සීත මාරුතේ – අවසන් කොටස

අප දෙදෙනා ගැන මුණිවරගේ පමණක් නොව අපේ පවුල් දෙකේ සාමාජිකයන් ගේ ද බලාපොරොත්තු බිඳ වැටී තිබුණ වෙලාවක ය හදිසියේ ම යළි මගේ හිත හිරු දුටු මල් කැකුළක් සේ විකසිත වන්නට වූයේ. 

මම මා ගැන අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සිතන්නට වීමි. එය වූ කලී තරුණ ගෑනු ළමයෙකුගේ සිතක් කරන්නා වූ විශ්ලේෂණයක් කියා සිතන්නනට පුළුවන. ප්‍රේමය වනාහි සරල වූ ජීවන සිද්ධාන්තයක් සේ බොහෝ විට අපි ගනිමු. නමුත් ප්‍රේමය කියන්නේ කිසි සේත් සරල නොව සංකීර්ණ හැඟුම් සමුදායකට කියා මම පෙම් කිරීමෙන් අවබෝධ කොට ගතිමි. එසේ ම එය සක්‍රිය ව හා සජීවී ව පවතින්නේ අහිමි වේය යන අවිනිශ්චිත භාවය තුළ බව ද මම ස්වයං අධ්‍යයනය කළෙමි. ප්‍රේමය කියන්නේ අප ට අප නැතිව බැරිය යන අවබෝධයට ය. අත්හැර ගැනීම ට වඩා අත් හැරෙන්නට නොදී රැක ගැනීම තුළ ප්‍රේමය පවත්නේ ය. මිනිස් සම්බන්ධතා ජීවිත කාලයක් පැවතෙන්නට අඩිතාලම වන්නේ එකී ප්‍රේමයයි.

විශ්වයෙහි සෑම මොහොතක් ම අලුත් ය. නැවුම් ය. දැන් අරඹන්නයි එය හැම මොහොතක ම සිය කොටස් වන අපට හඬ ගා කියා සිටී. නමුත් අප සිටින්නේ ගොළුවන් බිහිරන් සේ ය. නැතහොත් අප දැනටමත් ආරම්භ කොට අවසාන යයි අපි හැම විට ම සිතමු. 

මුණිවර ට මතක අමතක ව යාම තුළ මා පත් උදාසීනත්වයට හේතුව ද අලුත් ආරම්භයක් ගැනීමට මා තුළ වූ පසුබෑමයි. හැම විටම මා ඔහු දෙස පරණ ඇස් දෙකකින් බැලීමයි. තිගැස්සී ගිහින් ඒ නිද්‍රාවෙන් මා අවදි වූයේ මට ඔහු අහිමි ව යතැයි ඇති වූ බිය තුළ ය. සැබවින් මගේ ජීවිතයේ සතුට ඔහු කේන්ද්‍ර කොට ගත් එකකි. තමන්ගේ සතුට අනුන් මත තීරණය නොකළ යුතු වී ද ප්‍රේමයේ හැටි එහෙම ය. 

අප හැම මොහොතක ම අලුත් විය යුතු යයි මම අලුතෙන් උගනිමින් සිටියෙමි. මම ආයේ අලුතෙන් ඔහු දකිමින් සිටියෙමි. ඔහු ගේ අහංකාරකම් වල වන පිරිමිකම් විඳිමින් සිටියෙමි. ඒ සිනහව තුළ අතරමං වෙමින් සිටියෙමි. මා සතුටෙන් තබත හැකි වූයේ එතැන්හි ය. මම අලුතෙන් මතක රැස් කරමින් ද සිටියෙමි.

“ඔය රිං එක විසි කරල දාන්න”

මා මුණිවර ගේ මේසය ඉදිරියේ හිඳ රාජකාරී කටුයුත්තක හිඳි වෙලාවක හදිසියේ ඔහු කීවේ ය. මා කෙලින් ඒ මූණ බැලුවද ඔහු මට මූණ දුන්නේ නැත. මගේ ඇඟිලි මිට මෙලවී අනිච්ඡානුගව ම ඒ දියමන්ති මුදුව වැළඳ ගන්නා ලදී. ඔහු ගේ මුහුණේ පේෂි ගැස්සී යන හැටි මට දකිත හැකි විය. මම ඒ ඇස් පිල්ලමක වේගවත් චලනය දෙස බලා සිටියෙමි. ඒ හැම තැනක ම මගේ උන්මාද ප්‍රේමය වූයේ ය. මට ඔහු ගේ ගෙලෙහි එල්ලී කම්මුලක් තදින් සිප ගැනීමේ අවශ්‍යතාවයක් දැනිණ. මුණිවර ගේ දෑතත් පපුවත් අතරේ ඉතා තදින් මිරිකී යාමේ උවමනාවක් දැනිණ. 

“අම්…හෙට ලොකු තාත්තගෙ උපන් දිනේ”

කතාවේ මාතෘකාව සේ ම මගේ ඇස් දෙකේ කාන්තිය වෙනස් කරන්නට ඔහු ට ඕනෑ වන්නට ඇත.

“ඔව්. මාත් එනව දානෙ අරං යන්න. මට ආසයි පුහුල්පොල පන්සල බලන්න”

“පොඩි කාලෙ මගෙ වැඩේම පන්සලට දුවන එක”

එසේ කියත්දී ඔහු ගේ මූණට ලස්සන සිනහවක් ආවේ ය. ඔහු ගේ ආත්මය වඩාත් ප්‍රීතිමත් ව ගැවසෙන තැන් ඒ සිනහව අනුව නිගමනය කරන්නට දැන් මට පුළුවන.

“හ්ම්. පන්සලේ ලිස්සන බෑවුමේ වැටිල ඔළුව පලා ගත්තෙත් දැන් ඉන්න ලොකු හාමුදුරුවො එක්ක පොඩි කාලෙ දුවන්න ගිහින්නෙ”

ඔහු ගේ අත හිසට ගියේ ඒ කැළල සොයා ගන්නට මෙනි. අතීතයෙන් වැටුණ හෙවනැල්ලක් ඒ වත මත වැතිර තිබිණ.

“අම්…ඔයා කොහොමද ඒක දන්නෙ…”

මගේ පපුවට බෝම්බ පහරක් වැදුණේ ය. පුහුල්පොල ගෙවුණ සිය ළමා විය හා බැඳුණු මතකයන් විටින් විට මා හා කියූ බව ඔහු ට මතක නැත. 

“ලොකු තාත්ත කිව්ව”

මම සුසුම පපුවේ ම හිර කර ගෙන කීවෙමි. මුණිවර ගේ මූණේ  ශෝකයක රේඛා නැංවිණ. ඔහුට ද සිය අමතක ව ගිය පරිච්ඡේදය ගැන සිහි වන්නට ඇත. අපට අමතක කරන්නට ඕනෑ වූවාට ජීවිතයකින් කොටසක් යනු එසේ අතීතයෙහි අතැර පැමිණිය හැක්කක් නොවේ. වරින් වර ඒ මරණීය වේදනාව විඳ ගන්නට අපට සිදු වනු ඇත. 

දානය සූදානම් කෙරුණේ පුහුල්පොල මහ ගෙදර ය. විදුනිලා එය බොරලන්දේ ගෙදර සූදානම් කරන්නට උත්සාහ කළාට ලොකු තාත්තා ඊට එකඟ වූයේ නැත. උදයෙන් ම ගුරුතලාවට විත් මා කැටිව යන්නට ලොකු තාත්තා පොරොන්දු වන විටත් මුණිවරත් ඒ ඇසෙන මානයෙහි වූයේ ය. 

“මට එන්න පුළුවන් ලොකු තාත්තෙ”

මුණිවර දෙස යටැසින් බලමින් මම කීවෙමි.

“බෑ බෑ. ඔච්චර දුර බයිසිකල් පදින්න බෑ දුවට”

“අම්..ඕන්නං මට පුළුවන් යන ගමන් පික් කරන්න”

මුණිවර නො සැලකිලිමත් බවකින් කීවේ ය. මම සිනහව හිර කර ගතිමි.

“රජ්ජුරුවො ඒක කරනවනං මට වෙලාව ඉතුරු වෙනව වෙන වැඩක් කර ගන්න. මොන වැඩේ තිබුණත් මං මේ කෙල්ලව ගෙනියන්න ගුරුතලාවට යනව හැබැයි. මේකි තමයි දුවෙක් නැති මගෙ නාකි හිතේ පාළු නැති කළේ”

ලොකු තාත්තා මගේ කර වටා අතක් දමා මා සිය සිරුරට තුරුලු කර ගත්තේ ය. මගේ ඇස් වලට තෙතමනයක් දැනිණ.

උදෑසන මීදුමෙන් ගහන ව තිබිණ. කුරුලු කූජන ගුරුතලා විදු බිම පුරා ද ටර්පන්ටයින් වනය දෙසින් ද පිළිරැව් දුන්නේ ය. සුදු පාට ලිලී මල් පාත්තියක කහ පාට කෙමි වට කොට සමනලුන් ද මීමැස්සෝ ද කැරකෙමින් සිටියහ. මම ලා පැහැති ගවුමක් හැඳ, කොණ්ඩය කරලකට ගොතා, බෑග් එක තුරුලු කර ගෙන පාසල් දැරියක ගේ හදවතින් මග බලා ගෙන සිටියෙමි. මා සූදානම් ව තිබුණේ ඔහු එනවා කී වෙලාවට අඩ හෝරාවක් කලිනි. නමුත් මා ගුරු නිවාසයෙන් මිදුලට විත් විනාඩි පහක් ගත වෙන්නට පෙර මුණිවර ගේ රිය විත් නැවතිණ.

“මං යනෝ…”

ගෙතුළට එබී එසේ කෑ ගැසූ මම දිව ගෙන ගොස් රියට ගොඩ වීමි. මගේ උදෑසන සුබ පැතුමට  මිස හිස සැළුවා මිස ආඩම්බරකාරයා වචනයක් හෝ කතා කළේ නැත. මම යූ ටියුබ් එකෙන් ‘මීදුම් දුමාරයේ’ ඉතා හෙමිහිට ගීතවත් වන්නට සැලැස්වීමි. සැබවින් ම ඒ තුළ ජීවත් විය හැකි පරිසරයක් මගේ නෙත් මානයේ වූයේ ය. ගීතය නිම වූ පසු නැවත නැවත ද එය ක්‍රියාත්මක කොට, පැති වීදුරුවෙන් එපිට පෙනෙනා මිහිදුම තුළ මම අතරමං ව සිටියෙමි. පුහුල්පොලින් බැස ගන්නා තෙක් ම අප අතරේ කතා බහක් සිදු වූයේ නැත. 

දානය පිළියෙල කරන්නට මුණිවර ගේ අම්මා ද විදුනි ද පැමිණ සිටි අතර මා යන විටත් ඔවුන් බොහෝ කටයුතු අවසාන කොට තිබිණ. මා කළේ භාජන ටික සෝදා දමන එක පමණකි. දහය හමාර වන විට අපි දානය රැගෙන පන්සලට ගියෙමු. බුද්ධ පූජාව තැබිය යුතු වූ නිසාවෙනි.

බුද්ධ පූජාව තබා නිල වශයෙන් දානය පිළිගැන්වීමෙන් පසු මම ලොකු තාත්තා සමග පන්සලේ ඇවිදින්නට ගියෙමි. එය  විශාල බිම් ප්‍රදේශයක පැතිරුණ, නවීකරණයන් සිදු වූ පැරණි විහාරයකි. අපත් සමග සම්බන්ධ වන්නට නාවාට මුණිවර ඒ හැම තැනක ම පේන මානයේ වන බව මට දැනිණ. 

“කෝ අර ලිස්සන පඩි පෙළ…”

මා ලොකු තාත්තා ව විමසත්දී මුණිවර බලනවා මට දැනුණේ ය.

“දැන් එතන පඩිපෙලක් නෑ. ඒක වැහිල. පරණ බුදු ගේ තිබුණ ගොඩනැගිල්ලක් දැන් වහල දාලනෙ”

අපි අලුත් පඩි පෙළ බැස පහළට ගියෙමු. බිඳ වැටුණ පඩි මතින් පස් වැටී ද දිය සෙවල හා පාසි වර්ග වැවී ද, පරණ සිමෙන්ති කොටස් අතරින් බෝ පැල පැල වී ද තිබිණ. පුංචි කොල්ලෙකු කාලයේ මුණිවර මෙතැනින් ලිස්සා වැටී හිස පලා ගත් දර්ශනය, එය සියැසින් දැක නො තිබිණි ද මට මනසින් මවා ගත හැකි විය. සමහර දේවල් හරි පුදුම ය. දෙනුවරක ජීවත් වූ අප මේ කඳුකරයේ දී හමු වී ඇත්තේ ඉරණම එය සිදු විය යුතු ම දෙයක් ලෙස කලින් ම තීරණය කළ අයුරිනි.

“ඇයි දැන් මේ බිල්ඩින් එක වහල තියෙන්නෙ…”

මා දෙපසින් ලොකු තාත්තා ද මුණිවර ද සිටියේ ය. මට තේරුම් ගත නො හැකි මොකක්දෝ දෙයක් මගේ හදට දැනෙමින් තිබිණ. යමක් මතක් වෙන්නට හදමින් තිබිණ. ඒ කුමක් දැයි නිරවුල් වූයේ නැත. මුණිවර ගේ මුහුණේ විශාල කල්පනා බර බවක් විය. ඔහු හිටියේ අතීතයේ යි මම අනුමාන කළෙමි. සමහර විට හිස පැලෙනා තරම් තුවාලයක් කරමින් ඔහු ලිස්සා වැටුණ පහල බෑවුමේ වන්නට ඇත. 

“දැන් ඉතින් කොයි දේත් අලුත් වෙලානෙ දරුවො. පන්සල් වලට වුණත් ස්වාමීන් වහන්සෙලට වුණත් දායක සභාවට වුණත් ඕන අලුත් වෙන්න. අලුත් බුදු ගෙයක් හැදුනට පස්සෙ පරණ එක වැහිල යන එක සාමාන්‍යයිනෙ. හැබැයි අපේ හදවත් වලින් පරණ මතක වහල දාන්න බෑ දරුවො”

ලොකු තාත්තා ගේ ස්වරයේ ශෝකී සේයාවක් ඇඳී තිබිණ.

“මතක තමයි ලොකු තාත්තෙ ජීවිතේ කියන්නෙ. ගෙවල යන හැම තත්පරයක් ම එකතු වුණාමයි ජීවිතේ කියන්නෙ. ඒ ගෙවුණ තත්පර කියන්නෙ මතකයට..එහෙම බැලුවාම ජීවිතේ කියන්නෙ මතක ගොඩකට…මතක නැති වුණ තැනක තිබුණ ජීවිතේ…”

මම මොහොතකට ඇස් දෙක පියා ගතිමි. සුළං පහර ඇවිත් මගේ වත සිප ගත්තේ ය. ඇස් කෙවෙණි දැවෙනවා මට දැනිණ. පපුව සුසුමින් පිරී තිබිණ. මම නෙතු හැර පරණ පඩි පෙළ වූ මානයෙහි නෙතු දිවවීමි. මට ඒ බැස බලන්නට සිතුණේ ඇයි දැයි කිව නො හැකි ය. මම දෙඅඩියක් තැබුවෙමි. එතැන වූ පස් කොටස එකෙනෙහි කෙතරම් තදින් ලිස්සුවේ ද කියා සිතා ගැනීමට වුව නුපුළුවන.

“අනේ..හ්”

දෑත් දෙපසට ගියේ ය. මම පය වාරු කර ගන්නට බැළුවෙමි.

“මන්දාකිණී”

කියා කෑ ගසා ගෙන මුණිවර මගේ අතක් අල්ලා ගන්නට පැන්නේ ය. මට මතක අප දෙදෙනා ම පල්ලමකට ලිස්සා යනවා විතර ය. ගෙල ළඟින් වතුර පාරක් ගලා යනවා දැනුණේ ය. පාමුල දී මම අත ගා බැලුවෙමි. අත ලෙයින් පිරිණි. එකෙනෙහි මා සිහිසුන් ව ගියේ ය. ඒ අතරේ ඈත දුර මන්දාකිණියකින් සේ මට ඔහු කෑ ගසන හඬ ඇසුණේ ය.

“මන්දී…”

යළි මා සිහි ලබන විට සිටියේ  වෛද්‍ය ආයතනයක් තුළ සේ දැනිණ..මට එක වර නෙතු හැර ගත හැකි වූයේ නැත. මතක අමතක කළ අනතුරින් පසු එක වතාවකට හෝ මුණිවර ‘මන්දි’ කියා මා අමතා නැති බව ඒ අවු අස්සේ මට සිහි විය. මේ මොහොතේ මහිස පිරිමදිනා ස්පර්ශය මුණිවර ගේ බව මට දැනිණ. ඒ ස්පර්ශය තුළ මට ඔහු දැනිණ. එදා මිස්ට් ෆීල්ඩ් හෑන්ඩ්ලූම් පැරඩයිස් හිදීත් ගාල්ලේ සමුද්‍රාසන්න හෝටලයේදීත් දැනුණ ස්පර්ශය මේ බව මගේ ආත්මය පසක් කොට ගෙන තිබිණ. ඔහු ට මා මතක් වී තියේ! ඒ ලිස්සා වැටීම අතරතුර සිදු වූ කම්පන තත්වය මත ඔහු ට අමතක වී තිබූ මතකය යළි ලැබී තියේ!

“මට ඔයාව මතකයි මන්දි. ඉක්මනට ඇස් අරින්න”

මගේ නළලත හාදුවක් තබමින් ඔහු මගේ සවනසල මුමුණනු මට ඇසිණ. නමුත් මම ඇස් හරින්නට කලබල නොවුණෙමි. 

ඉපදීම හා මරණය අතරේ ජීවිතය යනු මතක හුයකි. මුණිවර ගේ මොළයට සිදු වූ තුවාලයක් නිසා මතකයට හානි වූයේ ය. ඔහු ට මා අමතක ව ගියේ ය. නමුත් එවන් අනතුරක් නැතිව ම මතක අමතක කිරීමට පසුබට නොවෙනා මිනිස්සු සිටිති. කාලයත් සමග බොහෝ අය අතීතය අමතක වූවා සේ හැසිරෙති. එවන් අවස්ථාවක වැඩි ම පීඩනය එල්ල වන්නේ එසේ අමතක වෙන මිනිසුන් ට නොව ඔවුන්ට අමතක වී ඇති බව දැනෙනා අයට ය. ඒ මරණීය වේදනාව මම වතාවක් වින්දෙමි. යළිත් ජීවිත සංසාරේ කෙතරම් වාර ගණනක් එසේ  වනු ඇත්ද කියා නිශ්චිත නැත. 

මට මුණිවර ගේ මූණ දැකීමේ ආශාවක් ඇති විය. මම හෙමිහිට ඇස් පිය හැරීමේ උත්සාහයක් ගතිමි. රාත්තල් ගණනක බරක් ඇස් පියන් මත මට දැනිණ.

“මන්දි. ඔයාට සිහිය ආව නේද…”

මගේ ඇස් විවර නොවී ම ඔහු තදින් මා වැළඳ ගත්තේ ය. ඒ සුදු කපු කමිසය මගේ කඳුළු වලින් හේදී යමින් තිබිණ.

සමාප්තයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

නිබ්බුත ගීත -26

මම සෑම ඍතුවක ම ජීවිතයට ආදරය කළ ගෑනු ළමයෙකු වීමි. කුස ගින්න ඇතුලු දරිද්‍රතාවයේ සියල් අංග අවි අමෝරා අප වට කොට ගත්දීත්...

(අ)හිමි සිහින -230

මිනිස්සු එකිනෙකා හා බැඳෙන්නේ හදවතින් මිස බාහිර උවමනා එපාකම් වලින් නෙවෙයි.ඥාති හිතමිත්‍ර කමක් වුණත් හටගන්නේ එහෙමයි. සුධාරකගේ වැඩිමල් සහෝදරිය...

නිබ්බුත ගීත -25

තාප්පය අයිනේ කහ පාට බෝඩරයක් ව දිස් වන තාරුකා මල් තීරය දිය බත් කර ගෙන වැස්ස වහිමින් තිබිණ. අලුතෙන් උදලු ගෑම නිසා...

රෝගී වූ ගුරුතුමිය අත් නොහැරි පන්තියේ දඟකාරයෝ

පන්තිභාර ගුරුතුමියට අම්මා මෙන් සලකන දරුවන් ඕනෑතරම් හිඳිනවා.එසේ වන්නට ඇය කළ එක් ක්‍රියාවක් ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වන්නට පුළුවන්.නව යොවුන් වියේ පසුවන දරුවන්...

සුහදිනි -75

ලෝක කුසලාන තරග ඇරඹිණ.සකීට මුල් තරග කිහිපය මග හැරෙන බව ඇය දැන සිටියා ය.නමුත් වෙනදා මෙන් සිහින නොපෙනෙන අහස් ගැන ඕනෑවට වඩා...