මාස තුනෙන් ඇහි බැමි ඝනට වැවෙන ස්වභාවික සීරම් එකක්

මේ දිනවලදී බොහෝ දෙනා ඇහිබැමි තරමක් ඝනට සකස් කරන විලාසිතාවක් අනුගමනය කරනවා. එහෙත් ස්වභාවික ව ම ඝන ඇහිබැමක් නොමැති කාන්තාවන් මේ නිසා ගැටලුවකට පත් වෙනවා. කෘත්‍රිම ව ඇහිබැමි නිර්මාණය කිරීමට විශාල මුදලක් වැය වෙන නිසා ගෙදරදී ම ඇහිබැමි වර්ධනය කර ගැනීමේ සාර්ථක සහ ස්වභාවික පිළියමක් අපි අද ගෙන එනවා. මේ සත්කාර මාලාවක්. මෙය නොකඩවා සිදු කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකියි.

අවශ්‍ය දේවල්

  • ඇලෝජෙල් මේස හැන්දක්
  • එඬරු තෙල් මේස හැඳි තුනක්
  • තේ කොළ තේ හැඳි කාලක් පමණ
  • ලැවැන්ඩර් තෙල් බින්දු දෙකක්

හදන්නේ මේ ආකාරයෙන්

එඬරු තෙල් ටික කුඩා භාජනයක දමා ඩබල් බොයිල් ආකාරයෙන් රත් කර, එයට තේ කොළ එක් කරන්න. පැහැය වෙනස් වන තුරු කලවම් කරමින් රත් කරන්න. ඉන්පසු එය පෙරා ගන්න. දැන් එය නිවුණු පසු ඉතිරි ද්‍රව්‍ය එක් කරන්න. මෙය වියළි බඳුනක දමා භාවිතා කරන්න.

භාවිතා කරන්නේ මෙහෙමයි.

රාත්‍රියේ නින්දට පෙර මුහුණ සෝදා හොඳින් තෙත මාත්තු කරගන්න.
ඉන්පසු සකසා ගත් සීරම් එකෙන් බින්දුවක් ගෙන ඇහි බැමි දෙක මත ආලේප කර හොඳින් උරාගන්නා තුරු තත්පර තිහක් පමණ මෘදු ව මසාජ් කරන්න.
නැවත වරක් එසේ කරන්න.
දැන් එලෙසින් තිබෙන්නට හැර නින්දට යන්න.
උදෑසන ෆේස්වොෂ් එකක් මගින් මුහුණ පිරිසිදු කරගන්න.
මෙම සත්කාරය මාස දෙකක් පමණ නොකඩවා සිදු කරන්න.

එඬරු තෙල් මේ සඳහා යොදා ගන්නේ ඇයි?

ඒවායෙහි ඔමේගා 9 මේද අම්ල ඇති නිසා ඇහිබැමිවල තෙතමනය හොඳින් රැක දෙනවා. ඒ වගේම වේගයෙන් ඝනකම් ව වැඩෙන්නටත් මේ පෝෂකය උදව් වෙනවා. එඬරු තෙල් වල විටමින් E බහුල නිසා සෞඛ්‍ය සම්පන්න කේෂ වර්ධනයට උපකාරී වෙනවා. මෙහි ඇති Ricinoleic acid කේෂ නාලවල කැඩුණු තැන් වසා දමමින් වර්ධනයට උපකාරී වෙයි.

මේ ආකාරයෙන් සත්කාර කොට හොඳින් ඇහිබැමි වැවුණ පසු ඔබට අවශ්‍ය ලෙස ඒවා සකසා ගැනීම සිදු කළ හැකියි.

සම්පත් දායකත්වය

යොමාල් සඳරුවන් (සැලොන් යොමා අධිපති)
Beautician and Hair stylist
Trimology UK

Related Articles

Don't Miss


Latest Articles