ඔලියැන්ඩර් – 19

0
141
oleander Flower

” ගුඩ් මෝනින් සර්..!” 

ආයතන ප්‍රධානියාගේ ආගමනය දුටු ශාක්‍යා වහා හිඳ උන් අසුනෙන් නැඟිට්ටේය. 

” ගුඩ් මෝනින් ! සඳැස්විගේ ලෙටර් එක රෙඩිද ? “

” රෙඩි සර්..”

තවත් කිසිවක් නොපැවසූ ඔහු වීදුරු ද්වාරය හැර කාර්‍යාලයට තුළට ඇතුළු වී තම අසුනට බර වූයේය. ඉන්පසුව මේසය මත තිබූ ලැප් ටොප් පරිගණකයේ ආරක්ෂක කැමරා දර්ශන එකින් එක නරඹා මුහුණ මඳක් ඇඹුල් කර ගනිමින් ජංගම දුරකතනය අතට ගෙන ඇමතුමක් ගත්තේය .

” ගුඩ් මෝනින් සර්..!” 

” ගුඩ් මෝනින් , කොහෙද ඉන්නේ ?” 

” රෙස්ටුරන්ට් එකේ සර් “

” කෝ.. මට පේන්නෑනේ ?” 

” අහ්.. සොරි.. අලුත් තැන නෙමෙයි අද. පරණ තැන. මැඩම් අදයි හෙටයි දවස් දෙක ඇතුළත මෙතන ඔක්කොම ක්ලීන් කරන්න කිව්වා. “

” එතකොට මෙහෙ ඩයිනින්ග් එක ?” 

” එතන අද ඉන්න ඕනේ පස් දෙනාම ඉන්නවා සර්. පහල රෙස්ටුරන්ට් එකෙත් අද ඉන්න කට්ටිය ඉන්නවා. අනිත් අය ඔක්කොම මෙහෙ .”

” දැන් එතකොට ඔයා මොකද ඔතනට වෙලා කරන්නේ ?” 

” මං කිව්වේ සර් මෙහෙ ක්ලීන් කරනවා. “

හදවත පුරා ඈ කෙරෙහි ඉපදී යන අප්‍රමාණ කණගාටුව සහිතව ඔහු විසල් සුසුමක් හෙළුවේය. 

” ක්ලීනින්ග් වලට ඇයි වෙනම මිනිස්සු ගත්තේ නැත්තේ. ?” 

එවර ඔහුගේ පැනයේ තැවරී තිබුණේ කෝපයකි.

” දන්නෑ සර්. උත්පලා මැඩම්ගේ ඕඩර් එකක්නේ “

” ශිට්..!  ඔයා ඔතන ඕවා කරන්න ඕන්නෑ. මෙහෙ ඔෆිස් එකට එන්න දැන්ම. “

” අනේ සර්.. මැඩම්ගේ ඕඩර් එකක්නේ.. ? ප්ලීස්..!” 

” විනාඩි පහයි , only five minutes . විනාඩි පහක් ඇතුළත ඔයා මගේ ඔෆිස් එක ඇතුළේ ඉන්න ඕනේ. එහෙම නැත්තන් හය වෙනි විනාඩියෙදි මං ඔතනට එනවා. “

” අනේ.. සර්…!” 

” දෙපාරක් කියන්න තියන්න එපා. මං ගැන දන්නවනේ..?” 

” සර්.. ඒත්…”

ඇයට පිළිතුරු ලෙස කිසිවක් පැවසීමට ඉඩ නොතැබූ ඔහු වහා දුරකතන ඇමතුම විසන්ධි කර තමා ඉදිරියේ තිබූ ලිපි ගොනුව දිග හැර ගත්තේය. 

මිනිත්තු කිහිපයක් ගෙන අදාල ලිපි ගොනුවේ අත්සන් යොදමින් සිටි ඔහු නැවතත් නාද දෙන ජංගම දුරකතනය අතට ගෙන එයට පිළිතුරු බැඳීමට පටන් ගත්තේය.

” කියපන් “

” මචං උඹ නිවුස් බැලුවද ?” 

මහීල්ගේ කටහඬෙහි කලබලය ඔහු වහා හැඳින ගත් අතර ලිපි ගොනුව මත තිබූ දෑස ඉන් මුදවා ගෙන මහීල් පවසන කාරණයට සවන් දීමට පටන් ගත්තේය. 

” නිවුස් ? නෑ බං .ඇයි මොකද්ද සීන් එක ?” 

” යූනියන් එකේ නිශ්ශංක. ඊයේ උඹව මීට් වෙන්න ඕනේ කිව්වයි කිව්වේ. “

” ඔව් ඉතිං ? “

” මිනිහගේ බොඩි එක අද පාන්දර මෝදර බීච් එකේ තිබිලා හොයාගෙන. මුලින් කිව්වේ නාඳුනන මිනියක් කියලා. දැන් ටිකකට කලින් තමා නිශ්ශංකගෙයි කියලා හරියටම හොයන් තියෙන්නේ. “

“What the #$& ? තෝ මේ ඇත්තමද කියන්නේ ? “

” ඇත්ත තමයි බං . නිවුස් එකක් දාලා බලහන්. මං ඒක තමයි තොට කිව්වේ ඔය එක එකා කතා කරා කියලා ඔහොම යන්නෙපා කියලා. සමහරවිට උඹේ හොඳ වෙලාවකට වෙන්න ඕනේ ඌව ඊයේ උඹට මඟ ඇරුණේ. නැත්තන් එක්කො අද ඌ ඉන්න තැන උඹ ඉන්න තිබ්බා . නැත්තන් උගෙ මරණෙට උඹ ඇතුළට යන්න තිබ්බා. කල්පනාවෙන් වැඩ කරහන් බං. රෙද්ද…”

දුරකතනය පසෙක තැබූ සියත්‍ර දෑඟිලි මතින් නළල තෙරපවා ගත්තේය . යළිත් වතාවක් අතීතයේ සිදු වූ අඳුරු මතකයක් තමන් වටා වෙළී යන බවක් ඔහුට දැනෙන්නට පටන් ගත්තේය . 

වීදුරු ද්වාරයට නැඟුණු හඬින් කල්පනාවෙන් මිදුණු ඔහු සුසුමක් හෙළා ආයාසයෙන් යථා තත්වයට පැමිණියේය.

” සර්.. ! සඳැස්විගේ ලෙටර් එක “

කාර්‍යාලය තුළට පැමිණි ශාක්‍යා ෆයිල් කවරයක් තුළ තිබූ ලිපියක් රැගෙන එය සියත්‍ර වෙත දිගු කළාය . ලිපිය අතට ගත් සියත්‍ර එය දෙස බලා මඳ සිනහවක් නඟමින් එයට තම අත්සන තැබුවේය . මෙතෙක් වේලා තමා වසා සිටි අඳුරු සෙවණැල්ල වහා ඇගේ මතකය හමුවේ අතුරුදහන් වී ගිය ආකාරයක් ඔහුට දැනුණේය. ඇය විඩාවත් , ආතතියත් , දෝමනස්සයත් දුරු කරනා මායාකාරි ඔසුවක් වැන්නීය. ඇගේ රුව හා ඇගේ ඇසුර පමණක් නොව ඇගේ මතකය පවා තමා තුළ මෙසේ සිදු කරනා පෙරළියට ඔහු මහත් සේ ලොබ බඳින්නට පටන් ගත්තේය .

” මේක රෙඩි කරන්න. “

” ඕකේ සර්  “

සියත්‍ර අතින් ගත් ලිපිය නැවත සකසමින් එය ලිපි කවරයක් තුළ බහා තම ප්‍රධානියා දෙස බැලුවාය.

” සර් මේක උත්පලා මැඩම්ටද දෙන්න ඕනේ ?” 

”  නෑ සඳැස්විගේ අතටම දෙන්න ඕනේ “

” සඳැස්වි අද පරණ රෙස්ටුරන්ට් එකේ සර්. “

ඔහු වහා අත බැඳි ඔරලෝසුව දෙස බැලුවේය. 

” දැන් එයි.. “

ඔහුගේ වදනට ශාක්‍යා තිගැස්සී ගියද ඒ සැණින්ම වීදුරු ද්වාරයට තට්ටු කළ සඳැස්වි එයට ඇතුළු වූවාය. 

කලාතුරකින් දක්නට ලැබෙන තම ප්‍රධානියාගේ මුව මත ඇති හසරැල්ල දුටු ශාක්‍යාගේ හදවතෙහි ගලපා ගත නොහැකි පුදුමයක් හට ගෙන තිබිණි. 

” සර්…!” 

” සිට්…”

සියත්‍රගේ දෑස දිළිසෙමින් සඳැස්විගේ උවන මත දුවන ආකාරය දුටු ශාක්‍යාගේ මුව මතද සිනහවක් නැඟෙන්නට සැරසුණද ඈ තොල් පට සපා එය වළකා ගත්තාය. 

තමාගේ ඉදිරියේ තිබූ සුදු පැහැ ලිපි කවරය අතට ගත් ඔහු එය අසුන් ගත් ඈ වෙතට දිගු කළේය. දෙගිඩියාවක් මුසු වූ විමතියකින් ඇය එය අතට ගත් අතර විවර කර බලන ලෙස ඔහු දෑසින් ඇයට ඉඟි කළේය. 

හදවතෙහි රැඳි චකිතයෙන්ම ලිපිය දිග හැර කියවූ සඳැස්වි වහා පුදුමයෙන් යළිත් ඔහු දෙස බැලුවාය. 

”  My congratulations..! “

 ඔහු උවන පුරා පැතිර ගිය සිනහවකින් ඈ දෙස බලා සුබ පැතූ අතර සිනහවකින් මුව සරසා ගත්  ශාක්‍යා වහා හිඳ උන් අසුනෙන් නැඟිට සඳැස්වියගේ කොපුලක් සිප ගත්තාය .

” සුබ පැතුම් කෙල්ල. මං ඔයාට කිව්වා නේද දවසක ඔයා අපි හැමෝටම වැඩිය ලොකු තැනකට යනවා කියලා. “

ශාක්‍යා දෙසත් , සියත්‍ර දෙසත් මාරුවෙන් මාරුවට බැලූ ඒ කුඩා දිළිසෙන දෑසට කඳුළු පිරීමට මහා ලොකු වේලාවක් නොගියේය. එකින් එක කඳුළු කැට කොපුල් දිගේ බේරී යද්දී ඈ තදින් තම තොල්පට සපා ගත්තාය. 

” අඬන්න එපා ළමයෝ… ඔයා හරි දක්ෂ දරුවෙක්නේ. “

ශාක්‍යාගේ හදවතෙහි සඳැස්වි ගැන විසල් අනුකම්පාවක් පැතිර ගිය අතර ඈ නැවතත් සඳැස්විගේ අතින් අල්ලා ගත්තාය. 

”  ශාක්‍යා..!” 

” සර්.. ?” 

” විනාඩියක් දෙනවද ?” 

” ශුවර් සර්.. “

එසේ පැවසූ ශාක්‍යා කාර්‍යාලයේ වීදුරු ද්වාරය හැර පිටව ගියාය. ඈ යන තුරු බලා සිටි සියත්‍ර වහා තම අසුනෙන් නැඟිට විත් සඳැස්වි අසල තිබූ අසුන ඈ වෙත ළං කර ගනිමින් හිඳ ගත්තේය. ඉන් පසු සෙමින් ඇගේ අතකින්  අල්ලා ගත්තේය. 

” දැන් ඇයි මේ අඬන්නේ ?” 

” ඇයි මට මෙහෙම ?” 

කඳුළු පිරි දෑසේ තිබූ විශ්මය වටහා ගත් ඔහු නැවතත් හසරැල්ලක් නැඟුවේය.

” ඔයාට කියලා විශේෂයක් නෑ. මේ පෝස්ට් එකට හරි යන කොලිෆිකේශන්ස් ඔයා ලඟ තියනවා. ඒ නිසා ඒක ඔයාට හම්බුණා. එච්චරයි. මං කවදාවත් ඇඳුරුන්කමක් වලට,  යාළුකම් වලට , විශේෂයක් කරන කෙනෙක් නෙමෙයි . මේක කළේ අම්මත් එක්කත් කතා කරලා. ඒ නිසා එච්චර හිතන්නෙපා. “

ඔහු එසේ පවසා ඇගේ කොපුලක් මත තිබූ කඳුළු බිඳුවක් පිස දැමුවේය.

” දැන් ඉතිං ඔය හට්ටි මුට්ටි , වළං පිඟන් උස්සන්   දුවන්න තියාගන්නැතුව , රෙස්ටුරන්ට් එකට එන කස්ටමර්ස්ලට කන්න ඕන එකයි , එපා එකයි ගැන ඇඩ්වයිස් දෙන්න යන්නැතුව  පාඩුවේ එක තැනක ඉඳගෙන ජොබ් එක කරන්න. ඕකේ …?”

යුවතිය එවර බෙරි කර ගත් මුහුණින් ඔහු දෙස බැලූ අතර නැවත වතාවක් ඔහුගේ උවනේ සිනා රැල්ලක් ඇඳී ගියේය. 

” මොකෝ…?” 

ඈ නැත යන්නට හිස සැලුවාය.

” thank you…! සැලරි එකත් වැඩි වෙලා සර්. පින් සිද්ධ වෙනවා. දැන් මට නංගිට තව ටිකක් හොඳට උගන්නන්න පුලුවන් . අම්මට තව වැඩිපුර ගාණක් යවන්නත් පුලුවන්  ” 

පිරිමි හදවත දැවුණේය. කුඩා යුවතිය පමණටත් වඩා මේ ඔසවා යන බර පිළිබඳව ඔහු හදවතින්ම තැවුණේය. 

 ” Thank you sir…!” 

” එච්චරද ?” 

ඇගේ ස්තූතියට පෙරළා ඔහුගෙන් නැඟුණු පැනයේ අර්ථය වටහා ගත් ඈ ලැජ්ජාවෙන් උවන බිමට බර කර ගත්තාය. 

” ෆැක්ට්‍රි එකට ගිහින් නෑ නේද ? “

” ආ..?” 

” අපේ ෆැක්ට්‍රි එකට ගිහින් නෑ නේද ?” 

ඈ යළිත් වතාවක් නැත යැයි පවසමින් හිස දෙපසට සැලුවාය.

” තව ටිකකින් අලුතෙන් ගත්තු මැශින්ස් වගයක ඩොකියුමන්ට්ස් අරන් එන්න ශාක්‍යා යනවා. එයා එක්ක ගිහින් එන්න. “

” සර් එතකොට..?” 

” මට බෝඩ් මීටින් එකක්. පරිස්සමට ගිහින් එන්න. “

නිහඬවම ඈ එයට එකඟව හිස සැලුවාය.

” බ්‍රෙක්ෆස්ට් ගත්තද ?” 

” තාම නෑ .. “

එක් වරම දිළිසෙමින් තිබූ දෑස යළි රකුසු දෑසක් බවට පත් වූයේය.

” දැන් කීයද වෙලාව ?” 

” හරි මං යන්න කලින් බ්‍රෙක්ෆස්ට් ගන්නං “

ඈ වහා හිඳ උන් අසුනෙන් නැඟිට්ටාය. රකුසු බැල්මෙන්ම ඔහුද හිඳ උන් අසුනෙන් නැඟිට යළි ඇගේ අතකින් අල්ලා ගත්තේය. 

” නෑ.. දැන් ඔයා කන්න ඉන්නෑ. පරක්කුයි ගාගෙන දුවයි “

” අනේ නෑ සර්. මං ටක් ගාලා කාලා යන්නං “

තරුණියගේ වදන් පිළිබඳව කිසිදු විශ්වාසයක් නොතැබූ ඔහු නැවතත් රකුසු බැල්මක් ඈ වෙත පා කළේය. 

” හරි හරි රත්තරනේ..!  මං කාලා යන්නං. දැන් යන්නද ? ශාක්‍යා අක්කා බලන් ඇති නේද ?”

එසේ පැවසූ ඈ හනි හනික පසෙක තිබූ අත් බෑගය අතට ගත්තාය. 

” මොකද්ද අර කිව්වේ ?” 

ඔහුගේ උවන කියවාගත නොහැකිය. එය පුදුමයක් සහිත ආදරණීය බවකින් පිරී ගොස් ඇත. 

” මොකද්ද ?” 

” දැන් කිව්වේ ?” 

” බ්‍රෙක්ෆස්ට් අරන් යන්නං කියලා. ඇයි සර් ?” 

ඔහු අසන්නේ කුමක් පිළිබඳවදැයි සිතා ගත නොහැකි වූ යුවතිය ඔහුගේ දිළිසෙන උවන දෙස බලමින් ඇසුවාය.

” ම්හ්හ්… මුකුත් නෑ.. යන්න. “

තොල් පට තද කර ගත් ඔහු වීදුරු ද්වාරය විවර කරමින් ඈට පිටත් වීමට ඉඩ සැලසුවේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here