සීත මාරුතේ -45

සතුටක් සේ ම ලජ්ජාවක් ද මා තුළ එක ට කැළතී තිබිණ. ඒ සතුට අම්මා සේ ම අප්පච්චි ද සතුටෙන් සිටීම ගැන ය. මිස්ට් ෆීල්ඩ් වලදී පවුල් දෙකේ සාමාජිකයන් ගේ සුහද හමුවෙන් පස්සේ අප දෙපසට වෙන් ව ගියේ ඉක්මනින් ම සවසක ගුරු නිවාසයේ දී ඔවුන් සමග රාත්‍රී භෝජනයක් ගන්නට කතිකා කර ගෙන ය. අප්පච්චිත් අම්මාත් ආපසු එනතුරු සේ ම ආවායින් පස්සේ ද කතා කළේ ඒ ගැන ය. දෙමව්පියන් ගේ හිත් නොරිද්දා අලුත් ජීවිතයක් ඇරඹීම යොවුන් වියෙහි හිඳිනා ඕනෑ ම දරුවෙකු ගේ අපේක්ෂාව වේ. සිය අභිමතයන් හා සමපාත විය හැකි සහකරුවෙකු හෝ සහකාරියක සිය දරුවා විසින් තෝරා ගෙන හිඳීම දෙමාපියන් ලබනා විශාල ම සතුටක් වේ.

මට තිබූ ලැජ්ජාව විවාහයක් ගැන මා හදිසි වෙතැයි ඔවුන් සිතනවාට ඇති සබකෝලය ය. මා හිටියේ විවාහයක අවශ්‍යතාවයක් ඇති තරුණියක සේ නොව තවමත් පාසල් යන දැරියක සේ බාල බොළඳ හැසිරීමක ය. 

ඒ දුරකතන ඇමතුම ආවේ අප කෑම මේසය වටා හිඳ කෑම කමින් සිටියදී ය. මගේ දුරකතනය කාමරයෙහි විය. කෑම මේසය තෙක් එය හැඬවෙන හඬ ඇසෙන්නේ නැති තරම ය. ඒ මා ඊට එක් කොට තිබි ‘හෙලෝ හෙලෝ කැන් යූ හියර් මී’ ගීතය මා වඩාත් අසන්නට කැමති හඬ අඩුවෙන් නිසාවෙනි. කෙසේ නමුත් මේ වෙලාවේ මට එය ඇසුණේ ය. මුණිවර වන්නට ඇත ය යන සිතිවිල්ලෙන් මා කාමරයට ගිය ද තිරය මත සපිටුහන් ව තිබුණේ විදුනි ගේ නමයි.

“අනේ මන්දි අයිය ඇක්සිඩන්ට් වෙලා”

ඇය හඬාගෙන කීවා ය. ඒ ඇසුණේ කුමක් ද කියා එක වර මට අදහා ගත හැකි වූයේ නැත.

“ආ..”

අමාරුවෙන් සාලය වෙත පියවරක් තබමින් මම ඊට වඩා වෙනස් යමක් අසන්නට බලාපොරොත්තු වුණෙමි.

“අනේ ඔව් මන්දි. දැන් පොලීසියෙන් ගෙදරට කෝල් එක ඇවිත් තියෙන්නෙ. අම්ම මට කතා කළේ. වේල්ලෙවල හන්දියෙදි ඇක්සිඩන්ට් වෙලා තියෙන්නෙ. දැන් බදුල්ල හොස්පිට්ල් එකට අරං ගිහිං”

“අනේ විදූ..එයාට..එයාට…අමාරුද..”

“එහෙම නැතුව ඇති කියල හිතමු. ලොකුවට විස්තරයක් දන්නෙ නෑ. අපි දැං හොස්පිට්ල් එකට යනව”

“මට..මට..මට එයා…බලන්න ඕන”

“මන්දි ඔයා කලබල නොවී ඉන්න. අපි ගිහිං බලල ඔයාට කෝල් එකක් ගන්නං”

මම එතැන වූ පුටුවක් මතට වැටුණෙමි. මා වටා මුළු ලෝකය ම භ්‍රමණය වෙනවා වාගේ දැනිණ. මට කිසිත් නිරවුල් ව සිතා ගත හැකි වූයේ නැත. ඒ වැරදි ආරංචියක් වන්නට බැරි ද යන සිතිවිල්ල සිතේ කොහේදෝ තැනකින් හිස ඔසවන්නට විය. මේ වගේ ව්‍යසනයකදී හිත ඒ වාගේ ළදරු සතුටක් විඳින්නට කැමති ය. අනිත් අතට හිත යට මහා බියකරු හැඟීමක් විය. මුණිවරගේ තත්වය බරපතල ද? ඔහු ට කරදරයක් වේවි ද? විපතක් කියන්නේ අප කිසි සේත් බලාපොරොත්තු වන දෙයක් නොවේ. නමුත් මෙහෙව් මොහොතක එවන් සිතිවිලි හිතට එබිකම් කරන්නේ දයා විරහිතව ය.

“අනේ..හ්…”

මගේ උගුර යටින් කෙඳිරිලි හඬක් නැගිණ.

“අක්කේ..”

කෑම මේසය දෙසින් නංගී මා අමතන හඬ ඇසිණ. නමුත් මට කතා කර ගන්නට හෝ අසුනෙන් නැගිට ගන්නට තරම් සිහිකල්පනාවක්වත් පණක්වත් වූයේ නැත.

“අක්කේ” කියා නැවත ද කකා කළ නංගී තව මඳ වෙලාවකින් මදෙසට ඇවිද එමින් සිටිනු මම සිහිනයෙන් සේ දුටිමි.

“අනේ නංගි..”

මම මහා ඉකි බිඳුමකින් ඇයට වාරු වුණෙමි. අතේ ඉඳුල් පිටින් ම ඇය මා වැළඳ ගත්තා ය.

“අනේ ඇයි අක්කෙ මේ…මොකද වුණේ.. “

“මුණිවර ඇක්සිඩන්ට් වෙලා”

විලාප තබා හැඬීමක උවමනාව මගේ මුළු සිරුර පුරා ම විය. හරියට අනතුරට ලක් වූයේ මා සේ, සිරුරේ සෛලයක් ගානේ රිදුම් දෙන්නට වූයේ ය. මා වූ කලී තනිකර ම වේදනා කැටියක් වී තිබිණ. ඉන්පසු ගෙදර හැම කෙනෙක් ම මා වට කර ගත් බව දැනිණි ද මා සිටියේ නිවැරදි සිහියක නොවේ.

“මට හොස්පිට්ල් එකට යන්න ඕන අප්පච්චි…මට…යන්න ඕන එයාව බලන්න”

සියක් වාරයක් මා එසේ කියන්නට ඇත. නංගී මගේ හිස පිරිමදිමින් වේදනාවෙන් මුදවන්නට උත්සාහ කරමින් සිටියා ය. නමුත් ඔහු ඇස් දෙකෙන් දැක ගන්නා තුරා නිවීමක් ගැන හිතන්නට හෝ මට හැකි නොවිණ.

අවසන අප්පච්චි හා නංගී මා ව රියෙහි දමා ගෙන බදුල්ල මහ රෝහල වෙත ගෙන ආවෝ ය. හදිසි අනතුරු ඒකකය අසල ලොකු තාත්තා ද මුණිවර ගේ අම්මලා නංගිලා ද සිටිනු මම යන්තමින් දුටිමි. මා දිව ගොස් නතර වූයේ ලොකු තාත්තා ගේ දෑත් අතරේ ය.

“අනේ ලොකු තාත්තා…මොකද්ද මේ වුණේ…කොහොමද එහෙම වුණේ…එයාට දැන් කොහොමද ලොකු තාත්ත…”

“ඔපරේශන් එකකට අරං එවෙලෙම. කොල්ලට හොඳ වෙන්න කියල අපි දෙයියන්ගෙන් ඉල්ලමු දුවේ”

හෝරා ගණනක සැත්කමකින් පසු මුණිවර ව දැඩි සත්කාර ඒකකයට දැමිණ. ඔහු ගේ හිසට බරපතල හානි සිදු වී තිබුණේ ය. පැය විසි හතරක් යන තුරු ඔහු ගේ තත්වය කොයි අතට හැරේවිදැයි කිව නො හැකි බව වෛද්‍ය අදහස විය. ඒ පැය විසි හතර තුළ ඔහු වෙනුවෙන් ජීවිතය ඉල්ලනු වස් අප නො කළ ආගමික කටයුත්තක් නැත. බාර හාර වීම්, පඬුරු ගැට ගැසීම්, බෝධි පූජා, සෙත් කවි කියවීම් මෙන් ම දේව කන්නලව් ද කරමින් නො පෙනෙන බලවේග වලින් පවා යළි ඔහු ඉල්ලා සිටින්නට අප ට සිදු ව තිබිණ. 

ඒ පැය විසි හතර තුළ ලැබුණ ආරංචි අතරේ හද දවනා එක වූයේ මුණිවර ගේ රියෙහි ගැටී ඇති ලොරිය ඔවුන් ගේ සතුරන් ගේ එකක් බවයි. වේල්ලෙවල බලාගාරය ආසන්නයේ දී මුණිවර ගේ රියෙහි ගැටීමෙන් පසු ලොරිය පාරේ අනිත් පස හෙලට පෙරලී ගොස් තිබේ. එය පැද ගොස් තිබෙන්නේ සතුරන් ගේ පවුලේ ප්‍රබල ම වත්මන් ව්‍යාපාරික පුරුක ය. මට දුරකතනය ඔස්සේ කතා කොට ඇත්තේ ද ඔහු ය. මුණිවර ගේ පැරණි පෙම්වතිය විවා පත් ව තිබෙන්නේ ඔහු සමග ය.

අනතුරින් රෝහල් ගත කරත්දීත් හෙතෙම මිය ගොස් අවසාන ය!

අප සියලු දෙනා ගේ හදවත් වල දැල්වෙමින් තිබුණේ ගිනි මැලයකි. සතුරා ගේ වුව මරණය අපේ හදවත් දෙදරවා තිබිණ. මුණිවර තව දුරටත් සිහි ලබා තිබුණේ නැත. ඒ සියල්ල එක් තැන් වූ කල එය කෙබඳු කම්පිත බවක් දැයි වචන දහස් ගණනක් යොදා ගෙන වුව විස්තර කළ නො හැකි ය.

කෙසේ හෝ පැය විසි හතර අවසානයේ වෛද්‍යවරු ඒ සුබ පණිවිඩය ගෙන ආ දේව දූතයන් සේ ක්‍රියා කළහ. මුණිවර ගේ තත්වය යහපත් අතට හැරෙන්නට පටන් ගෙන ඇති බව කියවිණ. ඒ වෙලාවේ ඇස් වලින් ගලා ගිය සාගරයක් තරම් කඳුළු අයිති සැනසීමට ය. සැබවින් වෛද්‍යවරුන් කියන්නේ දේව දූතයන් සේ පිළිගත යුතු ය. 

“මට සමා වෙයං දුවේ…මට බැරි වුණා කොල්ලට අනතුරක් වෙන එක වලක්වගන්න”

ලොකු තාත්තා වැලපෙන්නට ගත්තේ මුණිවර ගේ තත්වය යහපත් අතට හැරෙනා බව දැන ගත්තා ට පසු ය. ඔහු එතෙක් හිත ගලක් කර ගෙන අචේතනික ව බලා ඉන්නට ඇත. දුක වාවා ගන්නට බැරි වන්නට ඇත්තේ,දැන් ඉතින් සිය ලෝකයේ රජ්ජුරුවන් ගේ මූණ බලන්නේ කෙසේ ද කියා සිතත්දී ය.

එය අහඹු අනතුරක් ද සැලසුම් කොට සිදු කළ අනතුරක් ද කියා නිශ්චිත කර ගන්නට සාක්ෂි නොවී ය. පොලීසිය ඒ ගැන පරීක්ෂණ සිද කරමින් පැවතිණ. මුණිවර අනතුර ට ලක් ව තිබුණේ ඔහු ගේ පියා රිය අනතුරට ලක් ව මිය ගිය වේල්ලේවල බලාගාරය ආසන්නයේ ම ය. එම සිදුවීමෙහි තරමක ගුප්ත බවක් වූයේ ය. සැලසුමක් නම් එය ඉතා සාහසික සහ අමානුෂික අනතුරට පත් කිරීමකි. නමුත් ස්වභාව ධර්මය සෑම කල්හි ම නිහඬ ව ඉවත බලා ගෙන හිඳින්නේ නැත. අවි ගත් මිනිසුන් නැසී යන්නේ අවියෙන් ම ය. තවත් මිනිසෙකු ගේ ජීවිතයක් අහිමි කරනු වස් උපක්‍රමය සැකසූ ඒ පවුලේ අවසාන ප්‍රබල පුරුක මිය ගියේ, ඒ සඳහා යොදා ගත් රිය හෙලකට පෙරලීමෙනි. ඇතැම් විට සොබා දහමේ දඬුවම් පමා විය හැක. නමුත් ඒවා කිසි සේත් නොලැබී පවත්නේ නැත. 

“ලොකු තාත්ත අඬන්න එපා. ලොකු තාත්ත මොනා කරන්නද…කරන්න පුළුවන් විදිහට අපිව බලා ගත්ත කියල අපි දන්නවනෙ. ඒ වගේම ලොකු තාත්ත ආයෙ ඕවට පැටලෙන්න යන්නෙපා. අපිට හයියකට ඉන්නෙ ඔයා විතරයි. ඒ හයිය අපිට හැමදාම ඕනෙ ලොකු තාත්තෙ. ඒ මිනිස්සුන්ට දෙවියො දඬුවම් දෙයි. ප්ලීස්…ලොකු තාත්ත පැටලෙන්න යන්න එපා”

“රජ්ජුරුවො කියන්නෙ මගෙ මල්ලිගෙ පුතා වුණාට මට ඌ දැනුණෙ මගෙ පුතා වගේ. චූටි එකා කාලෙත් මූ වැඩිපුර හිටියෙ මාත් එක්ක. ඒ කාලෙ හවසට මං ගෙදර එන්නෙ රා කට්ටක් කාරිය බීල ටිකක් රෑ වෙලා. ඒ කීයට හරි ආවහම රජ්ජුරුවංව පිටේ තියාගෙන අස්සය පද්දන්න ඕනෙ. කොච්චර දණිස් රිදුණත් ගේ පුරාම මං ඌව පිටේ තියං යනව. මං කොච්චර රා බීලද මට කොච්චර වෙරිද කියල අදාල නෑ. ඒ ගැන මූගෙ තාත්තවත් අම්මවත් කවදාවත් කටක් හොලෝල නෑ. ඒ මං මේකාට කොච්චර ආදරේද කියල දැනං හිටිය නිසා. කීයට හරි මං ගෙදර එනකල් කොල්ල නිදා ගත්තෙ නෑ. ආයෙ උදේට රජ්ජුරුවන්ව හෝදල කරල යන්නෙත් මං. එතකොට අපි පහළ ළිඳට යනව නාන්න කරන්න. උදේට අපි ළිඳට යන්නෙ පැරකුම්බා දත් කුඩු හරි ගෝපාල් කුඩු හරි වලින් දත් මැද මැද. මං රජ්ජුරුවන් ව කරේ තියා ගෙන…මූ පැරකුම්බා දත් බේත් කන්න දෙයිය. දත් මදින්නෑ..අර කුඩු කනව…කට රෝස පාට කරං හිනා වෙන හැටි මට දැනුත් මැවිල පේනව. ළිඳට ගිහිං කොල්ලව හෝදල කරල තියල තමයි මං වැඩට යන්නෙ. එච්චර කාලයක් බලා ගත්ත කොල්ලව අන්තිම ටිකට පරිස්සං කර ගන්න මට බැරි වුණා”

ලොකු තාත්තා දැඩි පසුතැවීමක් තුළ සිටියේ ය. මම ඔහු ඉන් මුදවා ගැනුමට හැකි තාක් වෙහෙස වූයෙමි. මා ද දැඩි වෙහෙසක් අත් නො වින්දා නොවේ. ඒ මානසික පීඩනය ගැන පැහැදිලි කිරීමක් කිරීමට කිසි දා මා සමත් නොවනු ඇත. මුණිවර තව දුරටත් පියවි සිහිය ලබා තිබුණේ නැත. දැඩි සත්කාර ඒකකය තුළ වෛද්‍ය උපකරණ රැසක් හා සම්බන්ධ ව ඔහු වැතිර සිටියේ ය. ඔහු ගේ ශාරීරික ක්‍රියාකාරීත්වය යථාවත් වෙමින් පවත්නා බව වෛද්‍යවරුන් විසින් පැවසීම හැරෙන්නට වෙන කිසිදු සහනයක් හිතේ වූයේ නැත. නමුත් ඒ මුළු කාලය පුරා දැනෙමින් පැවතියා වූ දෙගිඩියාවට පර්යාය පදයක් ඇතැයි මම නො සිතමි.

පවුල් දෙකක් එක් පවුලක් ලෙස එකට එක් වී සිටීමේ ශක්තිය අප වෙත විය. හැම මොහොතක ම මගේ පවුලේ අය සේ ම මුණිවර ගේ අම්මා, නංගිලා හා ලොකු තාත්තා ද මගේ හිත හදමින් දිරි දෙන්නට මා අස වූහ. අනිත් අතට අපි ඔවුන් ගේ හිත් හැදුවෙමු. අපේ රිදුම් හා තුවාල අපි අපි ම පිරිමැද ගතිමු. මුණිවර අභිශේක් බණ්ඩාර යනු අප සියලු දෙනා ගේ ප්‍රාර්ථනය විය. ඔහු නැවත පැමිණෙන තුරු අපි සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ඉල්ලමින් පසු වුණෙමු. ධාරා ද අනතුර ගැන පුවත ලද පසු වැලිමඩ ඇවිත් සිටියා ය. රිදුණු බිඳුණු මගේ හිත අස ඇය ද දැඩි මිත්‍රත්වයකින් ළඟ හිඳින බවක් දැනිණ. 

මොන තරම් පීඩිත තත්වයක් යටතේ වී ද මම බලාපොරොත්තු අත් නොහැර හිත දිරියෙන් හැම දවසකට ම මුහුණ දුන්නෙමි. මුණිවර සුවය ලද යුතු ය. ඔහු යළි අප වෙත පැමිණිය යුතු ය. එය එසේ වන බව මම දැඩි ව විශ්වාස කළෙමි. සැබවින් ඒ දින කිහිපය මාව ජීවත් කරවූයේ ඒ බලාපොරොත්තුවයි.

මිණියෙහි අවසාන කටයුතු නිමා කිරීමෙන් පස්සේ මුණිවර ලා ගේ සතුරු පවුල ආ ගිය අතක් නැති විය. ලොකු තාත්තා මුලින් කර තිබූ අනතුරු ඇඟවීම් වලට බියෙන් ඔවුන් පුහුල්පොල අතැර යන්නට ඇතැයි කතාවක් පැතිරිණි. කුමන හේතුවක් මත හෝ ඔවුන් නික්ම ගිය එක ගැන මට නම් දැනුණේ සැනසීමකි. ඒ පවුලේ දැනට සිටිනා එක ම බලවතා මිය ගියේ ය. ඉනික්බිති ඔවුන් ට සිය දරු පවුල් ගැන සාධාරණ බියක් ඇති වන්නට ඇත. ඔවුන් ගේ පලා යාමත් ඒ බියත් අතරේ සම්බන්ධයක් තිබෙන්නට ඇත. 

ශුභ ආරංචිය ලැබෙනා විට මා හිටියේ මිස්ට් ෆීල්ඩ් වල වැඩ කටයුතු අධීක්ෂණය කරමිනි. මුණිවර ඉක්මන් සුව ලබතැයි දැඩි අධිෂ්ඨානය ඇති ව, ඔහු යළි එන තුරා මමත් ලොකු තාත්තාත් සාමාන්‍ය පරිදි එහි සියලු වැඩ කටයුතු මෙහෙයවමින් සිටියෙමු. ඒ වෙලාවේ ලොකු තාත්තා හා මා සිටියේ රෝස මල් වලට රසායනික පොහොර ස්ප්‍රේ කිරීමේ කටයුතු පසු දා ට සිදු කරන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමිනි.

“අයියට සිහිය ඇවිත්”

විදුනි එසේ කීවේ මා සිහිසන් කරවනා අසිහියකිනි. 

“අනේහ්”

මට කියවිණ. 

“මං ලොකු තාත්තත් එක්ක දැන්මම හොස්පිට්ල් එකට යන්නං”

මගේ පපුව රිදෙමින් තිබිණි. ඇස් වලින් පාලනය කර ගත නො හැකි ලෙස කඳුළු ගලා ගියේ ය. සතුටටත් එසේ විය හැකි බව ඒ මා අත්වින්දා ම ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles