පෙමාතුර -47

මිනිස්සු මුල දී දුක ප්‍රතික්ෂේප කරති. ඊළඟට, ප්‍රතික්ෂේප කළ නො හැකි බව දැන ගෙන වැළපෙති. දුකත් එක්ක මුහු වෙති. ඒ දුක කෙතරම් වද වේදනාවක් දැයි දැනෙත්දී තමන් දැඩි වී එ් දුක නො දැනී සිටිනු වස් අනුවර්තනය වෙති. ඒ තෙවන අවස්ථාවෙන් පසු මිනිසුන් කළු ගල් බඳු ය. ඉන් පසු කෙතරම් දුක් කම් කටොලු පැමිණිය ද ඔවුන් ගේ ඇස් වලින් කඳුළක් එන්නේ නැති තරමි. හදවතේ වූ අහිංසක කම්, දැඩි බව විසින් විස්ථාපනය කෙරේ. ඉන් පසු ඔවුන් රළු ය. 

විසල් දැන් හිඳින්නේ එහෙම අනුවර්තනය වීමේ උත්සාහයක බව මම දනිමි. ඔහු ශෝකයෙන් හා වේදනාවෙන් බව ඇත්ත ය. නමුත් ඔහු ගේ ඇස් වලින්, තවමත් හදවතේ සුරක්ෂිත ආදරය ගැන නොකියන කතාවක් කියවේ.

“මට සමා වෙන්න විසල්. ඒත්..මං හිතන්නෙ මුකුත් එක්ස්ප්ලේන් කරන්න ඕන නෑ මං…ඔයාට හැම දේම තේරුං ගන්න පුළුවන්”

ඔහු ඈත වැව් දිය තලාව මත දිය බුං ගසනා මත්ස්‍ය රංචුවක් මත නෙතු නතර කර ගත්තේ ය. ඒ කමමුල් මත්තේ හිතුවක්කාර ලෙස වැඩි, දින කිහිපයකින් නො බාන ලද තද කොළ පාට රැවුල් කොට නිසා ඇති ව තිබෙන සංවේගයේ හැඩ තල දෙස මම බලා සිටියෙමි. ඉනික්බිති වඩාත් ඔහු වෙතට ලං ව ඒ වමතේ උඩු බාහුව මගේ අත් දෙකෙන් ම අල්ලා ගෙන ඒ උර මඬලෙහි යන්තම් මගේ මුහුණ රඳවා ගෙන ඇස් දෙක පියවෙන්නට හැරියෙමි. මට දැනුණේ සදෙව් ලොවකට වන් ලොව්තුරු සුවයකි. වැව් දිය මත හැපී සීතල තවරා ගෙන ආ පවන් රැල්ලක් මුහුණ මත දඟ කළේ ය. විසල් සිය හිස හරවා මදෙස බලා හිඳින බවක් මට දැනිණ. ඇහෙන නෑහෙන ගානට ඔහු සුසුමක් අත්හරින සර ද මට ඇසිණ. මම තව තවත් ඒ අතේ ග්‍රහණය දැඩි කර ගෙන ඔහුට වඩාත් ලං වීමි. පපුව කීරි ගැස්සුවේ කවර හැඟීමක් දැයි මම හාරා විමසන්නට නො ගියෙමි.

“ඔයාට මේ විදිහට කාගෙවත් හිත් නො රිද්දා තීරණ ගන්න පුළුවන් වුණේ මං ඈත් වුණ නිසා නෙ විසල්. මට ඕන වුණේ ඔයාට ඒ නිදහස හදල දෙන්න. කූඩු කරං ඉන්නෙ නැතුව නිදහසේ ඉගිලෙන්න ඇරල කුරුල්ලෙකුගෙ වුණත් ලස්සන බලන එක වෙනම දෙයක්…ඒත් මං හිතුව විසල්…ඔයා මං වෙනුවෙං බලං ඉඳී කියල…”

ඔහු ගේ කොපුලක් මගේ හිස මත තෙරපෙනු මට දැනිණ. හදවත ආදරයෙන් වාං දමන්නට වූයේ ය. 

