දියණියක මල්වර වූ විට කළ යුතු හා නොකළ යුතු චාරිත්‍ර

යොවුන් දැරියකගේ පළමු ඔසප් වීම මල්වර වීම ලෙස ජන සමාජයේ හඳුන්වනවා.මේ සිදුවීම උත්සවාකාරයෙන් සමරන්න අපේ රටේ අය පෙළඹී ඉන්නවා.විද්‍යාත්මකව බලද්දී මේ සිදුවීම අතිශය සාමාන්‍ය කාරණාවක් වුණත් මල්වර වීමක් ආශ්‍රිතව ඇති සංස්කෘතික කාරණා කිහිපයක් ගැන තමයි මේ ලිපිය.

මල්වර වූ බව දැන ගත් පසු කරන චාරිත්‍ර

දැරියක් මල්වර වූ බව දැනගත් වහාම ඇයව කාමරයකට කර තැබීම අපේ රටේ සාමාන්‍ය සිරිතක්.ඇගේ තනියට වැඩිහිටි කාන්තාවක් හෝ මල්වර නොවූ දැරියක තැබීම සිදු වෙනවා.ඒ කාරණාව නම් පළාතෙන් පළාතට වෙනස් වෙනවා.ඉන්පසු නැකැත්කරුවෙකු වෙත ගොස් මල්වර නැකැතක් සාදා ගන්නවා.දැරියගේ අම්මා සහ තවත් වැඩිහිටි කාන්තාවක් මේ ගමනට සහභාගි වෙනවා. මේ නැකතට දැරිය සුබ මොහොතින් නෑවීම කරන අතර මල්වර ඵලාපල වලට දැරියගේ ඉදිරි ජීවිතය ගැන අනාවැකි පළ කිරීමත් සිදු වෙනවා.ඒ වගේම දැරිය නෑවීමෙන් පසු මුලින්ම අඳින ඇඳුමට වර්ණයක් ලබා දීමත් සමහර පළාත්වල සිදු වෙනවා.

රෙදි නැන්දාට මල්වර වීම දැනුම් දීමත් බොහෝ පළාත්වල සිදු කරන්නක්.දැරිය මල්වර වූ මොහොතේ සිට නෑවීම සිදු කරන මොහොත දක්වා ඇඳ සිටි ඇඳුම් සියල්ල අයිති වෙන්නේ රෙදි නැන්දාටයි.

කුඩා කල දෙකක් ගෙන එයට පොල් මල් දෙකක් තබා දැරියගේ කාමරයෙන් තැබීමත් සමහර පළාත් වල සිදු කරනවා.

දැරියට කොණ්ඩය පීරිමට ඉඩ නොදීම,නාන්නට ඉඩ නොදීම සහ කැඩපතකින් මුහුණ බැලීමට ඉඩ නොදීම සිදු කළත් මෙය වර්තමානයේ නම් සිදු නොවන තරම්.රුධිර වහනය සහිත දැරියගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතු වීම එයට හේතුවයි.

නෑවීම සම්බන්ධ චාරිත්‍ර

ආවරණය කර නාන ස්ථානයට රැගෙන යන දැරිය සමන්පිච්ච මල් සහිත වතුර කළයකින් හෝ ඖෂධ මිශ්‍ර කළයකින් නෑවීම එක් එක් පළාත අනුව වෙනස් වෙනවා.
දැරිය නෑවීමෙන් පසු සුදු රෙද්දකින් වසාගෙන රැගෙන ගොස් නිවසේ උළුවස්ස ළඟදී පොල් ගෙඩියක් බිඳින්නට සලසන අතර මේ පොල් ගෙඩිය බිඳීම අනුව ඇගේ අනාගතය ගැන අනාවැකි පළ කෙරෙනවා.

සෙසු චාරිත්‍ර

ගේ මැද පැදුරක් එළා පහන් නවයක් තැටියක තබා කිරිබත් පිගානක්, කැවුම්, කොකිස්, කෙසෙල් වට්ටි දෙක බැගින් සහ එළවළු තුනපහේ කුඩු වට්ටියක්, බුලත් දුම්කොළ, මල් වට්ටියක් දැරියගේ හිස වටා හත් වටයක් රැගෙන යනවා.
ඉන්පසු අත්පොඩි ගසා පහන් නිවා දමනවා.බොහෝ පළාත්වල මේ චාරිත්‍රයට යොදා ගත් සියලුම දේ රෙදි නැන්දාට ලබා දෙනවා.

දැරිය නියමිත වර්ණය සහිත ඇඳුමින් සැරසී දෙමාපියන් සහ වැඩිහිටියන්ට ආචාර කරන අතර ඇයට ත්‍යාග ලබා දීම සහ රනින් සැරසීම ඉන්පසු සිදු වෙනවා.

දවස් දාහතරක් ගත වෙන තුරු බදින ලද ආහාර සහ මස් මාළු ලබා නොදීම ආදිය සමහර පළාත්වල සිදු කරනවා.මෙහි කිසිම විද්‍යාත්මක පදනමක් නැති තරම්.

මේ චාරිත්‍ර දියණියකට අලුත් අත්දැකීමක් ලබා දෙන්නක්.තමන් තවදුරටත් දැරියක නොව යුවතියක බව ඇයට වටහා දෙන්නට මේ චාරිත්‍ර කිරීමෙහි වරදක් නැහැ.එය අපේ සංස්කෘතියේ ඇති සුන්දරම අවස්ථාවක්.නමුත් මල්වර වූ දැරියක වෙනුවෙන් මහා පරිමාණ උත්සව පැවැත්වීම නම් අනුමත කරන්නට බැහැ.එය දැරියට කරන හානියක් ලෙසයි අප නම් දකින්නේ.මේ චාරිත්‍ර පවා ඔබේ අතිශය පෞද්ගලික තෝරා ගැනීමක්.එය නොකිරීම කිසිදු වරදක් නැහැ.
අපේ සංස්කෘතික අංග ගැන ඔබ දැනුවත් කිරීම වෙනුවෙන් මෙය පළ කරන බව අමතක කරන්න එපා.

More Stories

Don't Miss


Latest Articles