ප්‍රේමයේ නාමයෙන් ජීවිතයට සමු දුන් “රාණි රුප්බා” දේවිය.

සමහර ආදර කතා සුඛාන්තයකින්ම කෙළවර වන්නේ නෑ. ඒවා වඩාත් සමීප වන්නේ දුඛාන්තයකට. ඒත් සමහර ආදර කතා මරණයෙන්වත් අවසන් නොවන නිසා ඒවා ලෝක පූජිත කතාන්දර බවට පත් වෙනවා.

ප්‍රේමය නාමයෙන් මරණය වැළඳ ගත් රැජිනියක් සම්බන්ධ කතා පුවතක් අසල්වැසි ඉන්දීය ඉතිහාසයට එක් වන්නේ පහලොස් වෙනි සියවසේ දී.

ඇය රානි රුප්භා. 

රානි රුප්භා රැජිනිය වාසය කරේ දන්දායි දේශයේ. වර්තමානයේ ඉන්දියාවේ අහමාබාද් හැටියට හඳුන්වන්නේ මේ ප්‍රදේශය. රන වීර් සිං නම් පාලකයෙකුගේ ආදරණීය බිසව වූයේ රාණි රැජින. ඔවුන් බොහොම ආදරයෙන් ජීවත් වූ යුවළක්.

රජු රැජිනට පමණක් නොවෙයි, තමන්ගේ රට වැසියන්ටත් බොහෝ ආදරය කළා.ප්‍රදේශයේ වැසියන්ට තිබූ ගැටලුව වුණේ වියළි කලාපයක් හේතුවෙන් ජලය හිඟ වීම. ඒ නිසා නිරන්තරයෙන් ම ජල හිඟතාවය නිසා වැසියන් පීඩා වින්දා.

විශාල ළිඳක් ඉදි කිරීම!

ප්‍රශ්නයට විසඳුම ලෙස රජතුමා හඳුනාගත්තා. Adalaj Stepwell ලෙස අදටත් ප්‍රචලිතව ඇත්තේ ඒ ළිඳයි.

ඒත් රජුට මේ ළිඳ අවසන් කරන්නට ඉඩ ලැබුණේ නෑ. මෙම ව්‍යාපෘතිය නිම කිරීමට පෙර, අසල්වැසි රාජධානියක මුස්ලිම් පාලකයෙකු වූ මොහොමඩ් බෙග්ඩා විසින් ඔහුගේ රාජධානියට පහර දෙනු ලැබුවා.රන වීර් සිං රජු සටනේදී මිය ගිය අතර මොහොමඩ් බෙග්ඩා ඔහුගේ භූමිය අල්ලා ගත්තා. රණ වීර් සිංගේ වැන්දඹුව වූ  රාණි රූප්බා දේවිය සති පූජාව පවත්වා තම සැමියා සමඟ මරණින් මතු ජීවිතයට එක්වීමට තීරණය කළා.නමුත් බෙගඩා රජු එය වළක්වා විවාහ වන්නේ ඇයට බල කර සිටියා. තදින්ම ප්‍රතික්ෂේප කළත් මුස්ලිම් රජු තමන්ගේ ඉල්ලීම නැවත්වූයේ නෑ.

“විවාහ යෝජනාව පිළිගන්න මට පොරොන්දුවක් ලබා දෙන්න ඕනෑ.”

අවසානයේදී රාණි දේවිය එසේ ඉල්ලා සිටියා.

“අපිට මේ ලිඳේ කටයුතු අවසන් කරන්නට ලැබුණේ නැහැ. මේ ප්‍රදේශයේ ජනතාව සම්බන්ධයෙන් මගේ සැමියාට තිබුණු ලොකුම බලාපොරොත්තුව වන්නේ මෙයයි. මෙහි කටයුතු අවසන් කරන්නට ඔබ පොරොන්දු වෙනවා නම් මම ඔබේ බිසව වන්නම්.”

රාණි රුප්භාගේ ඉල්ලීම බෙග්ඩා රජු පිළි ගත්තා. ඔහු එහි කටයුතු ඉක්මනින්ම අවසන් කළා. ලිඳ බිසවට ප්‍රදර්ශනය කිරීම ඔහු කළේ බොහොම ආඩම්බරයෙන්.එය තට්ටු පහක ලිඳක්.Solanki වාස්තුවිද්‍යාත්මක ශෛලියට එය ඉදි කර තිබුණා. අඩලජ් පඩිපෙළ තට්ටු පහක් ගැඹුරුයි. එය සංකීර්ණ ලෙස කැටයම් කරන ලද විශාල කණු සංඛ්‍යාවක් මත ගොඩනගා ඇති අතර මුදුනේ සැලැස්මක අෂ්ටාස්‍ර වුණා. සෑම මහලක්ම මිනිසුන්ට රැස්විය හැකි පරිදි ඉඩකඩ තිබෙනවා.වසර ගණනාවක් පුරා වර්ෂාපතනය හේතුවෙන් ජල මට්ටමේ සෘතුමය උච්චාවචනයන් සැලකිල්ලට ගනිමින් එම මට්ටමේ භූගත ජලය වෙත ප්‍රවේශ වීම සඳහා එය ගැඹුරට හාරා තිබුණා. මෙහි සැලකිය යුතු තරමේ කැටයම් සහ ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ට බව පෙන්වන දෑ තිබුණා.

ඒ නිර්මාණය දෙස රාණි රැජින මොහොතක් බලා සිටියා. ඇගේ සිහිනයත් ඇගේ ආදරණීය සැමියාගේත් සිහිනය වෙන කෙනෙකු සම්පූර්ණ කර අවසන්. ඒ රට වැසියන් වෙනුවෙන් ඔවුන් දෙදෙනාම දුටු සිහිනයක්. ඒ සැනසීමෙන් ඇය මොහොතක් ගත කළා. අනතුරුව ඇය ළිඳට පැන්නේ කිසිවෙකුටත් කිසිවක් සිතන්නට ඉඩ නොතබා.

Adalaj Stepwell අදටත් ඉන්දියාවේ අහමාබාද් හි සංචාරය කරන සංචාරකයන්ට දකින්නට පුලුවන්. සැබෑවටම එය ටාජ් මහල් තරමටම ප්‍රේමයේ සංකේතයක්.

More Stories

Don't Miss


Latest Articles