“ඔයා අද දුවලාගේ ගෙවල් පැත්තේ යනවද…?”
පැරකුම් ඇසුවේ මුළුතැන් ගෙය පිටුපස කොටසේ ඕනෑවට එපාවට පැළවී තිබූ මිරිස් පැළ උගුලා තාප්පය කෙළවර තැනූ පාත්තියක සිටවමින් සිටි සිතාරාගෙන්ය.
“නෑ..අද දුවගේ යාළුවෙක් එනවා කියලා කිව්වා. එයා උදේ ආවහම හවස් වෙනකම්ම ඉඳලලු යන්නේ. ඒක නිසා අද තනියක් නෑනේ. මං හෙට යනවා..”
ඊයේ පෙරේදා සිට සිතාරා වරින් වර රඹුක්වැල්ල නිවසට යන්නේ චාරුකගේ ඉල්ලීමටය. දියණිය ගැන මේසා සිතන මේසා ආදරය කරන සැමියෙකු ඇයට ලැබීම වාසනාවකි. එනිසාවෙන්ම සිතාරාත් පැරකුමුත් හුස්ම ගත්තේ සැනසීමෙන්ය.
“කවුද ඒ යාළුවා? අපි නොදන්න කෙනෙක්ද…?”
“අපි දන්නවත් ඇති පැරකුම් . ඉස්සර ඉස්කෝලෙ ඉඳපු යාළුවෙක්. මේ ළඟදී ඒ ළමයයි මහත්තයයි දෙන්නම කෑම බීමත් හදාගෙන දුවව බලන්න ඇවිත් ගිහින් තිබුණා.”
සිතාරා එසේ පැවසූයේ අත්මුල්ලුවෙන් මිරිස් පැළ වටා වූ පස බුරුල් කරනා ගමන්ය. නිරතුරුව දියණියගේ පසු පසින් යාමට නොහැකි නිසා ඇය විවාහ වන තුරුම පැරකුමුත්, සිතාරාත් ඇය ගැන උන්නේ හොඳ අවධානයකින්ය. ඇය ඇසුරු කරන්නන් පිළිබඳව පවා පැරකුම් පුද්ගලිකව සොයා බැලුවේ එනිසාය. ‘ඇසුර වැරදුණහොත් මුළු ජීවිතයම වරදිනවාය..’ යන කාරණය නිරතුරු සිතාරා නුලාරාට ඒත්තු ගන්වමින් උන්නාය. ඇය ලඟින් ඇසුරු කළ එකම යෙහෙළිය දැන් ඕස්ට්‍රේලියාවේ පදිංචි වී උන්නාය. ඇගේ දෙමාපියන් දෙදෙනාම වෛද්‍යවරුන්ය. එනිසාම දියණිය පවනිව ඇසුරු කිරීම ගැන ඔවුන්ගේ සිතෙහි බියක් වූයේ නැත.
“ඔය අතේ පයේ මඩ ගාගෙන කොට කොට ඉන්නෙ නැතුව අමු මිරිස් ග්‍රෑම් දෙසිය පනහක් කඩෙන් ගෙනාවනම් ඉවරයිනේ.”
පැරකුම් ආපසු හැරුනේ එසේ පවසමින්ය. ඔහු පවසන්නේ දුක් මහන්සියෙන් ඉගෙන ගෙන හොඳ රැකියාවක් කර මුදල් ඉපයූවේ සතුටින් සැපයෙන් ජීවත් වීමට ඇවැසි නිසා බවය. එනිසාම මේ නිදහස් විශ්‍රාමික දිවිය සුවෙන් සැපයෙන් ගෙවා දැමිය යුතු බවය.
“අපේ පයේ මඩ ගාගෙන පස් හාරන්නේ මිරිස් ග්‍රෑම් 250ක් කඩෙන් ගන්න තියෙන ලෝභකම හින්දා නෙමෙයි. කාලෙ ගෙවා ගන්න ක්‍රමයක් නැති හින්දා.”
එවර සිතාරා පැවසූයේ මඳක් උස් හඬින්ය. දියණියගේ නිවසට ගියත් එහි කරන්නට දෙයක් වූයේ නැත. විශ්‍රාමික සුවයෙන් මේ ගෙවී යන ජීවිතයේ වූයේ කම්මැලිකමකි. වෙනදාසේ පුරුද්දට උදෑසනම අවදි වූවාට කරන්නට දෙයක් නොවේ. දෙදෙනෙකුට සෑහෙන්නට බතක් ව්‍යංජනයක් උයා ගැනීම පැය ගණනක් ගත වෙන කර්තව්‍යක්ද නොවේ.
දියණියට දරුවා ලැබුණු මුල් මාස තුන තුළ ඔවුන්ව බලා ගැනීමට පුද්ගලික ආයතනයකින් හෙදියක ගෙන්වා ගන්නා බව ඊයේ චාරුක පැවසූයේ දුරකථනයෙන්ය.
“ඒ උනාට අම්මයි තාත්තයිත් ඇවිල්ලා බබා එක්ක ටික දවසක් හරි ඉන්නවනම් මං කැමතියි. සෝමට උදව් කරන්නත් එක්ක තව කෙනෙක් වැඩට ගන්න මං හිතාගෙන ඉන්නේ. නුලාරගෙයි බබාගෙයි වැඩවලට විතරක්වත්.”
ඒ සා මුදලක් නාස්ති කිරීම අනවශ්‍යයැයි කියන්නට සිත් වුවත් සිතාරා එවේලෙහි ‘ඒක හොඳයි පුතේ…’ යැයි පැවසුවා මිස ඊට විරුද්ධව වදනක්වත් කතා නොකළාය. තීරණ ගත යුත්තේත් ඒවා ගැන කතා කර ගත යුත්තේත් ඒ දෙදෙනාය.
මිරිස් පැළ ටික තාප්පය අයිනට වන්නට සැකසූ පාත්තියේ සිටවන්නට හෝරාවකට වඩා වැඩි කාලයක් ගත වුවත් සිතාරා එය කළේ භාවනාවක් සේ සිතාගෙනය. අවසන සැමියාට තේ එකක් සාදා දී තම කාමරයට ගියේ දියණියට දුරකථන ඇමතුමක් ලබාදීමටය.
**********
ධනුක විසින් අතරමගින් ඇරලූ සංකල්පනී නුලාරාගේ නිවසට ගියේ දුරකථනයෙන් ඇනවුම් කරගත් කැබ් රථයකින්ය. හිතා මතාම ඕ චාරුක රඹුක්වැල්ල නිවසින් පිටව යන වේලාව පසු කළාය. නුලාරා යෙහෙළියව පිළිගත්තේ සිප වැළඳගෙනය. උදැසන ආහාරයට ආප්පත්, ඉඳිආප්පත්, පෙති කැපූ පාන් ගෙඩියකුත් මේසය මත විය. සේවිකාව විසින් චීස් බටර් සහ ගැඹුරු තෙලේ බැදගත් මස් පෙති කිහිපයක්, සොසේජස් කිහිපයක් සහ කට්ලට් පැටිස් වැනි කෙටි කෑම වර්ග කිහිපයකුත් මේසය මතින් තැබුවේ සංකල්පනී යෙහෙළියගේ ඇරයුමෙන් කෑම කාමරයට ගියාට පසුවය.
“මං උදේට කාලා අනේ ආවේ…ධනුකට ගෙනියන්න කොහොමත් උයනවනේ”
සංකල්පනී එසේ පැවසූයේ බඩගින්නක් නැතැයි මවා පාමින්ය. එහෙත් සත්‍යය එය නොවේ. කෑම මේසය දුටු ඇයට ඇති වූයේ එතෙක් නොවූ බඩගින්නකි. ධනුක විවාහ මංගල්‍ය උත්සවයක සිංදු කියන්නට ගිය නිසා උදෑසන නිවසේ කිසිවක් සැකසූයේ නැත. දෙදෙනාම ඊයේ රාත්‍රී ගෙන ආ පාන් ගෙඩියෙන් ඉතුරු වී තිබූ පාන් පෙත්තක බටර් ගා ආහාරයට ගත්තේ උදෑසන තේ බොද්දීමය. ධනුකට අද උදෑසන ආහාරයත් දහවල ආහාරයත් දෙකම හෝටලයෙන් ලැබේ.
“කමක් නෑ. චුට්ටක් කමු. මමත් අද චාරුක එක්ක බ්‍රෙක්ෆස්ට් ගත්තෙ නෑ. ඔයා එනකල් බලාගෙන හිටියා”
“අනේ එහෙම හොඳ නෑනේ..”
“නෑ…නෑ එයා කන කල් මං මෙතනට වෙලා වාඩිවෙලා හිටියා. මට අද උදේම සෝමා කොළ කැඳ එකක් හදලා දුන්නා.”
“ඒකනං හොඳයි….කොළ කැඳ ඔයාටයි බබාටයි දෙන්නටම හොඳයි.”
“ඒක නෙමෙයි ඔයාලා දෙන්න මේ ළඟදි කොහේ හරි ටුවර් එකක් ගිහිල්ලා තිබුණා නේද. මං දැක්කා බීච් එකක ෆොටෝස් දාලා තියෙනවා.”
“අනේ ලොකු දුරකට ගියේ නෑ. එදා ධනුකට ෂෝස් මුකුත් තිබුණේ නෑ. එක පාරටම කිව්වා මැණික අපි දෙන්න කොහේ හරි යං කියලා. ඊට පස්සේ අපි බීච් ගිහිල්ලා නාලා ඩිනර් එකත් අරගෙන ගෙදර ආවා.”
“අනේ ෂෝක් නේ…”
“දවසක අපි හැමෝම යමු..”
සංකල්පනී එසේ පැවසූයේ බිත්තර ආප්පයකුත් මාලු ඇඹුල් තියල් කෑල්ලකුත් තම පිඟානට බෙදා ගන්නා ගමන්ය.
“මට නම් ඒක හීනයක් තමයි. චාරුක ඉතින් හොටෙල් එකකට කොහේ හරි ගියොත් මිසක්කා බීච් එකේ නාන්න යයි කියල හිතන්න අමාරුයි..”
නුලාරා එසේ පැවසූයේ කුමක්දෝ වේදනාවක් සිතෙහි සඟවා ගෙනයැයි සංකල්පනීට සිතුණේ ඇගේ මුහුණ දෙස බලද්දීය..
“අපේ අඩුපාඩුකම් ගැනවත් මගේ ජොබ් එකක් ගැනවත් කිසි දෙයක් නුලාරා එක්ක කතා කරන්න එපා. පුළුවන් තරම් එයාට ලංවෙලා එයාගේ හිත දිනාගන්න බලන්න. මාස දෙක තුනක් ඒ විදිහට කල් ගත්තත් කමක් නෑ. මුලින්ම ඔයා එයාගේ ජීවිතේ නැතුව බැරි කෙනෙක් වෙන්න.”
ධනුකගේ වදන් සංකල්පනීට සිහි වූයේත් ඒ හදිසියේමය.
“මට තේරෙනවා ඔයා මොකක්ද ඒකෙන් අදහස් කලේ කියලා. ධනුකළ වගේ නෙමෙයි චාරුක කියන්නේ එහෙම හිතෙන හිතෙන තැන්වල ගිහිල්ලා නිදහසේ හැසිරෙන්න පුළුවන් කෙනෙක් නෙමෙයිනේ නුලා..”
“ඒ උනාට මට වෙලාවකට දුක හිතෙනවා…”
නුලාරා එසේ පැවසූයේ සොසේජස් කරලකට ගෑරුප්පුවෙන් අනිමින්ය.
“එහෙම හිතන්න එපා. හැමතිස්සෙම ඔයාට ලැබිලා තියෙන මේ දේවල් ගැන හිතන්න. හැම කෙනෙක්ටම හැමදේම ලැබෙන්නෙ නෑනේ නුලාරා. ඔයාට අමාරුවක් දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් මේ හැමදේම ලැබෙද්දි තවත් කෙනෙකුට නිදහස සතුට විතරක් ලැබිලා ජීවත් වෙන්න ක්‍රමයක් නැති වෙන්නත් පුළුවන්. ඒ අපි එක එක්කෙනා පතාගෙන එන විදිහ.”
සංකල්පනා එවර පැවසූයේ සැබෑවටම යෙහෙළිය ගැන ඇති වූ දුකක්ද සමගය. කූඩුව රත්තරනින් සාදා තිබුණත් කුරුල්ලෙකුට එහි සිරවී සිටීම දුකකි.
“චාරුක කියන්නේ එයාගේ ජීවිතේ ගැන ගොඩක් හිතන කෙනෙක්. එයා තමන්ගේ ජීවිතේට ගොඩක් ආදරේ කරන කෙනෙක්. ඒ තරමටම මටත් ආදරෙයි. ඒ උනාට මොකක්දෝ නොදන්න දුකක් මගේ හිතේ හැංගිලා තියෙනවා කියලා මට හිතෙනවා සංකල්පි. වෙලාවකට හිතෙනවා චාරුකට මාව අතෑරෙන්න තියෙන ඉඩ වැඩියි කියලා.”
නුලාරා එසේ පැවසූයේ දවසින් හරි අඩකටත් වඩා වැඩි කාලයක් ගෙවී ගියාට පසුවය. වෙනදා පැය ගණනක් සේ ගතවෙන විනාඩිය ගෙවී යනවාවත් නොදැනුණුු තරම්ය. පාසල් ජීවිතයේ රසමුසු තැන් සේම ඉන් පසුව ඔවුනොවුන් හමු නොවී සිටි සමයේ රසවත් කතාත් ඕනෑ තරම් විය. දොඩම් යුෂ වීදුරුවක් පානය කරමින් දෙදෙනා එවේලෙහි වූයේ ගේ උයනේ වූ ලී බංකු වලින් අසුන්ගෙනය. සංකල්පනා ඔවුන්ගේ අතීතය ගැන හාරා අවුස්සමින් සිටියේ හිතා මතාමය. ධනුක පැවසූ අයුරින්ම ඈ සිටින්නේ සියුම් දුකක් සිය හදවත මත්තේ දරාගෙනය.
“චාරුකව දැකපු මුල්ම තත්පරෙත් මං එයාව කවුද කියන එක අඳුර ගත්තා. එයාගේ ඇස් එදා වැඩිපුරම තිබුණෙ මං ළඟ. පස්සේ මං ඒ ඇයි කියලා අහද්දි එයා කියනවා ඔයාගේ ලස්සනටත් වඩා මං ඔයාගේ මොකක්ද අහිංසක කමක්, වැදගත්කමක් දැක්කලු. ඊට පස්සේ චාරුක මං ගැන සෑහෙන්න හොයලා තිබුණා. ආපහු අපි හම්බවුණේ අහම්බයකින්. එදා චාරුක මගෙන් කැමැත්ත ඇහුවා. මං ඉතින් දෙපැත්තට තියලා තමයි උත්තර දුන්නේ”
“ගෙදරින් මොනවා කියයිද දන්නෙ නෑ කියලා කිව්වද…”
“ඔව් ඊට සමාන විදිහට…”
නුලාරා උස් හඬින් හිනැහුණාය.
“ඒක ඉතිං පුදුම වෙන්න දෙයක් නෑ. මම ඇඳුම් මාරු කරන්න වගේ කොල්ලෝ මාරු කරද්දි ඔයාලා ඉතින් ප්‍රතිපත්ති රැකපු කෙල්ලොනේ…”
“අම්මෝ ඔයා ගැන ඒ කාලේ හිතද්දිත් අද මෙහෙම ඉන්නවා කියලා හිතෙන එකත් පුදුමයි. කොච්චර ලියුම් ඉස්කෝලෙට අහු උනාද කොච්චර පනිෂ්මන්ට් කළාද..ඒ දවස්වල අපි ඔයාගේ රසකතා අහන්නේ හොරෙන්. ඔයා දන්නවද එදායින් පස්සේ මං හිතපුවත් නැති වෙලාවක චාරුක කෙලින්ම අපේ ගෙදරට ඇවිල්ලා මං ගැන ඇහුවා. මට ජොබ් එකක් කරන්න වුවමනාවක් තිබුණේ නෑ. අම්මයි තාත්තයි එහෙම කිව්වෙත් නෑ. මගේ දවසෙ වැඩිම හරියක් ගෙවුනේ නිදාගන්න. පොත් කියවන්න, ෆිල්ම් බලන්න… දවසක් නින්දෙදි තමයි මට ඇහුනේ වාහනයක් ඇවිල්ල අපේ මිදුලේ නවත්තනවා..හරි පුරුදු නැති කටහඬක් ඇහුණු හින්දා යන්තම් දොරෙන් එබිල බලද්දි තමයි මම චාරුකවයි එයාගේ යාළුවා තේජනවයි දැක්කේ…”
“ෂා ඒක මාරයිනේ…හරියට අපි නවල් එකක කියවපු කතාවක් වගේ…”
“ඔව්.. මං දන්නවා අම්මයි තාත්තයි පවා ඒ ගැන පුදුම උනා. ඊට පස්සේ එයාලා මුලින්ම කලේ ඒ රඹුක්වැල්ලගේ පුතාමද කියලා හොයපු එක.ඇයි අනේ ගෙයක් හොයන් ඇවිත් කෙල්ලෙක් ගැන අහන්නේ..”
“ඉතින් ඉතින් ඊට පස්සේ…”
ඊට පස්සේ දවසක් චාරුක තාත්තට කතා කරලා කියලා තිබුණා අම්මයි තාත්තයි එක්ක අපේ ගෙදර එනවා කියලා.”
“එතකොට උඹත් එක්ක ෆෝන් එකෙන්වත් කතා කරනවද…?”
“ඔව්..එතකොට ඉතින් ටිකක් අපි දෙන්න යාලුයි. හැබැයි ඉතින් ඉස්සර ඉඳලම එයාගෙ ළඟ තිබුණේ හරි පුදුම හිතෙන වැඩ..එයාට ලොකු හදිසියක් තිබුණා මාව ඉක්මනට එයාගේ කරගන්න.”
“ස්වීට් අනේ…”
සංකල්පනී පැවසූයේ සැබෑවටමය. ඒ සුන්දර ආදර කතාවකි. යෙහෙළියගේ මුහුණෙහි වූයේ මෙතෙක් නොවූ තරම් ආදරණීය සතුටකි. සංකල්පනී නුලාරාට කියවන්නට ඉඩදී අසා සිටියේ සුසුමකින්වත් බාධා නොකරය.
(හෙටත් හමුවෙමු ආදරයෙන්…)


