ඔලියැන්ඩර් – 25

0
123
oleander Flower

ගත වූ දින ද්විත්වය පුරාම ඔහුගේ රුව ඈ නුදුටුවාය . එකී දින දෙකෙහිම උදෑසන වරුවේ පැය කිහිපයකට පමණක් රස විමනට ගොඩ වීමට සිදු වීම නිසා දිනයේ අන් කාලය තුළ ඔහු කාර්‍යලයට පැමිණියේද කියා හෝ ඈට දැනගන්නට නොලැබුණි. රස විමනේ අවන්හල තුළ වෙනුවට ලිපි ලේඛන , ඇණවුම් බාරගැනීම් , වෙන් කිරීම් , ආහාර මෙනු සකස් කිරීම් , අය වැය බැලීම් වැනි බොහෝ කටයුතු පමණක් මේ වන විට ඇගෙන් සිදුවන බැවින් රස විමනට ගොඩ වූ මොහොතේ සිටම උත්පලා හා ඇගේ කාර්‍යාල කාමරයේ රාජකාරි සිදු කරන ඇය ඉහල මහලේ ප්‍රධාන කාර්‍යාලයේ හෝජනාගාරයට හෝ යෑම සීරුවෙන් මඟ හැරියාය. 

ප්‍රථමව සිත පුරා උඩු දිව් කෝපය දැන් මඳින් මඳ අතුරුදන්ව යන බව ඈට සිතුණි . හදවතේ සෑම අංශුවක් පාසාම ඔහු පිළිබඳව පැතිර ගොස් තිබූ කෝපයත් , වේදනාවත් මේ වන විට ශෝකය පමණක් ඉතිරි කොට පළා ගොස් තිබුණේය. හදිසි කලබලය නොමැතිව ඔහු පැවසූ දෑට යම් තරමකට හෝ සවන් දීමට තමාට යුතුකමක් තිබුණා නොවේදැයි හදවත පසෙකින් ඈ විසින්ම  ඈ හට චෝදනා කරමින් සිටියාය. කෙතරම් කෝපයක් , කළකිරීමක් හදවත පුරා වෙළී ගොස් තිබුණද ඔහු රුව නුදුටු දින ද්විත්වය ඇයට කල්පයක් සේ දැනෙන්නට පටන් ගෙන තිබූ අතර එකී වේදනාවම හදවත තුළ ඔහු වෙනුවෙන් තිබූ කෝපය වාශ්ප කරමින් සිටියේය .

කෙතරම් වතාවක් ජංගම දුරකතනය අතට ගත්තා දැයි මතකයක් නැත . කෙතරම් වාර ගාණක් ඔහුගේ අංකය මත දෑඟිලි දිව ගියේද මතක නැත. කෙතරම් වාරයක් කෙටි පණිවිඩ මත වචන ගැලපුවද , යළි ඒවා තම දෑඟිලි මතින්ම මැකී ගිය වාරයද මතක නැත. හිසෙහි මෙන්ම හදවතෙහිද නොනැසෙන රිදුම් ධාරා තව දුරටත් වාවා ගනු නොහැකි ඈ විසල් සුසුමක් හෙළා අත රැඳි ජංගම දුරකතනය යළි පසෙකින් තැබුවාය. 

” උඹ කෑවද ?” 

විමර්ෂාගේ හඬින් කල්පනාවෙන් මිදුණු ඈ ආයාසයෙන් මවා ගත් සිනහවෙන් ඈ දෙස හිස ඔසවා බැලුවාය.

” උඹට පෙන්නන්න දෙයක් තියනවා “

ගමන් මල්ලෙන් ගත් කහ පැහැ ලියුම් කවරයක් මිතුරිය ඉදිරියේ තැබූ ඈ නිහඬවම බලා සිටි අතර විමර්ෂා කුතුහලය පිරි දෑසින් එය විවර කොට ඇතුළත තිබූ චෙක් පත අතට ගත්තාය. 

” එදා ඕපනින්ග් එක දවසේ උත්පලා මැඩම් ඕක තෑග්ගක් විදිහට දුන්නා. රස විමනේ මුල ඉඳන්ම හිටපු අපි දහ දෙනෙක්ටම ඔහොම දුන්නා. “

විමර්ෂාගේ දෑස මෙන්ම මුවද විමතිය පිරි ප්‍රීතියකින් විවර වී ගොස් තිබුණි. 

” ලක්ෂයක් … ! අම්මද , පුතාද දන්නෑ දුන්නේ..?” 

ඈ එසේ පවසා සඳැස්විය දෙස බලා ඇසක් ඉඟි මැරුවාය. 

” ඕක මැඩම්ගේ වැඩක්. එයා දුන්නනං ඔයිට වඩා දෙනවා. එහෙනං ගෙදර උගස බේරන සම්පූර්ණම ගාණ ඕකේ තියෙන්න තිබුණා. “

ඈ නැවත වරක් විසල් සුසුමක් හෙළුවාය. 

” එයා ඒක ගැන දන්නවද ?” 

” හ්ම්ම්..  , දවසක් අහලා එවෙලෙම සල්ලි මට ට්‍රාන්සර් කරන්නත් හැදුවා “

” ඉතිං ?” 

” මං ගත්තේ නෑ. “

” අපරාදේ..  ගත්තනං ඉවරයි. අපි උඹලට ඕවා මහ ලොකු සල්ලි උනාට ඒගොල්ලොන්ට එහෙම නෑ.  උඹේ තියන හිතුවක්කාරකමනේ. “

මිතුරියගේ කතාවට ඇගේ උවනට එක් වරම සිනහවක් නැඟුණේය .

” ඇයි මොකෝ ?” 

” නෑ.. සල්ලි එපා කිව්වම එයා කිව්වෙත් මගෙ හිතුවක්කාරකම වැඩියි කියලා. “

විමර්ෂා චිරිස් හඬක් නංවමින් සිනහ වූවාය.

” දැන් උඹ ඕකට මොකද කරන්නේ ?” 

” ගෙයි උගස බේරගන්න දානවා බං “

” සම්පූර්ණ එකම ? “

” හ්ම්ම්…!” 

” ඒක හොඳයි බං . කොහොමත් RD එකෙන් එයාලගේ සේවකයෝ ගැන හොඳට බලනවා මං හිතන්නේ. සයුල්ගේ අයියගේ මරණෙට උනත් දැක්කනේ සෑහෙන්න වියදම් කරලා තිබ්බා. ආ… මේ.. මට අමතක උනානේ… “

එක් වරම මතක් වූ වැදගත් යමක් සිහියට ඒමෙන් කලබල වූ විමර්ෂා මිතුරියගේ අත අල්ලා ගනිමින් ඈ හට රහසක් පවසන්නට මෙන් ළං වූවාය. 

” දවස් දෙකකට උඩදි පාරේදි උඹට ශාන් හම්බුණා කිව්වා නේද ?” 

” ඔව් ඇයි ? “

” මිනිහට එදා රෑ කවුද හොඳටම ගහලා. ආයේ මාස ගාණකට නැඟිටින්න බෑලු. දකුණු අතනං කඩලම දාලලු. “

” මගේ දෙයියනේ…! ඔය ඇත්තමද ?” 

” හ්ම්ම්.. ! උඹට මතකද සඳරුත් එදා කිව්වා ඌ කොහෙටවත් වැඩක් නැති එකෙක් කියලා . සමහරවිට උගේ මොනා හරි කුණු කේස් එකකට රිටන් එකක් ලැබෙන්නැති. “

විමර්ෂාගේ පැහැදිලි කිරීම් වලට නිහඬවම සවන් දෙමින් සිටියද සඳැස්වි තුළ විස්තර කර ගත නොහැකි අමුතුම ආකාරයක බියක් ඉපදෙන්නට පටන් ගෙන තිබුණි. 

*****************************************

තව දුරටත් ඉවසීමේ සීමාව තුළ රැඳෙන්නට බැරිය. රිදීමේ උපරිමය හා වේදනාවේ උපරිමයත් අතික්‍රමණය වූ පසු දැන් එළඹෙන්නේ හිතුවක්කාරී මොහොතක්ය. බැල්කනි ද්වාරයෙන් නැඟ එන හිරිකඩ සිරුරේ හී ගඩු පිපීම වේගවත් කර ඇත. දෙපයේ ඇඟිලි ඇඹරී යන්නේත් , වැතිරී උන් යහන මත සුදු ඇතිරිල්ල දෑතින් පොඩි වී යන්නේත් දරාගත නොහැකි පාළුව නිසාය. කෙසේවත් මකා දැමිය නොහැක්කේ ඔහුගේ රුව හදවත පුරා අරක් ගෙන සියුම් ලෙස සිරුරේ ඒ මේ අත දුවමින් මුළු සිරුරම එකවර අධික ශීතලෙනුත් , අධික උණුසුමෙනුත් පුරවන නිසාය. දරාගත නොහැකි මෙම හැඟීම කුමක්ද කියා හෝ හඳුනාගත නොහැකි වූ ඈ යහන මත හිඳ ගෙන වේගයෙන් සුසුම් ලෑවාය. හාත් පසම ගන අඳුරය . පිටත වසින චුරු චුරු වර්ෂාවේද නිමක් නොමැතිය. හදවත පුපුරු ගසන්නේ දින දෙක තුනකට පෙර එපා යැයි කියූ ප්‍රේමවන්තයා යළි ඉල්ලා අයදිමින්ය. කෙසේ වත් දරාගනු නොහැකි ඔහුගේ මතක මුළු සිරුර පුරාම දුව යද්දී ඔහුගේ දෑතේ පහසට නතුව තිබූ ඇගේ ඇඟිලි වෙව්ලන්නට පටන් ගත්තාය. දිනක මෝටර් රථය තුළදී දුන් හාදුවේ උණුසුම සොයමින් රෝස දෙතොළ වියැළෙමින් සිටියේය. තව දුරටත් පාලනය කර ගත නොහැකි වූ ශරීරයම ඔහුගේ ස්පර්ශයක් සොයා යදිමින් හඬා වැටෙද්දී තමාට සිදු ව ඇති කිසිවක් හරි හැටි තේරුමක් නොමැති වූ තරුණිය දෑතම ගෙන පපුව මත ගුලි කර ගත්තාය. 

” ටක්.. ටක්.. ටක්…”

කුඩා ඇනෙක්සියේ දොරට නඟන සියුම් හඬ ඇගේ පූර්ණ මනෝ ලෝකය බිඳ දැමුවේය . වහා සිහි කල්පනාවට එළැඹි ඈ අවුල් වී ගිය කෙස් කළඹද , වතින් රූරා වැටුණු ඇඟලුමද යළි සකසමින් වහා වහා කුඩා ආලින්දය වෙත දිව ගියාය. 

” අක්කේ.. ?” 

” නංගි ඔයා පාඩම් කර කරද හිටියේ ?” 

ශාක්‍යාගේ දෙනෙත මත ඇගේ නිදහසට බාධා කිරීම පිළිබඳව සමාව යැදීමක් සටහන් වී තිබුණේය.

” නෑ අක්කේ , මට ටිකක් නින්ද ගියා . එන්න ඇතුළට. “

ඈ එසේ පවසමින් දොරකඩින් මෑත් වූ අතර ශාක්‍යා පැමිණ කුඩා සෝපාවට බර වූවාය.

” ඔයාට සර් කතා කළාද නංගි ?” 

ශාක්‍යාගේ පැනයට තිගැස්සුණු ඈ නැත යැයි සන් කරමින් හිස දෙපසට සැලුවාය. 

” රස විමනේ ඕපනින්ග් එකෙන් පස්සෙම සර් ඔෆිස් ආවේ නෑ “

ඈ නැවත වරක් තිගැස්සුණු දෙනෙතින් ශාක්‍යා දෙස බලා සිටියාය .

” දිසානායක ගෲප් එකත් එක්ක අපේ ඇපෲ උනු ප්‍රොජෙක්ට් එකක් තිබ්බා. ඒකේ ඉවර කරන්න තිබ්බ ෆයිනල් ඩේට් එක තිබ්බේ අද . හැමදේම ලෑස්ති කරලා තිබ්බේ. අත්සන් කරන්න සර් විතරයි ඕනේ වෙලා තිබ්බේ. ඒ කාරණේ ගැන මතක් කරන්න ඕනම නිසා මං ඊයේ ඉඳලා සර්ට කෝල් ගන්නේ. සර් එක කෝල් එකක් ආන්සර් කළේ නෑ නංගි. අද දවස ඇතුළත අපි ප්‍රොජෙක්ට් එක ඔක්කොම ඉවර කරලා දිසානායක ගෲප් එකට යවන්න හිටියේ. මුළු ඔෆිස් එකම සර්ව කන්ටැක් කරගන්න බැරුව දැඟළුවා. අන්තිමට දිනේන්ද්‍ර සර්ත් ආවා. ඔක්කොම තිබුණේ සියත්‍ර සර්ගේ නමින් නිසා දිනේන්ද්‍ර සර්ටවත් ෆයිනල් ඩොකියුමන්ට්ස් වලට අත්සන් කරන්න බැරි උනා. දිනේන්ද්‍ර සර්ගේ ෆෝන් කෝල් එකකටවත් සියත්‍ර සර් ආන්සර් කරලා නෑ. දිනේන්ද්‍ර සර් මුළු ඔෆිස් එකටම කෑ ගහලා ගියේ  ආයේ මෙහෙම දෙයක් උනොත් අපි හැමෝටම ගෙදර යවනවා කියලා. “

” එ.. එතකොට ප්‍රොජෙක්ට් එක. ?” 

” ඒක අපිට නැති උනා “

ශාක්‍යා විසල් සුසුමක් අත හැරි අතර සඳැස්වි වේදනාවත් , කළකිරීමත් හමුවේ තොල් පට සපා ගත්තාය . 

” ස්.. සර්.. ඇයි අක්කේ ඇවිත් නැත්තේ ?” 

” දන්නෑ නංගි. උත්පලා මැඩමුත් ඇවිල්ලා හෙඩ් ඔෆිස් එකේ කියෝලා කියෝලා ගියේ. අපේ ඩිපාර්ට්මන්ට් එකෙන්  කෙරෙන්නේ සියත්‍ර සර්ගේ වැඩ විතරයි. ඕනෙම දෙයක් හැම ඩිපාර්ට්මන්ට් එකකින්ම කම්ප්ලීට් වෙලා අන්තිම ටික තමයි අපිට ලැබෙන්නේ.  අන්තිමට සර්ගේ ඇපෲවල් එක අරන් ඊට පස්සේ අපි ඒක ෆයිනලයිස් කරනවා. එහෙම ඔක්කොම කම්ප්ලීට් වෙලා එන ප්‍රොජෙක්ට් එකක් හරි ෆයිල් එකක් හරි අපෙන් මිස් වෙනවා කියන්නේ ඒක සක්සස් කරන්න මහන්සි වෙච්ච අපිට පහලින් තිබ්බ අනිත් හැම ඩිපාර්ට්මන්ට් එකකම මහන්සිය වතුරේ යවනවා වගේ වැඩක් . දිනේන්ද්‍ර සර් , උත්පලා මැඩම් උනත් තමන්ගේ පුතාට වඩා ඇඟිල්ල දික් කළේ අපිට , අන්තිම මොහොත වෙනකන් ෆයිනලයිස් කරන්න බලන් හිටියට. සියත්‍ර සර් කියන්නේ හරිම රූල් එකට වැඩ කරන කෙනෙක් නිසා අපි උනත් මේකට හදිස්සි උනේ නෑ. සර් මෙහෙම මිසින්ග් වෙයි කියලා අපි දන්නෑනේ නංගි….”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here