මුද්‍රිත කෘතියක් සහ E කෘතියක් එකම දිනයේ ජනගත කරන ගංගා ෂයිනි

0
2087

මං කියන්න ගියේ හතළිහ පැන්නට පස්සෙ ගෑනු ජීවිත හරියට මුහුදෙ ගැඹුරුම තැනක් වගේ කියල..ගැඹුරු වැඩිම තැන් හරි නිශ්චලයි. සන්සුන්. හතළිහක් වෙනකොට ගෑනු අපිටත් වෙන්න තියන ඔක්කොම දේවල් වෙලා ඉවරයි. ආදරේ කරල…ප්‍රතික්ශේප වෙලා…රිදිල…අඬල…තුවාල කැළැල් එක්ක වෙන ජීවිත ගත කරල..බැඳල..ළමයි හම්බ වෙලා…ළමයි වෙනුවෙන් ජීවත් වෙලා…මැරේජ් ලයිෆ් එක ගැන කලකිරිල..ඩිවෝස් වෙලා…ළමයි ලොකු වෙලා උන්ගෙ ලෝක හදා ගෙන….අපි තනි වෙලා…හැබැයි ඔය ඔක්කෝම හැලහැප්පීම් වෙන අතරෙ ගෑනු කොච්චරනං දේවල් ජීවිතේ ගැන ඉගෙන ගන්නවද…”ප්‍රේමයේ අභිමන් –

ප්‍රේමයේ අභිමන් නවකතාවේ අපරාජිතා ලවා එසේ කියවන්නී ගංගා ෂයිනි ගමගේ ය. ප්‍රේමය ගැන වඩාත් ඉසියුම්ව ද ළය රිදුම් දෙන ලෙස ද ලියන්නී ඇය ය.

කාන්තාවන් ජීවිතයේ නව මානයන් සොයා යා යුතු බව විශ්වාස කරන්නියක වන ඇය අද (මාර්තු 30) ලේඛන ජීවිතයේ නව පියවරක් තබන්නට සමත් වී සිටින්නී ය.

අද දින හවස තුනට පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී ගංගා ෂයිනි ගමගේ ලියූ “ප්‍රේම ගාථා” ඩිජිටල් පිටපත ද  “අහස තරු හා කළුවර” මුද්‍රිත පිටපත ද ජනගත වෙයි. www.gangashinienovels.com වෙබ් අඩවිය ද එළිදැක්වෙයි.

ඒ උත්සව අවස්ථාවට ප්‍රදීප් කුමාර බාලසූරිය, චන්දි කොඩිකාර, මනෝරම වීරසිංහ, ලලිත් රෝහණ එදිරිසිංහ දෙසුම් පවත්වති.

මේ සාහිත්‍යමය මොහොත වටිනාකම් වලින් පිරී පවතී. ගංගාගේ මුද්‍රණයේ නොපවතින නවකතා පවා කියවීමට මෙතැන් සිට අවස්ථාව පාඨකයන්ට ලැබේ.එම ලේඛිකාවකගේ නවකතා දෙකක් ඊ කෘතියක් සහ මුද්‍රිත කෘතියක් ලෙස දොරට වැඩීම ද විශේෂත්වයකි. අනීතික PDF හරහා ලේඛක ලේඛිකාවන්ගේ අයිතිවාසිකම් ජාවාරම්කරුවන් පිරිසක් විසින් අතික්‍රමණය කරමින් පවතින මොහොතක ගංගා ඇගේ සියලුම පැරණි කෘති මිලට ගත හැකි E Books බවට පත් කරමින් ජාවාරම් කරුවන්ට අභියෝග කරන්නී ය.

ගංගා නිරන්තරයෙන්ම ගැහැනුන් සතු ශක්තිය ද ආදරය නිසා ඇයට යා හැකි දුර ද ලියන්නියකි. ඇය පාඨක ආදරය මැද මේ යන දුර ආශිර්වාදාත්මක එකකි.

පාට සේදුනු වත්සුණු නවකතාවේ සිට රිදුණු තටු පිරිමදිමි – නවකතාව දක්වාම ගංගා ෂයිනි ගමගේ මහත්මිය SmartLady.lk වෙත සැලකිය යුතු නවකතා ප්‍රමාණයක් රචනා කළා ය. ජීවිතය දිනන ගැහැනුන් ද ආදරය හමුවේ පරාජිත වුවත් හිස කෙලින් තබාගෙන ජීවිතය දිග ඇවිද යන්නට දන්නා ගැහැනුන් ද ඇගේ ඒ සෑම කතාවකම ජීවත් වූවා ය.

එවැන්නියන් තවත් බොහෝ ප්‍රමාණයක් මේ වෙබ් අඩවිය හරහා නිර්මාණය කරමින් ප්‍රේමය සහ ජීවිතය ගැන පසු පරම්පරාවට ද පරමාදර්ශී ආදර්ශ ලබා දෙන්නට ගංගා ෂයිනි ගමගේ මහත්මියට අපි ආදර සුබ පැතුම් ගෙන එන්නෙමු.

මේ උත්සව අවස්ථාව SmartLady.lk ෆේස්බුක් පිටුව හරහා සජීවිව ගෙන එන්නට අපි සූදානම්. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here