(අ) හිමි සිහින -235

හත් දවසේ දානයෙන් පසු පොලිසියේදී සිදුවූ කිසිවකින් දිල්හානිට හෝ සුධාරක ගේ පවුලේ අයට හෝ ඔප්පූකරගත හෑකි කිසිවක් තිබුණේ නෑ.ඔවුන් කවදා හෝ අනාගතයේ දී මට ඔවුන්ට එරෙහිව යොදාගත හැකි සාක්ෂි ගොන්නක් පොලිස් පොතේ ලිඛිතව සටහන් කළා පමණයි.කෙදිනක හෝ උසාවියකදී ඔවුන් කී බොරු දිගහරිනතෙක් මා බලා සිටිනවා.දැනට එපමණයි.ඒ නිසා මම පොලිස් ස්ථානයෙන් නැවත ගෙදර ආවේ කොතැනක හෝ කිසිදු බොරුවක් නොකියා සත්‍යය ඇතිසැටියෙන් පැවසීමේ සහනයද රැගෙනයි.

නමුත් මට එසේ ඉන්නට හැකිවුනේ දින දෙක තුනක් පමණයි.තුන්මාසයේ දානය හිතින් සැලසුම් කරමින් සුධාරකගේ බඩුබාහිරාදිය එකලසක් කරමින් සිටි මට නැවත දුරකථන ඇමතුමක් ආවා ඒ විදුලිබල මණ්ඩලයෙන්.

“මේ මිසිස් අනුරාධා ද.මම විදුලිබල මණ්ඩලයෙන්. දිල්හානි කියලා කෙනෙක් ඔය නිවසේ විදුලිබලය අත්හිටවන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා.ඒ නිවස එයාගෙ මහත්තයාගේ මහත්තයා මැරුණා දැන් නිවසේ කවුරුවත් පදිංචි නෑ කියලා

මම ඉවසීමෙන් උත්තර දෙන්නට තීරණය කළා.

“බොහොම ස්තූතියි මාව ඇමතුවාට.මහත්තයා නම් ළඟදී නැති වුණා නමුත් දැන් වසර ගණනාවක් තිස්සේ මම මේ නිවසේ ඔහු සමග පදිංචිව ඉන්නවා.මා දැනටත් ඉන්නේ මේ නිවසේ පදිංචිව ඉන්නවා .මෙහි බිල්පත් පවා සියල්ල ගෙවන්නේ මමයි”

මම පැහැදිලි කරන්නට පටන් ගත්තා.

“මේක අපට විසඳාගන්න ඕන.මොකද මේ දිල්හානි කියන කාන්තාව එයා නීත්‍යනුකූල බිරිඳ කියලා කියනවා.ඒ වගේම ඇටෝනි බලය තියෙන කෙනෙක් මගින් තමයි මේ විදුලිය විසන්ධි කරන්න ඉල්ලලා තියෙන්නෙ.ඔබ තුමියට පුලුවන්ද අපේ කාර්යාලයට ටිකකට එන්න”

ඔවුන් ඉල්ලා සිටියේ කාරුණිකවයි.

“නිත්‍යානුකූල බිරිඳ ඇය බව ඇත්ත නමුත් අනෙක් දේවල් ඇත්ත නොවෙයි.හොඳයි මම ඔබතුමා මුණගැහෙන්න එන්නම්”

ඔන්න ඉතින් අලුත් ප්‍රශ්ණයක්.

සුපුරුදු විදියටම මම මගේ නීතීඥවරුන් අමතා මේ අලුත් ගැටලුව ගැන දැනුවත් කළා. ඔවුන් මේ කතාව සහමුලින්ම දැනසිටීම මට විශාල සහනයක් වුණා.විවිධාකාර නීතිඥවරු හමුවට යන්නට සිදුවූයේ නම් මට මේ උභතෝකෝටික කතාව කියා නිමකරන්නට නොහැකි වේවි.එසේම මම කියන සියලු දේ ඔවුන්ට එකවර වටහාගන්නටත් අපහසුවේවි.මේ කතාව ප්‍රබන්ධ කතාවක් කියා සිතෙන තරමටම විශ්මය ජනකයි. උභතෝකෝටිකයි.ඒ බව මෙය කියවන බොහෝදෙනෙක් ද විටින් විට ප්‍රකාශ කර තිබෙනවා.නමූත් බොහෝ දෙනා දැන් සත්‍ය අනුරාධා කවුදැයි දන්නා වටපිටාවක දී මෙය සත්‍ය කතාවක් මිස ප්‍රබන්ධයක් නොවන බව ඔබ දන්නවා.

යොදාගත් දිනයේ දී මා මගේ නීතිවේදින්ද සමග අදාළ ආයතනයේ නීතිකටයුතු භාරව සිටින පුද්ගලයා මුණගැසීමට ගියා.එහිදී ඔහු දිල්හානි විසින් අප නිවසේ විදුලිය අත්හිටවනමෙන් ඉල්ලා ඇති ලිපිය පෙන්වූවා.නමුත් ඒ කිසි තැනක ඇය පදිංචියක් සඳහන් කර නැහැ.ඇටෝනි බලපත්‍රය පෙරමුණට දමා ඇයගේ ඉල්ලීම් කර තිබෙනවා. නීතිය හමුවට ඉදිරිපත්වන්නට ඇයට ඇති නොහැකියාව එවරත් ඇය ඔප්පුකොට තිබුණා.

මම පොලිසියේදී මෙන්ම සුධාරක ගේත් මගේත් මේ කතාන්දරය ඉතා සැකෙවින් නමුත් ඉතාම පැහැදිලි ලෙස ඔහුට පෙන්වා දුන්නා.ඒ සඳහා මා සතුව තිබූ සියලු සත්‍ය ලිපිගොනු ද ඔහුට ලබා දුන්නා. කසාද සහතික, දික්කසාද සහතික, දිල්හානිගේ සරණාගත වීසා, ලිපි සහ අධිකරණ නඩු වාර්තා සියල්ල ඔහු එකිනෙක බැලුවා.නිතිවේදියෙකු වූ නිසාම ඒවා බැලු පමණින් ඔහු කාරණය වටහාගන්නට ඇති.

“හරි දැන් කාරණය පැහැදිලියි.මේ ඉල්ලීම කර ඇති තැනැත්තිය විදුලිය විසන්දි කරන්න ඉල්ලීමක් කර තිබුණාට අපිට එහෙම කරන්න හැකියාවක් නැහැ.ඇරත් කිසිදු හිඟයක් නොමැතිව නියම විදියට බිල්පත් ගෙවාගෙන යනවා නම් ඒ පරිශ්‍රයේ භුක්ති විඳිමින් කිසියම් කෙනෙකු ඉන්නවා නම් අපට විදුලි සැපයුම විසන්ධි කරන්නට බැහැ.විදුලිය යනු අත්‍යාවශ්‍ය සේවාවක්.අපට මේ කාරණය පැහැදිලිකරගන්නට පමණයි අවශ්‍ය වූයේ.මෙම නිවසේ විදුලිය විසන්ධි නොකරන බවට මට සහතික වන්නට පුලුවන්”

එය පොලිසියේදී මෙන් වාග්ප්‍රහාර නින්දා අපහාස වලින් තොරව සාමකාමීව විසඳුනා.ඒ අනෙක් පාර්ශවය ඔවුන්ගේ ලජ්ජාසහගත කතා කියන්නට එතැන නොසිටි නිසා.සිටියේ නම් එතනත් සුධාරක ගේ නමට කල හැකි අපහාස සියල්ල ඔවුන් කරනවා නොඅනුමානයි.එතනින් නික්මුණු මා මට ලැබුණු නීති උපදෙස් අනුව නිවෙස හිමි බලප්‍රදේශයේ පොලීසියට ගොස් පැමිණිල්ලක් දැමුවා.

මම මේ නිවසේ මගේ කුඩා දියණිය සමග දීර්ඝකාලයක සිට ජීවත්වන බවත් නමුත් මෙවැනි කරදර ගැහැට පවතින බවත් එය මගේ මතු ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි බවත් මම එම පැමිණිල්ලෙහි සටහන් කළා.

කළ සියලුදෙයින් පලක් නැති තැන විරුද්ධ පාර්ශ්වයට කළ හැකිව තිබුණේ වෙනදෙයක් වන්නට හැර බලා සිටීම පමණයි.සුධාරක මියගියපසු සියල්ල ඔවුන් අතේ යැයි ඒ මිනිස්සු තහවුරු කරගෙන ඉන්නට ඇති. ඔවුන් ලෙසම මෝඩ තාලෙට අනුරාධා වැඩකරනු ඇතැයි සිතන්නටත් ඇති. නමුත් ඒ සියලු කූඨ සැලසුම් ගඟට කැපූ ඉනිසේ වුනා.සමහරවිට මේවා මීටකලින් දැනසිටියානම් ඔවුන් සුධාරකට ඕනෑදෙයක් කරගන්නට මට ඉඩහැර ඔහු අතහැර දමනවා සත්තයි.නමුත් සුධාරක ගේ කුමක් හෝ අවාසනාවකට එය එසේ සිදුවූයේ නැහැ.

දැන් ඔබට මෙතක් සිතෙන්නට ඇති කාරණාවක් තිබෙනවා.පෙර ගත් ණය ලෙස සිතා හෝ අනුරාධා බොහෝ දෙනෙකු වෙනුවෙන් බොහෝ දේ කැප කළා. සමහරවිට ඇය දුක්මහන්සියෙන් ඉපයූ මුදල් නිස්කාරණේ පලක් නැති දේට වියදම් කළා.දෙමාපියන් සතුව හා තමා සතුව විශාල දේපලක් හිමි තණ්හාවක් හිතේ නැති සාධාරණ හිතක් ඇති මා කිසි පිලිවෙලක් නැති ගුප්ත නිවසක මේ ලෙස බලෙන් රැඳෙමින් කරන්නේ කුමක්ද?

ඔව් එයට හේතුවක් තිබෙනවා.මේ සියලු දේ ගැන සැමදා සත්‍යයම පමණක් පැවසූ මා. ඒ කරුණත් ඔබට හෙට පවසන්නම්

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles