකම්වලට වඩා හිතට දැනුනු අපහසුව නිසාමයි. 

පහුවදා උදේ වෙනකොට හෙම්බිරිස්සාව පරද්දලා දරුණු උණක් ෂෙහාරාව වෙලා ගෙන තිබුනා 

” කෑම මොනවා හරි ඕඩර් කරගන්න. පැනඩෝල් දෙකකුත් බොන්න. ඔය උණ අඩු වෙලා යයි ෂෙහාරා ” 

එහෙම කියපු ශාක්‍ය කාර්යාලයට යන්න පිටත් වුණා. ඇස් වලට පිරුණු කඳුළු හංගගෙන ෂෙහාරා කාර්යාලයේ තම මිතුරිය වෙච්ච මේනකාට ඇමතුමක් අරගත්තා

” අදත් මට එන්න වෙන්නේ නෑ මේනු ” 

ෂෙහාරා ගේ හඬ දුර්වලයි කියලා මේනකාට දැනුනා

” මම එන්නද බෙහෙත් ටිකක් ගන්න යන්න ? ” 

මේනකාගේ කාරුණික හඬ සුපුරුදු විදිහටම ඇහෙන කොට ෂෙහාරා ගේ මුව අග හිර වෙලා තිබුණ හැඬුම එළියට ආවා 

” ඔෆිස් එකේ වැඩ වලට හිර වෙලා ඉන්නවා මිසක් මට කොහොමද බලන්න වත් ශාක්‍ය ට වෙලාවක් තිබුනෙ නෑ මේනු ” 

ෂෙහාරා ගේ ගතට වැඩිය හිත ලෙඩ වෙලා කියලා මේනකා තේරුම් ගත්තේ ඒ වචන කීපයත් එක්ක. හවස් වරුවේ බෙහෙත් අරගන්න යන්න එන පොරොන්දුව ෂෙහාරා ට  දීපු මේනකා ලහිලහියේ කාර්යාලයේ වැඩ වල නිරත වුණා 

එන්න එන්නම වැඩි වන උණත් එක්කම, හුස්ම ගැනීමේ අපහසුතාවයකිනුත් ෂෙහාරා දවල් වෙනකොට පීඩා විඳින්න පටන් ගත්තා. දුර්වල වෙච්ච ශරීරයත් එක්ක ඇඳේ ගුලි වෙලා ඉන්නවා ඇරෙන්න ෂෙහාරාට ඒ වෙලාවේ කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ.

හවස ගෙදර ආපු ශාක්‍ය ට දැකගන්න ලැබුණේ මද සිහියකින් ඇඳේ වැතිරිලා ඉන්න ෂෙහාරාව. හුස්ම ගන්න ඇය මහා අරගලයක් කරන බව පේන්න තිබුන නිසා ශාක්‍ය කවදාටත් වඩා බියට පත් වුණා. ඉක්මනින්ම ගිලන් රථයකට කතා කරපු ඔහු ෂෙහාරාව රෝහල් ගත කරන්න කටයුතු කරා

මේනකා රෝහලට එනකොටත් ෂෙහාරා හිටියේ දැඩි සත්කාර ඒකකයේ. පසුතැවිල්ල මුසුවුණු හැඟීම් ගොඩක් එක්ක ශාක්‍ය කල්පනා කරමින් පුටුවකට වාරුවෙලා ඉන්නවා මේනකා දැක්කා. ඒත් එක්කම දැඩි සත්කාර ඒකකයේ හිටපු වෛද්‍යවරයෙක් එලියට ආවා 

” කොහොමද ඩොක්ටර් මගේ වයිෆ්ට ? ” 

ශාක්‍ය ඇහුවේ නොයිවසිල්ලෙන්.

” තාම අපිට හරියටම කියන්න බැහැ. එයාට නියුමෝනියාවට ඇවිල්ල තියෙන්නේ. උණත් මෙච්චර වැඩි වෙනකම් මොකද කළේ ගෙදරට වෙලා ? ” 

වෛද්‍යවරයා ඇහුවෙ බැරෑරුම් හඬකින්. ශාක්‍ය ට ඉබේම මේනකා දිහා බැලුනා. 

” ඇත්තටම කිව්වොත් පේශන්ට්ගේ තත්ත්වය නම් එච්චර හොද නැහැ ”  

එහෙම කියපු වෛද්‍යවරයා ආපහු දැඩි සත්කාර ඒකකයට ඇතුළු වුණා. ශාක්‍ය බලාපොරොත්තු සුන් වූ දෑස් වලින් දැඩි සත්කාර ඒකකයේ දොරේ තියෙන පුංචි කවුළුවට දෑස් යොමු කළා 

හුස්ම ගැනීමේ ආධාරක වල වාරුවෙන් ඇඳේ වැතිරිලා ඉන්න ෂෙහාරා ව දැක්කම ශාක්‍ය ට දැනුනේ වචන වලින් විස්තර කර ගන්න බැරි තරමේ පසුතැවීමක්

” එයාට මොකුත් වෙන්නේ නෑ ” 

ශාක්‍ය තමන්ටම මුමුණ ගත්තා.ඒත් එක්කම මේනකාත් ශාක්‍ය ළඟට ආවා 

” හිතේ තියෙන ආදරේ පෙන්වන්න කවදාවත් පරක්කු වෙන්න එපා ශාක්‍ය. සමහරවිට ඒක පෙන්නන්න අපිට ආයේ අවස්ථාවක් නොඑන්න පුළුවන් “

මේනකාගේ හඬ ඇහෙන කොට තමන් අතින් මොනතරම් දේවල් මග ඇරිලද කියලා ශාක්‍යට තේරුණා. ඔහු ආයෙමත් දැඩි සත්කාර ඒකකයේ දොරටුව දිහා බැලුවේ බලාපොරොත්තු දල්ව ගත්ත දෑස්වලින් 

More Stories

Don't Miss


Latest Articles