ෂර්ලොක් හෝම්ස් බිරිඳ

කාංචනා දිලිනිව ඇරලවලා ගෙදර එනකල් කල්පනා කරේ දිලිනිගේ මහත්තයා ගේ හොර වැඩ අහු වෙච්ච විස්තරේ. දිලිනියි එයාගේ මහත්තයයි දෙන්නා සෑහෙන්නම ආදරෙන් හිටියා වගේ තමයි මුලු ඔෆිස් එකේම අය දැනගෙන හිටියේ. උදේ දිලිනිව ඇරලවන්න එන එක, හවසට දිලිනිව ආයේම ගන්න එන එක, හිටපු ගමන් මුලු බ්‍රාන්ච් එකටම ඩෙසර්ට් ඕර්ඩර් කරලා එවන එක වගේ දේවල් නිසා දිලිනිගේ මහත්තයා ගැන මුලු ඔෆිස් එකම හිටියේ පැහැදීමෙන්.කොටින්ම දිලිනිගේ හස්බන්ඩ් වගේ කෙනෙක් තමා ඔෆිස් එකේ අන්මැරීඩ් අයගේ ප්‍රාර්ථනාව වුනේ.

ඒත් අද දිලිනි අඬ අඬ කිව්ව කතා එක්ක හැමෝම දවසම ගෙවුවේ හරි තෝන්තුවෙන්. දිලිනිගේ හස්බන්ඩ් එයා කලින් යාලු වෙලා හිටපු ගෑණු ළමයා එක්ක සම්බන්ධේ නවත්තලා නැතිලු. අවුරුදු පහක් තිස්සේ දිලිනි එක්ක ඉන්න ගමන් ඒ කෙනා එක්කත් ඉන්නවලු. රූම් යනවලු. ඔෆිස් එකේ ඩියුටි කියලා ගිහින් රෑ වරු පවා දෙන්නා එකට ඉඳලා.දිලිනි හැමදේම අල්ලගෙන තියෙන්නේ අහම්බෙන් දැකපු වට්සැප් මැසේජ් එකකින්.

ඔක්කොම දාලා දිලිනි හවස ගියේ අම්මලාගේ ගෙදර. දිලිනිව තනියෙන් යවන්න හිතේ බය නිසා කාංචනයි, තිලිණියි ඇරලවන්නත් ගියා.

ඒ කතාව අහපු වෙලේ ඉඳන් කාංචනා ට සසංකගේ අහුකොන් මතක් වෙනවා. බාතෲම් එකට යද්දී ෆෝන් එක අරගෙන යන එක, සමහර කෝල් වලට ආන්සවර් නොකර කට් කරන එක, නිදාගන්න ගියාම ෆෝන් එක ඕෆ් කරලාම චාර්ජ් වෙන්න දාන එක…. ඒ වගේ කාරණා දහයක් පහළවක් ඔලුවට ආවා.

 කාංචනා ට නොතේරුණේ බාතෲම් කට ෆෝන් ගෙනියන පුරුද්ද සසංකගේ කැම්පස් කාලේ ඉඳන්ම බව, ආන්සවර් නොකර ඉන්න කෝල් වලට හේතුව කාංචනා එක්ක ඇඳේ ඉන්න තියෙන වෙලාව මඟෑරගන්න අකමැති එක බව, ෆෝන් එක ඕෆ් කරලා චාර්ජ් වෙන්න දාන්නේ ෆෝන් එකේ කල්පැවැත්ම ගැන හිතලා බව. 

කාංචනා ගෙදර ගියේම ඔලුව ගිණි අරගෙන වගේ. සසංකට වැඩි වෙලා යන්න කලින් කාංචනා ගේ වෙනස තේරුණත්, කාංචනා කිව්වේම කිසිම දෙයක් නෑ කියලා.

“ප්‍රශ්නයක් නම් කියන්නකෝ ළමයෝ.. අසනීපෙන් ද?”

කාංචනා කලේ අනෙක් පැත්ත හැරිලා නිදාගත්ත එක.

පහුවෙනිදා ඔෆිස් ගියාම කාංචනා මේ ප්‍රශ්නේ මයුරි එක්ක කිව්වා. මයුරි විවාහ වෙලා දැන් ඩිවෝස් වෙන්න ඉන්නේ.  පිරිමි ගැන ඉන්නේම මහ වෛරෙක. අවුලවන්අ බලාගෙන. 

“මං කියන්නද බං වැඩේ.. උඹ ෆේක් අකවුන්ට් එකක් හදලා, සසංක එක්ක චැට් කරලා බලපං… පුලුවන් තරමින් නම්ම ගන්න විදියට… එකපාරටම බෑ..ඉස්සෙල්ලම රික්වෙස්ට් එකක් දාලා ඇඩ් කරගනින්..ෆොටෝ වලට කොමෙන්ටු දාපං… ඒ අතරේ බලමු…”

ඒ යෝජනාවට කාංචනා ත් එක පයින් එකඟ වුණා. පිට කාටවත් සසංක ගේ අඩුපාඩු දැනෙන්න දෙන්න තිබුණ අකමැත්ත නිසාම ඒ යෝජනාව කාංචනා ට පෙනුනේ ගැලපෙනම විසඳුම විදියට.

කාංචනා ඔෆිස් එකේදීම ෆේක් අකවුන්ට් එකක් හැදුවා. කවි දෙක තුනක් ලියලා දැම්මා. පොදු අකවුන්ට් වලට රික්වෙස්ට් සීයක් විතර දැම්මා. ඉන්ටර්නෙට් එකෙන් ඩව්න්ලෝඩ් කරපු මූණ නොපෙනෙන ඉන්දීය නිළියකගේ ෆොටෝ එකක් ප්‍රොෆයිල් එකටත් දැම්මා.  

එදා හවසම සසංකගෙ අකවුන්ට් එකට ගිහින් ප්‍රොෆයිල් එකට හාර්ට් එකක් දාලා ආවා.දවස් දෙක තුනකින් වෙන පෝස්ට් එකකට කොමෙන්ටුවක් දැම්මා. ආයෙම කවියකට කට්ටිය ටැග් කරනකොට සසංකවත් ටැග් කලා. ආයෙම දවසක ප්‍රොෆයිල් ෆොටෝ එකට ස්ටිකර් කමෙන්ටුවක් දැම්මා. සති දෙකකින් විතර පෝස්ට් හැම එකටම වගේ කොමෙන්ටු දාන්න ගත්තා.

මයුරි කිව්වේ හායි කියන්න දැන් කාලේ හරි කියලා. ඔෆිස් එකේදීම කාංචනා සසංකට හායි එකක් යැව්වා. දවසම ප්‍රතිචාර ආවේ නෑ. කාංචනා හිටියේම නොසන්සුන්කම් එක්ක.

රෑ සසංක බාතෲම් එකට ගියාම, කාංචනා ෆේක් අකවුන්ට් එකෙන් සසංකට වීඩියෝ ඇමතුම් පහක් හයක් අරගෙන ඒවා මඟ හැරුණ ඇමතුම් වගේ තියෙන්න දුන්නා. ෆෝන් එක සයිලන්ට් දාගෙන වෙන වැඩක් කරනවා වගේ කාමරේ මේසේ ළඟ ලැප් එකත් ඔන් කරගෙන වාඩි වෙලා හිටියා.

සසංක ඇවිල්ලා ජංගම දුරකතනය අතට අරගෙන වීඩියෝ ඇමතුම් බලනකොට කාංචනා හොර පූසියෙක් ගානට සසංක දිහා බලාගෙන හිටියා. සසංක ගානක්වත් නැතුව දුරකතනය පැත්තකට දාලා පොතක් අතට අරගෙන වාඩි වෙනකොට කාංචනා තව නොසන්සුන් වුණා.

“අපි චුට්ටක් කතා කරමුකෝ…”

සසංක ට ආයෙම පණිවිඩයක් යැව්වා. මැසෙන්ජර් පණිවිඩය යන හඬ කාංචනා ට දැනුණේ වෙඩි උණ්ඩයක් වගේ. 

සසංක පණිවිඩය ඕපන් කරලා මොනවද ටයිප් කරන හැටි කාංචනා බලාගෙන හිටියේ.

“ඔරිජිනල් අකවුන්ට් එකෙන් ඇවිල්ලා කියන්න තියෙන දෙයක් කියන්න..”

කාංචනා ගේ පපුව හීරුණා. එතකොට ෆේක් එක්ක චැට් නොකරට  ඔරිජිනල් අකවුන්ට් වලින් එන ගෑණු ආශ්‍රය කරනවා ඇති.

“මං ගෑණු කෙනෙක්…ඇත්තටම … ලොකු ප්‍රශ්න ගොඩක ඉන්නේ… ඔයා හොඳ කෙනෙක් කියලා මම දන්නවා…”

“ඒ කියන්නේ ඔයා මාව දන්නවද?”

“ඔව්..”

“කොහොමද ?”

“මම ඔයා සිලෝන් සී හොටෙල් එකේ මැනේජර් වෙලා ඉන්නකොට එහෙ වැඩ කලා…”

කාංචනා වෙවුලන ඇඟිලි තුඩු වලින් ටයිප් කරා.

“මට එකපාරටම එහෙම හිතාගන්න බෑ කවුද කියලා… මොකක්ද වෙන්න ඕනි ? මෙච්චර වීඩියෝ කෝල් අරගෙන මොකද ?”

“ඔයාට මාව අමතක වෙන්න විදියක් නෑ. ඔයාව බලන්න හිතුණා. මං සති දෙක තුනකට කලින් හිල්ටන් එකේදි ඔයාව දැක්කා වයිෆ් එක්ක…”

“මට මතක නෑ…. කවුද කියලා කියලා ඉන්න…”

“මං හෙට හොටෙල් එකට එන්නද ඔයාව මුණ ගැහෙන්න…”

“ඒ මොකටද ?”

“අපි කතා කරමු…”

“අයිසේ.. මට එහෙම කතා කරන්න දෙයක් නැ. කියන්න තියෙන දෙයක් කියනවා. කෙරෙන්න දෙයක් තියෙනවා නම් කරන්න පුලුවන් නම් කරලා දෙන්නම්…”

“මං ගොඩක් අසරණ වෙලා ඉන්නේ සසංක… ජොබ් එකත් නැතුව…”

“සීවී එකක් වට්සැප් කරන්න. මගේ පරණ නම්බර් එකමයි වැඩ… මං අපේ එච් ආර් එකට දාන්නම්. “

සසංක එහෙම කියනකොට කාංචනා එච්චර වෙලා වැටුණු සැනසුම් සුසුම් වලට ගිණි තියාගත්තා.

සසංක උත්සාහ කරන්නේ හෝටලේට ගෙන්නගෙන සම්බන්ධතා අලුත් කරන්න බව හිතුවා. 

“මගේ ෆෝන් එක නැති වෙලානේ…”

“එහෙනම් සිලෝන් සී එකේ ලෑන්ඩ් ලයින් එකට අරගෙන මගේ ඔෆිස් මොබයිල් එක ඉල්ලගන්න. ඒකට වට්සැප් කරන්න. “

එකපාරටම මැසෙන්ජර් වලින් තමන්ව බ්ලොක් වුණ බව කාංචනා ට තේරුණා. ආයෙම සැනසුම් සුසුමක් වැටුණා. තව පැය භාගයක් ව්තර බොරුවට ලැප් එක ඔබ ඔබා ඉඳලා කාංචනා ඇඳට ආවා. සසංක පොත පැත්තකට දාලා කාංචනා ව වැළඳගත්තා.

“ඔයාගේ ප්‍රශ්නේ තවම මට කියන්නේ නැද්ද බබා…”

කාංචනා ගේ ඉවසීම් දොරටු පුපුරලා ගියා. දිලිනිගේ ප්‍රශ්න ගැන අඬ අඬා කිව්වා. සසංක ගැනත් සැක හිතුනා කියලා කිව්වා. ඒත් ෆේක් අකවුන්ට් එකේ සිද්දිය කිව්වේ නෑ. සසංක හිනාවෙවීම කාංචනා ට පෙන්නුවේ ඊට කළින් කාංචනා එක්කම කරපු සංවාදේ. 

“ඕනි තරම් ගෑණු මිනිස්සු කතා බහ කරනවා ඔහොම කාංචි.. ඒක ලෝකේ විදිය.. අපි ජීවත්  වෙන්නේ සමාජ සත්වයෝ විදියට…ගෙදරින් එලියේ අපි ගණුදෙනු කරන මිනිස්සු විවිධාකාරයි .. ඔයා දන්නවා  මේ  හොටෙල් ෆීල්ඩ් එකේ පිරිමි එක්ක කරට කර හැප්පෙන ගෑණු ඉන්නවා. 

 මට දිනපතා  ලේඩිස්ලා එක්ක කෙරෙන  මීටින් තියෙනවා සමහර සති වල.  ඒවා ඉවර වෙලා අපි එකට ලන්ච් ගන්නවා… ඒකෙන් කියවන්නේ නෑ ඒ මිනිස්සු ගෑණු අතරේ අනියම් සම්බන්ධතා තියෙනවා කියලා .. එකට කන බොන , යන එන මිනිස්සු ගෑණු සැක කරන්න ගත්තොත් නම් ජීවිතේ සෑහෙන්නම අමාරු වෙනවා…”

තමන් කරන්න ගියේ අහක තියෙන  මරාලයක් ඔලුවට දාගන්න ගිය එක බව කාංචනා ට තේරෙනවා. සසංක කියන්නේ තමන්ගේ විශ්වාසේ ලේසියෙන් නොබිඳපු අවුරුදු දහයක් තිස්සේ තමන් දන්න අඳුනන කෙනා බව අමතක කලේ කොහොමද කියලා කාංචනා ආයේ ආයේම හිතෙන් අහගත්තා.

“දිලිනිගේ හස්බන්ඩ් ඔයාලට පෙනුන හොදම කෙනා.. එයා ඒ දේවල් මවලා පෙන්නන්න ඇත්තේ අර කතාව වහගන්න… ඒ කියන විදියට ඒ ලේඩිත් ඩිවෝස් නම්, දෙන්නට උපරිම නිදහස තියෙනවා නෙහ්…”

කාංචනා ඔලුව වැනුවා. 

” තමන්ට දැනෙන දේ විතරක් විශ්වාස කරන්න. ලෝකේ මිනිස්සුන්ට ඔයාව ශර්ලොක් හෝර්ම්ස් කෙනෙක් කරන්න ඕනි වුනාට බලෙන් ඒ පට්ටම දාගන්න එපා. අපි හැඟීම් එක්ක ජීවත් වෙන මිනිස්සු. අපි ඒ හැඟීම් වලට වහල් වෙන්න  පුලුවන් තත්පරේ දෙකේ පමාවෙන්. ඒ නිසා, ඉස්සෙල්ලාම දැනෙන දේ විශ්වාස කරලා, ඊට පස්සේ ශර්ලොක් හෝර්ම්ස් වෙන්න. ඊටත් පස්සේ පුලුවන් නඩු අහන්න. ඔයා ඔය නිස්කාරනේ බුම්මගෙන ගෙව්වේ  අපිට හරි ආදරෙන් ඉන්න තිබ්බ දවස්…

බැරි වෙලාවත් මං හෙට මළොත්…,

සසංක ට ඉන් එහා කතා කරන්න කාංචනා ඉඩ දුන්නේ නැහැ. සසංක ගේ ඇඟට උඩින් කකුලක් දාගෙන සසංකට තුරුළු වුණා. හෙට උදේම ෆේස්බුක් ලයිට් එක අයින් කරලා දාගන්න පොරොන්දු වුණා. ජීවිතේ ලේසි වෙන්න  නම් දැනෙන දේ විශ්වාස කරන්නත්, එළිපිට දේවල් කතා කරන්නත් පුරුදු වෙන්නම ඕනි බව ආයෙම හිතාගත්තා. 

| අපේක්ෂා ගුණරත්න | 

More Stories

Don't Miss


Latest Articles