නිබ්බුත ගීත -48

‘ලන්ඩන් බියර්මවුන්ට් අපාට්මන්ට්’ ඒ රාත්‍රියෙහි මට පෙනුණේ මිහි බට දෙව් ලොවක් ලෙසට ය. ලෝචන මදුරාපුර, සදෙව් කුමරෙකු ලෙස මගේ අතක් පරිස්සමට අල්ලා ගෙන සිටියේ ය. පරිසරයේ වූ සිහිලැල් බව ගතට ඒ හැටි නො දනවන්නට අප හැඳ උන් උණුසුම් කබා සේ ම හදවත් වල වූ උණුසුම ද හේතු වන්නට ඇත. ලෝචන ගේ ඇස්, දැල්වී තිබූ දහස් ගණනක් විදුලි පහන් වල එළි පරයා දිළිසුණේ ය. පැහැදිලි ලෙස දැකිය හැකි බලාපොරොත්තු සහගත බවක් හා දැඩි අධිෂ්ඨානයක් ඒ වෙලාවේ මම ඔහු ගේ ඇස් වල දුටිමි.

“ඒ රිපෝට්ස් වල හැටියට ඔයා සීයට අනූ නවයක් ම සුව වෙලයි ඉන්නෙ. මං හිතන්නෙ ෆයිනල් රිපෝට්ස් වල ඒක හන්ඩ්‍රඩ් පර් සෙන්ට් වෙලා ඇති. ඔයාට දැන් ඇත්තටම සනීපයි අයියෙ”

මම අති මහත් ආදරණීය වූ මන්ද්‍ර ස්වරයකින් මිමිණුවෙමි. තවමත් ඔහු විසින් පිළිගන්නට සූදානම් නැති ඒ සත්‍යය ඒත්තු ගැන්වීම මගේ මුල් ම අරමුණ විය.

“ඒ කියන්නෙ…දැන් මං ඒ ලෙඩෙන් මැරෙන්නෑ කියල ඔයාට ශුවර් ද…”

“මං ඩොක්ටර් කෙනෙක් අනේ. අසනීපයක් ගැන ලෙඩෙක්ට බොරු කියන්නෑ. අපි ඉක්මනට මැරි කරන්න ඕන”

මගේ ඒ ප්‍රකාශයෙන් ලෝචන තිගැස්සී ගියේ ය. මගේ අතැඟිලි අතරේ සිර වී තිබූ ඔහු ගේ අත සීතල වුණ සෙයක් මට දැනිණ. ඔහු අත මුදවා ගැනීමට තැත් කළ අතර මම ඊට ඉඩ නොදී ඒ අත තදින් අල්ලා ගතිමි.

“ඔයා හිතන්නෙ මං බලං හිටියා කල් මදි කියලද…අපේ බැච් එකේ විතරක් නෙවේ ජූනියර්ස්ලත් ඔක්කොමල වගේ මැරි කරල ඉවරයි. තාම බැන්දෙ නැද්ද කියන ප්‍රශ්නෙට මට ඉක්මනට උඩ පැනල උත්තරයක් දෙන්න ඕන…ඔව් කියල…ඔයත් එක්ක එක පාටින් ඇඳුම් ඇඳගෙන පාටීස් වලට යන්න ඕන…ඔයාව හොඳට දන්න…ඉස්සර ඔයාට ඊරිසියා කරපු පස්සෙ ඔයා යන්න ගියාම මට හිනා වුණ මේල් ඩොක්ටර්ස්ලට පේන්නම ඔයාගෙ අතින් අල්ලගෙන එයාල ඉස්සරහට යන්න ඕන. මං වැරදි නෑ නේද අයියෙ…”

ලෝචන සුසුමක් හෙළුවේ හෙමිහිට නැවතිල්ලේ ය. ඒ සුසුමේ හඬ ඔහුට ළඟින් ම උන් මට පවා නෑසෙන සේ ය. 

“ඉක්මන් වෙන්න හදන්නෙපා නිබ්බුතා”

අතර මගක නතර වෙමින්, සිය අතේ පටලා ගෙන උන් මගේ අතත් සමගින් ම ඔහු සිය දෑත් පපුවේ බැඳ ගත්තේ ය. ඒ අතින් ඇරඹුණු උණුහුමක් මගේ මුළු සිරුර පුරා ඇසිල්ලකින් විහිද ගියේ ය. මම වඩාත් ඔහු ට සමීප වීමි. හදවත් පේෂි වල තද වීමක් මට දැනුණේ ය. ලෝචන ගේ උපැස් යුවල තුළින් පෙනෙනා ඇස් වල කාන්තියෙන් මා ගිනි ගන්නා බවක් මට දැනෙන්නට ගති. අපාට්මන්ට් එක මරද්දේ ම මම ඔහු ගේ පපුවෙහි හිස රැඳවීමි. එවර ඔහු සිය දෑතින් ම මා තුරුළු කොට ගත්තේ ය. මම වඩාත් තදින් ඔහු වැළඳ ගනිමින් දෑස් පියවා ගතිමි. එහෙම ම සුව නින්දකට වැටෙන්නට හැකි තරම් සුවයක් මට දැනුණේ ය. 

එසේ උනුනට තුරුලු ව කෙතරම් වෙලාවක් අප අපේ ලොවක හුදෙකලාව සිටියේ ද කියා මම නොදනිමි. ලංකාවේ දී වාගේ එසේ සිටිනා යුවළක් දෙස කිසිවෙකු වැරදි ඇසකින් විපරම් බැලුම් හෙළීමක් එහි සිදු වන්නේ නැත. එහෙයින් හැඟීම් වලට අවංක ව ප්‍රකාශ වෙන්නට පොදු සමාජය තුළදී වුව අවකාශ වේ. 

“අද ඉඳලම ඔයා හොඳට කාල බීල හිටිය වගේ වෙන්න ඕන. අපේ වෙඩින් ෆොටෝ එකේ ඔයා අසනීප වෙලා හිටියා කියල පේන සලකුණක්වත් ඉතුරු වෙන්න ඕන නෑ. කොහොමත් අපේ දරුවො එහෙම දෙයක් විශ්වාස කරන්නවත් ඕන නෑ”

“නිබ්බුතා”

“අද තමයි මගෙ ජීවිතේ වැදගත් ම දවස. දැං මං ඒක අම්මයි මල්ලියි සඳනියි එක්ක සමරන්න ඕන අයියෙ. ඔයා ගෙදර ගිහිං මට මෙසේජ් එකක් තියන්න”

මගේ තාවකාලික නවාතැන අභියස දී ඔහු මා අතැර ගියේ මුවින් නො කියා ඇස් වලින් කියන ලෝභී හැඟීමකින් කියා සිතමි. ඒ තරම් අසීරුවකින් අපේ යෞවනයේ දී හෝ අප උනුන් ගෙන් සමු ගෙන නැති බව මට යළිදු සිහි කර ගත හැක.

ඇතුළට ගිය ගමන් මම ප්‍රීති ඝෝෂා නංවා ගෙන ශාම් එක්ක වෙතට පැන ඇය වැළඳ ගතිමි. රෑ බෝ වීත් මා පමා වන්නේ ඇයි කියා විමසන්නට ඇය ඇමතුමක් දුන් වෙලාවේ මම ඉතා කෙටියෙන් ලෝචන හමු වූ පුවත දැනුම් දුන්නෙමි. ඒ නිසා මා හා සතුටු වන්නට ඇය අවදියෙන් මා බලාපොරොත්තුව සිටියා ය. 

ගෙදර ගිය බවට ලෝචන ගෙන් පණිවිඩයක් ලැබී තිබිණ. මම හිත සැහැල්ලුවෙන් කාමරයට ගොස් මල්ලී ට කතා කළෙමි. මට කියන්නට තිබූ කාරණය ගැන ඇසූ ඔහු විමතියටත් ප්‍රීතියටත් පත් වූයේ ය.

“ලෝචන එච්චර පිස්සෙක්ද…එයාට ඒඩ්ස් හැදුණත් සුදූ එයාව අත් අරින්නෑ කියල දැනං ඉඳල නැද්ද…”

මල්ලී ගේ ඒ ප්‍රකාශය තුළ ඔහු මා කියවා ගෙන ඇති ප්‍රමාණය මැනවින් ලියැවී තිබිණි. 

“එහෙනං සුදූ ස්පෙශලිස්ට් ට්‍රේනිං එක ඉවර වෙලා එනකොට මං වෙඩින් එක ප්ලෑන් කරල තියන්නං”

එය තිගැස්ම ද අසිරිය ද හදිසියේ උදා වූ අනපේක්ෂිත සතුට ද එක් ව මිශ්‍ර හැඟීම් සමුදායක් හදවත රසවත් කළ මොහොතකි. අම්මා කඳුළක් සැළුවා ය. ඇය කෙතරම් බරක් මා නමින් හදවත දරා සිට ඇත්ද යන්නට ඒ කඳුළ කදිම සාක්ෂියක් වූයේ ය. 

මා ලෝචන ව සොයා ගත්තේ ය යන ආරංචියට සඳනි ඉකි ගගහා හැඬුවා ය. ටික වෙලාවක් යන තුරු වදනකුදු දොඩා ගත නො හැකි තරමට ඇය හැඬුවා ය. 

“අනේ නිබූ…ඔයාට දෙයක් දැනෙනවනං…මේ වෙලාවෙ මටත් එහෙමම දැනෙනව. මේක මහ පුදුම මොහොතක් නිබූ…ඔයා වගේම ලෝචනත් හරි පුදුම කෙනෙක්. ඒක ඇත්තටම පුදුම ආදරයක්”

ඉකි බිඳුම අතරේ ම ඇය කියවූවා ය.

“ඒ වගේ ආදරයක් වෙන් කළානං ඉරණම වුණත් පුරෝගන්නෙ ගෙවා ගන්න බැරි පවක්. ඇයි දෙයියනේ මේ වෙලාවෙ මට ඔයා ළඟම ඉන්න බැරි වුණේ…”

“ඔයා ඉන්නෙ මගෙ ළඟම තමයි සඳ. ලෝචන අයිය වුණත් කොහේ කොතනක ඉන්නවද කියල නොදැන හිටියට එයා හිටියෙ මගෙ හිත ළඟම. හිත් වලින් ළඟ මිනිස්සු ලෝකෙ කොයි දෙකෙළවරක හිටියත් ඉන්නෙ දුර නෙවෙයි”

“මේක එහම ලේසියෙයෙන් අත් ඇරල දාන්න බෑ. සෙලිබ්‍රේට් කරන්න ඕන. ලෝචනත් එක්කම හම්බ වෙන්න ඕන නිබූ…වීඩියෝ කෝල් එකක් අරං අපි කතා කරමු. මට හොඳටම බොන්න ඕන”

කලා නිර්මාණයක් තුළ මෙවැන්නක් සිදු වී නම් අපි එය ෆැන්ටසියක් කියා සිතමු. නමුත් සැබෑ ජීවිතය තුළ ද ෆැන්ටසිමය අවස්ථා උදා වන්නේ ය. මේ එහෙව් අහඹුවකි. ජීවිතය කියන්නේ ඉරි ගසා කොටු ගසා සීමාවන් වෙන් කළ නොහැකි සියල්ලක එකතුවක් කියා පිළිගන්නට දැන් මම වැඩිපුර කැමැත්තෙමි. එය මායාවෙන් ද භීතියෙන් ද ෆැන්ටසියෙන් ද අවදානහෙන් ද යථාර්ථයෙන් ද ප්‍රීතියෙන් ද සමලංකෘත වූ අසිරිමත් තැනෙකි. ජීවිතයක් මත්තේ විටෙක මායාවන් ද විටෙක අද්භූත වූ දේ ද විටෙක ෆැන්ටසි සිහින ද දර්ශනය විය හැක. වඩා වැදගත් වන්නේ ඒ සියල් අවස්ථා වල තදින් ජීවිතය අල්ලා ගෙන සිටීම ය. අතැර දා නොයා ජීවිතය වැළඳ ගෙන සිටීම ය. මේ මායාව හෝ ෆැන්ටසිය හෝ අවදානම හෝ දරා ගත නො හැකි ඇතැම් අවස්ථාවක මිනිස්සු දිවි නසා ගන්නට තීරණය කරති!

එවන් මොහොතක් පහසු නැති බව ඇත්ත ය. මට ද ජීවත් වෙන්නට බෑ කියා හිතුණ අවස්ථා උදා වී තිබේ. එවන් අවස්ථා මවිසින් ම මග හැර ගත්තේ මාව අවශ්‍ය කරන අය සිටින බව සිතා ය. අප ලෝකයට එන්නේ යම් කිසි මෙහෙවරක් වෙනුවෙනි. එය අවසාන වන තුරු බලහත්කාරයෙන් ජීවිතය උදුරා ගැනීමේ අයිතියක් අපට නැත!

පමා වී වුව වසන්තය පැමිණෙන්නට පුළුවන. එවැන්නක චමත්කාරය වඩා සියුම් ය. ලන්ඩන් නුවර වීදි දිග තදින් අත් අල්ලා ගෙන උනුන් වෙත දැඩිව වෙලී ඇවිද යන තිස් විය ඉක්මවූ පෙම්වතියක් හා තිස් පස් වන විය ද ඉක්මවූ පෙම්වතෙකු දැකිය හැකි වූයේ එබැවිනි. 

නිබ්බුතා ගෝතමී වූ කලී නැති බැරි කම් හා අග හිඟ දෝත දරා ගත් පවුලක උපන් කෙල්ලකි. නමුත් ඇය ජීවිතය ඉදිරියට එන අභියෝග වලට අභියෝග කරන්නට සමත් සවිමත් හිතක් තිබූ ගැහැනියක ගේ කුසයෙන් උපන්නියක වූවා ය. ආදරය නිසා රැවටීමට ලක් වූ ගැහැනියක ගේ කුසින් උපන්නා වී ද ඇය දැඩිව ආදරය විශ්වාස කළා ය. විශ්වාසය අපව අප රිසි තැනට ගෙන යන්නේ යයි දැන් මම ප්‍රත්‍යක්ෂ කොට ගෙන සිටිමි. 

මා ‘කිංස් කොලේජ් හෝස්පිට්ල්’ වෙත යන්නට සූදානම් වෙත්දී ලෝචන අපේ දොරකඩ රැඳී සිටින්නේ ය. පුහුණුවීම් කටයුතු වලින් පසු අපි වීදි දිග ‘බියර්මවුන්ට් අපාට්මන්ට්’ තෙක් ඇවිද එමු. අතර මග කෝපි හලකින කෝපි එකක් බීමත් අවට සිරි නැරඹීමත් අපේ දෛනික දිවිය ප්‍රීතිමත් කළ සිදුවීම් ය. ලෝචන ගේ කෑම රුචිය වර්ධනය වන්නට විය. මගේ නියමය වූයේ නිශ්චිත වේල් සංඛ්‍යාවකින් තොර ව හැකි හැම විට ම සුළුවෙන් හෝ ඔහු යමක් ආහාරයට ගත යුතු බවයි. බලා සිටියදී ඔහු ගේ සිරුරේ මාංශ පේශීන් ගොඩනැංවීම පවුලේ අයගේ සැනසීමට හේතු විය.

ඔහු ගේ අවසන් වෛද්‍ය වාර්තාව සඳහන් කොට තිබුණේ ලෝචන මදුරාපුර පූර්ණ නිරෝගී භාවය අත්පත් කර ගෙන ඇති බවයි. එය පවුලේ හැම කෙනෙකු ගේ ම ඇස් තෙත් කරවනා ලද මොහොතකි. වෛද්‍ය වාර්තාව ලැබීමෙන් පසු ඔවුහු ටික වෙලාවක් යන තුරු වචනයක් කතා කර ගත නො හැකි තත්වයකට පත් වූහ. ඒ මොහොතේ ඔවුන් සමග ජීවිතයේ වැදගත් ම සිදුවීමක හවුල් කාරියක් වන්නට ලැබීම මම මදිවියෙහි ලද ආශ්චර්යයක් සේ සලකමි.

“මේ වෙනකොට ඔයා මැරි කරල හිටියනං ඇත්තටම සනීප වුණාට වඩා ඒ අසනීපෙං මැරිල ගියානං හොඳයි කියල මට හිතෙන්න තිබුණා”

එදා ලන්ඩන් වීදියක ඇවිද ගොස් කෝපි හලක අසුන් ගන්නා ගමන් ලෝචන කීවේ ය. කැපුචිනෝ සුවඳින් හාත්පස සුවඳවත් ව තිබිණ. 

“ආදරේ කියන්නෙ බලං ඉන්න එක…කිසි බලාපොරොත්තුවක් නැතුව වුණත් බලං ඉන්න පුළුවන් එක. ඉක්මනට හැම දේම අමතක කරල හිත හදාගන්න ඕන කමට වෙන කෙනෙක් බඳින තැනදි ඒ ආදරේ කියන හැඟීම අහෝසි වෙලා යනව. මාත් තරිඳුව බැන්දනං එහෙම වෙන්න තිබුණා. ඒ විතරක් නෙවෙයි…ආදරෙත් එක්කම මැරිච්ච ගෑනියෙක් විදිහට ඒ මනුස්සයට ලොකු අසාධාරණයක් මගෙන් වෙන්න තිබුණා.  මෙහෙම බලං හිටිය එක ගැන මං මටම තෑන්ක් කරනව. මං එනකල් අල්ලං හිටිය එක ගැන ඔයාට ගොඩක් ආදරෙයි”

ඔහු මගේ ඇස් පිල්ලමක් සිප ගත්තේ ය. 

“ෆැකල්ටි එකේ යාළුවන්ටත් එන්න කියල ලස්සන පොඩි වෙඩින් එකක් ගන්න ඕන”

“ඒක පොඩි එකක් වෙන එකක් නැති වෙයි අපි දෙන්නගෙම යාළුවන්ට කිව්වහම”

“එහෙ ගෙවල් පැත්තෙ අයටත් කියමු. අපි දෙන්නවම චූටි කාලෙ ඉඳලම දන්න අයනෙ”

“මහ ගෙදර අය එයිද…”

“එයාල ගැන මල්ලි තීරණයක් ගනී. මගෙ බ්‍රයිඩ්ස්මේඩ් සඳනි හොඳද…”

“එයාව ගන්න බෑනෙ…එයා මැරි කරලනෙ”

“ඒකට කමක් නෑ. ඒ වෙලාවෙත් මගෙ ළඟම ඉන්න ඕන ජීවිතේ නරකම දවස් වලත් මං ළඟම හිටපු එයා. ඒකට සුදුසු වෙන කෙනෙක් නෑ”

“ඔයා කැමති විදිහක්”

“මං කැමති විදිහට ඔයා හැමදාම එකඟ වෙයිද…”

දඟකාර පොඩි දැරියක සේ මම ලෝචන ගේ අතේ එල්ලී සිනහ වීමි. ඔහු සිනහ පොදක් හෝ නැති දෑසකින් මදෙස බලා සිටියේ ය. ඒ ආඩම්බරකාර බැල්ම මට සිහිපත් කළේ ඉස්සර මා මදුරාපුර මැදුරට ගිය කුඩා කෙල්ලක කාලයේ සිටි ගැටවර ලෝචන ය. මා සඳනි ගේ ලොකු ගවුමක් හැඳ ගෙන, උරහිසෙන් ගිලිහී වැටෙන ගවුම් කර ඔසව ඔසවා කොස්සේ මැද්දෙන් අල්ලා ගෙන ගේ අතුගාන කුඩා දැරියක කාලයේදීත් මා හොරෙන් ඔහු දෙස බැලුවා මතක ය. නමුත් එක බැල්මක තරම් සැලකිල්ලක්  එදා ඔහු මවෙත යොමු කළේ නෑ නොවේද? ඒ ආඩම්බර කොල්ලාට මා මේ තරම් ආදරය කරාවියි එදා මම සිතුවෙම් ද?

“ඔයා හැමදාම ඔහොම හිනා වෙලා ඉන්නයි ඕනෙ…අර ඉස්සර කාලෙ වගේ…ඕන වෙලාවක මූණෙ හිනාවක් තියන…තාරකා මල් ටිකක් කොණ්ඩ කරලෙ ගහ ගත්ත කෙල්ල තමයි මාව මරණෙන් ජීවිතේ පැත්තට ඇදල ගත්ත බලාපොරොත්තුව වුණේ…ඒකට ශක්තිය දුන්නෙ අම්මයි අක්කයි. මගෙ ජීවිතේ වැදගත්ම ගෑනු තුන් දෙනා…”

තව ටික කාලයකින් ඒ තැනට ඒ සිනහව තියෙන ඔහු ගේ ම චූටි දුවක් එක් වනු ඇතැයි කියන්නට ඕන වුණ මුත් ඇසිල්ලකින් මට එය අමතක ව ගියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles