අත්තම්මාගේ අසීමිත ආදරයෙන් මුරණ්ඩු වූ දියණිය

“අන්න වෑන් එක ඇවිල්ලා.”

අම්මා හයියෙන් කෑ ගහනකොට එලීසා කාමරෙන් එබිලා බැලුවා.තවම එයා කොන්ඩෙ ගොතාගෙන නැහැ.මේස් දෙකක් හොයාගන්න බැරුව සෑහෙන වෙලාවක් අම්මා එක්ක රණ්ඩු කරලා සපත්තු දාගෙන ඉවර වුණා විතරයි.

“ඉක්මන් කරන්නකෝ පුතේ.වෑන් අන්කල් ට තරහ යයි.”

අම්මා කාමරේ දොර ළඟට ආවෙ එහෙම කියාගෙන.එලීසා අම්මා දිහා බැලුවේ කේන්තියෙන් වගේ.

“කොන්ඩෙ ගොතාගෙනත් නෑ නේද දැන් ඕකට කොච්චර වෙලාවක් යයිද?”

අම්මා ටිකක් සැරෙන් එහෙම අහනකොට එලිසාගේ ගැලවුම්කාරිය මුළුතැන් ගෙයි දොර පැත්තෙන් මතු වුණා.ඒ එයාගේ අත්තම්මා.

“දරුවාට උදව් කරන්නේ නැත්තේ ඇයි චාමිනි.පොඩි දරුවාට පුලුවන්ද කොන්ඩෙ ගොතා ගන්න.අම්මා හැටියට ඔයා කරන්න ඕන එයාට උදව් කරන එක නේද?”

එලීසාගේ අම්මට ආවේ මහා පුදුම තරහක්.විවාහ වෙලා මේ ගෙදරට ඇවිත් අවුරුදු පහළොවක්.අනිත් මොන දේවල් දරාගෙන හිටියත් එලීසාගේ කටයුතුවලට එයාගේ අත්තම්මා ඕනෑවට වඩා මැදිහත් වෙන කොට චාමිනීට එන තරහ පාලනය කරගන්න කරගන්න ටිකක් අමාරුයි.ඒත් ඕනෙවට වඩා ප්‍රශ්න ඇති වෙන්න නොදී මැදහත් සිතින් ඉවසන්න චාමිනී හිත හදාගෙන බොහොම කල්.

“මේ බෑග් එක දාලද යන්නේ?”

කොණ්ඩේ ගොතලා දුන්නට පස්සේ ටයි පටිය බඳිමින් එළියට බැස්ස එලීසාගෙන් අම්මා ඇහුවේ කේන්තියෙන්.අන්න ඒ වෙලාවෙත් මිනිබිරියට සහයෝගය දක්වන්න අත්තම්මා තීරණය කරලා තිබුණා.

“පොඩි ළමයෙකුට උස්සගෙන යන්න බැරි තරමට ඒ බෑග් එක බරයි.ඔන්න ඕක ගේට්ටුව ලගට ගිහින් දෙන්ඩ චාමිනි.”

අට වසරේ ළමයෙකුට උහුලන්න බැරි තරමේ බරක් ඒ පොත් බෑගයේ තියෙනවද කියලා චාමිනී කල්පනා කරා.බර බව ඇත්ත.ඒත් පාසල් වෑන් රථයෙන් බැහැලා ඒ බෑග් එක පාසලට උසුලාගෙන යන්නේ එලීසා.එහෙනම් ගෙදර දොරකඩ ඉඳලා ගෙදර ගේට්ටුව ළඟට බෑග් එක උස්සගෙන යන්න දුවට බැරි ඇයි? චාමිනී එහෙම කල්පනා කරනකොට අත්තම්මා බැරි බැරි ගාතේ බෑගය උසුලා ගන්න හැටි ඇය දැක්කා.ඒ දර්ශනය බලාගෙන ඉන්න අමාරු හින්දම චාමිනි බෑග් එක ගේට්ටුව ගාවට ගෙන ගියේ කේන්තියෙන්.

“හැමදාම එලීසා පරක්කුයි.මට ඉගිල්ලෙන්න බෑ මේ වෑන් එක ඇතුලෙ ඉන්නෙ පොඩි ළමයි.”

වෑන් රථයේ රියදුරුගේ දැනුමත් දරාගෙන චාමිනී ගෙට ගොඩ වුණා.

“දුව උදේ ඇහැරවන්න හදනකොට ඒකට බාධා කරන්න එපා අම්මෙ.ඊට පස්සේ පරක්කු වුණා කියලා වෑන් එකේ ගාමිණී බනින්නෙත් මට.”

චාමිනී එහෙම කියනකොට නැන්දම්මා ඈ දිහා බැලුවේ කෝපයෙන්.

“ඔය පොඩි එකා වැඩිපුර පැය භාගයක් නිදා ගත්තා මොකද වෙන්නේ?”

සමහර වෙලාවට එලීසාගේ අත්තම්මා අහන ප්‍රශ්න වලට දෙන්න උත්තරත් නැති බව චාමිනීට කල්පනා වුණා.

“ඒ ඇහැරිලා ඒ දරුවාට නිදහසක් නෑනේ.සපත්තු දෙක හොයාගන්න කියනවා.මේස් හොයාගන්න කියනවා.රිබන් නෑ කියලා බනිනවා.ඒ දරුවාට  ඕනෙ කරන දේවල් අතට දෙන්න බැරි ඇයි චාමිනී.මම අද බලාගෙන බත් එක බෙදලා තිබ්බ නිසා දරුවා නොකාම යන්න හදනවා.මම ගිහින් අනල කැව්වෙ නැත්නම් දරුවා කන්නෙත් නෑ.”

වේල් තුනටම බත් කට අනලා කටේ නොතිබ්බත් එලීසා කෑම කන්නේ නැහැ.ඒවාත් අත්තම්මාගේ හුරතලේ නිසා ඇයට පුරුදු වුණු දේවල්.පුංචි කාලෙදි කෑම කන්න බැහැ කියලා එලීසා කියන වාරයක් පාසාම අත්තම්මා කළේ එලීසාට බත් කවන එක.දැන් අවුරුදු දහතුනක ගැහැනු දරුවෙක් වෙලත් එලීසා අතින් බත් කන්න හොරයි.ඒ විතරක් නෙවෙයි. තමන්ගේ වැඩ කර ගැනීම සම්බන්ධව දියණිය ඉන්නේ සෑහෙන පසුගාමී තැනක කියලා චාමිණී හිතුවේ වේදනාවෙන්.

ඒ තත්ත්වය ඇති වුණේ එලීසා ඉපදුණු දවස්වලමයි.ඇය ගැන සම්පූර්ණ තීරණ ගැනීමේ වගකීම අත්තම්මා පවරා ගත්තු හැටි චාමිනී සිහි කළේ වේදනාවෙන්.හැම දෙයක්ම අතට පයට කරලා දීලා දියණියව හුරතල් කිරීමේ ප්‍රතිඵලය අද පෙනෙන්නට තියෙනව කියන එක චාමිනී දන්නවා.දැන් ඇය කිසිම දෙයක් කරගන්නේ නැති තරම්.

“අතට පයට හැමදේම කරලා දෙන්න ඔයා මාළිගාවක රැජිනක් නෙමෙයිනේ ළමයෝ.”

හොඳටම තරහ යන වෙලාවට චාමිණී කෑගහනවා.මේ වෙලාවටත් අත්තම්ම ගන්නෙ දුවගේ පැත්ත.

“නෙවෙන්නං..අපේ දෝණි අපිට රැජිනක් තමයි.”

එතනින් පස්සේ එලීසා තවත් හුරතල් වෙන්න පටන් ගන්නවා.ඊට පස්සේ ඇය තව ටිකක් හිතුවක්කාර වෙනවා මිසක කිසිම දෙයක් කරන්නේ නෑ.

චාමිනි ඉදලත් අරගෙන මිදුල  අතු ගාන්න පටන් ගත්තේ හරිම හිත් වේදනාවෙන්.හොඳට ඉගෙන ගත්තට ලස්සන රූපයක් තිබ්බට එලීසාගේ හිතුවක්කාර කම දරන්න පුළුවන් සීමාවෙන් ඈතට ගිහින් කියලා චාමිනීට නොහිතෙනවා නෙවෙයි.එලීසාගේ තාත්තා විදෙස් රටක රැකියාව කිරීමත් මේකට හේතුවක් ද කියලා ඇය කල්පනා කළා.එහෙම වෙන්න හේතුවකුත් නෑ.තාත්‍තලා ගෙදර නැති වුණාට දරුවෝ එහෙම හිතුවක්කාර නොවෙන බව චාමිනී දන්නවා.

“අද උදෙත් කෑගහනව ඇහුනෙ දෝණියටද නංගි?”

එහා ගෙදර පද්මි අක්කා වැටෙන් එහා පැත්තේ ඉඳලා අහන හඬ ඇහෙන කොට චාමිනී හිස ඔසවලා ඒ පැත්ත බැලුවා.මල් ගස්වලට සාත්තු කරන අතරේ පද්මි අක්කාට ප්‍රශ්නයක් ඇවිත්.ඕපාදූප අහන තාලේ කෙනෙක් නොවෙන නිසාම පද්මි අක්කාට උත්තර නොදී ඉන්න ඉන්න චාමිණීට බැහැ.හිතවත්කමට අහන දේවල් සහ ඕපාදූප එකතු කරගන්න වන අහන දේවල් අතරේ ලොකු වෙනසක් තියෙන බව චාමිණි දන්නවා.

“උදේට කිසිම වැඩක් තනියම කර ගන්නේ නෑ අක්කේ මේ දරුව.ඔක්කොම මම අතට පයට කරලා දෙන්න ඕනේ.වෙන එකක් තියා ඉස්සර කිරි එකත් ඇඳ ලඟටම ගෙනිහින් තමයි ඇහැරවන්න ඕන.දැන්නම් යන්තම් කුස්සියට එනවා.ඒත් මට අම්ම බනිනවා.”

අන්තිම වාක්‍යයෙන් මුළු කතාවම කියවෙනවා කියලා පද්මි ට හිතුණා.අනුන්ගේ ජීවිත මත ඇවිදීම ප්‍රවේශමෙන් කරන්න ඕන වුණත් ගැහැණු දරුවෙක් සම්බන්ධ සමහර කාරණා වලදී අහක බලාගෙන ඉන්න අසීරුයි කියලා ඇයට හිතුණා.

“පුංචි පුංචි වැඩ දුවට තනියම කරගන්න දෙන්න නංගි.දැන් අට වසරෙනෙ.කොයි මොහොතෙද කියන්නත් බෑ දැන්නම්.”

පද්මි කියන කාරණාව ඇත්ත.දියණිය මල්වර වෙන දවස වුණත් අත ලඟටම ඇවිත් බව චාමිනී දන්නවා.

“දරුවන්ගෙන් වැඩ ගන්න නං ඕන නෑ නංගි.ඒ වුණත් තමන්ගේ දේවල් කරගන්න පුරුදු වෙන එක දරුවෙක්ට වටිනවා.මගේ ළමයින්ට වුණත් විභාග දවස්වලට ලෙඩක් දුකක් හැදුණාම මම සේරම අතට පයට කරනවා.හැබැයි එයාලා අනිත් දවස්වලට තමන්ගෙ දේවල් කරගන්නවා”

චාමිනී අක්කාගේ දියණියන් තුන්දෙනාම එලීසා වගේ හිතුවක්කාර නැති බව චාමිනී දන්නවා.ඉහළින්ම උසස්පෙළ සමත් වෙලා වෛද්‍ය විද්‍යාලයට ගිය වැඩිමහලු දියණිය වුණත් පුංචි කාලේ ඉඳලම හැදුණු විදිය චාමිනීට මතකයි.

“මට මේ ඊයේ පෙරේදා දවසක අපේ සුදු දුව ෆේස්බුක් එකේ ගිය ෆොටෝ එකක් පෙන්නුවා.උස් මහත් වෙච්ච දරුවෙක් හොඳට පයින් යනකොට අම්මා ඉස්කෝලේ බෑග් එක එල්ලගෙන යනවා.මිනිස්සු නානාප්‍රකාර කතා කියලා බැනලා තිබුනට සමහරවිට ඒ අම්මටත් නංගිට වගේ කතාවක් ඇති”

පද්මි අක්කා කියන්න යන දේ චාමිනී දන්නවා.

“සමහර වෙලාවට සීයලා ආච්චිලාගේ ඕනවට වඩා ආදරේ අපට දරුවෝ හදා ගන්න අමාරු කරනවා නංගි.දරුවන්ගෙ ආදරය වැඩිපුර දිනාගන්න එයාලා කරන දේවල්වලින් ළමයි ඕනෑවටත් වඩා හුරතල් වෙනවා.එලීසා දූටත් වෙලා තියෙන්නේ ඒක.කරුණා නැන්දාගෙ වැඩේම කෙල්ලව හුරතල් කරන එකනෙ.ඒ හින්දා හැමදේම අතට පයට ලැබෙන්න ඕනේ කියල දරුවා හිතනවා.”

කවුරුම හරි තමන්ව හරියට තේරුම් ගැනීම චාමිනීට ගෙනාවේ සහනයක්.

“මම මොනවද කරන්නේ අක්කේ?”

චාමිනී එහෙම අහනකොට වේලිච්ච මල් අත්තක් කපලා අයින් කරන ගමන් පද්මි හිනා වුණා.ඒ හිනාව හිත නිවන හිනාවක්.

“නැන්දාට නොතේරෙන්න පුංචි පුංචි වැඩ වලට දුව සම්බන්ධ කරගන්න නංගි.”

පද්මිට තිබුණේ අපූරු යෝජනාවක්.පුංචි පුංචි අගය කිරීම් එක්ක සමහර වැඩ පවරනකොට දරුවෝ ඒවා මඟ නොහරින බව පද්මි චාමිනීට සෑහෙන වෙලාවක් පැහැදිලි කළා.අත්තම්මාගේ හුරතලේට වඩා අම්මාගේ ආදරේ ජයග්‍රහණය කරන්න තියන ඉඩත් වැඩි බව ඇය කිව්වේ බොහොම ස්ථිර හඬකින්.

“ඔයා අම්මානෙ නංගි.ඔයාට බැරි වෙන්නේ නෑ.උත්සාහ කරලා බලමු.”

ඒ හඬ එක්ක චාමිනී හිනා වුණේ අලුත් බලාපොරොත්තුවක් හිතට අරගෙනමයි.

More Stories

Don't Miss


Latest Articles

සුහදිනී -26

"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක්...

(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව...

ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ...

අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර...

පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content