සඳක් කළ සක්මන් -20

නුවර අහසට උඩින් සඳ පායා ඇවිත් තිබිණි. මේ වෙලාවේ ආකාශ් සිටිනවා ඇත්තේත් බැල්කනියට වී සඳ දෙස බලා ගෙන විය හැක. ඇතැම් සඳ පායා ඇති රාත්‍රීන් හි මම ඔහු ව එතැන දැක ඇත්තෙමි. පපුවේ පත්ලෙහි දැවීමක් හට ගනු දැනිණ. ඇතැම් විට දුරකතනයේ හැඬවුම නවතින්නට ඔන්න මෙන්න ව තිබි අන්තිම මොහොතේ මම එය සවනට ගතිමි.

“හෙ…ලෝ…”

“ඇයි මෙහෙම කළේ…ආ…ඇයි ඔයා මට මේ තරං ලොකු දඬුවමක් දුන්නෙ…පූජා…මං ඔයාට කරපු වැරැද්ද ආදරේ කරපු එකද කියල මට කියනවද…”

ආකාශ් ගේ හඬෙහි වූයේ බීමත් බවකි. මම මගේ අතින් මගේ ම උගුර අල්ලා ගතිමි. 

“අයි…යෙ…”

“මට කියන්න තිබුණ නේද ඔයාට…ම්…මෙහෙම ගමනක් යනව කියල කියන්න තිබුණා නේද….”

“මට…මට සමා වෙන්න අයියෙ…වෙන මට කරන්න දෙයක් තිබුණෙ නෑ”

“දෙයක් අහන්නද…”

“අහන්න”

“ඔයා බින්දුවක්වත් මට ආදරේ කළේ නැද්ද…ආ…බින්දුවක්වත් …”

“ඔයා හිතන්නෙ එහෙමද…මෙච්චර හිත හයිය කර ගෙන මං මේ වගේ කැප කිරීමක් කළේ ආදරේ නිසයි අයියෙ. ඔයාව ප්‍රශ්න ගොඩකට ඇදල දාන එක නෙවෙයි මං ආදරෙං බලාපොරොත්තු වෙන්නෙ. දුර ඉඳං  වුණත් ආදරේ කරන්න මට පුළුවන්. දුර ඉඳං ඔයා දිහා බලං ඉන්න මට පුළුවං. “

“ඔයා දුර ඉඳං බලං ඉන්න හදන්නෙ මං නැති නාස්ති වෙලා යන හැටිද…ආ…”

“ඉතිං ඇයි ඔයා නාස්ති වෙන්න හදන්නෙ…ආන්ටි මට කිව්ව දවස් දෙක තුනක්ම ඔයා ගෙදර ආවෙ ඩ්‍රිංක්ස් අරං කියල. ඇයි අයියෙ මේ…දැං ආන්ටි මොනා හිතයිද…ඔයා ඔහොම හැසිරෙන එකයි මගෙ මේ ගමනයි අතරෙ සම්බන්ධයක් හොයා ගන්න එයාල උත්සාහ කරන එකක් නැද්ද…”

“ඔයාට ඕනෙ අපේ අම්මගෙ විශ්වාසෙ රකින්න විතරයි. මට මොනා වුණත් ඔයාට ගාණක් නෑ”

මගේ උදරයත් පපුවත් අතරේ දැවීමක් පැතිර යන්නට ගත්තේ ය. ඔහු ගේ පැත්තෙන් ඊට වැඩිය යමක් ඔහු මගෙන් නො දකින්නේ ය. නමුත් ඔහු නො වන්නට මේ තරම් දුරකට මෙහෙව් ගමනක් එන්නට මට හිත හදා ගත නො හැකි වන්නට තිබිණ. නංගී ගෙදරින් පැන ගියා ය. මාත් මේ විදිහට ගෙදරින් දුරස් වී ආ එක අම්මලා ගේ හිත් වලට කවරාකාරයකින් දැනේ දැයි නො සිතා වුව මා ආවේ ආකාශ් ගේ ඇස් මානයෙන් දුරස් වීම, ඔහු ට මා අමතක කරන්න ට පහසුවක් වෙතැයි සිතා ය.

“එනව නේද ආයෙත්…පූජා….ඔයා එනව නේද නංගි…”

“ඔයා දැං ඉන්නෙ ඩ්‍රිංක්ස් අරං අයියෙ. අපි වෙන වෙලාවක මේ ගැන කතා කරමු”

ඒ දුරකතන සංවාදයෙන් පස්සේ මම ඉකි බිඳ හැඬීමි. මා මේ රැකියාවට පැමිණෙන්නට හේතුව මගේ අලුත් යෙහෙළියන් දෙදෙන දැන ගත්තේ ඉනික්බිති ය.

“ඔයා ඉක්මං වුණා වැඩියි කියල මට හිතෙනව පූජා. සමහර විට නෙරංජලා ඔයාව ලේලි කර ගන්න කැමැත්තෙන් ඉන්නත් ඇති”

උත්පලා කීවා ය. නමුත් ශකිලා දැරූයේ ඊට වෙනස් අදහසකි.

“මොන පිස්සුද…අන්තිමට පූජාට වෙන්නෙ කඳුළු බිබී පැත්තකට වෙන්න. දුර දිග ගිහිං නරක නාමෙකුත් එක්ක පැත්තකට වෙනවට වඩා පූජා මේ විදිහට දැන් ම හිත හදා ගන්න එක හොඳයි”

ඔවුන් දෙදෙනා ම මට වඩා වයසින් වැඩි, පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳව අත්දැකීම් ඇති අය වූහ. මගේ ප්‍රථම රැකියා අත්දැකීම ද මෙය වූයෙන් ඔවුන් දෙදෙන නිතර ම මට උපදෙස් දෙමින් මා ගැන විමසිලිමත් වූහ.

“මිනිස්සු මොන තරං මානව හිතවාදී වුණත් තමංගෙ පවුලෙ කෙනෙකුට කසාදයක් කරල දෙද්දි අන්ත සම්ප්‍රදායික ව්දිහට තමයි හිතන්නෙ. පහලම තැනිං පටන් ගත්ත කෙනෙක්ට වුණත් උඩට ගියාට පස්සෙ ඕන වෙන්නෙ ලොකු තැනකිං කසාදයක්. තිත්ත වුණත් ඇත්ත ඔන්න ඕකයි පූජා”

ශකිලා සිටියේත් හදා ගත් බිඳුණු සිතකින් ද කියා මට නො සිතුණා නොවේ. නමුත් මම ඒ ගැන ඇගෙන් ඉඟියක් සොයන්නට නො ගියෙමි. ජීවිතය ගැන බොහෝ පාඩම් ඉගෙන ගත් මිනිසුන් ගේ අතීතය මත කඳුළු පැල්ලම් වැටී ඇති බව කොතැනකදී හෝ මා කියවා තිබුණා මතක ය. 

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා ගේ සමාගමය මට ප්‍රිය විය. පෙර පාසලේ දරුවන් සමග ගත කරන කාලය වඩාත් සොඳුරු වූයෙන් දවස ගෙවී ගියේ ඉක්මනට ය. හැන්දෑවට අපි තිදෙන මහ නුවර නගරයේ ඇවිදින්නට ගියෙමු. මහත් දුකක් පපුව යට හිර කර ගෙන සිනහ වී දවසට මුහුණ දෙන මිනිසුන් ගැන මා වඩාත් හොඳින් අවබෝධ කර ගත්තේ ඒ කාලයේ ය. උත්පලා සේ ම ශකිලා ද විශ්ව විද්‍යාලයට පිවිසීමට සුදුසුකම් ප්‍රමාණවත් නො වීම නිසා එතැන නතර වූ අය වූහ. නමුත් ඔවුහු තමන් තෝරා ගත් පාරේ වඩාත් ස්ථාවර ගමනක් යනු වස් ඒ පිළිබඳව පාඨමාලාවන් හදාරා සහතික පත් ලබා සිටියහ. 

මා එතැනට වැටී සිටියේ ගෙදරින් දුරස් වී සිටීමේ මාර්ගයක් සොයනු වස් පමණකි. මට අරමුණක් වූයේ ද නැත. කොතැනක නතර විය යුතු ද තබා කොතැනකින් ඇරඹිය යුතු ද කියා හෝ මා දැන සිටියේ නැත.

“නිකං ඉන්න එකේ චූටි ගාණක් හරි අතට ගන්නයි ඔයාගෙ ප්‍රශ්නෙට තාවකාලික විසඳුමක් විදිහටයි මේක කළාට කමක් නෑ. ඒත් රිසල්ස් ආවට පස්සෙ පූජා තීරණේ කරන්න ඔයා අනාගතේ යන්න ඕනෙ කොයි වගේ පාරකද කියල. මොකද…ප්ලෑන් එකක් නැතුව අපි කොතනකට හරි වැටුණට පස්සෙ එතනිං එළියට එන්න ඕනකම තියෙන දවසක ඒක කර ගන්න බැරි වෙන්න පුළුවන්”

උත්පලා ඉතා සියුම් ලෙස මා වටහා ගනිමින් සිටියා ය. සැබවින් මා මේ රැකියාවට පිවිසියේ දැන්වීම් අතිරේකයෙහි ඇබෑර්තුවක් වූ නිසා මිස මා ගුරු වෘත්තීය ට පිවිසෙන සිහිනයක් දකිමින් සිටි නිසා නොවේ.

මා නුවර විත් දින හතරක් ගෙවෙන තැන, දිවා කාලයේ පෙර පාසලේ සිට නේවාසිකාගාරය වෙත ආ ගමන් ආකාශ් ගෙන් දුරකතන ඇමතුමක් ආවේ ය. ඔහු ගේ නම දුරකතන තිරය මත දකිත්දී හදවතෙහි මල් යායක් පිපුණා සේ ය. පසු ගිය දින කිහිපයේ ම මා එවැන්නක් බලාපොරොත්තුවෙන් සිටියත් එය හැබෑ වූයේ නැත. ආකාශ් ට කතා කරන්න ට හිත නලියෑවත්, ඔහු හිත හදා ගැනීමේ උත්සාහයක සිටිනවා නම් ඒ දැහැන බිඳ දමන්නට මම බිය වීමි.

“හෙලෝ…අයියෙ…”

මා කතා කළේ කලබලයකින් බව මට ම දැනිණ.

“එළියට එන්න. මං ඉන්නෙ ස්කූල් එක ඉස්සරහ”

මා උඩ ගොස් බිම වැටුණා සේ විය. 

“ආ…”

“හොස්ටල් එකෙං එළියට එන්න. ගේට් එක ළඟට ආවහම පෙනෙයි මගෙ කා එක”

“ම්…මං එන්නං”

මා දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ ත් සිහිනයෙන් සේ ය.

“ආකාශ් ඇවිත්”

මගේ තැති ගත් වත දෙස බලා සිටින යෙහෙළියන් දෙදෙනාට පොදුවේ මම කීවෙමි. උත්පලා ගේ මුහුණේ ලස්සන සිනහවක් ඇඳිණි.

“කොල්ලට ඇත්තටම ඔයාව ඕනනං ඕක කරයි කියල මන්නං හිත හිතමයි හිටියෙ”

“පරිස්සමෙං පූජා. ඔයා හිත දුර්වල කර ගත්තොත් ඔය වළෙං ගොඩ ඒමක් නෑ”

ශකිලා අනතුරු ඇඟවූවා ය. මම ඉක්මන් ගමනින්, නේවාසිකාගාරය පැත්තෙන් වන කුඩා දොරටුවෙන් පිටතට ආවෙමි. ආකාශ් රියට හේත්තු වී මග බලා සිටියේ ය. මාත් නො දැන ම මා ඔහු වෙත ට දිව ගොස් තිබිණ. මා දුටු ආකාශ් ගේ දෙතොල් පෙති සිනහවකට විකසිත විය. නමුත් ඒ මින් පෙර මා දැක තිබූ දඟකාර සැහැල්ලු සිනහව නොවේ. එය දුක්බර සිනහවකි. දින ගණනාවකින් නො කපා අපිළිවෙලට වැවුණ රැවුල් කොට නිසා ඒ දුක්බර බව වඩාත් තීව්‍ර වී පෙනුණේ ය.

ඔහු ළඟ නතර වී මම ඒ මුහුණ දෙස ම බලා සිටියෙමි. අත් දෙක පපුව මැද බැඳ ගත් ආකාශ් සුසුමක් මුදා හළේ ය.

“දැං සනීප ඇති නේ…”

ඔහු ගේ වචන පිහි තුඩු සේ මගේ පපුවේ වැදිණි. මම බිම බලා ගතිමි. ආකාශ් ගොස් රියෙහි නැගුණේ ය. ඔහු ගේ ආරාධනාවකින් තොරව ම ගොස් මම එහි ගොඩ වීමි. අප දෙදෙනා අතරේ වචන හුවමාරුවක් සිදු නොවී රිය නුවර වීදි දිග ධාවනය වෙමින් තිබිණ.

“යමු”

අන්තිමට ඔහු මුණිවත බින්දේ ය. මම හිස හරවා ඒ මූණ බැලුවෙමි.

“ගෙදර යං. ජොබ් එකක් කරන්න ඕනනං අපි එහෙං එකක් හොයා ගමු”

“මං…මේකට ආසයි අයියෙ”

මම කොඳුළෙමි. 

“ඒත් මට මේක සැනසීමෙං කරන්න බෑ ඔයා මං නිසා නාස්ති වෙනව කියල මතක් වෙනකොට. බොන්නෑ කියල මට පොරොන්දු වෙන්න අයියෙ”

“මට බොන්න ඕන නෑ පූජා. ඔයා දන්නව මං බීල නාස්ති වෙන්න හිටිය මිනිහෙක් නෙවෙයි කියල”

ඔහු කතා කළේ උගුර යටිනි. ඒ වචන සිය ආත්මයෙන් ම පිට වූ ඒවා සේ මට දැනිණ. රථ ගාලක රිය නතර කළ ආකාශ්, මගේ අත ගෙන පාර මාරු වූයේ ය.  ඔහු ට එරෙහි වන්නට තරම් දිරියක් නොමැති ව මම ඔහු ට අවනත කුඩා දැරියක සේ ලං ව පිය තැබීමි. මේ ආදරය නැති ව ඉදිරි ජීවිතය ගත කරන්නට මා ගත් තීරණය ගැන පුදුමයක් මා තුළ ම ඇති වෙමින් තිබිණි.

“ඔයා ආසනං රිසල්ස් අවුට් වෙනකල් මෙහෙට වෙලා ඉන්න. හිත සන්සුන් කර ගන්නත් එක්ක. හැබැයි දවස් දෙක තුනකට සැරයක්වත් මං මෙහෙ එනව…ඔයාව බලල යන්න”

ආකාශ් මගෙන් එකඟතාවයක් බලාපොරොත්තු වූයේ නැත. එරෙහි වන්නට මට ඕනෑ වූයේ ත් නැත. ඔහු ගේ අතේ එල්ලී රජ වීදිය දිගේ ඇදී යත්දී, ආකාශ් නැති ජීවිතයක් මට තිබිය හැකි ද යන සිතිවිල්ල පමණක් මා තුළ එහෙ මෙහෙ වෙමින් තිබිණ.

“කොහොමද තැන හොයා ගත්තෙ…”

කියන්නට, අහන්නට දෙයක් සොයා ගත නො හැකි කමට මා ඇසුවේ වැඩකට නැති ප්‍රශ්නයකි.

“ඔයාගෙ තාත්තගෙං දැන ගත්තෙ”

“බොන්නෑ නේද අයියෙ…”

මම හිස නගා බැලීමි. ඔහු හිස පහළට හරවා මගේ වත දෙස බැලුවේ ය. කොහොම මා ඔහු අතැර මේ ගමන ආවාද කියා මට සිතිණ.

“මගෙං ඈත් වෙන්න හදන්නෑ නේද…”

මම ඒ අත් ගොබයෙහි මගේ කොපුලක් තද කොට ගතිමි. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles