(අ)හිමි සිහින -237

දිල්හානි ඉන්නා තැනක ලිපිනයක් සොයාගත නොහැකිව තිබුනාට සුධාරක දිල්හානිට එරෙහිව දික්කසාදයක් ගොනුකර තිබුණා.නමුත් සිතාසි යවන්නට ලිපිනයක් නොමැතිකම ඒ නඩුව උසාවියට ඉදිරිපත්කරන්නට ප්‍රමාද වුනා.දික්කසාදය ගොනුකරන විට සුධාරකට කවදා හෝ අනිවාර්යයෙන් ගෙවන්නට වන නඩත්තු ගැන නීතිඥයා අසාසිටිවිට සුධාරක මේ නිවස පමණක් ඔහූට තබාගෙන ඔහු සතු අනෙකුත් සියලුම දේපල දරුවන් අතර බෙදන්නට අවශ්‍ය බව කියාසිටියා.

කොහොම වුනත් සුධාරකගේ පැවති දේපල විශාල ප්‍රමාණයක් ඒ දරුවන් නමට කොහොමත් ලියා තිබූණා.තවත් එක් තැනක දෙතැනක තිබූ ඉඩම්කැබලි කිහිපයක් පමණයි ඔහු නමට තිබූණේ.ඇඹිලිපිටිය ප්‍රදේශයේ සුධාරක ඉල්ලුම්කර තිබූ බලපත්‍ර ඉඩමක් තිබුණා.මේ ඉඩමේ හිමිකමට ඔහු ඉල්ලුම්කරද්දී ඒ සඳහා කාලත්රයා යනුවෙන් නම්කොට තිබූණේ මගේත් මගේ දියණියගේත් නම්.ඔහුගේ අභාවයෙන් එකී දේපල රැකගන්නට මම කලේ ත්‍රාසජනක සටනක්.එය වෙනමම කතාවක්.එය බලාගන්නට කියා භාරදී තිබුණු පුද්ගලයාගෙන් එකී දේපල නිදහස්කරගන්නට මට වෙනමම සටනක් කරන්නට සිදුවුනා නමුත් අද මා එයද ගලවාගෙන සංවර්ධනය කර සුරක්ෂිත කොට තිබෙනවා. ඔහුගේ අභාවයෙන් ඒවාද අභාවයට යන්නට නොදී රැකගැනීමට මට දරන්නට වුනේ සෑහෙන වෙහෙසක්.ගැහැණියක හැටියට තනියම මුහුණදී විසඳාගන්නට අමාරු විශාල ගැටලු ගොන්නක් නමුත් මා ඔහුට පොරොන්දු වූ ආකාරයටම ඔහු ගේ දේ රැකගත්තා.

” මිස්ට සුධාරක.අපි මේ ගේ සහ අනෙකුත් දේපල දරුවන්ට ලියන විදියට නඩුව ගොනුකරමු”

“නැහැ.මම මේ ගේ මට තියාගන්නවා.දිල්හානිට කිසිම දෙයක් දෙන්නෙ නැහැ. කවදහරි ඔය දේපල ඒ ගෑණි විකූණගන්නවා දරුවන්ට ඉතුරුකරන්නේ නැහැ. ඒ නිසා මගේ ඉඩම් ටික ඔක්කොම දරුවන්ට බෙදලා දෙනවා.සුදු බේබිටත් මම මොනව හරි දෙන්න ඕන” සුදු බේබි කියා ඔහු ආදරයට කීවේ මගේ දියණියටයි නමුත් මම එයට එකහෙලා විරුද්ධ වුනා.

“අනේ එපා මහත්තයා.මෙයාට තියෙන දේවල් හොඳටම ඇති.මගේ අම්මතාත්තගෙ දේවල් මගේ දේවල් ඒ ඔක්කොම එයාට තමයි ලැබෙන්නෙ. ඔයා එයාට පණ වගේ ආදරේ බව ඇත්තයි.ඒත් මගේ දරුවා වෙනුවෙන් ඔයා දෙන ආදරය රැකවරණය හොඳටම ඇති.අපිට ඔයා ඉන්නවා.වෙන කිසිදෙයක් අපිට එපා මහත්තයෝ”

එකඟතාවය තිබුණේ ඒ විදියටයි.යම්හෙයකින් නඩුව ගොනුකලානම් සුධාරක කරන්නට සිටියේ ඒ විදියටයි.මේ නිවස ඔහු කිසිවෙකුට නොදී තියාගන්නවා යැයි කීවේ ඇයි කියා සුධාරක මට පසුව පැවසුවා. දරුවන්ට ඔහු ගේ හදවතේ සෙනෙහස තිබුණද දිල්හානි දරුවන්ට පවසා ඇති දේවල් සහ ඇගේ කීමටහෝ වැඩුනු දරුවන් වන ඔවුන් පවසන දේ මත ඔවුන් කිසි දිනෙක සුධාරකට නොසලකන බව ඔහු මට පැවසුවා.සමහරවිට මහලුවියට පැමිණි කල මා ඔහුට කලින් මියගියහොත් ජීවත්වනතුරා හිසට වහලක් අවශ්‍ය බව ඔහු හිතන්නට ඇති. මොකද ඒ වනවිට ඇත්තටම සුධාරක මුදල් අතින් ඉතාම පරිහානියකට පත්ව සිටියා ඔහු ජීවත්ව සිටියා නම් දෙදහස් විසි අට වනතුරු ගෙවන්නට බැංකු ලෝන් අටකට සිරවී සිටියා.

එසේම සුධාරකගේ ආයතනය මගින් මාසිකව පඩියන් ඉතිරුම් ලෙස කැපෙනා අර්ථසාධක අරමුදල හා සමාන අරමුදලක් තිබෙනවා.එහි මුදල් ඔවුන්ට විශ්‍රාම ගිය පසු ලබාගන්නට පුලුවන්. ඒ අරමුදල සඳහා ඔහුගෙන් පසු හිමිකාරීත්වය සඳහන්කර වසරක් පාසා ලබාදිය යුතු ලියවිල්ලක් තිබෙනවා.මේ ලියවිල්ලට සුධාරක ඔහුගේ දරුවන් තිදෙනාගේ මෙන්ම මගේ දියණියගේ නමත් යොදා තිබූණා.නමුත් මා එය තරයේ ප්‍රතික්ෂේප කලා වගේම ඇගේ නම එතනින් ඉවත්කරන්නට ඔහුට බලකර සිටියා.මගේ දියණිය ඔහුට අප්පච්චී කියා අමතා ඔහුගේ දරුවන් ඔහුගේ හිත කීතු කීතු වලට ඉරා දමද්දී ඇගේ මටසිළුටු දයාබර ආදරයෙන් ඔහූ සැනසුවා තමයි.නමුත් මගේ දියණියට නොවෙයි ඔහුගේ දේ ලැබිය යුත්තේ ඒ දරුවන්ටයි. කෙසේ වෙතත් සසර ණය දික්කරගත යුතු නැහැ.අසංකගේ විවාහයෙන් දික්කසාද වී ආ පසුත් සියලු රන් ආභරණ හා මුලු ගෙයක මට අයිති බඩු භාහිරාදිය සියල්ල අත්හැර දමා ආ මට අනුන්ගේ දෙයක් ගැන තන්හාවක් තිබුණේ නෑ.මම මෙයටම තවත් එක් අතුරු කතාවක් ඔබට පවසන්නම්.

මාතර ජනාකීර්ණ පෙදෙසක මුහුද අයිනේ පිහිටා තිබූ මගේ අම්මාගේ මහගෙදර ඇගේ පියා සින්නක්කරව ලියා තිබුණේ මගේ මවටයි.ඒ විශාල පැරණි නිවස මගේ ආත්තම්මාත් සීයාත් මියගිය පසු දිගුකාලීනව වසාදමා තිබුණේ අපට නිතර යාමට ඒමට නොහැකි නිසාමයි.පුදුමයකට මෙන් සුනාමි ව්‍යවසනයෙන් පවා එම පැරණි නිවස ඉතිරිවී මුලු ගම ම විනාශවී ගියා.මම මේ කාලය වනවිට සිටියේ නුවර .දේපොල ගැන වදවෙනවාට වඩා අසංකගේ මව සමග ඉස්පිරිතාලේටම සින්නවුන තරුණ අනුරාධාට ඊට වඩා වැඩ ඕනෑතරම් තිබුණා.

ඔය අතර මගේ මව ඇගේ සහෝදරියකගේ දුවට තාවකාලිකව එම නිවසේ නතරවන්නට අවසර දී තිබෙනවා.මා එය දැන සිටියේ නැහැ. ඇය සිය පවුල සමග එහි වෙසෙන අතර.මගේ මවටත් හොරා පැරණි ගේ දිරා ගොස් ඇතැයි පවසමින් එය කඩා දමා එහි වෙනත් නිවසක් සාදා තිබුණා.ඒ බව අප කිසිවෙකු දැන සිටියේ නෑ.පසුව ඔවුන් මගේ මවට නිතර මේ ගැන කියමින් කරදර කරන්නට වී තිබුණා.දිනක් ඇය මා අමතා.

“හරි වැඩේ නෙ.අර ආත්තම්මලගෙ ගෙදර කඩලා එතන වෙන ගෙයක් හදලා ලු.ඒගොල්ලෝ දැන් කියනවා.අනුන්ගේ ඉඩම්වලනෙ අපි ගෙවල් හදල තියෙන්නෙ කියලා. දැන් මොකද මේකට කරන්නෙ.”

“දැන් මොනව කරන්නද. අනුන්ගෙ ඉඩම්වල ගෙවල් හදන්න කලින් දැනගන්න එපායැ ඒක.”

“ඒක තමයි දැන් මොකද කරන්නෙ. අපි එයාලට යන්න කියමු”

“ඇයි ඒ මිනිස්සු යනකොට ගේ ගලවාගෙන යනවද? නැත්තන් අපි ඔය ගේ කඩලා දාන්න ද?ඔය මිනිස්සු ගියත් මෙතන හූල්ල හූල්ල ඉඳියි උන් වියදම් කරපු සල්ලි වලට.ඔය ගෙදර ඉන්න කෙනෙකුට වත් හරියන්නෙ නෑ එතකොට.අනේ මට නම් තව සංසාරයට ණය ඕන නැහැ.මට ඔය දේපල ඕනත් නැහැ. ඔයා ඕක ඒ අයට ලියල දෙන්න”

මුහුද අයිනෙන් එතරම් විශාල ඉඩමක් අද මිලදී ගන්නට බැරිතරම් මිල අධිකයි.එය ඇත්තටම වටිනාකම ඉහලතැනක්.එවන් දේපලක් සින්නක්කරව තමා සතුව තිබියදී එය ඔය තරම් ලෙහෙසියෙන් වෙන කෙනෙකුට දෙන්න යැයි කෙනෙක් පවසාවි යැයි මා සිතන්නේ නැහැ.නමුත් මට ඒවා පසුපස වදවෙමින් දුවගෙන ඇවිදීම අසහනකාරී දෙයක් ලෙස මයි පෙනුනේ.

නමුත් මේ ලෙස තමන්ට හිමිකමක් ඇති දේපලත් අත්හැර දැමූවානම් සුධාරක ගේ නිවස වෙනුවෙන් මා පොලීසිගියේ ඇයි කියා ඔබ තවමත් සිතනවා ඇති.එතැනට එන්නට අවශ්‍ය නිසා තමා මම ඔබට මේ පසූබිම් කතාව කීවේ.

සුධාරක මේ නිවසට බෙහෙවින් ආසා කලා ආදරය කලා.මෙය නිවසකට සුදුසු ලෙස සකසා නොතිබුනත් මේ නිවස ගොඩනගා තිබුණේ ජීවිතයක් පරදුවට තබා වෙඩි උණ්ඩයට පපුව දී ගස් ගල් යට නොනිදා කල රැකියාවෙන් ඔහු උපයාගත් මුදලින්.ඒ නිසා මෙය කුණුගොඩක් උවත් ඔහුට මෙහි ඇති වටිනාකම මම ඔහු කියන කරන දේ තුලින් දැක්කා.වෙලාවකට මට හිතුනේ එය ආසාවකට වඩා තන්හාවක් ලෙසයි. බිත්තියට ඇණ ගසනවාට ඔහු කැමති නැහැ.

“ඩ්‍රිල් කරලා රෝල් ප්ලග් දාන්න මැණිකේ එතකොට බිත්ති කැඩෙන්නෙ නැහැ” එය ඇත්තක්.

මම ඒ බාගෙට සෑදූ නිවස වුව අතුපතුගා අස්පස්කර පිලිවෙලට තබාගෙන සිටීම ඔහුට ගෙනාවේ ආඩම්බරයක්.ඉස්සර බිම පුරා අපිලිවෙලට වීසිකරදමා තිබූ ඔහුගේ ජායාරූප රණවිරු සම්මාන ආදී විශාල ප්රමාණයක් මම ඒ නිවසේ බිත්තිවල ගසා ඉතාම පිලිවෙලට සැකසුවා.ඒවා දැක ඔහු අප්‍රමාණ සතුටුවුනා.අදටත් ඔහු නැතත් මේ නිවසට එන ඕනෑම කෙනෙක් කෞතුකාගාරයක සිරිය උසුලන ඒ බිත්ති අසලට ගොස් මෙවන් දක්ෂ වීරෝදාර රණවිරුවෙකුගේ ඉරණමත් අකාල මරණයත් ගැන විස්සෝපවෙන හැටි ඇසට ගෙනෙන්නේ කඳුලක්.

නමුත් සුධාරක මේ නිවසට කොතරම් ආදරය කලත් මේ නිවසේ වහලය යට ඔහුට ඔහුගේ මලකඳ තබාගන්නට ඔහුට පිනක් තිබුණේ නැහැ.

ජීවිතය…අප හිතන පතන විදියටම වෙනවාද?නැහැ …එය අපට ස්ථිරවම කියන්නට බැහැ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles