fbpx

සඳක් කළ සක්මන් 44 වන කොටස

නංගී දියණියක බිහි කළා ය. දරුවා පුතෙකු විණි නම් හොඳ යයි මගේ හිත කියමින් තිබිණි. එතකොට නංගී සේ විපතට පත් නොවී ඔහු රැක ගන්නට ඇය ට පුළුවන් වනු ඇත. නමුත් ඉරණම හැම විට ම අපට අප කැමති දේ ම ලබා දෙන්නේ නැත.

ඒ බිළිඳිය රෝස පාට නිරෝගී දැරියක වූවා ය. මම ඇගේ අතපය ඇඟිලි ආදිය යථා පරිදි පිහිටා තිබේ දැයි හොඳින් විමසා බැලුවෙමි. ඇය පිරිපුන් බිළිඳියක වූවා ය.

ඒ බිළිඳිය ට පියෙකු නොමැති බව අපට අමතක ම වී ගොස් තිබි සැටියෙකි. තාත්තා ද දින දෙක තුනකට නිවාඩු ගෙන ගෙදර ආවේ ය. මේ වෙත්දී ඔහු එම හෝටලයට නැතිව ම බැරි කලමණාකරුවෙකු ගේ තත්වයට උසස් වී සිටියේ ය. තාත්තා පෙනුමෙන් ද තරමක් පුෂ්ටිමත් ව, තරුණ පෙනුමක් ලබා සිටියේ ය.

“ඔන්න සීයා පුතේ”

ගෙදර ගෙනා නංගි ගේ දරුවා ව අම්මා තාත්තා වෙත පෑවේ එසේ කියමිනි.

“සීයා…අපි සීයලත් වුණාද අප්ප…ලැජ්ජත් හිතෙනව”

තාත්තා සිනාසුණේ ය.

“උඹල ඉතිං අකලට සීයල ආච්චිල වුණානෙ”

ආච්චම්මා එල්ල කළේ ඇනුම් පදයකි. අප අතරේ මඳ නිහැඬියාවක් ඇති විය. කවුරුත්වත් ආච්චම්මා ගේ කතාවට එරෙහිව යමක් කියන්නට ගියේ නැත.

“ඇත්තට අපි මේ මේ ළමයි දෙන්නව මෙහෙම වඩං හිටියෙ අද ඊයෙ වගේනෙ සුමිත්‍රා”

තාත්තා ඒ අතීතයෙහි ගිලෙමින් වගේ අම්මා ට කීවේ ය. සැබවින් නංගී දරුවෙකු ගෙන එන්නට තවම හොඳට ම කල් වැඩි ය. ඇයට ඒ සඳහා අවම වශයෙන් තව වසර දහයක්වත් ඉදිරියට තිබේ. නමුත් දැන් ඒවා ගැන කතා කොට ඇති පලක් නැත.

දරුවා ආවාට පස්සේ ගෙදර තත්වය එහෙම පිටින් ම වෙනස් වූවා සේ ය. හැම කෙනෙක් ම සතුටෙන් සිටියහ. හැම මුහුණක් ම සතුටෙන් පිරී තිබිණි. ආච්චම්මා පවා කෙතරම් නංගීට දොස් කීව ද මේ දරුවා ගේ ආවතේව කළේ ඉතා සතුටෙනි. ඇය දරු නැලවිලි ගී කියන හඬ ගෙන් පිටතට ද ඇසුණේ ය.

නෙරංජලා ගුරුගේ දරුවා බලන්නට වුව අපේ ගෙදර ආවේ නැත. ඇය ලොකු තෑගි පාර්සලයක් ගෙදරට එවා තිබුණා ය.

“මට ඔය නංගි කියන ළමයගෙ මූණවත් බලන්න හිතෙන්නෙ නෑ පූජා”

රෝහල වෙත පැමිණ මා හමු වූ ඕ කීවා ය.

“මං දන්නව අපි කාටවත් වෛර කර කර ඉන්න හොඳ නෑ කියල. ඒගොල්ලො කරන දේ ඒගොල්ලො අරං යයි. ඒත් පොඩි චෝදනාවක්ද කළේ ඒ ළමය…හිතා ගන්නත් බැරි තරං”

ඇය උරහිසෙහි නිකට තබා කීවේ තවමත් දරා ගන්නට බැරි ව හිඳින කම්පාවෙනි.

“මට සමා වෙන්න අම්ම. මගෙ නංගිගෙං වෙච්ච වරදට”

“ජීවිතේ කොයි දේත් පාඩමක් කර ගන්න එකයි වැදගත් වෙන්නෙ පූජා. ඔයා මේක මුළු ජීවිතේටම මතක තියා ගන්න. කවුරුත් කිව්වට දේවල් විශ්වාස කරන්න යන්න එපා. සමහර වෙලාවට අපි ඇස් දෙකෙන් දකින දේවල් වුණත් විශ්වාස කරන එක වැරැද්දක් වෙනව. කන් දෙකෙන් ඇහෙන දේවල් වුණත්. අපි දකින්නෙ අහන්නෙ හරිම දේ නොවෙන්න පුළුවන්. විශේෂයෙන් ම පවුල් ජීවිතයක් ගෙවද්දි හරිම පරිස්සමටයි දේවල් තීරණය කරන්න වෙන්නෙ පූජා. එක මොහොතක වැරදි අවබෝධයක් ඇති ලස්සන පවුලක් කැඩිල යන්න”

ඈ කියන්නේ කෙතරම් සත්‍යයක් ද? සිය දියණිවරුන්ට එහෙව් අවවාදයක් දෙන්නට තරම් මගේ අම්මා පත පොතින් නොව ජීවිතයෙන් ද අත්දැකීම් ලබා පරිනත වූ ගැහැනියක නොවේ. නමුත් නෙරංජලා ගුරුගේ සෙවනේ ඉගෙන ගන්නට දේ බොහෝ වන්නේ ය.

“ඒගොල්ලංගෙ ලොකු කමනෙ. මොකද ඉතිං ගෙදරට ගොඩ වෙලා යන්න බැරි. සල්ලි වියදං කරල තෑගි එව්වහම ඔක්කොම හරිද…තමුං සම්බන්ධ වෙන්න ඉන්න පවුලෙ දේකට එන්න බැරිනං ඒ මිනිස්සුංගෙං ඇති වැඩක් නෑනෙ”

නෙරංජලා ගේ නො පැමිණීම ගැන අම්මා ආඩපාලි කීවා ය. ඈ එහෙම ය. නිතර ම තමන්ගේ දොස නොව අනුන්ගේ දොස ම දකින්නී ය. නමුත් මම නෑසූ කන් ව සිටියෙමි.

බබා ගෙදර ගෙන ආ ගමන් නැවතත් ගේ සෑදීමේ වැඩ කටයුතු පටන් ගැනිණි. මගේ ළමා වියේ දී මට අහිමි ව තිබූ ආරක්ෂිත නිවසක් නංගිගේ දියණියට හෝ තනා දිය හැකි වීම ගැන සිතත්දී සිතට දැනුණේ සතුටකි.

“දැං ඉතිං ඔයා මං ගැනත් හිතන්න ඕනෙ ටිකක්”

ආකාශ් විසින් මට එසේ කියන්නට යෙදුණේ, මා වෛද්‍ය පීඨයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් බලයෙන් ම වගේ මා ඉල්ලා සිටි සංග්‍රහය ට ඔහු මාව කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක් වෙත රෑ කෑම සඳහා කැටුව ගිය අවස්ථාවේ දී ය. විදුලි බුබුළු වල එළියෙන් දහවලක් සේ ආලෝකවත් ව තිබි ශාලාවේ විසිතුරු අතරේ ආකාශ් ගේ ඇස් වල දීප්තිය වෙන් කර ගන්නට මම උත්සාහ කළෙමි.

“මං දන්නව. අපේ ගෙදර ප්‍රශ්න එක්ක මට එච්චර ඔයා ගැන හිතන්න පුළුවන් වුණෙ නෑ. ඔයා ගැන බලන්න පුළුවන් වුණෙ නෑ. ඒ අතිං මං අසාර්ථක ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්”

“හැබැයි අසාර්ථක වයිෆ් කෙනෙක් වෙන්න බෑ”

“එහෙම වෙන එකක් නෑ. ඔයාගෙ අම්මගෙ ආසාව නොතිබුණානං…මං කැම්පස් යන අදහස අත්ඇරල දාල ඔයාගෙ වැඩ බලාගෙන ගෙදරට වෙලා ඉන්නව”

“එහෙම නෙවෙයි. ඔයා ඩිග්‍රි එක කරන්න ඕනෙ. ඊට පස්සෙ ඔයා ප්‍රැක්ටිස් කරන්නෙ නැතුව ගෙදරට වෙලා හිටියට කමක් නෑ”

“හ්ම්”

මා ඉතා ම නො වටිනා තැනක සිටියදීත් මට වටිනාකමක් දුන් ඔහු ගැන හදවත ආදරයෙන් පිරී යමින් තිබිණි. ජීවිතයේ ඉතිරි අර්ධය කැප විය යුත්තේ මුළුමනින් ම ඔහු ගේ ආදරය වෙනුවෙනි.මගේ පවුලේ අය වෙනුවෙන් වද විය හැකි සීමාව ඉක්මවා මම වද වී සිටින්නෙමි. මීටත් වඩා ආකාශ් ව අත්හැරී ගියොත් සදහට ම වුව මට ඔහු අත්හැරී යන්නට පුළුවන.

