සඳක් කළ සක්මන් – අවසන් කොටස.

ගැහැනු ළමයෙකු ට යන්නට වන දිගු ම දුර ගමන, පියා ගේ ගෙදර සිට සැමියා ගේ ගෙදරට ය. ඒ ගමන මා හිතා හිටියාටත් වඩා දුර එකක් බව මට වැටහුණේ යන්නට සූදානම් වෙත්දී ය. විවාහය ලියාපදිංචි කිරීමෙන් පසු අපේ ගෙදර තේ මේසයක් සූදානම් කොට තිබිණි. මගේ හිත තිබුණේ බර වී ය. 

“ලස්සනයි”

තේ උගුරක් බොන ගමන් ආකාශ් මදෙස බලා ඉතාමත් හෙමිහිට කීවේ මා සිටින මානසික තත්වය හොඳින් ම වටහා ගෙන සිටි නිසා විය යුතු ය. මට සිනහ වෙන්නට මතක නැති වී තිබිණි. 

මා හැඳ සිටියේ පීච් පැහැති ඔසරියකි. ඉතාමත් ම චාම් ලෙස සැකසූ වරලෙහි, සාරියේ පාටින් කුඩා මල් කිහිපයක් ගවසා තිබිණි. මා කියූ නිසා ආලේපන සියල්ල ඉතා අඩුවෙන් හා සරල ලෙස භාවිත විය. එතැන ලස්සනට යමක් තිබුණා ද කියා මා දන්නේ නැත.

ආකාශ් වෙනදා සේ ම අත් දිග සුදු කමිසයට පීච් පාටින් රටා වැටුණ ටයි පටියක් පැළඳ කඩවසම් ව සිටියේ ය. නමුත් ඒ කිසිත් ගැන සතුටු විය නො හැකි තරමට , වැස්සට තෙමුණ රෝස මලක් සේ මම දුකෙන් බර වී ගෙන සිටියෙමි.

තාත්තා කැබ් සේවාවකින් කාර් එකක් ගෙන්වා ගෙන මා බස්වන්නට ආකාශ් ලාගේ ගෙදර එන්නට සූදානම කොට තිබිණි. අම්මාත් ආච්චම්මා ත් සාරි වලින් සැරසී පිළිවෙලට සිටියහ. බබා නිසා කරදර යයි කියා නංගී එ ගමනට සහභාගි වීම කල් ඇතිව ම ප්‍රතික්ෂේප කළා ය. කවුරුන්වත් යමු යයි ඇයට බල කෙරුවේ නැත.

ආකාශ් ලා ගේ ගෙදර දිවා ආහාර සූදානම් කොට තිබුණේ ය. ආහාර පානාදියෙන් සප්පායම් වීමෙන් අනතුරුව අම්මලා යන්නට සූදානම් වූහ. ඔවුන් මා දා යනවා ට මා එතරම් ම හඬාවියි සත්තකට කොහොම මා වුව විශ්වාස කරන්න ද? 

“ඔච්චර අඬන්නෙපා දුව. ඔයා මහ දුරකට ආව නෙවෙයිනෙ. ඔයාට යන්න ඕන කියල හිතෙන ඕන වෙලාවක ගිහිං අම්මලව බලල එන්න පුළුවන්නෙ”

නෙරංජලා ගුරුගේ මා සැනසූයේ එසේ කියමිනි.

“පූජා හැමදාම හවසට ගෙදර ගිහිං එන්න. හිතෙන දවසක නතර වෙලා එන්න. ඔයා මෙහෙ ඉන්න එක කැම්පස් යන්නත් ලේසි නිසයි මං කිව්වෙ මෙහෙ ඉන්න කියල”

ආකාශ් පශ්චත්තාපී ස්වරයකින් කීවේ ය. මා මේ තරම් හඬත්දී තමන් ගෙන් සිදු වූයේ වරදකැයි ඔහු තුළ පසු තැවීමක් ඇති වෙන්නට ඇත.

“ලොක්කි ඉතිං අඬන්නැතුව ඉන්න. ඔහොම අඬනකොට මේ මනුස්සය අද රෑට රට ගිහිං හිත හදාගෙන ඉන්නෙ කොහොමද…ම්…”

තාත්තා මා සිය පපුවෙහි හොවා ගත්තේ එසේ කියා හිනහෙමිනි. නමුත් ඒ සිනහව යට මහා දුක් කන්දක් ඇතිවා සේ ය. මට කෑ ගැසී හැඬිණි. තාත්තා ත් ඉකි ගසා හැඬුවේ ය.

මතක ඇති දාක අප දෙදෙනා අතරේ වූයේ බහින් බස් වීම් ම ය. තාත්තා ගේ පැවතුම් මා රිස්සුවේ නැත. මගේ පැවතුම් ඔහු  රිස්සුවේ නැත. තාත්තා ට මා පෙනෙන්නට බැරි වූ කාල තිබිණි. නමුත් ලේ බැඳීම් වූ කලී කෙතරම් ඝණකමැති දෙයක් දැයි අපි අලුතෙන් පසක් කරමින් සිටියෙමු.

“ලොක්කි ගෙදර ඉන්නවට වැඩිය මෙහෙ ඉන්න එක හොඳයි. මැඩම් අම්මා  කෙනෙක්ටත් වැඩිය ලොක්කිට ආදරෙයි කියල අපි දන්නවනෙ. මැඩම්ට ආදරෙං ඉන්න. ලොක්කි දොළොස්මහේ පහනක්. කරුමෙට අපිට ඒ එළිය ලබන්න වාසනාව තිබ්බෙ නෑ”

අමාරුවෙන් මගේ ග්‍රහණයෙන් මිදුණ තාත්තා ඉක්මන් කොට පිටතට ගොස් කුළී රියෙහි නැගුණේ ය. ආකාශ් මා සිය සිරුරට වාරු කර ගත්තේ ය. අම්මාත් ආච්චම්මා ත් කඳුළු පිසිමින් ගොස් රියෙහි නැග ගත්හ.

අප සියලු දෙනාට වන්නේ එක ම හදවතක් බව මම ඉතා හොඳින් අවබෝධ කර ගනිමින් සිටියෙමි. අද මම එකී හදවතින් වෙන ම කොටසක් ලෙස වෙන් වෙමි. නමුත් මා තුළ වන්නේ අර තනි හදවතෙහි කොටසකි.

තාත්තලා නික්ම යාමෙන් පසු ආකාශ් මාව ගෙයි මතු මහල වෙත කැටිව ගියේ ය. මගේ ඉකිළුම සම්පූර්ණයෙන් නතර වී තිබුණේ නැත. මම ඉඳ හිට හීල්ලුවෙමි. තව දුරටත් ඉකි ගැසිණි. ආකාශ් මගේ තෙත්බර කොපුල් සිප ගත්තේ ය.

“ෆැකල්ටි එකේ ලස්සන කොල්ලො ඉඳී. කැමතිනං බලන්න පුළුවන්. හැබැයි මාව මැරි කරලයි ඉන්නෙ කියල මතක තියා ගන්න ඕනෙ. හරිද…”

ඔහු ගේ කතාවට මට සිනා ගියේ ය.

“ගෙදර ගැන අපි බලනවනෙ. නංගිට වුණත් එයා ගැන වගකීමක් ගන්න අරින්න. ඔයාගෙ හිත නිදහසේ තියා ගන්න බලන්න. මට ඕනෙ ඔයා සතුටෙං ඉන්නව දකින්න විතරයි. හැබැයි ඔයා දිගටම මෙහෙම ඇඬුවොත් මට ඒ සතුටත් නැතුව යයි”

“මං සතුටෙන්…”

“මං එනකොට ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙන්න වෙයි”

“මෙඩිසින් වලද…”

“මෙඩිසින් වල නෙවෙයි බං. ආදරේ ගැන…”

ඔහු මගේ උරහිස වටා අතක් දමමින් මා සිය සිරුරට ලං කර ගත්තේ ය.

“ආවහම අපි ලස්සන පොඩි වෙඩින් එකක් ගමු.  ෆැකල්ටි එකේ කොල්ලන්ටත් ඉන්වයිට් කරල…”

“ඇයි ඔයාගෙ අර…ට්‍රයි කරපු ලේඩි ඩොක්ටර්ස්ලටත් කියන්න වෙයිනෙ”

“උං ඉතිං කොහොමත් බැඳලනෙ දැං”

හිතේ වූ අඳුරු බර ගතිය ඈතට ඈතට පහ ව ගොස් තිබිණි. මම ආකාශ් සමගින් ඔහු ගේ ගමන් මල්ල සූදානම් කළෙමි. 

“ඔයා නැතුව ඉන්නෙ කොහොමද…”

“මං කැමතියි මේ වෙන් වීමට”

“ඇයි…”

“අපිට අපිව කොච්චර ඕනෙද කියල දැනෙයි එතකොට”

“වෙන ගෑනු ළමයි වගේ සැරින් සැරේ වචන වලින් නොකියන දේ…නේ…”

“වචන වලින් නොකියන ආදරේ කොච්චර බරයිද කියල මට තේරුණා…ඔයා තාත්තව බදාගෙන අඬපු හැටියෙං”

“තාත්තට මං එච්චර ආදරේ කරලයි කියල මංවත් දැනං හිටියෙ නෑ අයියෙ”

නැවතත් මගේ ඇස් තෙත් වී ගෙන ආවේ ය. පපු කුහරයේ ලොකු බරක් ද දැනිණ. 

“මටත් ඔයා එච්චරටම ආදරෙයි. හැබැයි මං බලං ඉන්නෙ…”

කියන්නට ගිය දේ ඔහු නතර කළේ ය. මම ඒ මූණ දෙස හොඳින් බැලුවෙමි.ආකාශ් ගේ දෙතොල් පෙති මත ලස්සන සිනහවක් විය.

“මොකද්ද…”

“ඊටත් වඩා ඔයා මට ආදරේ කරනකල්…”

ඒ වචන ටිකත්, එසේ කියත්දී ආකාශ් ගේ ඇස් මත තිබූ බලාපොරොත්තු සහගත ආශාවත්, මගේ හද නිධානයෙහි නිදන්ගත වන්නට ඇත.

ඉනික්බිති සියල්ල සිදු වූයේ සන්සුන් ව ය. මම උදේ ට වෛද්‍ය පීඨයේ දේශන වලට ගියෙමි. ඉඩකඩ තිබෙන පරිදි රෝහල වෙත ගොස් එහි කටයුතු සොයා බැලුවෙමි. හැන්දෑවට නොවරදවා ම අපේ ගෙදර ගියෙමි. 

වැඩ කටයුතු කර ගැනීමේ පහසුව තකා ආකාශ් මට රියදුරු බලපත්‍රය ලබා ගන්නට කීවේ ය. ඉන් පසු කුඩා මෝටර් රථයක් මට ලබා දුන්නේ ය. අපේ ගේ ඉදිරියේ රිය නවතා මා ඉන් බැස ගත්දී ආච්චම්මා ගේ ඇස් දිළිසේ. අම්මා උළුවස්සට හේත්තු වී සිනහ සිසී බලා ඉන්නී ය.

“ලොක්කි දොස්තර නෝනා කෙනෙක් වෙනකල් මට ජීවත් වෙන්න දෙන්න කියල විතරයි මං දෙයියංගෙං ඉල්ලන්නෙ. මට උඹේ අතිං බේත් උගුරක් බීල මැරෙන්න තිබුණොත් ඇති මයෙ දෙයියො”

ආච්චම්මා නිතර ම කියයි.

“ආච්චම්ම දැම්ම මැරෙන්නෑ. මගෙ දරුවංගෙත් දරුවො බලන්න ආච්චම්මා ජීවත් වෙනව”

මම එතකොට කියමි. ආච්චම්මා සිය පරඬැල් අත් වලින් මගේ දෑත් පිරිමදියි.

“හැබැයි ආච්චම්මා හොඳට කන්න බොන්න ඕනෙ. මං ගෙනත් දෙන ජාති කනවද…කිරි බොනවද…”

“අනේ ඔය අරුමෝසං නැතුවට මගෙ ඇඟ පතේ හයිය තියෙනව කෙල්ලෙ”

ආච්චම්මා ගේ ඇස් දිළිසෙයි.

නංගිගේ දියණිය යන්තම් දණ ගාත්දී නංගී මටත් නොකියා රැකියාවක් සොයා ගොස් තිබුණා ය.බෝඩිමක නතර වී රැකියාවට යන්න සිදු වන නිසා දරුවා ව අම්මා ට බලා ගන්න යයි පවරා ඇය සිය ඇඳුම් ටික ද පසු දිනෙක ගෙන ගොස් තිබේ.

“නංගි ඉන්නෙ අපි කියන දෙයක් අහන කරන තත්වෙක නෙවෙයි අම්මෙ. අපි මේ දරුවව බලා ගමු”

එදා මම අම්මා ට කීවෙමි.

“ඒත් මං කොහොමද ලොක්කි ළමයි හදන්නෙ දැං…”

“ඇයි බැරි…”

මම තදින් සිටියෙමි.

“අමමට නංගිවත් හරියට හදා ගන්න බැරි වුණා. ඒ කාලෙ අපිට හුඟක් ප්‍රශ්න තිබුණා තමයි. ඒත් දැං එහෙම නෑනෙ අමමෙ. තාත්තාත් හොඳට රස්සාව කරං ඉන්නව. මාත් මට පුළුවන් විදිහට උදව් කරනවනෙ. අපි මේ කෙල්ලට හොඳට උගන්නමු අම්මෙ. නංගි කර ගත්ත දේවල් කර ගන්නෙ නැති වෙන්න මේ කෙල්ලගෙවත් ඇස් දෙක පාදමු. ඒක අම්මගෙ යුතුකමක්. තාත්ත කෙනෙක් හොයා ගන්න නැති වුණාට මේ අසරණී ගෙ අම්ම අම්මගෙ පොඩි දුවනෙ. මගෙ නංගිනෙ. ඒක නිසා අපි පුළුවන් උපරිමෙන් මේ කෙල්ලව හොඳට හදමු”

දැරිය බහ තෝරත්දී අපේ අම්මා ට අම්මා කියන්නට වූවා ය. ඇය මට අක්කා කීවා ය. ඇගේ ඇස් වලින් මම මගේ ම ළමා විය සිහිපත් කර ගන්නට උත්සාහ කරමි.

“නංගි ආයෙ ඔය දරුව වෙනුවෙං කැප වෙයි කියල හිතන්න බෑ”

ආකාශ් කීවේ ය.

“හැබැයි තව ළමයෙක්නං හදං එන එකක් නෑ කියල මට හිතෙනව. ළමයෙක් කියන්නෙ සෙල්ලමක් නෙවෙයි කියල දැංවත් එයා ඉගෙන ගෙන ඇති”

“එයා ජීවිතෙං හොඳටම මට්ටු වෙල තමයි නවතින්නෙ පූජා”

“එහෙම වෙන එක හොඳයි. ගෙදරිං ඉගෙන ගන්නෙ නැති අය…ඉස්කෝලෙං ඉගෙන ගන්නෙ නැති අය..සමාජෙං හරි ඉගෙන ගන්න ඕනෙ. මං දැං නංගි ගැන නං හිතන්නෙ නෑ. අර පොඩි කෙල්ල ගැන මිසක්…”

“මං ගැනත් හිතනව නේ..”

ඔහු පොඩි දරුවෙකු සේ අසයි. ජීවිතය මොන තරම් සොඳුරු ඉසව්වක් දැයි මට තවමත් දැනෙන්නේ ඔහු නිසාවෙනි. ආකාශ් සඳයුරු ගුරුගේ…අමාවකක් වූ මගේ ජීවිත අඳුර මත්තේ සඳක් වී කළ සක්මන අද අදත් මට සිහිනයක් සේ ය.  සිහින කියන්නේ සැබෑ කර ගත හැකි බලාපොරොත්තුවකට බව මට කියා දුන්නේ ඔහු ය. ඉදිරියෙහි වන්නේ අප එකට සිහින දකින කාලයයි. ඒ සිහින සැබෑ කර ගනු වස් අප එකට වැඩ කරන කාලයයි.

සමාප්තයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ඔබ දකින සිහිනවලින් හෙළිවන අරුම පුදුම අනාවැකි

ඔබේ පරණ පෙම්වතා හෝ කාර්‍යාලයේ ප්‍රධානියා සමග ලිංගිකව හැසිරෙනු සිහිනෙන් දුටුවා ද ? ලිපිය අවසන් වන තෙක් කියවා සිහිනයේ පලාපල දැනගන්න.

ආකර්ෂණීය පියයුරු සඳහා ඔබට ගැළපෙන Bra එක නිවැරදිව තෝරා ගන්නා ක්‍රමය.

70% ක් පමණ කාන්තාවන් තමන්ගේ ප්‍රමාණයට වඩා කුඩා බ්‍රා අඳින බවත්, 10%ක පිරිසක් ප්‍රමාණයට වඩා විශාල බ්‍රා අඳින බවටත් සොයාගෙන තිබෙනවා....

සීත මාරුතේ -38

අපට අප වටා පවත්නා ලෝකය නතර වී ඇතිවා සේ දැනෙනා නිමේෂයන් උදා වන්නේ ය. ඒ මොහොත තුළ පවත්නේ අප පමණකි. වෙනත් සජීවී...

ඔබේ වේදනාව තරමටම තව කෙනෙකුගේ වේදනාව ගැනත් සංවේදී වෙන්න.

"මොකද නයනි බාම් සුවඳ? සනීප නැද්ද?" මම එහෙම අහගෙන මගේ පුටුවෙන් වාඩි වෙනකොට නයනි මං දිහා බැලුවේ හිනාවක් ආයාසයෙන්...

Intercourse නොකර උපරිම ලිංගික තෘප්තිමත් බවක් ලබා ගත හැකි ක්‍රම.

මේ ප්‍රශ්නය ඔයාගෙ ජීවිත කාලෙදි එක දවසක් හරි ඇවිත් ඇති. ඇත්තට ම ලිංගික තෘප්තිය ලබාගන්න යෝනි මාර්ගයට ශිෂ්ණය හෝ යම් උපකරණයක් ඇතුල්...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content