පෙමාතුර -37

මගේ බෝඩින් පාස් එකෙහි සඳහන් ව තිබූ අංකය සහිත අසුන කවුළුවක් අයිනේ එකක් වීම දෙවියන් ගේ කරුණාව මත සිදු වූ දෙයකි. හෑන්ඩ් ලැගේජය අසුනට ඉහලින් වන කැබිනට් එකෙහි බහා ලූ මම කෙලවර අසුනේ හරි බරි ගැසී වාඩි වුණෙමි. කලබලකාරී ගුවන් මගීහු සිය අසුන් සොයා යමින් සිටියහ. මඳ වෙලාවක් එදෙසට නෙත් යොමාන උන් මම සුසුමකින් නිදහස් ව කවුළුවෙන් පිටත බලා ගතිමි.

ගුවන් තොටුපොළේ මගීන් ඇතුළු කර ගන්නා පර්යන්තයෙහි අසුන් ගෙන සිටියදී මගේ ගැහැනු සිත් හි දුර්වල හෝ සංවේදී කොටසක යම් බලාපොරොත්තුවක් පණ ගැහෙමින් තිබිණ. මා දැක තිබි චිත්‍රපටයක සේ විසල් එහි දිව එන දර්ශනයක් මනසෙහි මැවෙමින් බොඳ වෙමින් තිබිණ. නමුත් සැබෑ ජීවිතය හා මායාව අතරේ යා කළ නො හැකි පරතරයක් වන බව ජීවිතය ම මට පසක් කරන්නට විය.

යානය පිටත් වන්නට සූදානම් වන බව දැනුම් දුනි. මා සිටියේ ඒ කිසිත් මට අදාල නැතිවා සේ ය. මා වෙනම ම ග්‍රහ ලෝකයකින් පැමිණි ජීවියෙකු සේ ය.

අද උදයේ විසල් මගේ නෙත් මානයේ සිටියේ ය. දැන් නැත. මින් ඉදිරියට නැත. මගේ අතුරුදන් වීම ඔහු කෙසේ නම් දරා ගනු ඇත් ද? වාවා ගනු ඇත් ද? විඳවා ගනු ඇත් ද? සැබවින් මේ සැබෑවක් ද? සිහිනයක් ද? ඒත් නැතහොත් මායාවක් ද? අසුනට හිස බර කොට මම ඇස් දෙක තද කොට පියා ගතිමි. අත්‍යන්ත වූ හිස් කමකින් ටික ටික මා පිරී යන්නට විය. 

හිස් කම! එපමණකි. 

මගේ ඇස් වලින් නො නවත්වා කඳුළු ගලා යන්නට පටන් ගත්තේ ය. විසල් මේ අභිනිෂ්ක්‍රමණය කෙසේ පිළි ගනු ඇත් ද? මා ප්‍රශ්නයට මුහුණ දිය නොහී පලා ගියේ යයි ඔහු සිතනු ඇත් ද? ඒ සිතිවිල්ල මත ඔහු මට වෛර කරන්නට වුව පුළුවන. නමුත් මට වූයේ මුහුණ දෙන්නට බැරි කමක් නොවන බව දන්නේ මා පමණකි. ඔහු ට මා ව ම උවමනා නම් බලා හිඳින්නට පුළුවන. කවදා කොයි ලෙස මා පැමිණේවි දැයි ස්ථිරසාර බවක් නොවී ද මා කවදා හෝ පැමිණේවියි බලා ඉන්නට ඔහු ට පුළුවන. නමුත් මේ වියවුල් අතරින් මා නිසා ඉෂිනි ව ප්‍රතික්ෂේප කරන්නට වෙනවා නම්, මා නැති ව යාම නිසා දැන් ඔහු ට පහසුවෙන් ඒ තීරණය ගන්නට පුළුවන.

මා නැති ව යාම! මා සිටියදීත් මා නැති ව යාම!!

මා නැති ව යන්නේ කෙසේ ද? මම සිටියෙමි. දැනුදු මම සිටිමි. නමුත් අපට අප පෙනෙන්නේ නැත. හිඳිනා බව දැනුණත් අප නැත. ඒ නැතිව යාම කෙතරම් නම් හදවත් පටක බිඳවනා සුළු එකක් ද? ඒ නැති ව යාම මොන තරම් වේදනා කැක්කුමක් දනවන එකක් ද? මේ ගුවන් යානය තුළ දී මගේ ළය පැළී මා මිය යන්නට වුව බැරි නැත. මේ රිදුම ඒ තරම් දරුණු ය. අමානුෂික ය. මාරාන්තික ය. කඳුළු එක තත්පරයකට හෝ නතර වූයේ නැත. 

“එක්ස්කියුස් මී මෑ’ම්”

මට ඒ හඬ ඇසිණ. නමුත් මම නෑසුණා සේ හිටියෙමි. දැන් මා නැත. ඉතින් මට ඇහෙන්නේ කොහොම ද? කිසියම් ගුප්ත හා ගූඨ හැඟීමක් මට දැනිණ. මා සිත මිස කය නැති ජීවියෙකු ද? නැත්නම් කය මිස සිත නැති ජීවියෙකු ද?

“එක්ස්කියුස් මී මෑ’ම්”

නැවතත් ඒ හඬ ආ දෙසට මම යන්තම් හිස හැරවීමි. කඳුළු දිය ඇලි කඩා වැටෙමින් තිබුණේ ය. කුංකුම චන්දන අංජන ගල්වන ලද ගුවන් සේවිකාව ගේ  දැකුම්කළු දෑස් මා දැක තරමක් තිගැස්සිණි. ඈ මදෙසට දිගු කරගෙන හිටි ප්ලාසිටික් කප් එක මම අත පා අර ගතිමි.

“වට් කැන් අයි ඩූ ෆො යූ මෑ’ම්…”

අනතුරුව ඇය ඉතා ආචාර ශීලීවත්, දෙගිඩියාවෙනුත් විමසනු ලැබුවා ය. දෙතොල් තද කර ගෙන කඳුළු අතරින් ම ඇස් වලින් සිනහ වෙමින් මම හිස දෙපසට සැළුවෙමි. 

“ඕකේ. බී කූල් ටු ආස්ක් ෆෝ එනි.. එනි තිං මෑ’ම්”

“තෑන්ක් යූ”

මම නැවතත් ඉක්මනින් පිටත බලා ගතිමි. කඳුළු අහුරු ගණනක් එක වර ඇසින් පිටමං වූයේ ය. මම ඇස් තටු තද කොට කඳුළ මිරිකා හළෙමි. අසල්වැසි මගී කත විමතියෙන් ද යමක් සොයා දැන ගැනීමේ උනන්දුවෙන් ද මදෙස බලන්නට වූවා ය. කිසිදු කතා බහකට ඉඩ නොතබා මම හැකි තාක් ඉවත බලා ගතිමි.

යානය ගුවනේ පියාසර කරමින් තිබිණ. ඉහළින් ද පහළින් ද ඈතින් ද මෑතින් ද වූයේ ශරදාකාශය ම ය. සුවිසල් වලා කඳු තැන් තැන් වල කැටි ගැසී මා විස්මිත කරනා සූදානමක සිටියේ ය. සුදු වලා කැටි දෙස පහලින් බලනවාට වඩා ඉහලින් බැලීම චමත්කාරජනක යයි ඒ වේදනා කන්දට යට ව සිටිනාතරවාරයේ ත් මට සිතිණි.

අත වූ පළතුරු යුෂ බඳුනෙන් මම උගුරක් බීවෙමි. ඒ ඇපල් යුෂ බිඳ දිව්‍ය ඖෂධයක් සේ මගේ සිරුරේ ඇට මස් ලේ නහර විනිවිද ඉසියුම් ස්නායු තන්තු පවා සියුම් පිනා යාමකට ලක් කරන ලදී. ඇපල් යුෂ කියන්නේ කොහොමටත් මා කැමති ම පානය ය. තිත්ත, කහට හා ප්‍රණීත යන රසයන් ගේ එකතුව! ඇපල් යුෂ හා ජීවිතය අතර ඇත්තේ අරුම පුදුම සමාන කමක් ය කියා නම් මීට පෙර මට සිතී නැත්තේ ය. නමුත් දැන් මේ මොහොතේ සිතේ. 

පැය තුනකුත් විනාඩි හතළිහක් වූ ගුවන් කාලයකින් පසු ගුවන් යානය දිල්ලි ගුවන් තොටුපොළෙහි ගොඩ බාන ලදී. මා අග්‍රා වෙත කැටිව යන්නට අම්මා ගේ දැනුම් දීම මත දසුන් හා කාංචනා යුවළ පැමිණ සිටියහ. දසුන් අග්‍රා හි සංචාරක හෝටලයක් පවත්වා ගෙන යන්නේ ය. ඊට අමතර ව ලංකාවෙන් හෝ වෙනත් රට වලින් දඹදිව වන්දනාව පිණිස පැමිණෙන නඩ සඳහා සුඛෝපභෝගී සංචාරක බස් රථ සැපයීම ඔහු ගේ ව්‍යාපාරය වූයේ ය. අම්මා ඔහු ව හැඳින ගෙන තිබුණේ ඇය සංචාරක නඩ සමගින් කිහිප වරක් ම දඹදිව වන්දනාවේ පැමිණි ගමන් වලදී ය. 

“අග්‍රා වලට මේ රෑ ම නොයා කිසාට දිල්ලියෙ හොටේල් එකක නවතින්න කියන්න තිබුණා අදට. ඒත් අනෝජා මිස් ගෙ දුව නිසා එහෙම කරන්න හිතුණෙ නෑ”

දසුන් මා රියට නංවා ගන්නා ගමන් එසේ කීවේ මිත්‍රශීලී ව ය. කාංචනා, සුන්දර ව සිනහ වුණා ය. 

“මට අම්මට කෝල් එකක් ගන්න පුළුවන් ද…මෙහෙ සිම් එකක් ගන්න එක තමයි මුලින් ම කරන්න ඕන”

කාංචනා සිනහ වෙමින් දසුන් ගේ දුරකතනයෙන් අම්මා ගේ දුරකතනය අංකනය කොට මවෙත පෑවා ය. මා කරදරයක් නැති ව පැමිණි බවත්, දසුන් ලා මා අග්‍රා වල ඔවුන් ගේ සංචාරක හෝටලය වෙත කැටුව යමින් හිඳිනා බව පමණක් පවසා අපේ කතා බහ නිමා කළෙමි. 

“නංගිට මොකද්ද ලියන්න තියනව කියල මිස් අනෝජා කිව්ව. ලියන්න දේවල් නං ඉතිං මෙහෙ ඕන තරං”

රිය පදවන ගමන් දසුන් ඉදිරි කැඩපතින් මදෙස බලා කීවේ, ලේඛණ කටයුතු ගැන කිසිදු අවබෝධයක් හෝ සංවේදීතාවයක් නොමැති පුද්ගලයෙකු මා මනසේ සනිටුහන් කරමිනි. මම යන්තම් සිනහ වුණෙමි. දසුන් ට වඩා ඔහු ගේ බිරිඳ කාංචනා මගේ සිත් ගත් බව කිව යුතු ය. ඇය වැඩි කතා බහක් නැති, ඒ වුණත් නිතර ම මුව මත නළියන මඳහසක් ඇති ප්‍රසන්න ගැහැනියකි. ඇය මට අග්‍රා ඇතුලු ඉන්දියානු නගර ගැන කෙටි හැඳින්වීමක් කළා ය. මගේ ලිවීම් වලට ඒ කවර නගර වඩාත් උචිත වේ දැයි තීරණය කරනු පිණිස ඒ හඳුන්වා දීම උදව් වනු ඇතැයි ඇය සිතන්නට ඇත.

“මං හෙට කිසාව ටජ්මහල් බලන්න එක්කං යන්නං”

ඇය සුන්දර පොරොන්දුවක් ද වූවා ය. නමුත් ටජ් මහල් යන නම ඇහෙත්දී ම මගේ හදවත සෑයක් වූ බව කිව යුතු ම ය. මිනිස්සු ආදරය වෙනුවෙන් ටජ් මහල් තැනූහ. සමහර මිනිසුන් ට ආදරය වෙනුවෙන් සයුරින් එහා සැඟව ගන්නට සිදු ව තිබේ.

දසුන් ගේ නවීන හෝටලයෙහි සුව පහසු කාමරයක් මා වෙනුවෙන් වෙන් වී තිබිණ. දිය නා ගෙන කෑමට එන ලෙස කාංචනා ඇරයුම් කළා ය. ඔවුහු මා වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජනයක් සූදානම් කොට තිබිණි. ඒ ඉන්දියානු ආහාර නොව අපට පුරුදු ශ්‍රී ලාංකික ආහාර ය. කන්නට හෝ වැඩි පුර කතා කරන්නට මට උනන්දුවක් තිබුණේ නැත. ගමන් වෙහෙස නිසා යයි ඔවුන් සිතන්නට ඇත. කාමරයට වැදී දොරගුළු ලා ගත් පසු, එතෙක් ගල් වී උන් මා දිය වී වැගිරෙනා බවක් මට දැනෙන්නට ගත්තේ ය.

ලංකාව හා ඉන්දියාව අතරේ වෙලාවෙහි ලොකු වෙනසක් නැත. විසල් මේ මොහොතේ කුමක් කරනු ඇත්දැයි සිතන්නට මම උත්සාහ කළෙමි. බොහෝ දුරට දැනටමත් ඔහු මගේ නික්ම යාම ගැන දැන සිටිනවා විය යුතු ය. මගේ සිම් පතෙහි ජාත්‍යන්තර දුරකතන පහසුකම ක්‍රියාත්මක නොකොට, ලංකාවෙන් පිට වීමටත් පෙර ම මා සිම් පත ගලවා පසුම්බියෙහි දමා ගත්තේ, ඔහු ට මා වෙත පැමිණිය හැකි සියල් මාර්ග අවහිර කරනු වස් ය. නමුත් එසේ වූවා කියා ඔහු වෙත වන සන්තාපය, සංවේගය පහ ව යන්නේ ද? මා ගියේ කොහේ දැයි දැන ගත නො හැකි ව දැනටමත් ඔහු සිය දහස් වතාවක් මට දුරකතන ඇමතුම් ගන්නට ඇත. ඒ සියල්ල අසාර්ථක වූ කල් හි උමතු වූවෙකු සේ හැසිරෙනවා වන්නට ද පිළිවන. ඉෂිනි අත පොවන මානයේ සිටිනා නිසාවෙන් සිය හැඟීම් විවර කර ගත නොහී දැඩි අසරණ භාවයකට පත් ව සිටිනවා වන්නට ද පිළිවන.

තව දුරටත් මට මා පාලනය කර ගත හැකි වූයේ නැත. සුදෝ සුදු – අලුත් සුවඳ ඉහිරෙන කොට්ටය ක මූණ ඔබා ගෙන මම කෑ ගසා හැඬුවෙමි. 

නො දන්නා අග්‍රා නගරයේ, නාඳුනන මිනිසුන් අතරේ, තමන්ගේ ය කියන්නට කිසිවෙකු නොමැති තැනක හඬන්නට වීම වනාහි කෙබඳු හැඟීම් උපදවන්නක් දැයි ඔබ කිසි දා වටහා නො ගනු ඇත. කළ අනුවන කමක් යයි මා පසු තැවුණේ නැතිවා නොවේ. හෙට උදයෙන් ම ටිකට් වෙන් කරවා ගෙන මුලින් ම ඇති ගුවන් යානයෙන් යළි ගෙදර යන්නට මට නො සිතුණා නොවේ. නමුත් මට කිසිත් කර ගත මැකි වූයේ නැත.  මම හඬමින් ම නින්දත් නො නින්දත් අතරේ ඒ මායාමය අවකාශයෙහි අඳුර පොරවා ගෙන උමතුවෙන් එහි සැරිසරමින් සිටියෙමි.

“මං ඔයාට කිව්ව දරුවො…ඔයා හුඟක් විඳවයි කියල”

ඒ අම්මා ය. අම්මා කියා පෙන්විය හැකි රුවක් නොවුණා ට ඒ දැනුණ භාවයන් අනුව ඒ අම්මා බව මට සිතත හැකි විය. 

“කමක් නෑ. මට ආඩම්බරයි කිසා ට එච්චර හයියක් තිබුණ එක ගැන. කිසා කළේ කරන්න පුළුවන් හොඳම දේ…අඬන්න කිසා. ඕන තරං අඬල හිත හදා ගන්න. ඔයාට ඒක කරන්න පුළුවන්”

ඒ තාත්තා කියා සිතමි. මම හඬමින් ම තව තවත් අඳුර තුළ පිහිනා ගියෙමි. ඈතින් මට ඉකි බිඳුම් සරක් ඇසුණේ ය. මම වඩ වඩාත් ඒ වෙත සවන් පාමින් සමීප වීමි. ඒ හඬන්නේ විසල් බව මගේ අවිඥානය හැඳින ගත්තේ ය. ඔහු වෙත දිව ගොස් ඔහු තදින් වැළඳ ගෙන හඬන්නට මට ඕන විය. නමුත් එසැනෙන් මම සිහි එළවා ගතිමි.මේ මොහොතේ ඔහු ගේ කඳුළින් මා දිය ව නොයා යුතු ය.

උදේ ම මට ඉන්දියාවේ සිම් පතක් දසුන් විසින් ලබා දෙන ලදී. මම එයින් අම්මා ට ඇමතුමක් ගතිමි.

“මං මේ ඔයා කතා කරනකල් ඉවසිල්ලක් නැතුව හිටියෙ. ඔයා ලංකාවෙන් ගියා කියල දැන ගත්තහම විසල් හොඳටම අප්සට් වුණා කිසා. ඉෂිනි ඉන්න නිසා එයාට එවෙලෙ මුකුත් කර ගන්න හම්බුණෙ නෑ. ඒත් පස්සෙ මට කෝල් එකක් අරගෙන ඔය දෙන්නගෙ සම්බන්දෙ ගැන හැම දේම කිව්ව. එයා කෙලින් තීරණයක් අරගෙන ඉද්දිත් ඔයා මෙහෙම කරපු එක ගැන එයා ට එක පැත්තකින් හරි දුකයි. තව පැත්තකින් කේන්තියි. විසල් වැරදියි කියල මං හිතන්නෑ මේ වෙලාවෙ” 

අම්මා නො ඉවසිලිමත් ව කියවා ගෙන ගියා ය. මට ඇගෙන් අසන්නට තිබුනේ එක දෙයකි.

“අම්ම එයාට කිව්වෙ නෑ නේද මං ඉන්න තැන. දැනගත්තොත් එයා එන්න පුළුවන්. ප්ලීස් අම්ම. ඒකනං කරන්න එපා”

අම්මා ලොකු සුසුමකින් මිදුණා ය. ඉන්පසු ඇය මගෙන් නවාතැනෙහිත් අග්‍රා වලත් තත්වය විමසා සිටියා ය. 

දැලක පැටළුණ මත්ස්‍යයෙකුට දැනිය හැකි විදිහේ වියවුල් සහගත බවක මම පැටලී සිටියෙමි. ඒ වියවුළ කොතැනින් ලිහා ගත යුතු දැයි මා දැන සිටියේ නැත. නමුත් කොතැනින් හෝ ආරම්භ කරන්නට මම සිතා ගතිමි. 

ලැප්ටොප් පරිගණකය විවර කරත්දී අලුත් විද්‍යුත් ලියමනක් ඇති බව සටහන් ව තිබුණෙන් මම එය විවර කළෙමි. ලියුම විසල් ගෙනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles