ආතුරයන් මැද ආදරෙන් 4

එදා ප්‍රියංකර පිස්සෙක් වගේ කේසරගේ මිදුලේ කෑගහනකොට මිදුලේ හිටපු ආරක්ෂක නිලධාරීන් ප්‍රියංකරව ඇදගෙන එළියට ගෙනිච්චා..

” මම රටට විතරක් නෙමෙයි මම මුළු ලෝකෙටම කියනවා තමුසෙ තරම් ගසරත්තු බල්ලෙක් කොහේවත් නැති බව…”

ප්‍රියංකර තමන්ගේ චූටි මෝටර් සයිකලය පනගන්න ගෙන යන්න හදන කොටත් කෑගහන සද්දේ කේසරට ඇහුන.එහෙම කෑ ගහලා මිදුලේ පස් කාල වැලපිලා ගිය ප්‍රියංකරගේ මෝටර් සයිකලය මොරටුව පහු වෙනකොටම වගේ රෝද දහයක ලොකු බහාලුමක් එක්ක සිප වැළඳගෙන කියලා ජාදු කිව්වේ කේසරගේ කකුල් දෙක ගාව බිම ඉඳගන්න ගමංමයි..
ඒ ගනුදෙනුව තමන් නිවැරදිව ඉවර කරපු බවත් රෝද දහයට ගෙවන්න ඕන ගාන මාර්ගගත ක්‍රමයට ගෙවපු බවත් ජාදු කේසරට පහුවදා හවස කිව්වා.

එදා ඉදලා කොච්චර කල් ගෙවිලා ගියාද.. නපුරු විවාහ බන්ධනයෙන් මිදිලා නර්මදා තමන්ට ඕන විදිහට ඒ වෙනකොට නිදහස් වෙලා හිටියා.ශාන්තගෙන් හිස් වෙච්ච පවුල් ජීවිතයේදී නර්මදා ශාන්තගේ මරණයත් එක්ක ස්වාභාවිකවම විවාහ බන්ධනයෙන් නිදහස් වෙලා හිටියා.තමන්ට විවාහ ජීවිතයේදී කොයිතරම් නරක විදිහට සැලකුවත් කොයිතරම් තිරිසන් ආකාරයට සැලකුවත් මෙච්චර කාලයක් තමන් කාලා ඇඳලා හිටියේ ශාන්තගේ යටතේ බව කියන එක නර්මදාට අමතක කරන්න බැරුව ගියා.

අම්මගේ වියෝවෙන් අවුරුදු විස්සකට විතර පස්සේ ආපහු තාත්තා විවාහ වෙන්න හදන එක ගැන වර්ණාසි අවංකවම සතුටු වුණා. තාත්තට සුබ පැතුවා. ඒ උනාට විවාහ උත්සවයට එන්න බැරි වුණේ වර්ණාසි ඒ වෙනකොට අත්‍යවශ්‍ය විභාග කාල සීමාවක හිටපු හින්දා යි.
දයාවංශ ජනාධිපතිතුමාගේ ආශිර්වාදයෙන් පැවැත්වුණු මහ මැතිවරණයේදී කේසර රණබාහු ලබා ගත්ත මනාප කන්දට අලුත් නිහඬ විවාහයේ ලස්සන නිවුණු මැතිණියගේ පෙනුමත් යම්කිසි විදිහකට බලපෑවා කියලා ඒ දවස්වල පළ වෙච්ච හැම පත්තර ලිපි‍යකම තිබුණා. කේසර රණබාහු අලුතෙන් විවාහ වෙච්ච නර්මදා මැතිණියගේ ග්‍රහචාරය අනුව ඊළඟ කාලයේදී නියත වශයෙන්ම ශ්‍රී ලංකාවේ ජනාධිපති හැටියට කේසර රණබාහුගේ ග්‍රහචාර කැරකෙන බවට එක එක ග්‍රහ විස්තර තියෙන පත්තර වල පළ වුණා.ඒ පත්තර පිටු කප කපා එකතු කරන කේසරව දැක්කහම නම් නර්මදාට හිනත් ගියා.

එදා මහ මැතිවරණයේදී විශාල මනාප තොගයක් අරගෙන පාර්ලිමේන්තුවට ආපු කේසරට වරාය ඇමති ධූරය දෙන්න තරම් දයාවංශ කුලු පග වෙලා උන්නා. පක්ෂයේ අතිශය ප්‍රබල සාමාජිකයෙක් හැටියට දිගින් දිගටම කේසරගේ නම ඉදිරියෙන් තරු ලකුණු වැටෙන්නට පටන් අරන් තිබුණා.දයාවංශගේ මෙදා පාර ඡන්ද වැඩසටහන සාර්ථක කරගන්න අරගෙන ගිය රහසිගත වැඩපිළිවෙළ ගැන දැනගෙන උන්නේ කේසරත් බන්දුලත් විතරයි.බන්දුලට ගුවන් සේවා අමාත්‍ය ධුරය දුන්නෙත් කළගුණ සැලකීමක් හැටියටම තමයි. ඒ ගතවෙච්ච අවුරුදු ගණනටම කේසරගේ එකම ඉලක්කය වුණේ  ඊළඟට පැවැත්වෙන්නට නියමිත ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙකු හැටියට තමන්ගේ නම ඉදිරියට දා ගැනීමේ වැඩපිළිවෙලයි.ඒ වෙනකොට දයාවංශගේ අවුරුදු දහයක කාල සීමාව සම්පූර්ණ වෙලා තිබුණු නිසා අනිවාර්යයෙන්ම පරනම සාමාජිකයකු හැටියට කේසරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නට පුළුවන් බව පක්ෂය ඇතුලෙන්ම විවිධ මතිමතාන්තර එළිදැක්වෙමින් තිබුණා. තමන්ට මෙච්චර වාසනාවක් සහ මෙච්චර මාර්ගයක් පෑදෙමින්  තියෙන්නෙ නර්මදාගේ විවාහයෙන් පස්සේ කියන ගුප්ත හිතුවිල්ල කේසරගේ හිතෙත් පැලවෙමින් තිබුණා.

බොහොම අමාරුවෙන් පුංචි නිවාඩුවක් හොයා ගත්ත වර්ණාසිට ඕන වෙලා තිබුනේ ඉක්මනින්ම තමන්ගේ අලුත් අම්මවයි පරන  තාත්තවයි දකින්න ලංකාවට එන්නයි.  උපතෙන් පස්සේ අවුරුදු හතර හමාරක් විතර ලංකාවේ හිටපු වර්ණාසි ඉන්පස්සේ අවුරුදු විස්සකටත් වැඩි කාලයක් නවසීලන්තයමයි ගත කළේ.ඒ හැම ඉගෙන ගැනීමේ දෙයක්ම ඉවර කරලා අවුරුදු විසිපහක් විතර වයස වෙච්ච වර්ණාසී ලංකාවට ආවේ ටිකක් පොඩි නිවාඩුවක් ගත කරන්නත් හිතා ගෙන..

අවුරුදු ගානකට පස්සේ දැක්ක වර්ණාසි බේබි පින්න මලක් වගේ කියලා ජාදුට හිතුනා.
මැති ඇමතිවරුන්ගේ පුද්ගලික ලේකම්වරියන් මැතිණිවරියන් තෙරපිවරියන් හොර ගෑනු වගේ අතොරක් නැති ගෑනු පරාන මැද වර්ණාසි බේබි පිනි බිංදුවක් වගේ දිලිසි දිලිසි  ලස්සනට ඉන්නවා කියලා ජාදුට හිතුණා.
ෆරිඩාට වගේ කඩා හැලෙන ලස්සනක් නැති උනත්.. අවුරුද්දට දෙතුන් පාරක් මුණගැහෙන ඩික්මන් රෝඩ් එකේ ඩයනගේ වගේ හිත හූරන ගතියක් නැතත්.. මාසෙකට සැරයක් විතර හම්බවෙන ජනප්‍රිය චිත්‍රපටි නිළි ප්‍රියංවදා වගේ දිලිසෙන හමක් නැතත් …වර්ණාසි ළඟ තිබුණේ මිදුණු අයිස් කැටයක තියෙන සීතල වගේ හැඟීමක්  කියලා ජාදු ට හිතුනා .මීදුම් පිරුණු කඳු පන්තියක තියෙන ඇහැ නිවන බවක් ඒ අස්සේ  හැංගිලා තිබුණා.

එකම ගෑණු පරානයක් ගැන මේ තරම් සියුමැලි දේවල් ජාදුට හිතුණ එක පුදුමයි. ජීවිතේ පළවෙනි වතාවට ගෑනු කෙනෙකුට මේ තරම් සියුමැලි වෙන්න පුළුවන්ද කියල ජාදු  කල්පනා කළා. කෙල්ලෙක් ගැන හිතන කොට හිත සනසගන්න  පුළුවන් බව ජාදු  ජීවිතයේ පළවෙනි වතාවට දැන ගත්තා. ඒ  වර්ණාසිව පොඩි කාලේ දැක්කට පස්සේ දැන් ආපහු දැක්කහමයි. තොල් ආලේපන නැතුවත් නාදලු තොල් ඇති කෙල්ලන් ඉන්න  බවත් රූප ආලේපන නැතුවත් හිත නිවන සොඳුරු කෙල්ලන් ඉන්න බවත් ජාදු දැනගත්තේ වර්ණාසිව දැක්කට පස්සේ‍යි.

කේසර රණබාහුගේ භාර්යා තනතුරට නර්මදා එන එකට වර්ණාසි අකමැති වුණේ නැති එක කේසරට ලොකු සැනසීමක් වුණා. සමහරවිට ජීවිතයෙන් හතරෙන් එකක් විතර නවසීලන්තයේ ගතකරපු වර්ණාසිගේ හිතුවිලිත් දූපත් මානසිකත්වයෙන් මිදිල තියෙන්න ඇති කියලා කේසරට තනියම හිතුනා.

“තාත්ති ඒක ඔයාගේ ජීවිතේ… ඔයාට සැනසීමක් තියෙන්න ඕනේ”

කියලා වර්ණාසි බොහොම සැහැල්ලුවෙන් රණබාහුගේ අලුත් විවාහයට අවසර දීලා තිබුණා.

“මේ වැකේෂන් එක ඉවර වුනු ගමන් මම යනවා කියලා”

වර්ණාසි කියනකොට නම් කේසරට හිතුනා ආයෙමත් තමන්ට පාළුවක් දැනෙයි කියලා.අවුරුදු ගානක් දරුවත් නාලිකත් නැතුව තමන් මේ රටේ ගත කරපු අති දුෂ්කර කාලසීමාව කිසිම කෙනෙක් තේරුම් ගන්න එකක් නැහැයි කියල කේසරට හිතුණු වාර අනන්තයි.

” දැන් තාත්තිට ෂුවර්ද.. දයාවංශ අංකල් තාත්තිට  පර්මිෂන් දෙනවා කියලා මේ සැරේ ජනාධිපතිවරණය ඉල්ලන්න…”

සිංහල කතා කරගන්නා අමාරු වෙච්ච වර්ණාසි  තමන්ගේ හුරු භාෂාව වෙච්ච ඉංග්‍රීසියෙන් කේසරගෙන් එහෙම ඇහුවේ උදේ කෑම මේ මේසේ වාඩිවෙලා උදේ කෑම ගන්න ගමන්මයි.

” ඔව්.. ඒක අපේ පක්ෂයෙන් තීරණය කරලා ඉවරයි…”

“ඇයි අර අන්තවාදීන් කරපු බොම්බ්ලාස්ට් එකට තාත්තිවත් ඇදලා කතා කරන්නේ..මගේ නිව්සිලන්ඩ් යාළුවොත් ඇහුවා ඇයි තාත්තිගේ පක්ෂයෙන් ඒක හොයන එක නතර කළේ කියලා”

වර්ණාසී ඉදිරියේ තමන්ගේ මූණ වෙනස් වෙයි කියලා කේසරට දැනුනේ බයක්. ඒ හින්දම සංඩේ ඔබ්සවර් එක   ඇතුලේ කේසර හැංගුනා.

“ඔයා එනකම් මම බලන් උන්නේ මගෙන් ඈතට ගියේ දරුවා ලබාගන්නයි…. රිපෝටර් කෙනෙක් නෙමෙයි…
දේශපාලනය ගැන හැමෝම කතා කරනවා පුතේ. මට ඕනේ ඔයාගේ ආදරේ විතරයි. ඔයා  ඔයාගෙ  තාත්තිට ආදරේ නම්… අපේ අනාගතය ගැන අහන්න…. දේශපාලනය ගැන අහන්න  එපා…..   දේශපාලනය ගැන අහන්න ඕන තරං අය මේ රටේ ඉන්නවා..මට දැන් ඒ ප්‍රශ්න අප්පිරියයි.. ඉඳලා ඉඳලා ලංකාවට ඔයා ආවහමත් ඇයි මේ සාම්ප්‍රදායික මිනිස්සු අහන ප්‍රශ්නම අහන්නේ..”

දේශපාලන තෙලින් තෙම්පරාදු වෙලා හිටපු කේසරට ඔය වගේ බැරෑරුම් ප්‍රශ්න සංවේදී දෙබස්වලින් අනිත් පැත්තට හරවන්න පුළුවන් අපූරු හැකියාවක් තිබුණා.
කේසරගේ ඒ ප්‍රශ්නවලින් වර්ණාසි නිහඬ උනා. උසාවියක වගේ හරස් ප්‍රශ්න අහා අහා තාත්තව මඩවන්න  වර්ණාසිට කොහොමවත් ඕන වුණේ නෑ. එහෙම කතා කරන්න ගියානම් පාන්දර කෑම මේසෙ තියෙන මිහිරියාව සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා කියලා වර්ණාසි දැනගෙන හිටියා.විශේෂයෙන්ම නර්මදා ඉස්සරහ ඒ වගේ වටපිටාවක් මවන්න වර්ණාසිට ඕන වුණේ නෑ.

පත්තර කියවන මේසෙ උඩ  තිබුණු ලිලී පෝච්චියේ මල් අතරින් වර්ණාසි බලාගෙන හිටියේ ජනේලයෙන් එළියේ පැසේජ් එකේ ජාදු ව්‍යායාම කරන දිහාව.ජාතික පිටිපස්සෙන් වැටිලා තිබිච්ච ඉර එළිය කාගෙන්වත් අවසර ගන්නෙ නැතුව  ජාදු ගේ දාඩිය අස්සෙන් දිලිසි දිලිසි පෙනුනා. ව්‍යායාමවල බල මහිමයෙන් බිම්බිලා තිබිච්ච ජාදුගේ අතපය වල බින්දු බිංදු මතුවෙලා තිබිච්ච දාඩිය රිදී දීපාටට දිලිසුනා. ආරෝපරිණාහ දේහයක නැගෙන දිලෙසෙන දාඩිය බිංදු වලට ඉතාම සියුමැලි ගැහැණු හිතක ඉඳන් රළු පරලු ගැහැණු හිතක් දක්වා  සසල කරන්න පුළුවන් බව කොහේදෝ තැනක ලියවී තිබුණා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles