කිසිදා නොවිසඳුණු චීන බස් රියේ අබිරහස

මහලු මිනිසෙක් මධ්‍යම රාත්‍රියේ බස් නැවතුම්පොළක රැඳී සිටිමින්, නැවතුමේ සිටි නිහඬ තරුණ මහත්මයෙකු වූ අනෙක් එකම පුද්ගලයා සමඟ සංවාදයක් ආරම්භ කර තිබුණා. මධ්‍යම රාත්‍රියේ යුවාන්-මිං-හුආන් බස් පර්යන්තයේ සිට මාර්ග අංක 375 සඳහා වූ අවසාන බස් රථය පැමිණි විට, ඔවුන් දෙදෙනාම එයට ගොඩ වූවා. මහලු මිනිසා බසයේ ඉදිරිපස අසුනක වාඩි වූ අතර තරුණයා ඔහුට පිටුපසින්  වාඩි වුණා. රියදුරු සහ  ප්‍රවේශපත්‍ර එකතු කරන්නියක හැර ඔවුන් සමඟ වෙනත් මගියෙක් සිටියේ නැහැ.

ටික වෙලාවකින් බස් එක දිහාට අත වනමින් පාර අයිනේ ඡායාවන් දෙකක් සිටිනවා රියදුරා දැක්කා. රියදුරා බසය නතර කර දොර විවෘත කරන විට බසයට තිදෙනෙකු නැග්ගා. ඔවුන් අතර එක් මිනිසෙකුට සහය වෙමින් සිටි මිනිසුන් දෙදෙනෙක් ඔහුව උරහිස්වලින් අල්ලාගෙන සිටියා. ඒ මැදිවියේ සිටි පුද්ගලයා අවුල් වී හිසකෙස් සහිත හිස නමා සිටි නිසා කිසිවකුට ඔහුගේ මුහුණ නොපෙනී ගිය අතර බසය තුළ තිබුණේ සන්සුන් වාතාවරණයක්.

ඉන් ටික වේලාවකට පසු, මහලු මිනිසා ඔහුගේ මුදල් පසුම්බිය සොරකම් කිරීම මුවාවෙන් තරුණයා සමඟ රණ්ඩුවක් ආරම්භ කළා. බහින්බස්‌වීම දුරදිග ගොස්‌ බස්‌ රථයේ රියැදුරු ඔවුන් දෙදෙනාව බලහත්කාරයෙන් බස්‌රථයෙන් බැස්සවූවා.

ඔවුන් බැස බසය යන්නට ගිය පසු මහලු මිනිසා තවදුරටත් කෝපයට පත් නොවූ අතර ඔහු ඔවුන්ගේ ජීවිතය බේරා ගත් බව තරුණයාට පැවසුවා.මගදී ගොඩ වූ මගීන් තිදෙනාට පාද නොතිබුණු බවත් ඔවුන් පාවෙමින් සිටි නිසා ඔවුන් ජීවමාන මිනිසුන් නොවන බව ඔහු පැවසුවා

ඉන් පසු ඔවුන් මෙම සිදුවීම වාර්තා කිරීමට ළඟම ඇති පොලිස් ස්ථානයට ගිය නමුත් කිසිවෙක් ඔවුන්ව විශ්වාස කළේ නැහැ.නමුත් පසුදින බස් සමාගම ප්‍රකාශයක් නිකුත් කළේ “ඊයේ රාත්‍රියේ 375 මාර්ගයේ අවසන් බස් රථය රියදුරු සහ ටිකට් කඩන කාන්තාවත් සමඟ අතුරුදහන් විය.” ලෙසටයි.

මහලු මිනිසා සහ මානසික රෝගියෙකු යැයි අනුමාන කළ තරුණයා කලින් අනතුරු ඇඟවීමට උත්සාහ කළ විට පොලිසිය ඔවුන් ප්‍රතික්ෂේප කළබව ඇසූ මාධ්‍ය ආයතන ඔවුන් පසුපස හඹා ගිය අතර ඔවුන් දෙදෙනාම ඒ සම්බන්ධ සාකච්ඡා වලට මුහුණ දී තිබෙනවා.

ගමනාන්තය වන ෂියැං-ෂාන්  කඳුකරය අතරමඟ ප්‍රදේශයක කිලෝමීටර 100 ක් පමණ දුරින් පිහිටි ජලාශයක අතුරුදහන් වූ බව කියන බස් රථය පොලිසිය විසින් සොයා ගන්නේ දින තුනකින්. බසය තුළ ඉතා නරක ලෙස නරක් වූ මළ සිරුරු තුනක් තිබී ඇති අතර ඒවා රියදුරාගේ හෝ කොන්දොස්තරවරියගේ වූයේ නැහැ.එතරම් දුරක් යන්නට ඉන්ධන නැති බව ද පැවසෙනවා.මළ සිරුරු දින තුනකට නොදිරිය යුතු තරමට දිරා තිබුණා.ඉන්ධන ටැංකිය ලෙයින් පිරී තිබූ බවත් කියැවුණා.

අවසානයේ එය නොවිසඳුණු අභිරහසක් ලෙස නම් දරා තිබෙනවා.

නමුත් ඒ කතාව ඔප්පු කරන්නට කිසිම සාක්ෂියක් නෑ.මෙය හුදු චීන ජනප්‍රවාදයට අයත් හොල්මන් කතාවක් බවත් පැවසෙනවා.

More Stories

Don't Miss


Latest Articles