ආතුරයන් මැද ආදරෙන් 27

කේසර තමන් ගැන කොච්චර විශ්වාසයකින් හිටියත් සමහර මානුෂීය හැඟීම් එක්ක තමන්ගේ ජරා, දේශපාලනය දිනවන්න බැහැ කියන එක තමන්ගේ දුවගෙන්ම ඉගෙන ගන්න තත්වෙකට පත්වෙලා හිටියා.

“මාව මේ හොස්පිට්ල් එකෙන් ගෙදර අරන් යන්න.. අර එළියේ ඉන්න නර්මදා ආන්ටිට මේ කිසි දෙයක් මම කියන්න කැමති නැහැ. ඒ නිසා එයා ඉන්න තැනක අපි මේ ගැන කතා නොකර ඉමු.ඔයා දන්න කියන ගොඩක් දේවල් මමත් දැන් දන්නවා.ඒවා මොනවද කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑ නේ..නර්මදා  ආන්ටිගේ මහත්තයා නැති උනේ කොහොමද කියන්නත් මම දන්නවා. පන්සල් පල්ලි ටික කුඩු වෙලා ගියේ කොහොමද කියන්නත් මම දන්නවා..වෙන එකක් තියා තාත්ති ..අම්මිට මොකද උනේ කියන්නත් මම දන්නවා..”

කේසර වර්ණාසි දිහා බය වෙලා බලාගෙන හිටියා . කිසිම දෙයක් නොදැන පාර්ලිමේන්තුවට ගියාම තමන්ට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනල්ලා කියලා දැනගත්තහම දැනෙන ඒ මරණීය හැඟීම කේසරට ඒ වෙලාවේ දැනුන.

“පුළුවන් තරම් ඉක්මනට මම මෙහෙන් යනවා.තනියම නෙමෙයි.ආන්ටි වත් අරගෙනමයි යන්නේ.ඔයා ඒකට බාධා කරන්න හැදුවොත් මම මීට වඩා හුඟක් වෙනස් වෙයි.කියන්නේ මොකක්ද කියලා නොතේරෙන්න ඔයා පොඩි ළමයෙක් නෙමෙයි.”

වර්ණාසි තමන් දන්න කියන ඉංග්‍රීසියෙන් කේසරගේ කම්මුලට වචන වලින් දමල ගැහුවා.වර්ණාසිගේ ඇඟේ දුවන්නෙත් කේසරගේ ලේමයි කියල ඒ නිර්භීත හුස්ම වලින් තේරුණා.

එකපාරටම තමන්ගේ රෝහල්  කාමරයේ දොර ඇරගෙන වර්ණාසි එළියට ගියා.
නව ජනාධිපතිවරයාගේ යන එන ගමන් පිටිපස්සෙන් පන්නන ප්‍රවෘත්ති පත්තර වාර්තාකාරයින්ට මාධ්‍ය කාරයින්ට හදිසියේම මේ දොර අරගෙන එළියට ආපු වර්ණාසි රණබාහු මහා පළිඟු මැණිකක් වුනා.

“මේ පැහැර ගැනීම ගැන ඔබතුමියට කතා කරන්න පුළුවන් තත්ත්වයක ඉන්නවද …”

“පැහැර ගැනීමේ ප්‍රධාන සැකකරුගේ මරණය ගැන ඔබතුමියට කියන්න තියෙන්නේ කොයි වගේ දෙයක්ද…”

“පියා ජනාධිපති වීමත්.. මේ පැහැර ගැනීමත් අතර යම් සම්බන්ධතාවයක් තියෙනවයි කියන්නේ ඇත්තක්ද …”

“ඔබතුමියට විවිධ වද හිංසාවලට ලක් වෙන්න සිද්ධ වුණා යැයි කියන කතාව ගැන පැහැදිලි කරන්න පුළුවන්ද.”..

“ඔබතුමිය දේශපාලනයට එනවයි කියන්නේ පියාගේ පක්ෂයෙන් නෙමෙයි කියලා ඊයේ රාත්‍රියේ ඉඳන් පැතිරෙන ෆේස්බුක් පෝස්ටුව ගැන පැහැදිලි කරන්න පුළුවන්ද”

කාමරයේ දොරෙන් එළියේ හිටපු නර්මදාගේ අතින් අල්ලගත්තු වර්ණාසී මාධ්‍යකරුවන් දිහාවට හැරුණා.

“මේ රටේ දේශපාලනය කියන්නේ කොයිතරම් ජරා දෙයක්ද කියන එක  මම තාත්තගෙන් ඉගෙන ගත්තා… මේ රටේ මාධ්‍ය කියලා කියන්නේ අනුන්ගේ ඕපදූප හොයන එක කියලා    මම දැන් ඔයාලගෙන් ඉගෙන ගත්තා…
අඩුම තරමේ මාධ්‍යයක තියෙන වගකීම වටිනාකමවත් ඕගොල්ලෝ දන්නේ නැහැ.. හරි මාධ්‍යකාරයෙක් කියලා කියන්නේ වහගත්ත දොරක් ඇරගෙන කවුරුහරි එළියට එනකම් බලාගෙන ඉන්න එක නෙමෙයි.. රටක් අනික් පැත්ත පෙරලන්න පුළුවන්  කුමන්ත්‍රණ සිද්ධ වෙනකොට ඒවා ගැන හොයල බලන එක..

එහෙම කියපු වර්ණාසි  එතනින් පිටත්වෙලා යන්න හදනකොටම
කාමරයෙන් එළියට ආපු කේසර බලහත්කාරයෙන්ම වර්ණාසිගේ අතින් අල්ලගෙන බොහොම ආදරණීය පවුලක් රෝහලෙන් පිටවෙලා යන බව පෙන්නුම් කරන්න උත්සාහ කළා.අතේ සර්පයෙක් ගෑවුනා වගේ අප්‍රසන්නතාවයක් තිබුණත් වර්ණාසි බොහොම ඉවසීමෙන් තාත්තගෙ අතින් අල්ලා ගැනීම දරාගෙන හිටියා.
ආරක්ෂකයන් වට කර ගත්ත කේසර ඇතුලු පිරිස රෝහලේ දොර ගාවට එක  පොදියක් වගේ ගමන් කලා. මාධ්‍ය  වාර්තාකරුවන් ඡායාරූප ශිල්පීන් එක දිගටම ඡායාරූප අරගනිමින් මාධ්‍ය වාර්තා වීඩියෝ ගත කරමින් හිටියා. කේසරගේ නිල රථය ඇතුළු මහා රථ පෙරහැරක් රෝහලේ දොර ගාව පිරිස පැමිණෙනකන් බලාගෙන හිටියා.ආරක්ෂකයන් පිරිස බොහොම ඉක්මනට ජනාධිපති පවුල අදාළ නිල රථයට නග්ගවා ගන්නට ඉක්මනින් කටයුතු කරනකොට නර්මදාගේ අතින් අල්ලගත්ත වර්ණාසි රෝහලේ ප්‍රධාන දොරටුවෙන් අනිත් පැත්තට පැන්නා.ඒ ලගම නවත්තල තිබුණු ත්‍රී රෝද රථයකට නර්මදාවත් නග්ග ගෙන තමනුත් නැග ගත්තා.මේක දැක්ක මාධ්‍ය වාර්තාකරුවන්ට පිස්සු නොහැදුණා විතරයි.ආරක්ෂකයන් කලබල වෙනකොට කේසර තමන්ගේ දකුණු අතින් ඔවුන්ට සන් කරල කියා   හිටියේ කලබල කරන්නේ නැතුව ඒ විදිහට ඒගොල්ලන්ට යන්න දෙන්න කියලයි. අළු යට ගිනි පුපුරු වගේ මේ සිද්ධිය පිටිපස්සේ මහා විශාල සිද්ධියක් තියෙන බව හැමෝටම තේරෙන්න පටන් අරගෙන තිබුණා.වර්ණාසිගේ මුරණ්ඩු හැසිරීම ගැන කෝපයෙන් පුපුරා ගිය කේසරට මහා බලයක් අරගෙන ඉවසීමෙන් තරහා පාලනය කරගන්න සිද්ධ වුණා.
තමන්ගේ නිල රථය ත්‍රීරෝද රථය පිටිපස්සෙන් ධාවනය කරන්න කියලා රියදුරුට කියන්න කේසර ට සිද්ධ උනේ ඒ හැමදේම ඉවෙන් තේරුම් ගන්න ජාදු  දැන් නැති හින්දයි.

නර්මදාවයි වර්ණාසි වයි ගෙදර මිදුලෙන් බස්සපු  ත්‍රීරෝද රථය, ආතක් පාතක් නැතුව පාරේ වැටිලා හිටපු අසරණ කිරි අම්මා කෙනෙක්ව ඉස්පිරිතාලෙට ගිහින් දැම්මට පස්සේ තමන්ගේ කුලී ගමන් රථ ගාස්තුව ඉල්ලන්න බැරුව අසරණ වෙන රියදුරෙක් වගේ ජනාධිපති දියණිය ඉස්සරහ අසරණ වුණා.  වචනයක්වත් කතා නොකරපු වර්ණාසී නර්මදාගේ මූණ බලනකොට නර්මදා තමන්ගේ අතේ තිබුණු මුදලින් කුලී ගමන් රත ගාස්තුව ගෙවලා දැම්මා.
කේසර ඒ සමාගමේ තවත් රැඳී හිටියොත් උත්තර දීගන්න බැරි ප්‍රශ්න ගොඩකට මැදිවෙනවායි කියලා තේරිච්ච හින්දා ඉක්මනින්ම තවත් කොහාට හරි වාහනයෙන් යන්න  ගියා.

කාමරය ඇතුළට ගිය වර්ණාසිගේ ජනේලයෙන් කෙලින්ම පෙනුණේ
ජාදු ගේ කාමරයයි. වර්ණාසි සෑහෙන වෙලාවක් ජාදු ගේ කාමරය දිහා බලාගෙන හිටියා.

“පුතේ… මේ දෙහි එක බොන්න ..”

” ආන්ටී.. ජාදුව කොහෙද වැළලුවේ… මට එතනට යන්න ඕනේ ආන්ටී.. ප්ලීස් …”

නර්මදා වර්ණසි දිහා බලාගෙන හිටියා.මුළු ලෝකයක් ඉස්සරහා ත්‍රස්තවාදියෙක් හැටියට හංවඩු ගහපු ජාදුගේ ඇත්ත ස්වරූපය හරියටම දන්නේ වර්ණාසි විතරයි කියලා නර්මදාට හිතුණා. අවසානයේ මහා දේශපාලන කුමන්ත්‍රණයක ඉත්තෙක් විතරක් වෙච්ච ඒ අහිංසකයට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙච්ච එක නර්මදාට උනත් දරාගන්න පුළුවන් දෙයක් වුණේ නෑ.

“ජාදුව කොහෙද වළදැම්මෙ කියලා කියන්න මම දන්නේ නෑ දුව.. හැබැයි සිද්ධිය වෙච්ච වෙලාවේ නම් කේසර කාටහරි තදින් කෑ ගැහුව මම අහගෙන.. මම උඹලට කිව්වේ මිනිය මෙහෙ ගේන්න කියලා…මොන පණ්ඩිතකමකටද ඔහේ වැලලුවේ කියලා ඇහුවා.”

” ඒ කිව්වේ … අපි හිටපු දිහාමද…”

“ඇත්තටම මම ඒකනම් දන්නේ නෑ දුව..මොනා වුනත් ඒකට සම්බන්ධ වෙච්ච අය ජාදු ගේ මිනියත් කොහේ හරි වල දාලා තමයි ආවේ.”

“හරියටම අපි ඒ හිටපු දිහාම වෙන්න ඇති. ඒ දිහා හරිම පාලුයි කවුරුවත් නෑ…”

වර්ණාසි කිව්වේ හීනෙන් වගේ..

“හරියටම පාර මතකනම් අපි දෙන්න යමු “

ඇත්තටම මේ වෙලාවේ වර්ණසිට ඕනෙ වෙලා තිබුනෙත් හොඳම යාළුවෙක් වගේ තමන්ගේ ළඟම ඉන්න කෙනෙක්ගෙ උණුහුම් වචන පොදියක්. ජාදු තමන්ව එක්කගෙන ගියේ කොයි පාරෙන්ද කියන එක හරියටම කියන්න වර්ණාසි දැනගෙන හිටියේ නෑ..මේ වගේ වුවමනාවක් ඇති වෙයි කියලා ඒ වෙලාවේ හීනෙකින්වත් දැනිලා තිබුණේ නැති හින්දා යන එන   පාර ගැන කිසිම සැලකිල්ලක්
නොතිබීම ගැන වර්ණාසි දුක් උනා.

“මට පාර මතක නෑ ආන්ටි … “

වර්ණාසි කිව්වේ කදුලු වේලිච්ච මූනෙන්…

“මං ඔයාට දෙයක් කියන්නම්..පුතේ මේ වෙලාවේ අපිට මේ වෙලා තියෙන දේවල් කිසි දෙයක් වෙනස් කරන්න බෑ..
මේ වගේ රටක එහෙම දෙයක් වෙනස් කරන්න පුළුවන් වෙයි කියන එකත් හිතන්න අමාරු දෙයක්..විශේෂයෙන්ම ඔයා හිතනවනම් තාත්තාගේ වැරදි වලට නීතිය මාර්ගයෙන් දඩුවම් දෙන්න පුළුවන් කියලා..ඒක ටිකක් විශ්වාස කරන්න අමාරු දෙයක්..මොකද මේක ලංකාව…ලෝකයත් එක්ක සංසන්දනය කරලා ලංකාවේ දේශපාලනය මනින්න හදන්න එපා..පුතේ වැඩිහිටියෙක් හැටියට මට ඔයාට දෙන්න තියෙන එකම උපදේශය මේකයි…ඔයාට හෙට  මෙහෙන් යන්න පුළුවන්නම් ඒක  තව පැයක්වත් ප්‍රමාද කරන්න එපා.මොකද කේසරගේ හිත ගැන මම හොඳට දන්නවා.තව මොන මොනවා ප්ලෑන් කරලා ඔයාගේ ගමන නවත්තල දායිද දන්නේ නෑ..ඒවට කල් නොතියා ඔයා හෙටම මෙහෙන් පිටවෙලා යන්න.”

වර්ණාසි කඳුළු පිරුණු ඇස් වලින් නර්මදා දිහා බලාගෙන හිටියා..

“පුතේ එදා සිද්ධිය වෙච්ච දවසේ ජාදුගෙ කාමරය ඔක්කොම පොලිසිය ඇද්දා.. මොනවා හෙව්වද කියන්නේ මම දන්නේ නෑ.. ඊට පස්සේ මම ගිහිල්ලා බලනකොට කාමරේ ඇතුලේ කිසිම දෙයක් තිබුණෙ නෑ..අඩුම  තරමේ පරණ රෙද්දක්වත් තිබුණේ නෑ.. මටත් හිතාගන්න බැරුව ගියා.. ඒත් මුල්ලක පොඩි කාඩ්බෝඩ් පෙට්ටියක ජාදු  ලියපු කියපු කොළ වගයක් අත ඇරලා දාල ගිහිල්ලා තිබුණා. ඒව මම මගේ කාමරයෙන් ගෙනල්ල තියා ගත්තා.ඔයාට සිංහල කියවන්න බැරි නිසා එන්නකො  …. මම කියවන්නම්…”

නර්මදා වර්ණාසිගේ අතින් අල්ලගෙන නර්මදා ගෙ කාමරයට එක්කගෙන ගියා….

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles