(අ)හිමි සිහින -157

දැඩි ලෙස අසාධ්‍ය වූ රෝගියකුට සුවය පතා මරණයට කැපවූ ගවයකු නිදහස් කිරීම වඩාත් හොඳ බවට අපේ සමාජයේ මතයක් තිබෙනවා.සුදාරක වෙනුවෙන් එවැනි දෙයක් කරන්නට මම සූදානම් වූයේ ඔහුගේ සුවවීම එන්න එන්නම ප්‍රමාදවීම නිසා.

එය බොහෝ මුදලක් වැයවෙන කාර්යයක්.මා සතුව මුදල් තිබුණත් මේ කාලය වෙන විට මගේ මුදල් සීග්‍රයෙන් වැය වෙමින් පැවතුණා.අනිත් කාරණය ඉදිරියේදී කුමන කාරණාවට මුදල් වැය වේ දැයි මට පුරෝකථනය කළ හැකි වූයේත් නෑ.ඒ මොහොතේදී විදේශයක ජීවත්වන මගේ ඥාති සහෝදරිය මගේ පිහිටට ආවා.මම මහනුවර ජීවත් වූ කාලයේ ද ඇය මට විවිධ අයුරින් උපකාර කළ අන්දම ඔබට මතක ඇතැයි මම සිතනවා.

“මං සල්ලි දෙන්නං ඒ වැඩේ කරන්න.මල්ලි වෙනුවෙන් මං ඒ දේ කරන්නම්”

ඇය එසේ පැවසුවේ ඇගේ ජීවිතයේද ආදරය සම්බන්ධයෙන් විශාල හිස්තැනක් නිර්මාණය වී තිබූ නිසා.ඇගේ පෙම්වතා ද යුධ හමුදාවට අනුයුක්තව සේවය කළ අතර  ඔහු යුධ සමයේ දී බෝම්බ ප්‍රහාරයකට හසුව මිය ගිය නිසා ඇය කෙදිනකවත් විවාහ වූයේ නැහැ.ඒ නිසා මේ මොහොතෙදී මා ගැන ඉතාමත් තදින් ඇයට දැනෙන්නට ඇති බව මම සිතනවා.

මරණයට කැපවූ ගවයෙකු සෙවීමට අපට විශාල වශයෙන් වෙහෙසෙන්නට සිදුවුණා.මුලදී පැවසූ මුදල පිළිබඳ හෙට්ටු කරමින් අවසානයේ දී ගවයාගේ වටිනාකම රුපියල් අසූ පන්දහසකට තක්සේරු කරගන්නට අපට හැකි වුණා.

“ගවයකු නිදහස් කළ යුත්තේ ඒ ගවයා පෝරකයට ගෙල තබන මොහොතේ දී.ඒ පින්කමෙන් සැබෑවටම පින ලැබෙන්නේ ගවයාට මරණ බිය දැනෙද්දි නිදහස් කර ගන්නා විටයි.”

අපට එවැන්නක් අසන්නට ලැබුණු අතර ඒ පිංකම වෙනුවෙන් සූදානම් වූවා.

මම ඒ පිංකමට සුධාරකගේ මුළු පවුලටම ආරාධනා කළා.සිදුවූ සිත් පීඩා අමතක කර දමා ඔවුන් මෙයට සහභාගි කර ගන්නට මට උවමනා වුණා.

මා සමග හමුදා නිල ඇඳුමෙන් සැරසුණු සුදාරක ගෙන් කනිෂ්ට නිලධාරීන් ද ගවයෙකු සොයන ගමනට සහභාගි වූ නිසා මරණයට කැපවූ ගවයන් සිටින ස්ථානයට අප රැගෙන යන්නට ගව ඝාතකයින් කැමැති වූයේද නැහැ.ඒ අප යම් මෙහෙයුමක් කරන අය දැයි සැක සිතීම නිසා වෙන්නට ඇති.නමුත් මම හඬමින් මගේ සැමියා බේරා ගැනීමට මට මේ පින්කම් සිදු කළ යුතු බව පවසද්දී ඔවුන් මට එකඟ වුණා.ගවයකු බලන්නට මා රැගෙන යන්නට ඒ මුස්ලිම් මිනිසුන් තැබූ මොහොතේ මම සුදාරකගේ පවුලේ අයද ඒ ගමනට සහභාගි කරගත්තා.

අප මගේ වාහනයේ සහ සුදාරකගේ සේවා ස්ථානයෙන් ලබාගත් වාහනයක ඒ ගමන යාමට පටන් ගත්තා.ගවයන් සඟවා ඇත්තේ කැලෑබද ප්‍රදේශයක නිසා ඒ වෙත යන්නට අපට සිදු වුණා. මම කැලෑවට ගොස් ගවයා නිදහස් කරගැනීමට කටයුතු සූදානම් කර ගත්තා.ඊට අමතරව මරණයට කැපවූ කුකුළන් පිරිසක්ද නිදහස් කරගන්නට මම කටයුතු කළා.සෑම පිනක් ම සුදාරක ට අනුමෝදන් වී ඔහු ඉක්මනින් සුවපත් වන බව විශ්වාස කරන්නට මට වුවමනා වුණා.කුකුලන්ට අධික මිලක් නියම වූ නිසා එය කළ යුතු නැති බව සුදාරකගේ අම්මා පැවසුවත් මම එයට ඇහුම්කම් දුන්නේ නැහැ. 

“මේ කරන්නේ අපේ සුදාරක වෙනුවෙන් දේවල් අම්මා.ඒක රුපියල් දෙදාහක් වුණත් රුපියල් ලක්ෂයක් වුණත් මම කරනවා.”

මම ඇයට එපමණකින් පිළිතුරු ලබා දුන්නා.මේ සියල්ල යහපත්ව සිදු වෙද්දී සුදාරකගේ අම්මාගේ මුහුණ වෙනස් වී  ඇති බව මම දුටුවා.එයට හේතු වූ කාරණාව මට දැනගන්නට ලැබුණේ ඊට මඳ වේලාවකට පසුවයි. 

සැබෑවටම ඇයට සිදුවී තිබුණේ කුමක්දැයි මම ඔබට හෙට කියන්නම්. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles