පමා වී පිපුනු මල් 13

ක්‍රියේටිව්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය පිහිටා තිබුනේ නුගේගොඩ සිට කොහුවල පැත්තට ඇවිදගෙන එද්දී දකුණු අත පැත්තේ අතුරු පාරක වූ පරණ නිවෙසකය. වසර හයක් වයසැති ක්‍රියේටිව්ස් ප්‍රයිවට් ලිමිටඩ් ඇඩ්වටයිසින් ආයතනය දිවයිනේ ප්‍රමුඛ පෙලේ ආයතන විශාල ප්‍රමාණයක සන්නාම වල ඩිජිටල් අලෙවිකරණ සහ ප්‍රවර්ධන වැඩ සටහන් මෙහෙයවින් උන්නහ.

අරුණලී ක්‍රියේටිව්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයා එක් වූයේ ඩිජිටල් මාධ්‍ය වෙළඳ විධායක නිලධාරිනියක ලෙසිනි. ඒ ආයතනය විශාල සන්නාම මෙහෙයවන, හැටක පමණ සෙනගකින් යුතු ආයතනයක් විය. පැරණි නිවෙසක පිහිටා තිබුන නිසාවෙන් එහිවූයේ කාර්‍යාලයක පෙනුමට වඩා පවුලක පෙනුමකි. ස්මාට් කැශුවල් ඇඳුම්පැලඳුම් හැඳ ගෙන එන්නට ඇති හැකියාවත්, ඉතාම සුහද කාර්‍ය මණ්ඩලයක් හිඳීමත් අරුණලී ගේ සිත සතුටු කරන්නට හේතු වූ කාරණා විය.

අරුණලී සම්මුඛ පරීක්ෂණ දෙකෙන්ම සමත්ව රැකියවට තෝරා පත් කරගත් බව දැනගත් පසු වෙනදාට වඩා මදක් සතුටින් සිටියා යැයි කීම වඩා නිවැරදිය. 

උදෑසන කාලයේ රැකියාවටගොසින් සම වයස් මිතුරුමිතුරියන් අතරේ කාලය ගත කරන්නට ඉඩ ලැබීමත්, විභාග කටයුතු අවසන් නිසා උදෑසන දේශන අවසන්ව නංගී නිවෙස බලා ඒමත් නිසා නිවෙසත්, රැකියාවත් යන දෙකම අරුණලීව සතුටෙන් තබන්නට වූ හේතු වූවා යැයි කියන්නටහැක.

ඉදහිටක දුරකතනයේ වට්සැප් ගිනුම බලා එන මෙනුකගේ කෙටි පණිවිඩයක් හිත නැවත තිගස්සන්නට හේතුවක් වුවද අරුණලී ඒවාට ඉඳහිටක පමණ පිලිතුරු සපයන්නට තරම් ශක්තිමත් වුවාය. මොන දේ වුනත් තමා මෙනුකව විවාහ කරගන්නට සිටි බව තවමත් අමතක කරන්නට නොහැක. හිතෙන් සහ ගතෙන් කොපමණ දුරක රැඳී උන්නද ඒ බැඳිම හිතෙන් සහමුලින්ම අමතකකර දමන්නට හැකියාවක් නොමැත.. 

මෙනුක හිඳින්නේ තම ඔහුට සමාව දෙන්නට ඉඩ ඇතිය යන හැඟීමක බව අරුණලීට රහසක් නොවේ. එහෙත් තමා ඔහුට සමාව දුන්නද බිඳුණු බැඳීමක්, හැඟීමක් යලි නගා සිටුවන්නට හෝ ඇති කරලන්නට තරම් ඒ සමාව දීමශක්තිමත් නොවන බව දන්නේ තමා ය. 

“අලුත් ඔෆිස් එක හොඳ ද අක්කෙ?” 

අරුණලී නිවෙසට එද්දීත් නංගී ඇවිත් උන්නාය. අම්මා සැදූ මොනව හෝ රස කැවිල්ලක් කමින් ඇඳේ හාන්සි වී පොතක් කියවමින් උන් නංගී උන්නේ සැහැල්ලුවකය. ඒ යලිත් විභාගයක් ලියන්නට තවත් බොහෝ කල් තිබෙන නිසාත් දෙවන සමාසිකයේ අධ්‍යාපන කටයුතු තවමත් එහෙමකට කියා ආරම්භ වී නොමැති නිසාවෙනුත් ය. 

“වරදක් නෑ වගේ, තාම ඉතින් එක දවසනෙ ගියේ”

“බොස් නපුරු ඩයල් එකක්ද?”

“මගේ ලොකු බොස් ව නම් මීට් උනා. ඒ උනාට ඉමීඩියට් බොස් තාම මීට් උනේ නෑ”

“ඇයි ඒ?”

“එයා මොකක් හරි ග්ලෝබල් අකවුන්ට් එකක ශූට් එකකට මැලේසියා ගිහිල්ල තාම ඇවිල්ලා නෑ”

“වයසක ඩයල් එකක්ද?”

“එහෙම ලොකු විස්තරයක් නම් දන්නෙ නෑ. වීරවර්ධන කියල තමා ගොඩක් අය එයාට කතා කරන්නෙ”

“අපෝ නම ඇහුවම තේරෙනවනෙ. නාකි පප්පෙක්ද කොහෙද?”

“නමෙන් කොහොමද ඉතින් වයසද තරුණද කියන්නෙ?”

“ඇයි ඉතින් වීරවර්ධන කිව්වම තේරෙන්නෙ නැද්ද?”

“එහෙනම් ඉතින් අර සිංදු කියන රිද්මත් වීරවර්ධනනෙ. එයා කොල්ලෙක්නෙ”

ඉන් පසුව නම් නංගීගේ හැකර කට ඇරුණේ නැති වුවද කතාව අවසන් කරන්නට කලියෙන් අරුණලී ට කියන්නට තව එක් දෙයක් ඉතුරු වී තිබුනි.

“අනෙක ඉතින් නම ගම නෙවෙයි නංගි අවුරුදු ගාණක් දැන අඳුනගෙන ඉඳියත් ඉතින් මිනිස්සුන්ව තේරුම් ගන්න බෑ”

ඒ වූ කලී අක්කා හිතේ වූ මහත් වේදනාවක අංශු මාත්‍රයක් පමණක් අත් හරින්නට කල කීම බව සඳලිනීට නොතේරුනා නොවේ.  

“අක්කෙ දැන්වත් ඔයා ඔය කතාව හිතෙන් අත් අරින්න බැරිද?”

“කොහොමද හිතෙන් අතාරින්නෙ? මට තාමත් ඒ වෙච්ච දේවල් සහමුලින්ම අමතක කරල දාන්න බෑ නංගි. ඔයා හිතනවද මට ජීවිතේ තියෙන පුරාවටම අමතක කරන්න පුලුවන් වෙයි කියල මම කසාඳ බඳින්නම ගිහින්, මට මෙහෙම දෙයක් උනා කියල?”

“මුලු ජීවිත කාලෙම ඕක හිතේ තියාගෙන හිටිය කියල අක්කට තේරුමක් තියෙනවද?”

“ඇයි නැත්තෙ, මට පුලුවන් මිනිස්සු හැමෝම අපිව රවට්ටනව කියන පාඩම ඉගෙන ගන්න. ආයෙ කවදාවත් කිසිමමනුස්සයෙක්ට ආදරේ නොකර ඉන්න”

“එතකොට ඒක පාඩමක් වෙන්නෙ නෑ නේද?”

“ඇයි?”

“පාඩමක් ඉගෙන ගන්නෙ ආයෙ ඒ දේ නොවෙන්න නෙ අක්කෙ. ආයෙ ඒ වගේ තීරණයක් ගනිද්දි වරදින්නෙ නැතිවෙන්න”

“අපෝ ආයෙ නම් මට මිනිස්සු ඕන නෑ. එක්කෙනෙක්ගෙන් ඉගෙන ගත්ත ඒව මදෑ”

“එක්කෙනෙක් ගෙන් ඉගෙන ගත්තෙ එක පාඩමක් නේ. ඒ පාඩම හිත රිදෙන එකක් උනා කියල හැම කෙනෙක්ම හැම පාඩමක්ම එහෙම වෙන්නෙ නෑ අක්කෙ”

“අනේ නංගි ප්ලීස් අපි මේ කතාව නවත්තමු. මම මෙහෙමවත් ජීවත් වෙන්නෙ අම්මලගෙ හිත රිද්දන්න බැරි හන්දා. ඒ ඇරෙන්න මට කිසින අදහසක් නෑ ආපස්සට හැරිල රෑ වැටිච්ච වලේ දවාලෙත් වැටෙන්න.

ඒ හන්දා ප්ලීස් අපි මේ ගැන ආයෙ කතා නොකර ඉමු”

මද කෝපයකින් එසේ කියූ අරුණලී තුවාය අතට ගෙන නාන කාමරයට රිංගුවාය.අක්කා ඉන්නේ පුදුමාකාර හිත් වේදනාවක බවත්, ඒ වේදනාව නිසාවෙන්ම ඇය ජීවිතය දෙස බලන්නේ සෘණාත්මක ඇහැකින් බවත් සඳලිනී දනී. ඒ වේදනාව නැතිවෙන්නට නම් දිය හැකි ඔසුව කාලයත් ආදරයත් පමණි.

අක්ක කාලය ගන්නට කොතරම් සූදානම් වුවද ආයේ වරක් ආදරයකට ජීවිතයට ලංවෙන්නට ඉඩ දේද කියා සදලිනීට සැකය.

“තරුණ වයසෙදි වෙන බ්‍රේක් අප්ස් කියන්නෙ හරිම දරාගන්න අපහ්සු දෙයක්. තරුණ වය්සෙදි විතරක් නෙවෙයි මොන වයසකදි උනත් බ්‍රේක් අප් වෙන එක, ඩිවෝස් එකකට යන එක මනුස්සයෙක්ට දරාගන්න අපහසුයි. ඒක සාධාරණයි. හැබැයි ඒකෙන් අදහස් වෙන්නෙ නෑ එතනින් ජීවිතේ නතර වෙනව කියල. ඔයා අරගන්නෙ තාවකාලික පෝස් එකක්.

හැබැයි හිත රිදිච්ච අෆෙයාර් එකෙන්, ඒ බ්‍රේක් අප් එකෙන් සම්පූර්ණයෙන්ම මිදෙන තුරු අලුත් කෙනෙක් ගැන, අලුත් සබඳතාවයක් ගැන හිතන්න එපා. මොකද හිතේ තුවාලයක් තියාගෙන ඔයාට ලයිෆ් ලෝන්ග් කමිට්මන්ට් එකකට යන්න අපහසුයි.

මෙහෙම හිතන්නකො, අපි ඇඟේ ලොකුලෙඩක් තියෙන වෙලාවක ඒ වේදනාව නැති කරගන්න පැනඩෝල් බොනවා. ඒඋනාට ඒකෙන් අපේ ලෙඩේ සහමුලින්ම හොඳ වෙන්නෙ නෑනෙ. ලෙඩේ සනීප කරගන්න අපි අනිවාර්යයෙන් බෙහෙත් ගන්නම ඕන.

අෆෙයාර් එකකින් මැරේජ් එකකින් බ්‍රේක් අප් වෙන එක නිසා හිතේ ඇතිවෙන වේදනාව දරාගන්න අමාරුයි. ඒක හරියට අර ලොකු ලෙඩක් වගේ. ඒ ලෙඩේ සනීප වෙන්න කාලය, ආදරය වගේ දේවල් උවමනා වෙනවා. හැබැයි ආදරය කියල හිතල වෙන අෆෙයාර් එකකට යන එක නෙවෙයි ඒකෙන් අදහස් කරන්නෙ. තමන් තමන්ටම ආදරය අරන එක. ඔයා එක බ්‍රේක් අප් එකකින් සම්පූර්ණයෙන්ම රිකවර් වෙන්නෙ නැතුව තව අෆෙයාර් එකකට යනවා කියන එකෙ අදහස ලෙඩේට බෙහෙත් ගන්නෙ නැතුව පේන් කිලර්ස් ගන්නව වගේ වැඩක්”

මනෝ උපදේශකවරිය කියූ ඒ කතාව අරුණලී හිතේ විසල් ඉඩක් වෙන් කර ලියා තබා ගත්තාය. තමන්ට කවදාවත් මෙනුකව හිතෙන් අමතකකරලන්නට හැකිවේද යන්න සැක සහිතය. මේ ජීවිතය පුරාවට තමා ආදරයෙන් බැඳුනේත් ඔහු සමග පමණකි.

ඔහුගේ හිතෙන් තමා ගැන ආදරය ගිලිහී ගියද තමාගේ සිතෙන් කිසිම දිනක ඒ හැඟීම් මැකී ගියේ නෑ නොවේද?

දිනෙන් දින ගෙවි ගියද, උපදේශන සේවය සහ නිවැසියන්ගේ ආදරය හමුවේ සිත හෙමින් සැරේ සුවපත් කරගන්නට අරුණලී කටයුතු කරද මෙනුක විසින් හිතේ ගැඹුරේ ඇතිකරන ලද තුවාල කවදා සුවපත් වේද කියා අදහසක් නැත. 

කාර්‍යාලය සැබවින්ම අරුණලීගේ විඩාපත් හිතට පැහැබර බලාපොරොත්තු ගෙනා ආවකි. තරුණ, ක්‍රියාශීලී කාර්‍ය මණ්ඩයලෙ අතරින් පතර වැරදි අඩුපාඩු හොයන බොහෝ අය උන්නද වැඩි දෙනා ඉතාම හිතවත් බව අරුණලී තේරුම් ගත්තාය.

වෙළඳ සන්නාම සඳහා කරන ඉතාම විචිත්‍රවත් කැම්පේන් අස්සේ අරුණලී කාර්‍යබහු වෙමින් උන්නේ මෙනුක හා ඈඳුණු වේදනාබර සිතුවිලිවලට උඩට ඉස්මතු වෙන්නට ඉඩ නොදෙමිනි.

එහෙත් ඒ සදහටම කරන්නට හැකි ද?














අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles