මළ සිරුර බාර ගැනීමට දෙමාපියන් පවා ඉදිරිපත් නොවූ දරුවෙකුගේ ශෝකාන්තය

ෆිලඩෙල්ෆියා හි Cedarbrook හි Ivy Hill සුසාන භූමියේ ඇති වසර ගණනක් පැරණි සොහොනක “ඇමරිකාවේ නාඳුනන දරුවා”යැයි සටහන් වෙනවා.මෙය ෆිලඩෙල්ෆියා හි වඩාත්ම අවුල් සහගත මිනීමැරුම් නඩු වලින් එකක් ලෙස වසර 60 කට වැඩි කාලයක් පොලිසිය කම්පනයට පත් කළා. මේ සිදුවීම අදටත් පිළිතුරු නොමැති ප්‍රශ්න සිය ගණනක් ඉතිරි කර තිබෙනවා.

අබිරහස් ළමා මළ සිරුරේ හමු වීම

1957 පෙබරවාරි මාසයේදී, කස්තුරි මුවන් දඩයම්කරුවෙකු ෆිලඩෙල්ෆියා නගරයට උතුරින් පිහිටි උද්‍යානයක් අසල ඔහුගේ උගුල් පරීක්ෂා කිරීමට පිටත් වුණා. ඔහු පඳුරු හරහා ගමන් කරන විට, බිම ඉවත දමා තිබූ කුඩා කාඩ්බෝඩ් පෙට්ටියක් සොයා ගත්තා.ඒ පෙට්ටිය තුළ වූයේ කිසි දින නොවිසඳුණු අබිරහසක්.

එහි ඇතුලේ තිබුනේ ගෙතුම් ඇතිරිල්ලකින් එතූ පිරිමි ළමයෙකුගේ නිරුවත් සිරුරක්. පෙට්ටිය ගැන දැනුවත් කළහොත් පොලිසිය තම උගුල් රාජසන්තක කරනු ඇතැයි බියෙන් තරුණ දඩයක්කාරයා එය නොසලකා හැර නැවත දඩයම් කිරීමට පටන් ගත්තා

දින කිහිපයකට පසු, පාරේ රිය පැදවූ විශ්ව විද්‍යාල සිසුවෙකු අධිවේගී මාර්ගය අයිනේ දුවන හාවෙකු දුටුවා. ප්‍රදේශයේ උගුල් ඇති බව ශිෂ්‍යයා දැනගත් අතර සත්වයා ආරක්ෂිතදැයි තහවුරු කර ගැනීමට නතර වන්නට ඔහු තීරණය කළා. ඔහු උගුල් සොයමින් පඳුරු පෙරළන විට ඔහුට පෙට්ටිය හමු වූවා.ඔහු ද පොලිසිය සමඟ කතා කිරීමට බිය වුවත් මළ සිරුර ගැන දන්වන්නට තීරණය කළා.

පෙට්ටියක් වූ ළමා මළ සිරුරේ ස්වභාවය

ඒ සිරුර අවුරුදු තුනත් හතත් අතර ප්‍රමාණයක දරුවෙකුගේ වුණා.ඔහුගේ ශරීරය දැඩි ලෙස මන්දපෝෂණයෙන් පෙළුණු අතර ශල්‍යකර්ම කැළැල් වලින් වැසී තිබුණා.විශේෂයෙන් ඔහුගේ වළලුකර, ඉඟටිය සහ නිකට මත මත ශල්‍යකර්ම කැලැල් පෙනෙන්නට තිබුණා.කොණ්ඩයද ළඟකදී කැපූ බවක් පෙනෙන්නට තිබුණා.

ඊළඟ වසර කිහිපය තුළ, ෆිලඩෙල්ෆියා ප්‍රදේශයට මෙන්ම පෙන්සිල්වේනියාවේ අනෙකුත් නගරවලට මේ දරුවාගේ මුහුණ සිතුවම් කළ පෝස්ටරයක් යවා අතුරුදහන් වූ දරුවෙකු ගැන සොයා බැලුවා. පොලිස් ස්ථානවල, තැපැල් කාර්යාලවල, ගෑස් බිල්පත් සහිත ලියුම් කවරවල පවා ප්‍රචාරක දැන්වීම් පළ කර තිබුණත්, තවමත් කිසිවෙක් තොරතුරක් ඉදිරිපත් කර නැහැ

අපරාධ ස්ථානය කිහිප වතාවක්ම සෝදිසි කර ඇතත් ළමා ඇඳුම් කිහිපයක් හැරුණු විට කිසිම සලකුණක් තිබුණේ නෑ.අද දක්වාම, පිරිමි ළමයාගේ අනන්‍යතාවය 1957 දී මෙන් අභිරහසක්ව පවතිනවා.

මළ සිරුර සම්බන්ධයෙන් හමු වූ සාක්ෂිකාරිය

“එම්” යනුවෙන් පමණක් සඳහන් කරන ලද කාන්තාවක් සිරුර හඳුනා ගන්නට ඉදිරිපත් වූ අතර, පිරිමි ළමයා තම මව විසින් මිල දී ගෙන ඇති බවත්, වසර ගණනාවක් තම නිවස තුළ අපයෝජනය කළ බවත් පැවසුවා. පිරිමි ළමයා බේක් කළ බෝංචි සමඟ රාත්‍රී ආහාරය වමනය කළ පසු, ඇගේ මව ඔහුගේ හිස බිත්තියේ ගසා ඇති බව එම් ප්‍රකාශ කළා.පසුව, ඇය ඔහුව නෑවීමට උත්සාහ කර ඇති අතර, ඒ අතරතුර ඔහු මිය ගොස් ඇති බවත් පැවසුවා.

පිරිමි ළමයාගේ බඩේ බේක් කරන ලද බෝංචි වල ඉතිරිව තිබූ අතර පොලිසිය ඒ සාක්ෂි පිළි ගන්නට යෙදුණා.

නමුත් මේ “එම්” නැමති කාන්තාව පවසන්නේ අසත්‍යයක් බවත් ඇගේ නිවසේ කුඩා පිරිමි දරුවෙකු ජීවත් නොවූ බවත් ඇය දරුණු මානසික රෝගයකින් පෙළෙන නිසා අසත්‍ය පවසන බවත් පොලිස් නිලධාරින්ට සොයා ගන්නට හැකි වුණා.

America’s Unknown Child සහ Boy in the Box ලෙස ලෝකයේ ඉතා ජනප්‍රිය අබිරහසක් බවට මේ සිදුවීම පත්ව තිබෙනවා.කිසිදා නොවිසඳුණු අබිරහස් අතර Boy in the Box ට හිමි වන්නේ ප්‍රමුඛ තැනක්.

More Stories

Don't Miss


Latest Articles