යහනෙන් බට නෙත්‍යා ඉක්මන් අඩි තබා ආලින්දයට යන විටත් මනුහස්ගේ පියා විජේවර්ධන විසින් නිවසේ ප්‍රධාන දොර විවර කර හමාරය.
” මේ මොකෝ මේ..?”
” පොඩි ඇක්සිඩන්ට් එකක් උනා අප්පච්චි “
මනුහස්ගේ වචන ඇසුණු ක්ෂ්ණිකව නෙත්‍යාගේ දෙපා ගල් ගැසී ගියේය. ඈ සිටි වනම හිඳ වික්ශිප්ත වටකුරු දෑසින් ආලින්දය දෙස බලා සිටියාය.
ස්නේහවන්තයා නිවසට ඇතුළු වූයේ හිස වටා වෙළා ගත් වෙළුම් පටියක්ද සමඟය.
” මේ මොකෝ මනූ මේ ?”
” පොඩි ඇක්සිඩන්ට් එකක් උනා අම්මා..”
” හරි ශෝක්..! ඔලුව විතරද තුවාල. ? “
” හ්ම්ම්…”
වසුන්දරා හට පිළිතුරු දෙමින් ඉදිරියට ආ මනුහස් නිදන කාමරය අසල සිට ගෙන දෑසේ කඳුළු පුරවා ගනිමින් සිටින රුවැත්තිය දෙසට ළං වූයේය.
” පොඩි තුවාලයක් , අවුලක් නෑ..”
මුවින් නොවිමසුවද ඇගේ වටකුරු මුහුණේ ඇඳී ඇති පැනය තේරුම් ගත් මනුහස් ඈ දෙස බලා පිළිතුරු බැන්ඳේය. වචනයක් නොපැවසුවද වචන දහසක් රැඳි ගංගාවක් සේ ඇගේ දෙනෙතින් කඳුළු කඩා වැටුණේය.
” ඒයි…!”
මනුහස් ඇගේ නිකටින් අල්ලා ඇගේ උවන තමා දෙසට හරවා ගත්තේය.
” පොඩි තුවාලයක් උනේ බබා.. අඬන්නේ ඇයි ?”
මවත් , පියාත් දෙදෙනාම තමා දෙස බලා සිටිනු දුටු නෙත්‍යා නැවතත් හිස බිමට බර කරගනිමින් දෑසින් ගලා ආ කඳුළු පිස දැමුවාය.
” දුව දවල් ඉඳන් නහයෙන් අඬ අඬ හිටියේ ෆෝන් එක වැඩ කරන්නෑ කියලා. පේනවද නේද දරුවෝ මෙයාගේ වැඩ ? ඔහොම්මම තමයි හැමදාම. “
වසුන්දරා පළමුව මනුහස් දෙසටත් , දෙවනුව නෙත්‍යා දෙසටත් හැරී පැවසුවාය.
” ඔයාට මතකද ඒයි එක පාරක් දෙන්නෙක්ගේ කරෙන් ගෙදර ආවා ? ඔයාට කියන්න දුව එක සැරයක් පාන්දර දෙකත් පහු වෙලා මෙහෙම නෙමෙයි ඇවිදගන්නවත් බෑ අත පය හතර ඔක්කොම වෙළාගෙන සචින්ද්‍රගෙයි , තවත් ළමයෙක්ගෙයි කර පිටින් ගෙදර ආවේ.. ඒ එක දවසක් , තව සිද්ධියක් තිබ්බා. සතියක් විතර මෙයාගේ ෆෝන් එක වැඩ නෑ. සචින්ද්‍රටයි , ෂියාටයි ගන්න ගන්න සැරේට උන් දෙන්නා කියන්නේ ආ සර් ඉන්නවා , සර් මීටින් එකක , සර් එළියට ගියා , සර් කන්න ගියා මොකක් හරි එකක්. අන්තිමට තමයි අපි දැනගත්තේ මෙයා සතියෙම ඉඳලා තියෙන්නේ හොස්පිට්ල් එකේ කියලා. “
නෙත්‍යා තිගැස්සුණු දෑසින් මනුහස් දෙස හිස ඔසවා බැලූ අතර ඔහු මුහුණ ඇඹුල් කරමින් සිනාසුණේය.
” අන්‍තිමට මං අරුන් දෙන්නටත් බැන්නා “
” අම්මා.. බඩගිනියි..!”
වසුන්දරා යළි මනුහස් දෙස බලා එරෙව්වාය.
” දැක්කද..? දැක්කද ? ඔය අනිත් සෙල්ලම. මං මොනාටද කෑ ගහන්නේ මෙයාට බඩගිනි හැදෙනවා.. අම්මා .. මට බඩගිනියි කිව්වම මං ඔක්කොම නවත්තලා එයාට කවන්න හදනවනේ. මේ තරං කපටියෙක් මේ ලෝකේම නෑ..”
මනුහස් සිනාසෙමින් වසුන්දරාගේ පසුපසින් ගොස් ඈව වැළඳ ගත්තේය.
” හරි හරි වසූ.. ඔය දැන් මැදෑ බැන්නා. තියන දෙයක් රත් කරලා ගන්නකෝ . මං වොශ් එකක් දාන් එන්නං “
” යනවා යන්න අහකට..”
බොරු තරහක් මවා පෙන්වූ වසුන්දරා මනුහස්ගේ දෑත ගලවා දමා මුළුතැන්ගෙය දෙසට ගියාය. නෙත්‍යාගේ අතින් අල්ලා ගත් මනුහස් ඈ කැටිව නිදන කාමරයට පා තැබුවේය.
**************************************
මනුහස්ගේ සිත සොම්නසින් පිරී ගොස් තිබුණේය . හිමිදිරියේ ජාන්වීගේ නිවසේදී නෙත්‍යා දෑස් හැර බලා ඈ වසර ගණනාවකට පෙර තමා දුටු සිහිනය දෑස අභියස ඉටු වී තිබියදී දරා ගත නොහැකි අප්‍රමාණ සන්තෝෂයකින් සතුටු කඳුළු වැගිරුවා හා සේම මනුහස්ගේ සිතද යහන පසෙක තමාගේ බාහුවක වෙළී නින්දේ පසුවනා තරුණිය දෙස බලමින්ම ප්‍රීතියෙන් උතුරා ගියේය. ඒ ඉදින් වසර ගණනකට පෙර කුඩා කොලු ගැටයෙකු සමයේ කාටත් රහසේ තනිව ගෙවන යහනේදී තම නිවස තුළ , තම නිදන කාමරය තුළ , තම නිදි යහන මත ඈ තුරුළේ සතපවාගෙන රැය පහන් කරන්නට ඔහු දුටු සිහිනයයි. ප්‍රශ්න , ගැටළු දහසක් තමා අබියස තිබියදී ඒ කිසිවක් ගැන සිත යොමු නොකළ ඔහු වසර ගණනකට පෙර තමා දුටු සිහිනය සැබෑ කරගත් සංතුෂ්ටියෙන් පමණක් සිත පුරවා ගත්තේය. මඳ වේලාවක් එකී සිහිනය තුළම සතුටින් ඉපිළෙමින් සිටි ඔහුට මොහොතකින් ඈද නිදි නැති බව දැනුණේය.
” සුදු නෝනා..!”
ඔහු මන්ද ස්වරයෙන් මිමිණුවේය.
” ම්ම්ම්…?”
ඔහු නිවැරදියි. ඈ නිදි නැතිය.
” නිදි නැද්ද ?”
” නින්ද යන්නෑ මනූ..”
” ඔහු සෙමින් ඈ වෙළී උන් අත ඉවතට ගෙන ඇගේ ගෙල වටා යවා ඈව තම නිරුවත් පපුවට තුරුළු කර ගත්තේය.
” මොකෝ ඒ .. ?”
පිළිතුරු දීමට පෙර ඔහුගේ ළමැඳේ මුහුණ සඟවා සිටි ඈ හිස සෙමින් ඔහු වෙත හැරවූවාය . අන්ධකාරය නිසාම ඔහුගේ මුහුණේ ඉරියව් නොපෙනෙන්නේය.
” ඔයා මට ඇත්ත කිව්වේ නෑ මනූ..”
” මොකක් ගැනද කියන්නේ ඔයා ? “
” ඔලුව තුවාල උනේ ඇක්සිඩන්ට් එකක් නිසා කිව්ව එක මට විශ්වාස කරන්න බෑ මනූ..”
මනුහස් දිගු සුසුමක් හෙළුවේය .
” අහන්නකෝ ළමයෝ.. මං…”
” එපා..”
ඈ ඔහුගේ කතාව මඟ නතර කළාය.
” එක බොරුවක් වහන්න බොරු සීයක් කියන්න වෙනව මනූ.. ඒ නිසා මුකුත් කියන්න එපා. ඔයා කිව්වේ බොරුවක් කියලා මං හොඳටම දන්නවා. මං විතරක් නෙමෙයි ඔයාගේ අම්මා අප්පච්චිත් දන්නවා.. ඇක්සිඩන්ට් එකක් උනාම අතේ පයේ හීරිමක්වත් නැතුව ඔලුව විතරක් තුවාල වෙනවද මනූ .. ? ඇක්සිඩන්ට් එකක් උනානං ඒ කොහෙද ? කොතනදිද ? මොකක් වෙලාද ඇක්සිඩන්ට් උනේ ? වාහනේ යන ගමන්ද ? එහෙනං කා එකට ඩැමේජ් වෙලා නැත්තේ ඇයි ? ඒ වගේ ප්‍රශ්න දාහක් අහන්න පුලුවන් කම තියාගෙන ඒ මිනිස්සු දෙන්නා ඔයා කියපු එක වචනේ විශ්වාස කරලා සද්ද නැතුව ඉන්නේ ඇයි දන්නවද ? ඒ මිනිස්සු දෙන්නා දන්නවා මොන දේ සිද්ධ උනත් ඔයාගෙන් වරදක් වෙන්නෑ කියලා. ඒත්… මට එහෙම ඉන්න බෑ මනූ… මට බයයි.. ඔයාගෙන් වරදක් වෙන්නෑ කියලා හිතුවට ඔයාට වරදක් වෙයි කියලා මට බයයි. ඒ වරදේ කොතනක හරි මාත් ගෑවිලා ඉඳී කියලා මට බයයි. “
” ඒයි.. ඒයි සුදු නෝනා.. මට කාගෙන් මොනවා වෙන්නද ආ..? හොඳ ළමයා වගේ විකාර හිතන්නැතුව දැන් නිදාගන්න. හෙට උදෙන්ම යන්නත් ඕනේ.. “
” ඒ කොහෙද ? “
” කොළඹ… මං වැඩට යන්නැද්ද ?”
” ඔයා යන්න මනූ.. මං මෙහෙ ඉන්නං. “
” මෙහෙ .. ? අම්මා අප්පච්චි එක්ක ?”
” හ්ම්ම්.. ඒ දෙන්නා මෙහෙ ඉන්නේ තනියමනේ.. “
” එතකොට මං එහේ තනියම හිටියට කමක් නැද්ද ?”
මනුහස් අඳුරේම ඇගේ මුහුණට බර වුණේය.
” ආ.. සුදු නෝනා..! මං එහෙ තනියම හිටියට කමක් නැද්ද ? ම්ම්ම්…?”
ඔහු සෙමින් සෙමින් පහත්වී හිස ඇල කරමින් ඇගේ ගෙල වටා තම දෙතොල් තැවරුවේය. දෑස තදින් පියා ගත් ඇය මඳ වේලාවක් නිහඬව සිටියාය.
” මනූ…!”
” ම්ම්ම්.. ?”
” උමායා අක්කා.. “
” දැන් මෙතනට උමායා අක්කෙක් මොකටද ? “
ඔහු තව තවත් ඇගේ බඳ වටා අත යවමින් ඈව තුරුළු කරගෙන ඇගේ ළමැඳ මත දෙතොලින් සැරිසැරුවේය. ඈ සෙමින් සෙමින් ඔහුගේ හිස කෙස් අතරින් දෑඟිලි යවා හිස පිරිමැද්දාය.
“උමායා අක්කගේ ආන්ටි කෙනෙක් ඉන්නේ ඔසී වල … මගෙ හිත හරි කලබලයි මනූ.. මට හිත නිදහස් කරගන්න ඕනේ. ටික දවසක් මේ හැමදේකින්ම ඈත් වෙලා කොහේ හරි දුරකට යන්න හිතෙනවා. “
මනුහස්ගේ දෙතොල වහා එහා මෙහා දිවීම නතර කළේය. ඔහු මොහොතක් සිටි වනම සිට සෙමින් හිස එසෙව්වේය . අන්ධකාරය මැදින් රකුසු දෑස නොපෙනුණද ඔහු සිටින්නේ කෝපයෙන් බව ඔහුගෙන් පිටවන වේගවත් උණුසුම් සුසුම් වලින් නෙත්‍යාට දැනුණාය. ඉදින් ඈ අපහසුවෙන් කෙළ පිඬක් ගිල්ලාය.
” දැන් මොකක්ද ඔයා කියන්න හදන්නේ ? “
මෙතෙක් තිබූ ආදරණීය ස්වරයද ඔහුගෙන් ගිලිහී ගොස් තිබුණේය. නෙත්‍යා බොහෝ ආයාසයක් දරා වචන අහුලා ගන්නට උත්සාහ කරමින් සිටියාය.
” එහේ ඉන්නේ ඒ ආන්ටි විතරයි මනූ.. හොඳ සේෆ්ටි එකකුත් තියනවා. ජොබ් එකක් කරන්න නෙමෙයිනේ. මහ ලොකු කාලෙකටත් නෙමෙයි ත්‍රී මන්ත්ස් වලට වගේ මං ගිහින් එන්නද ?”
ඔහු තවත් මොහොතක් නිහඬවම සිටි වනම සිටියේය . ඉන් පසුව ඈ තුරුළු කරගෙන සිටි තම දෑතම මුදවා වැතිර සිටි යහනෙන් නැඟිට හිඳ ගෙන දෙදණට දෑත බර කර ගත්තේය.
” Seriously? යන්න ඕන කමකුත් හදාගෙන , යන්න තැනකුත් හදාගෙන , ගිහිල්ලා ඉන්න තැනකුත් හදාගෙන , යන්න විදිහකුත් හදාගෙන ඇයි ඔයා ගිහින් එන්නද කියලා විතරක් මගෙන් අහන්නේ සුදු නෝනා ?”
මනුහස්ගේ වචනයක් වචනයක් පාසා උතුරා හැලෙන කෝපයක් ගැබ් වී තිබුණේය.