“මට ඔයාට කියන්න දේකුත් තියනව පූජා. ඔයාට කැම්පස් පටංගන්නකොටම මං හිතං ඉන්නව ස්පෙශලිස්ට් ට්‍රේනින් එකට යූකේ යන්න. මං හිතන්නෙ අපි මැරි කරල යන එක හොඳයි”

“අනේ”

සැබවින් ම හදවතේ කොටසක් නාය ගියා සේ දැනුණේ ය.

“ඔයා කැමති නැත්තං දැංම මැරි කරන්න…ප්‍රශ්නයක් නෑ. ආවට පස්සෙ අපි ඒ ගැන බලමු”

“මං කිව්වෙ මට ඔයා නැතුව ඉන් බෑ කියල”

මම ඔහු ගේ අතක් දෝතින් ම වැළඳ ගෙන සිටියෙමි. ඇස් වලට තෙතමනයක් කාන්දු විය.

“නිවී සැනසිල්ලෙ ඔයා ළඟට වෙලා ඉන්න හිතපු ගමං ඔයා යන්න හදනව”

ආකාශ් ගේ දෙතොලතර නව යෞවනයෙකු ගේ බඳු දඟකාර සිකහවක් ඇඳී ගියේ ය. මගේ දුක්බර නෝක්කාඩුව ඉකි බිඳුමක් වන්නට ගත වූයේ තත්පරයකටත් අඩු කාලයකි.

“ඒයි…ඉතිං අඬනවද ඔය…”

“මාව දාල යන්න එපා. මට දැං ඔයාව ගොඩක් ඕනෙ”

මම හඬමින් කියවන්නට වූයෙමි. ආකාශ් සිනහ වූයේ ය.

“ඔයාගෙ ඇතුළෙ ඔය වගේ බබෙකුත් ඉන්නව කියල මං දැනං හිටියෙ නෑනෙ”

මම ඔහු ගේ අත් ගොබයක් රිදෙන්නට අල්ලාගෙන එහි මූණ ඔබා සිටියෙමි.

“කලිං හිටියෙ නිකං මං බය නෑ ශාමා වගේනෙ. මාත් ඉතිං හිතුවා ඕන දේකට ඔට්ටුයි කියල”

“නෑ මං ඕන දේකට ඔට්ටු නෑ. හැම දේටම ඔට්ටු වෙලා ඉවරයි. තවත් මට එහෙම ශක්තියක් ඇත්තෙත් නෑ. මට ඔයා ළඟට වෙලා ඉන්න ඕනෙ”

“හරි. එහෙනං ඉතිං මං ස්පෙශලිස්ට් ට්‍රේනින් එක අමතක කරන්නං. ඊට වඩා මට ඔයා වටිනව”

කඳුළු පෙරා ගෙන හැඬූ මගේ මුහුණට සිනහවක් ආවේ ඒ වෙලාවේ ය. ආකාශ් මා සිය සිරුරට තුරුලු කර ගෙන හිස සිප ගත්තේ ය.

නමුත් ඔහු ගේ ගමන වළකන එක කෙතරම් අනුවණ කමක් දැයි ආපසු එන ගමනේ දී මම තනි ව සිතුවෙමි. සිය දැනුමෙන් ලෝකයට මෙහෙයක් කරන්නට ඔහු ට වන අවස්ථාව අවුරා දැමීම ප්‍රේමය කියා සිතන්නේ කෙසේද? ප්‍රේමය කියන්නේ ඊට වඩා බෙහෙවින් නිදහස් හැඟීමකි. මගේ බොළඳ සිතිවිල්ල ගැන මා තුළ ම ලැජ්ජාවක් ඇති විය.

“ඔයා යන්න”

රියෙන් බහින්නට පෙර මම ඔහු ට කීවෙමි.

“ආ…”

ආකාශ් ගේ ඇස් වල පුදුමයක් විය.

“ටික දවසකට දුරින් ඉන්නකොට ආදරේ තව දැනෙයි. මට අලුතෙං අදරේ කරන්න පුළුවන් වෙයි”

ආකාශ් මගේ කම්මුලක් මත හාදුවක් තැවරී ය. රෑ නින්ද යා ගෙන එත්දී සේ ම උදේ මුලින් ම ඇස් දෙක අරිත්දීත් මගේ මතකයේ වූයේ ඒ හාද්ද ය.

ඉන්පසු දවස් ගෙවුණේ ළඟ එන විප්පයෝග රසයක් ද සමගින් විය යුතු ය. විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙහි අධ්‍යයන කටයුතු ඇරඹීම ලං ව ආවේ ය. ආකාශ් තීරණය කර තිබුණේ අපේ විවාහය ලියාපදිංචි කොට හෝ මා ඔහු ගේ ගෙදර නතර කොට යාමට ය. මේ තරම් ඉක්මනින් මගේ ගෙදරින් නික්මෙන්නට මසිත ඉඩ දුන්නේ නැත. මා යන්තම් ගේ සාදා ගෙදර අයට සලකන්නට පටන් ගත්තා විතර ය. අම්මලා මොන වැරදි කළත් ඒ මගේ ලේ බැඳීම් ය.

“ලොක්කි මේ වෙලාවෙ දොස්තර මහත්තය කියන දේ කරහං කෙල්ලෙ. මොකද උඹ මේ වෙලාවෙවත් මෙතනිං ගැලවිලා යන එක හොඳයි”

මා අදි මදි කරමින් සිටියදී හිතට දිරි දුන්නේ ආච්චම්මා ය.

“මේ අම්මල දුවලට ජීවිත කාලෙම වැටිල ඉන්න ගෙයක් කියල එකක් උඹ හදල දුන්න. රංජියත් දැන් රස්සාවක් කරගෙන හොඳට ඉන්නවනෙ. ඌ මේ පවුල ගැන බලාගනී. උඹ අනාගතේ ගැන හිතහං කෙල්ලෙ. යන්න එන්න උදව් පදව් කරන්න බැරි නෑනෙ. වාසනාවට පයින් ගහන්න තරං අවාසනාවන්ත වෙන්නනං එපා මගෙ දෙයියො”

මහිතට දිරි දුන්නේ ආච්චම්මා ය. අම්මා නම් කීවේ ‘ලොක්කිට බඳින්න තරං වයසක් නෑනෙ’ කියා ය.

“එතකොට උඹගෙ පොඩ්ඩිට දරුවෙකුත් හදං එන්න තරං වයසක් තියෙනව…”

ආච්චම්මා අම්මා වෙත කඩා පැන්නා ය. ඒ අනුව අම්මා නිහඬ වූවා ය.

“රෙජිස්ට්‍රේෂන් එක කරල අපේ ගෙදර ආවා කියල පූජාගෙ නිදහස පොඩ්ඩක්වත් සීමා වෙයි කියල හිතන්න එපා. ඔයා පරණ විදිහටම ජීවත් වෙන්න. කැම්පස් යන්න. ගෙදර යන්න. ඒත් ඔයා අපේ ගෙදර ඉන්න එක ආකාශ් ට සැනසීමක් වෙයි පූජා”

නෙරංජලා ගුරුගේ ද මගේ හිත හදන්නට උත්සාහ කළා ය. නමුත් අම්මා තාත්තා නංගී හා මට බෙහෙවින් ආදරය කළ ආච්චම්මා අතැර ආකාශ් ගේ ගෙදරට යන එක ගැන හිතා ගන්නට හෝ මට හැකි වූයේ නැත.

“නෙරංජලා හරි කපටි ගෑනි. අපෙං අක්කව උදුර ගන්නයි ඒ ගෑනිට ඕනෙ”

නංගී ඔය ගැන කතා වෙන වෙලාවක කීවා ය. ආකාශ් ගේ අම්මා ගැන ඒ විදිහට කතා කිරීම ගැන මා තුළ ඈ කෙරේ අපැහැදීමක් ඇති විය.

“ඔය විදිහට කතා කරන්න එපා නංගි”

මම තරමක් සැරෙන් කීවෙමි.

“දැං ඉතිං ලොක්කිගෙ අම්ම එයානෙ. අපි කව්ද…”

අම්මා ද ආඩපාලි කතාවක් කීවා ය. ඔවුන් මට කවදාක හෝ ආදරය කළා ද මා ගැන සිතුවා ද කියා අසන්නට මට ඕනා විය. නමුත් දැන් මම වැඩිපුර හිත රිදෙන කතා ඇති කර ගන්නට නො යමි. පවුල කියන දේ වෙත අප කෙතරම් බැඳී සිටිනවාද කියා හරියට ම දැනෙන්නේ, එකී පවුලෙන් ඈත් වී යන්නට හදන අවස්ථාවක ය. යමක් කමක් තේරෙන්නට පටන් ගත් දා පටන් මට අවැසි වී තිබුණේ මෙතැනින් නික්ම යන්නට වී ද, එය කොයි තරම් අසීරු පියවරක් වනු ඇත්දැයි මම අත්දැකීමෙන් ම ප්‍රත්‍යක්ෂ කරමින් සිටියෙමි.

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x