චාරුක, තේජන සහ අමායා වූයේ කාර්‍යාලයතුල රැස්වීම් පැවැත්වෙන කාමරයේය. අමායා තමාගේ ලැප්ටොප් පරිගණකය දිග හැරගෙන යමක් විස්තර කරමින් උන්නාය. ඇයට අතපසු වූ තැන් ගැන පැහැදිලි කිරීමක් කලේ තේජනය. වර්ණ ඇඩ්වටයිසින් අරඹා වසර පනහක් පිරීම නිමිත්තෙන් වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ අමතක නොවන අයුරේ අත්දැකීමක් ලබා දෙන්නට චාරුක තීරණය කළේ මින් මාස කිහිපයකට ඉහතදීය.
“ලෝකේෂන් එක..”
“දැනට සර් අපිට ඒ වගේ ලොකු ක්‍රවුඩ් එකක් දාන්න පුලුවන් තැනකට තියෙන්නේ සුගතදාස ස්ටේඩියම් එක විතරයි. එහෙම නැත්තං අපිට වෙන්නේ අවුට්ඩෝ ෂෝ එකක් කරන්න. හැබැයි ඉතින් මේ වගේ ආර්ටිස්ල එක්ක එහෙම ෂෝ එකකට යනවා කියන එකේ පොඩි රිස්ක් එකක් තියෙනවා.”
“මං නං කියන්නෙ මචං මේක අවුට්ඩෝ එකකට ගෙනියන්න ඕන නෑ. මචං මගේ ටාගට් එක අනුව අඩුම තරමින් හැත්තදාහත් එක්ලක්ෂ විසිපන්දාහක් අතර ප්‍රමාණයක් මේ ෂෝ එකට එනවා. සමහර විට මේ ෂෝ එක වෙනුවෙන්ම ලංකාවට එන පිරිසක් ඉන්නත් පුළුවන්. මචං අපේ බජට් එකට වඩා තුන් ගුණයක වගේ ප්‍රොපිට් එකක් අපිට ලැබෙන වැඩක් මේ. ඒ නිසා අපි මේක සෑහෙන්න කල්පනා කරලා කරන්න ඕන වැඩක්.”
“ඔය ටාගට් කරන ගාන කොහොමත් අපිට එක හෝල් එකක් ඇතුලටවත් ගන්න බෑනේ බං. අනිත් එක එහෙම උනහම ඒකෙ කොලිටි එක නැති වෙන්නත් පුළුවන්.
“සර් අපිට බැරිද මේ කොන්සර්ට් එක තැන් කිහිපයකම කරන්න.”
“මෙහෙමයි අමායා ඔය එන හැම සසගර් කෙනෙක්ටම ඩාන්සර් කෙනෙක්ටම ඇක්ටර් කෙනෙක්ටම අපි පොලිස් ආරක්ෂාව ගන්නවා වගේම පුද්ගලික සිකියුරිටි එකක ආරක්ෂාව ගන්නත් ඕනේ. මේ මුළු ලෝකෙම ප්‍රසිද්ධ කැරැක්ටර්ස්. එතකොට අපේ රට ඇතුලෙදි අපි ගෙන්නලා මේ අයට සීරීමක් උනත් ඒකෙ සම්පූර්ණ වගකීම ගන්න වෙන්නේ අපිට. ඒ නිසා මම හිතනවා කොළඹින් පිට ෂෝස් වලට අපි ටාගට් නොකර ඉමු කියලා.”
“නෑ මිස්ටර් තේජන…මං අදහස් කලේ කොළඹින් පිට අපි කරමු කියන එක නෙමෙයි. සුගතදාස ස්ටේඩියම් එක ඊට පස්සේ නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ, බී එම් අයි සී එච් වගේ තැන් වලට අපිට යන්න බැරිකමක් නෑ නේද..?”
“මචං තේජා! ඒක හොඳ අයිඩියා එකක් අනිවාර්යෙන් මමත් හිතන්නෙ නෑ බං මේක අපිට එක තැනක විතරක් කරලා මිනිස්සුන්ව සෑහීමකට පත් කරන්න පුළුවන් ෂෝ එකක් වෙයි කියලා. අනිත් එක බං ක්‍රවුඩ් එක බලාපොරොත්තු වෙන තරමෙන් හතරෙන් තුනකටවත් අපිට ටිකට්ස් දී ගන්න බැරි වුනොත් ඒකත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. සමහර විට ඉන්දියාවේ වගේ දොරවල් කඩාගෙන බිඳගෙනත් මිනිස්සු ඇතුල් වෙන්න ට්‍රයි කරන්න පුළුවන්.”
චාරුක එසේ පැවසුයේ අමායා විසින් තමා දෙසට හරවා තිබූ ලැප්ටොප් පරිගණකයේ තිරය දෙස බලාගෙනය. ඒ අයුරේ ජාත්‍යන්තර ප්‍රදර්ශන පැවැත්වෙන තැන් කිහිපයකම විස්තර ඈ ඒ පරිගණක තිරය මත සටහන් කර තිබුණාය. ඔවුන් හා යමක් ආරම්භ කිරීමේදී හිත නිදහස්යැයි චාරුකට සිතුනේත් එවේලෙහිය. තමා පවරා දෙන රාජකාරියෙනුත් ඔබ්බට ගොස් ඔවුන් තමන්ගේ අදහස් පවා එකතු කර ගනී. කොහොමටත් තේජනත් අමායාත් රාජකාරිය දේව කාරිය මෙන් සලකා වැඩ කරන අයය. චාරුක ලැප්ටොප් පරිගණකය තේජන දෙසට හැරැවූයේ නිහඬවය.
“අමාය හරි බං..අඩුම තරමින් අපි ලොකේෂන් තුනක ෂෝස් තුනකටවත් යන්න ට්‍රයි කරමු. මං කියන්නේ කොළඹ ඇතුළත.”
“අමායා, මචං උඹ දන්නවනේ නුලාරගේ ඩිලිවරි එක අගෝස්තු තුන. මචං අපේ තාත්තගේ තාත්තගේ බර්ත්ඩේ එකටම බබාව ගන්න ඩොක්ටර් එක්ක කතා කරගත්තා. එහෙම නැතුව නුලාරට නෝමල් ඩේට් දීලා තිබුනේ පස්වෙනිදා. මචං ඒ දවස් ටිකේ මම ටිකක් බිසී වෙයි. කොහොමටත් බං ඒ මම බබා එක්ක ඉන්න ඕන දවස්.”
“උඹේ ඔය දැන් බබා කතන්දරේ එක්කෝ බබා වන් ටූ කියලවත් දාගනින් බං. අපිට පටලැවෙනවා දැන් උඹ කියන්නෙ ලොකු බබා එක්ක ඉන්න ඕනේ කියලද පොඩි බබා එක්ක ඉන්න ඕනේ කියලද..?”
තේජන එසේ ඇසුවේ හිනැහෙමින්ය. චාරුකගේ මේ සතුට ඔහුත් හදවතින්ම විඳිමින් උන්නේය. තාත්තා කෙනෙකු වන්නට යන බව දැනගත් මොහොතේ පටන් මිතුරා උන්නේ පුදුමාකාර ආඩම්බරයකින්ය.
“ලොකු බබයි පොඩි බබයි දෙන්නම එක්ක…”
“සර් හරි…ඒක මැඩම්ට සර්ව අවශ්‍යම වෙලාවක්. ඒ වෙලාවට වයිෆ් කෙනෙකුට තමන්ගේ හස්බන්ඩ් ළඟ නැතුව කවුරු හිටියත් වැඩක් නෑ. සර් හිත නිදහස් කරගෙන එයාලා එක්ක ඉන්න. දැන් අපි ගොඩක් දේවල් කරගෙන තියෙන නිසා ඉතුරු වැඩ ටික බලා බලාගන්න තේජන සර්ටයි මටයි පුළුවන්.”
අමායා පැවසූයේ විශ්වාසයෙන්ය. මිතුරාගේ මුහුණෙහි සැනසුම් සහගත සිනහවක් ඇඳී ගිය බව තේජන දුටුවේය. තවත් විනාඩි කිහිපයක් ගෙවී ගියාට පසුව ඇය චාරුකගෙනුත් තේජනගෙනුත් සමුගත්තේ තම කාර්යාල කාමරයට යාමටය.
“තත්පරයක් දියන් බං මම බබාට කෝල් එකක් දීලා ඉන්නම්..”
චාරුක එසේ පැවසූයේ මිතුරාත් සමඟ තනිවෙද්දීය.
තේජන ලැප්ටොප් පරිගණක තීරය දෙස බලා සිටියාට දෙසවන් වූයේ දුරකතන ඇමතුමේය.
“කවුද ඇවිත් ඉන්නේ”
අනතුරුව ඔහු ඇසුවේ චාරුක නුලාරාගෙන් අමුත්තෙකු ගැන විමසූ නිසාය.
“බබාගේ ඒ ලෙවල් කරන කාලේ යාලුවෙක්. අද මාව මතක නැතිවෙලා තියෙන්නෙත් ඒක තමයි. අම්මෝ බං ඔය ගෑණු එකතු උනහම කියවන්න තියෙන දේවල්…”
“උඹ කොහොමද බං මෙච්චර ලස්සනට ආදරේ කරන්න ඉගෙන ගත්තේ. තෝ මට හොරෙන් බඳින්න කලින් එක්කෝ ෆැමිලි ලයිෆ් එක බැලන්ස් කරන්න ඕන විදිහ ගැන ලෙක්චර්ස් වලට ගිහිල්ලා තියෙනවා. එහෙම නැත්තං උඹට ඒ ගැන හොඳ අත්දැකීමක් තියෙනවා.”
“පුළුවන් නම් මට පදයක් හදපන්..යකෝ ඒවා හදවතින් එන්න ඕන දේවල්. උඹ දන්නවද මම පිරිසිදු ස්වාමිපුරුෂයෙක් ප්‍රේමවන්තයෙක් කියලා මට ඕන තැනක කෑ ගහලා කියන්න පුළුවන්. උඹල වගේ නෙමෙයි…මේ වචන එන්නේ මෙන්න මෙතනින්..”
චාරුක පැවසූයේ තමාගේ පපුවේ වම් පසට තට්ටුවක් දමා ගන්නා ගමන්ය.
“උඹත් එක්ක මෙච්චර ෆෙන්ඩ්ෂිප් එකක් නැති කාලේ මං හිතාගෙන හිටියේ බං උඹ අර ආදිත්‍යාව මැරි කරයි කියලා.”
“පිස්සුද බං..මේකයි වැඩේ උනේ. මම මොඩ්ලින් ෆීල්ඩ් එකටවත් ඇක්ටින් ෆීල්ඩ් එකටවත් එන්න කැමැත්තෙන් ඉඳපු කෙනෙක් නෙමෙයි. අපේ අක්කා තමයි ඕකට ආසාවෙන් හිටියේ. බොරු කියන්න ඕනෙ නෑ බං මේ බිස්නස් එක ගැන පොඩි තණ්හාවකුත් අක්කගේ හිතේ තිබුණා. මට කොහොමටවත් එහෙම එකක් තිබුණේ නෑ බං. මට ඕනෙ නෝමල් එකේ රිලැක්ස් එකේ මගේ ලයිෆ් එක ගෙවා ගන්න. ඔය අතරෙදිනෙ බං අර ෂර්ට් කමර්ෂල් එක අපේ කම්පැනි එකට ලැබුණේ තාත්තාට ඒක මං ලව්වම කරවන්න ඕන උනා. මට මතක නෑ බං තාත්තාට ඒ දවස්වල කවුරු හරි කියල තිබුණා මෙච්චර හැන්ඩ්සම් කොල්ලෙක් ඉඳිද්දී මොකටද පිට මොඩ්ර්ස්ලා හොයන්නේ කියලා. ඒකේ මමත් එක්ක ඇක්ට් කරන්න හිටියේ ආදිත්‍යා. මචං ආදිත්‍යා ඒ කාලෙත් හෙන හෙන ෆේමස්
කැරැක්ටර් එකක්. මගේ පළවෙනි වැඩේ හින්දා එයා මට මාර සපෝට් එකක් දුන්නා. අපි හිතපු නැති විදියට ඒක ෆේමස් උනානෙ බං. ඒ දවස්වල ෂෝෂල් මීඩියාවලයි, පත්තරවලයි, ඩේ කාර්ඩ් වලයි ඔය ෆොටෝ එකමනෙ බං ගියේ. ඒ දවස්වල මං කැම්පස් එකේ ෆයිනල් ඉයර් එකේ. සමහර තැන්වලදී මාර වාතයක් උනා බං..”
“ඒක තමයි උඹ නිතර ඒ දවස් වල දකින්න හම්බවුණේ ආදිත්‍යයත් එක්කනේ ..”
“උඹ පුළුවන්නම් ඕක අපේ බබා ලඟදි මතක් කරහංකෝ..හෙන ඉරිසියයි බං. කිසි දෙයක් කියන්නේ නෑ. වචනයක්වත් එළියට දෙන්නේ නෑ…හැබැයි මූණ මෙන්න මෙච්චරයි බං.”
“උඹ ගෑනු කියවන්නත් හොඳට දන්නවා.”
“අනිත් ගෑණු ගැන මං දන්නෙ නෑ. හැබැයි මගේ ගෑනිව කියවන්න දන්නවා. ඒක මාර හැඟීමක් බං. ආදරේ කියන දේ පපුවට දැණුනහම නිකමටවත් වෙන ගෑනියෙක් දිහා බලන්න හිතෙන්නෙ නෑ. උඹ දන්නෑ බං නුලාරා ඉස්සරවෙලාම දැකපු දවසේ ඉදල මං ඒකි ගැන මාර ටච් එකේ හිටියේ. ඒකිට කොල්ලෙක් නෑ කියල දැනගත්තහම මට නිකං දිව්‍යලෝකෙ ගියා වගේ සතුටක් දැනුනේ. උඹ කියන්නේ ඒ අතරෙදිත් මට බයයි බං කවුරු හරි කොල්ලෙක් ඒකිට සෙට් වෙයි කියලා. ගෙදරට මං නුලාර ගැන කියලා අපේ අම්මයි තාත්තයි චුට්ටක් යන්න පරක්කු කරද්දී මට මාර තරහයි. එහෙම ආදරේ කරපු කෙල්ල මගේ ලඟ නේද..දැන් එයාගේ බඩේ ඉන්නේ මගේ ලෙයින් පණ ගැහෙන දරුවෙක් නේද කියලා හිතනකොට එන ෆීලින් එක මට වචන වලින් කියන්න තේරෙන්නේ නෑ බං. මං හිතන්නේ ඔය කාලෙට මිනිහෙක් ගෑනියෙක්ට දෙවිදියකට ආදරේ කරනවා. එකක් තමයි බං තමන්ගෙ වයිෆ්ට තියෙන ආදරේ, අනිත් එක තමයි තමන්ගේ දරුවාගේ අම්මට තියෙන ආදරේ..”
“මචං මං ලෙක්චර් එකකට ගියා වගේ..”
“ලෙක්චර් එකකට ගියත් තොට මේ තරම් ලස්සනට ආදරේ ගැන දැනගන්න හම්බ වෙන්නේ නෑ…නුලාරත් මගෙන් ඊයේ පෙරේදා ඇහුවා ඇයි තේජන අයියා මැරි කරන්නේ නැත්තෙ කියලා..ලස්සන කෙල්ලෙක් හොයාගෙන පවුලක් පන්සලක් වෙන්න බලහං. නිකන් රස්තියාදු ගගහා කාලෙ කන්නෙ නැතුව…මේ ගෙවෙන වයසවත්, දවස්වත් ආයේ ගන්න බෑ”
“හා දැන් මං රස්තියාදුකාරයා..පවුල් පන්සල් වෙලා තාත්තල වෙන්න යනු උඹල හොඳ මිනිස්සු. උඹ නුලාරා නංගි ලඟදි මං ගැන මොකක් හරි කට කැඩිච්ච කතාවක් කිව්වේ නැත්නම් ඇති.”
“නෑ මං වෙන මොකුත් කිව්වේ නෑ…උඹ හරි විශ්වාසයි නේද කියලා ඇහුවා. මං කිව්වා ඌ ඔයා ළඟ මාස ගානක් හිටියත් ප්‍රශ්නයක් නෑ. මං එක්ක ඉන්න එක තමයි බය කියලා කිව්වා. එයා තේරුම් ගන්න ඇති.”
“තොට පිස්සුද යකෝ..ආයෙ මං කොහොමද ඒ කෙල්ලගේ මූණ බලන්නේ..”
“ඇස් දෙකෙන්….”
“පුළුවන්නම් තෝ එහෙම කතාවකුත් කියයි. අර ඒ දවස් දවස්වල ශෙනල්යා උඹේ පස්සෙන් කරකැවෙද්දී. තාත්තා ළඟදී උඹ ඒකත් මට කරකවපු මිනිහනේ.”
තේජන නැගී සිටියේ මිතුරා දෙසට තරවටු බැල්මක් හෙලමින්ය. චාරුක ඔහු කාර්යාල කාමරයෙන් පිටව යනතුරු බලා සිටියේ මුව මත සිනහවක් තබාගෙනය. මේ සංසාරයෙන් සංසාරයට හමුවන කලන මිතුරන්ය.
“පුතා අපි ඔය තේජන පුතා මැරි කරන කාලෙකට ඒ ළමයා වෙනුවෙන් මොනවා හරි ලොකු දෙයක් කරන්න ඕන. අඩු තරමින් කම්පැනි එක ගානේ වාහනයක්වත් ඒ ළමයට අරන් දෙන්න ඕනේ. ඔයාගේ බරෙන් සීයට පනහක් ඒ ළමයා තමන්ගේ ඔලුවට අරගෙන ඔයාව නිදහස් කරපු එකම ඇති පුතා.”
තාත්තා ඊයේ පෙරේදාත් කතා කරද්දි පැවසූයේ එහෙමය. චාරුකගේ සිතෙහි තම මිතුරා ගැන වූයේ ඊටත් එහා ගිය සැලැස්මකි.
(යළිත් හමුවෙමු ආදරයෙන්)


