මට එක දවසක් හරි බැරිනම් ඔබෙ වෙන්න – 52

0
395

“මං හිතුවා ඔයා රින්ග් එකට කැමති වෙයි කියලා”

අපාර්ට්මන්ට් එකට එනකල්ම ආපු මුළු ගමන පුරාම මං කතා කරේ නැති තරම්. හැබැයි මතින්ද්‍ර ඒ නිශ්ශබ්දතාවය සම්පූර්ණයෙන්ම වැරදියට තේරුම් අරගෙනයි හිටියේ. එයා හිතුවේ මං ගොඩක් සංවේදී වෙලා කියලා, පුදුම වෙලා කියලා. හරියට සුරංගනා කතාවක අන්තිමට තමන් කැමතිම දේ ලැබුණු ගෑනියෙක් වගේ මං පුදුමෙන් ගල් ගැහිලා ඉන්නවා කියලා එයා හිතුවා.

හැබැයි ඇත්තටම මං හිටියේ හුස්ම ගන්නවත් අමාරුවෙන්.

කාර් එක අපාර්ට්මන්ට් එකේ බේස්මන්ට් එකට දානකල්ම එයා හිනාවෙවී අනාගත සැලසුම් ගැන කියව කියව හිටියා.

“අපි වීකෙන්ඩ් එකේ අම්මලාට කියමු.”

“එන්ගේජ්මන්ට් එක පොඩියට ගමු.”

“අපි මුලින්ම ලොකු ට්‍රිප් එකක් යමු.”

මං ජනේලයෙන් එළිය බලාගෙන හිටියා විතරයි. මගේ මුළු ලෝකයම මගේ ඉස්සරහම කඩාවැටෙද්දී, එයා ඒ නටබුන් උඩ මාලිගා හදන හැටි මං අහන් හිටියේ කිසිම හැඟීමක් නැතුව. ඒ හැම වචනයක්ම මට දැනුණේ මගේ බෙල්ල වටේ තද වෙන තොණ්ඩුවක් වගේ. එයාට ඕන වුණේ මාව එයාගේ ලෝකේ හිරකරගන්න, හැබැයි මට ඕන වුණේ කොහොමහරි මේ හුස්ම හිරවෙන තැනින් පැනගන්න.

එයා කියන හැම අනාගත සැලසුමක්ම මගේ ඔළුව ඇතුළට ඇවිත් වැදුණේ හරියට මට කරන තර්ජනයක්  වගේ. අපාර්ට්මන්ට් එකේ දොර ඇරලා ඇතුළට ආවට පස්සෙත් මතින්ද්‍රගේ ඒ සන්තෝසෙ, ඒ එක්සයිට්මන්ට් එක පොඩ්ඩක්වත් අඩු වුණේ නැහැ. එයා බෙල්ට් එක ගලවල ඒක පුටුව උඩට දාලා කෙළින්ම මං ගාවට ආවා.

“මැණික”

මං සපත්තු දෙක ගලවන ගමන් හිටියේ.

“හ්ම්?”

“ඔයාට තාම හිතාගන්න බැරුව නේද ඉන්නේ ?”

එයා ඇත්තටම හිනා වුණා.

“ඇත්තම කිව්වොත් ප්‍රොපෝසල් එකට පස්සේ ඔයා අඬයි කියලා මං හිතුවා.”

මං උත්තර දුන්නේ නැහැ. මගේ අතේ තිබුණ මුද්ද දාපු පෙට්ටිය දිහා විතරක් බලාගෙන හිටියා. ඒ කළු පාට වෙල්වට් පෙට්ටිය, ආදරය, කැපවීම, සදහටම එකට ඉන්න එක, ඒ හැමදේකටම නියම සංකේතයක්. මං ඒක පිළිගන්නවා. ඒක මාර ලස්සන මුද්දක්. මීට අවුරුදු කීපෙකට කලින් මතින්ද්‍ර ඕක මගෙ ඇඟිල්ලට අද වගේ දවසක දැම්මා නම් ඇත්තටම මං කෑගහලා අඬන්න තිබ්බා තමයි.

ඒත් අද මට ඒක හරිම විහිළුවක් විදියට පේන්නෙ.

මට ඒ පෙට්ටිය දිහා බලද්දි දැනුණේ හරියට මාංචු කුට්ටමක් දිහා බලනවා වගේ හැඟීමක්. මතින්ද්‍ර කුස්සියේ කවුන්ටරයට හේත්තු වෙලා මං දිහා බලන් හිටියා.

“මං හිතුවා ඔයා මේ මුද්දට ගොඩක් කැමති වෙයි කියලා.”

අන්න ඒ වාක්‍යයත් එක්කම මට හිනා ගියා. හරිම හෙමින්, පුංචි හිනාවක්. හැබැයි ඒක සතුටට ආපු හිනාවක් නෙවෙයි. මතින්ද්‍රගේ මූණේ තිබුණ හිනාව ඒ තත්පරේම හෙමින් මැකිලා ගියා.

“මේඝා?”

මං තාමත් ඒ මුදු පෙට්ටිය දිහා බල බල හිනා වුණා. ඇත්තම කිව්වොත්, මට එකපාරටම මේ මුළු සිද්ධියම හිතාගන්න බැරි තරම් විහිළුවක් වගේ පෙනෙන්න ගත්තා. මෙච්චර බොරු, මෙච්චර රණ්ඩු, මෙච්චර ඇඬුව ඒවා, ඒ බය, පාස්වර්ඩ් උදුරගත්ත ඒවා, මං යන එන තැන් පස්සෙන් ආපු ඒවා, වැඳ වැටුණ ඒවා, ඒ හැමදේම ඉවර කරලා, දැන් දියමන්ති මුද්දක් දීලා හැපි එන්ඩින් එකක් සල්ලිවලට ගන්නයි එයා මේ හදන්නේ.

“මොකද?” මතින්ද්‍ර අමුතු විදිහකට හිනාවෙන්න උත්සාහ කළා. “ඔච්චර හිනා යන්න දෙයක් මෙතන තියෙනවද?”

මං අන්තිමේදී ඔළුව උස්සලා එයා දිහා බැලුවා. “ඔයා ඇත්තටම හිතනවද මේක රොමැන්ටික් කියලා?”

එයාගේ ඇස්වල තිබුණ අතරමං වුණු ගතිය මට පැහැදිලිව පෙනුණා. “මොකක්?”

“මේ හැමදේම.” මං මුදු පෙට්ටිය උස්සලා පෙන්නුවා. “ඔයා හිතනවද මේකෙන් හැමදේම මැජික් එකකින් වගේ හරි යයි කියලා?”

“මේඝා”

“නෑ සීරියස්ලි” මං ආයෙත් හිනා වුණා. හැබැයි ඒ හිනාව ඇතුළේ තිබුණේ මහා ලොකු හෙම්බත් බවක්. “ඔයා රෙස්ටුරන්ට් එක මැද දණගහද්දී මට එකපාරටම හිතුණේ ඔයාට ඇත්තටම පිස්සු කියලා.”

නිශ්ශබ්දතාවය. මහා බර නිශ්ශබ්දතාවයක්. මතින්ද්‍ර දැන් මං දිහා බලන් හිටියේ හිත රිදුණු මනුස්සයෙක් වගේ.

“ඔයා ඇයි එහෙම කියන්නේ?”

“මොකද සාමාන්‍ය මිනිස්සු මෙහෙම කරන්නේ නැති නිසා.”

“මං ඔයාට ප්‍රොපෝසල් එකක් කළේ”

“නෑ” මං හෙමින් ඔළුව වැනුවා. “ඔයා කළේ ප්‍රොපෝසල් එකක් නෙවෙයි මතින්ද්‍ර.”

මං එයාගේ ඇස් දිහා කෙළින්ම බලලා අන්තිම වාක්‍යය කිව්වා.

“ඔයා උත්සාහ කළේ මාව සදහටම හිර කරලා තියාගන්න.”

මගේ අන්තිම වචන ටික ඇහුණ තත්පරේ මතින්ද්‍රගේ මූණ සම්පූර්ණයෙන්ම හිස් වෙලා ගියා. හරියට මං කියපු දේ එයාට තේරුම් ගන්නම බැරි වුණා වගේ.

“හිර කරගන්න?” එයා හෙමින් ඒ වචනෙ ආයෙත් කිව්වා. “මේඝා, මොන මගුලක්ද ඔය කියවන්නේ?”

මං සෝෆා එකේ අයිනට ගිහින් හෙමින් වාඩි වුණා. මට එකපාරටම මහා ලොකු මහන්සියක් දැනුණා. ඒක ඇඟේ මහන්සියක් නෙවෙයි, හිතේ මහන්සියක්. හරියට අවුරුදු ගාණක් එක දිගට පණ එපා කියලා දුවලා, අන්තිමේදී පණ නැතුව නතර වුණ මනුස්සයෙක් වගේ.

“ඔයාට ඇත්තටම මේක තේරෙන්නේ නැද්ද?” මං ඇහුවා.

“තේරෙන්නේ නැහැ තමයි”

එයාගේ කටහඬ ටිකක් උස් වුණා. “මං හැමදේම හරියට ෆික්ස් කළා. මං වැරදි පිළිගත්තා. මං ඩිවෝස් එකට පවා මූණ දුන්නා. මං ඒ හැමදේම කළේ අපි දෙන්නා වෙනුවෙන්”

“අන්න ඒකයි” මං හෙමින් හිනා වුණා. “අන්න ඒකයි මෙතන තියෙන ප්‍රශ්නෙ.”

“මොකද්ද? මොකද්ද ඔයා කියන ඔය ප්‍රශ්නෙ?”

මං ටික වෙලාවක් එයා දිහා බලාගෙන හිටියා. ඊටපස්සේ හරිම හෙමින්, හරිම පරෙස්සමෙන් මං කතා කරන්න පටන් ගත්තා.

“ඔයා දන්නවද මං මුල්ම වතාවට ඔයාට බය වෙච්ච දවස?”

මතින්ද්‍ර මුකුත් කිව්වේ නැහැ.

“එදා ඔයා මගේ ෆෝන් එක උදුරගෙන පාස්වර්ඩ් එක ඉල්ලපු දවස.”

එයාගේ මූනෙ මස්ල්ස් ආයෙ තද වුණා. “ආයෙත් ඒකමද ඔයාට කියවන්න ඕන?”

“ඔව්, ආයෙත් ඒකම තමයි.” මං කෙළින්ම එයාගේ ඇස් දිහා බලාගෙන හිටියා. “මොකද ඔයාට ඒක සාමාන්‍ය දෙයක් වුණාට මට ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි.”

“මට ඉරිසියා හිතිච්ච එක වැරදිද!”

“නෑ.” මං ඔළුව වැනුවා. “ඉරිසියාව කියන්නේ එකක්. පාලනය කියන්නේ තව එකක්.”

ආයෙමත් ලොකු නිශ්ශබ්ධතාවයක්.

“ඔයා දන්නවද මට කොහොමද දැනුණේ කියලා?” මං හෙමින් ඇහුවා. “හරියට මගේ ජීවිතේ කන්ට්‍රෝල් එක තියෙන්නෙ මගෙ අතේ නෙවෙයි වගේ.”

එයාගේ ඇස් දැන් හෙමින් මෘදු වෙන්න පටන් අරගෙන තිබුණා. හැබැයි මං නතර වුණේ නැහැ.

“මං රිප්ලයි එකක් දාන්න පරක්කු වුණොත් ඔයා කලබල වෙනවා. මං ඔෆිස් එකේ ඉද්දි දිගටම කෝල් කරනවා. මං යාළුවෙක් එක්ක කොෆී එකක් බිව්වත් ප්‍රශ්න වැලක් අහනවා. මගේ අකවුන්ට්ස්, මගේ පාස්වර්ඩ්, මං ඉන්න තැන්”

මං දිග හුස්මක් ගත්තා. “ඔයා දැක්කද අන්තිමේදී මං හිනාවෙන එකත් අඩුවුණා කියලා?”

මතින්ද්‍ර කතා කළේ නැහැ.

“ඔයා දැක්කද මං හැම වෙලේම හිටියේ බයෙන් වගේ කියලා?”

“මේඝා”

“ඔයා දැක්කද මං හැම තත්පරේකම ඔයාට දේවල් පැහැදිලි කරන්න පුරුදු වෙලා හිටපු විදිහ?”

එයා දැන් ඉන්නේ ලොකු අපහසුවකින්. මොකද හිතේ කොහේ හරි තැනක එයා දන්නවා මං කියන්නේ ඇත්ත කියලා.

“මං ඔයාට ආදරේ කළා.” අන්තිමේදී එයා හෙමින් කිව්වා. “දෙයියනේ මං ඔයාට කොච්චර ආදරේ කළාද කියලා ඔයා දන්නේ නැහැ.”

මං ඒක ඇහුවම ආයෙත් අර හෙම්බත් වුණු හිනාව මතු වුණා. “ඔයාට තාමත් තේරෙන්නේ නැහැ.”

“මොකක්ද?”

“ආදරේ කියන දේ ඇතුළේ බයක් දැනෙන්නේ නැහැ කියන එක. බයක් දැනෙන්න විදියක් නෑ කියන එක.”

එයාගේ ඇස්වල තිබුණු වේදනාව තවත් වැඩි වුණා. “ඔයාට මේ හැමදේම ආදරේ වගේ පෙනුණා මතින්ද්‍ර.”

මං මගේ කටහඬ ගොඩක්ම අඩු කළා.

“හැබැයි මට ඒක දැනුණේ හරියට හිරගෙයක් වගේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here