ආදර මල්වල පාට කියන්නද? – 21

0
69

“ඔයාගෙ ආච්චි අම්මා මං මෙහෙ ඉන්නවට අකමැති නම් කරුණාකරලා එයාට කියන්න ඒක මගෙ මූණට කියන්න කියලා. මෙහෙම මගෙ බඩු මුට්ටු පොළොවෙ ගහලා අවුස්සලා දාන එක හරියන්නෙ නෑනෙ. අනික එයාට ඕන කරන්නෙ මොකක් හරි හොරයක් මගෙ හොයාගන්න නම් එයාට කියන්න ගිහින් මං නෙවෙයි එයාව රවට්ටන්නෙ එයාගෙම මහ ලොකු මුණුපුරා විත්තිය” කියාගෙන ආකර්ෂා පුංචි පහේ සුළඟක් වෙලා තමන්ගෙ කාමරේ ඉස්සරහා බෙරිහන් දෙද්දි කවීන් දුවගෙන ඇවිල්ලා ආකර්ෂාගෙ කට අතෙන් වැහුවෙ ආච්චි අම්මට මේව ඇහුනොත් ඔක්කොම අංජබජල් වෙන විත්තිය තේරිච්ච හන්දා.

“පිස්සුද හලෝ මේ මහ රැ දෙගොඩහරියෙ බෙරිහන් දෙන්න තියාගත්තෙ?” කියලා කවීන් අහද්දිත් කෙල්ල උන්නෙ මල පැනලා.

“බෙරිහන් දෙන්න නෙවෙයි හරිනම් මං ගිහින් තමුසෙගෙ ආච්චිගෙ බෙල්ලෙන් අල්ලල හොල්ලන්න ඕන මේ කරන තුට්ටු දෙකේ වැඩවලට. කොහෙන්ද දන්නෙ නෑනෙද එයා මේව ඉගෙනගත්තෙ? එංගලන්තෙන් වෙන්නැති. මහ ලොකුවට කොළඹ හතේ ඉන්නෙ කියලා කිව්වට මොකෝ මුඩුක්කුවල ඉන්න ඈයොවත් නොකරන ඒවනෙ එයා කරන්නෙ”

“මට ඉස්සෙල්ලා කියනවකො මොකද්ද එකපාර උනේ මෙහෙම පිස්සෙක් වගේ කෑගහන්න?”

“මං මේ මල පැනලා ඉන්නෙ ඔහේගෙ ආච්චි එක්ක”

“එහෙනම් හෝදගන්නවා නැත්තම් ගඳ ගහයි” කියලා කවීන් නෝණ්ඩියට වගේ හිනාවෙවී කිව්වට මොකෝ ආකර්ෂා නම් උන්නෙ හිනාවෙන්න පුළුවන් මයින්ඩ් සෙට් එකක නෙවෙයි.

“කවීන් මේ මං සීරියස් හරිද? ඔයා මාව මේ ගෙදෙට්ට එක්කරගෙන ආව නම් ඔයාට වගකිමක් තියෙනව මට මේ ගෙදර පරිස්සමෙන්, සන්තෝසෙන් ඉන්න දෙන්න. අපි දෙන්නා අතරෙ තියෙන්නෙ ඩීල් එකක් කියන එක දන්නෙ අපි දෙන්නා විතරක් බව ඇත්ත. හැබැයි මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරන්නෙ මාව යවාගන්න ඕන හන්දා නම් ආච්චිට කියන්න ඒක එච්චර ලේසි වෙන එකක් නැති විත්තිය”

“මොනවද මේ ඔයා කියවන්නෙ?” කියලා කවීන් ඇත්තටම කොන්ඩෙ එක අතකින් අවුල් කරගන්න ගමන් ඇහුවෙ ඇත්තටම කොල්ලට හිතාගන්න බැරිවෙච්ච හන්දා ආකර්ෂා මේ මොනවා කියනවද කියන එක.

කෙල්ලගේ ඒ රතු වෙච්ච මූණයි, කඳුළු පිරුණු ඇස් දෙකයි දැක්කම කවීන්ටත් තේරුණා මේක නිකන් සෙල්ලම් ලෙවල් එකේ කේන්තියක් නෙවෙයි කියලා. මිනිහා ආකර්ෂාවත් තල්ලු කරගෙන කාමරේ ඇතුළට අඩිය තබද්දි තමයි කෙල්ල මෙච්චර වෙලා මෙතන යක්ෂාවේශ වෙලා කෑගැහුවේ ඇයි කියන එක කවීන්ට ඇස් පනාපිටම දැකගන්න ලැබුණේ.

කාමරේ ඇතුළේ තිබ්බේ පුදුමාකාර විනාශයක්. ආකර්ෂා පණ වගේ ආදරය කරන, කෙල්ලගෙ මුළු ජීවිතේම වගේ වෙච්ච චිත්‍ර අඳින බඩු බාහිරාදිය ඔක්කොම කවුරුහරි මහ ලැජ්ජ නැති විදිහට පොළොවේ ගහලා විනාස කරලා තිබුණා. කෙල්ල මහන්සියෙන් පාට කරපු කැන්වස් කිහිපයක්ම මැදින් ඉරලා දාලා තිබ්බ විතරක් නෙවෙයි කෙල්ලගෙ වටිනා පින්සල් කූරු ටික හැමතැනම විසිරිලා, කකුලෙන් පාගලා වගේ දෙකට තුනට කැඩිලා බිම වැතිරිලා තිබුණා. පාට ටියුබ්ස් හැමතැනම මිරිකිලා, කාමරේ ටයිල් පොළොව පුරාම එක එක පාටවල් තැවරිලා තිබ්බේ මාරම කැතට. කාමරෙ නිකන් පිස්සන් කොටුව වගේ. කෙල්ලගේ ඇඳුම් පැලඳුම් අල්මාරියෙන් එළියට ඇදලා දාලා. මේක තමන්ව මානසිකව වට්ටලා, මේ වලව්වෙන් පන්නලා දාන්නම ආච්චි අම්මා කරපු තුට්ටු දෙකේ සෙල්ලමක් මිසක් වෙන මොකක්ද කියලා ආකර්ෂාට හිතාගන්න බැරි වුණා.

“දැන් දැක්කද ඔහේගේ මහ ලොකු ආච්චිගේ තරම? මං දන්නවා හලෝ එයාට මාව පේන්න බෑ තමයි. ඒ වුණාට මගේ මේ බඩු ටික, මගේ මේ පින්සල් ටික මේවා විනාස කරන්න එයාට තියෙන අයිතිය මොකක්ද? මං කාගෙන්වත් හිඟා කාලා ගත්ත ඒවා නෙවෙයි මේවා!” ආකර්ෂා බිම වැටිලා තිබ්බ කැඩුණු පින්සල් කූරක් අතට ගන්න ගමන් කෑගැහුවේ හිතේ තද කරන් හිටපු කඳුළු ගංගාවම කඩාගෙන බිමට වැටෙද්දී.

කෙල්ලගේ ඇස්වලින් කඳුළු කැට කඩාගෙන වැටෙද්දී, ඒ කඳුළු අස්සේ තිබ්බේ දරාගන්න බැරි වේදනාවක්. කෙල්ලට මේ වලව්වේ මිනිස්සු තමන්ට බනින එක, කොන් කරන එක දරාගන්න පුළුවන් වුණත්, තමන්ගේ මුළු ලෝකයම වුණු, තමන් හුස්ම ගන්න කලාවට මෙහෙම පහත් විදිහට නිග්‍රහ කරපු එක නම් ජීවිතේට ඉවසන්න පුළුවන් වුණේ නැහැ.

“බලනවා මේ කැන්වස් එක… මං මේක මාස ගාණක් තිස්සේ ඇන්දේ. මෙහෙම ජරා වැඩක් කරන්න තරම් කොහොමද හලෝ මනුස්සයෙක්ගේ හිතක් මෙච්චර දරුණු වෙන්නේ? ඔහේටත් ගාණක් නෑනේ… ඔහේත් ඔය හැමදේම බලාගෙන ඉන්නේ උන්දැගේ පැත්ත අරන්ද?” කෙල්ල කවීන්ගෙන් කෑගහලා වගේ ඇහුවෙ කේන්තියයි බයයි දෙකම එකතු වෙලා පිස්සු හැදිලා වගේ.

මුළු කාමරේම නිකන් සත්තු වත්තක් ඇවිත් විනාස කරලා දැම්මා වගේ පිස්සන් කොටුවක් වෙලා. ඇඳුම් පැලඳුම් විසිවෙලා, පොත්පත් ඉරිලා තියෙද්දී ආකර්ෂා පපුව අල්ලගෙන ඇඳ උඩින් වාඩි වුණේ හති දාන ගමන්. කෙල්ලගේ මුළු ඇඟම වෙව්ලනවා. ඒ තරමටම මානසිකව වැටිලා දණහිස් තුවාල වෙලා හිටියේ. තමන් නන්නාඳුනන මේ වලව්වට ආවේ කවීන්ගේ ඩීල් එකකට වුණත්, මේ වගේ මූසල, තිරිසන් වැඩවලට මුහුණ දෙන්න වෙයි කියලා තමන් හීනෙකින්වත් හිතුවේ නැහැ නේද කියලා ආකර්ෂා ඒ වෙලාවෙත් කල්පනා කරා. කවීන් කිසිම දෙයක් නොකියා, දොර ළඟ  ඉඳන් කාමරේ පිස්සු නටලා තිබ්බ දිහා බලාගෙන උන්නේ මාරම නිහඬ බැල්මකින්.

ආකර්ෂා එක දිගටම කෑගහලා, හති දාලා, ඇඳට බර වෙන ගමන් කවීන් දිහා බැලුවේ ඊළඟට එන යක්ෂ ප්‍රහාරයට කල් තියාම රෙඩි වෙන්න වගේ. මොකෝ වෙනදට නම් මෙහෙම වචනයක් කිව්වත් මිනිහා මල පැනලා කුලප්පු වෙච්ච අලියෙක් වගේ හැසිරෙන විත්තිය කෙල්ලට මතක තිබ්බා. හැබැයි පුදුමයකට වගේ, කවීන්ගෙන් කිසිම සද්දයක් බද්දයක් නෑ. මිනිහා මාරම නිහඬ බැල්මකින් මුළු කාමරේ පුරාම විසිරිලා තිබ්බ විනාසෙ දිහා බලාගෙන උන්නා.

“තමුසෙ කෑගහලා ඉවරද දැන්?” කවීන් ඉතාම සන්සුන්  කටහඬකින් ඇහුවෙ.

එහෙම අහපු මිනිහා එකපාරටම දණහිස් දෙක නමලා බිම වාඩි වුණේ ආකර්ෂාව තවත් පුදුම කරන ගමන්. කවීන් කිසිම තරහක් පෙන්නන්නෙ නැතුව, හරිම පරිස්සමෙන් බිම වැටිලා තිබ්බ පින්සල් කූරු ටික එකින් එක අහුලන්න ගත්තා. දෙකට කැඩිච්ච පින්සල් කූරු දිහා මිනිහා බැලුවේ හෙනම දුක් මූඩ් එකෙන්. ඊටපස්සේ මිරිකිලා, බිම හැමතැනම තැවරිලා තිබ්බ පාට ටියුබ්ස් ටිකත් එකතු කරලා මේසේ උඩින් තියන්න ගත්තේ කිසිම දවසක ආකර්ෂා දැකලා නැති තරම් ඉවසිලිවන්ත විදිහකට.

කෙල්ලට කරකියාගන්න දෙයක් නැතුව ගියා. කවීන් මේ හැසිරෙන විදිහ කෙල්ලට හිතාගන්නවත් බැහැ. වෙනදට තමන්ට හැමදේටම නියෝග දෙන, ලොකු ලයින් දාන වලව්වේ ඊළඟ උරුමක්කාරයා, මෙන්න මේ මහ රෑ දෙගොඩහරියේ බිම දිගේ බඩගාමින් තමන්ගේ කැඩුණු බඩු එකතු කරනවා! ලෝක පුදුමයක් තමයි මේක.

“ඔහොම බලන් ඉන්නැතුව ඇඳුම් ටික අහුලලා අල්මාරියට දානවා. තමුසෙගේ ඔය කට විතරයි වැඩක් නෑ” කවීන් බිම විසිරිලා තිබ්බ පත්තර පිටු වගයක් අහුලන ගමන් හීන් සැරේ කිව්වා.

කවීන් කිසිම රණ්ඩුවකට එන්නේ නැතුව නිශ්ශබ්දවම තමන්ට මේ බඩු එකතු කරන්නයි, කාමරය පිරිසිදු කරන්නයි උදව් වෙන විදිහ දැක්කම ආකර්ෂා සිරාවටම පුදුම වුණා. කෙල්ලගේ හිතේ තිබ්බ මහා තද කේන්තිය එකපාරටම දියවෙලා ගියේ කවීන් එහෙම හැසිරිච්ච නිසා. කෙල්ලත් නොදැනීම බිමට පාත් වෙලා කවීන් එක්ක එකතු වෙලා බඩු ටික අස් කරන්න ගත්තේ හිත ඇතුළෙන් මහා ලොකු ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරගන්න ගමන්.

“ඒ වුණාට මං මේක ලේසියෙන් අතාරිවි කියල හිතන්න එපා” කියලා ආකර්ෂා කිව්වෙ කවීන්ගෙ වරදක් නැති විත්තිය තේරුණාට ලේඩි කලම්බු සෙවන්ට නම් මලාට මේ වරදෙන් නිදහස් වෙන්න ඉඩ දෙන්නෙ නෑ කියල හිතාගෙන.

“මොකද්ද අතාරින්නෙ නැත්තෙ?”

“ඔහේගෙ ආච්චිගෙ පිස්සු වැඩ” කියලා ආකර්ෂා කිව්වට මොකෝ කවීන් වෙනදා වගේ ඒකටවත් මුකුත් මිනිහා කිව්වෙ නෑ.

සමහර වෙලාවට මිනිහටම හිතෙන්න ඇති “මූද හොඳයි ලුණු නැත්තං ගෑනු හොඳයි කට නැත්තං” කියලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here