“ඔයා නැති අතරෙ ගොඩක් දේවල් සිද්ද වුණා කිසා”

ඔහු ප්‍රථම වතාවට පරණ විසල් ලෙස කතා කරමින් නැවත ද සුසුමක් හෙළුවේ ය. 

“ඔයා එ් විදිහට හැංගිලා ගිය එක..අම්මාගෙන් ආපු ප්‍රෙශර් එක..ඉෂිනි එක්ක තිබුණ කේන්තිය..ඒ හැම දේම එක පැත්තකට වැටුණහම මට ඕන වෙන්න ඇත්තෙ මගෙන් මපි ගන්න…මගෙන් පළි ගන්න මට තිබුණ හොඳම මාර්ගෙ මං තෝර ගත්ත”

ඔහු ගේ උරයෙන් මෑත් වීම ලෝභී හැඟීමක් දැනවූවත් මට ඒ මුහුණ දෙස බලන්නට ඕනා විය. නමුත් මම ඔහු ගේ අත මගේ දෑතින් අත් නො හැරියෙමි.

“ඒ ගැන මං තරහ නෑ රත්තරනේ…ඒත් ඔයාට එයා එක්ක සතුටෙන් ඉන්නයි නේද තිබුණෙ..මෙහෙම දෙයක් කර ගත්තෙ ඇයි…”

“මට වෙන ගෑනියෙක් ළඟ ජීවිතේ හොයන්න පුළුවන් කියලද හිතුවෙ…”

හදවත් පටක තද විය. මම කම්මුලක් ඔහු ගේ අත් ගොබයේ තද කොට ගතිමි. 

“මට ආයෙ ගෑනු ඕන නෑ”

විසල් ඒ වචන ටික කීවේ උගුර යටිනි. නමුත් මම එහි අදහස ගැන කලබල වන්නට නො ගියෙමි. 

“අම්ම දන්නවද ඔයා අද මෙහෙම ආව කියල..”

උන් හිටි ගමන් ඔහු විචාලේ ය. මම මඳ මවිතයකින් බැලුවෙමි.

“කිව්වෙ නෑ ඉතිං”

“ආයෙ එන්න එපා කිසා. ප්ලීස්”

“මට ඔයාව තනි කරන්න බෑ”

“මං මේ තනිකමට කැමතියි දැං”

“බලන්න ඔයාගෙ හැටි…රැවුල කපල නෑ…ඇස් රතු වෙලා…බොනවද ඔයා…එහෙම වෙන්න එපා විසල්”

“බීල හරි මං මාත් එක්ක ඉන්නව. මං මාව දාල යන්නෙ නෑ”

“මං ඉතිං කිව්වනෙ සොරි කියල”

මම තවත් දෑතේ ග්‍රහණය තද කළෙමි. ඔහු වෙර ගෙන සිය අත මගෙන් මුදා ගත්තේ ය. එවර නම් මගේ ඇස් තෙත් වන්නට ඇත.

නමුත් හඬන්නට අවසර නැති බව මම දැන සිටියෙමි. මගේ අතින් වූ වරදක් ද තිබේ. මගේ පැත්තෙන් ඒ වරදක් නොවූවාට, ඔහු ට වරදක් සිදු කළේ මගේ ඒ තීරණයයි. 

“නපුරු වෙන්න එපා විසල්. මං කොච්චර ආදරෙයිද කියල ඔයා දන්නව. මං ආයෙ ආයෙ ඒ ගැන ඔයාට කියන්න ඕන නෑ”

මා මිමිණුවේ ඔහු ට නොව මට ම සේ ය. ක්ෂණික ව මා වටා වමත යවා ඔහු තදින් මා ව සිය සිරුර ට තෙරපා ගත්තේ ය. ඒ සමගින් ම මහිස් මුදුණ ද සිප ගන්නවා මට දැනිණ. දරා උන් කඳුළ ඉහිරී ගියේ ය. මම එහෙම ම ඔහු ගේ උරහිසට වාරු වී හඬන්නට පටන් ගතිමි. විල් දිය තලාව දෙස බලා ගෙන විසල් නිසොල්මනේ සිටියේ ය. පිරිමියෙකු මෙයාකාරයෙන් හැඟීම් සමග දොඩමළු වෙන මොහොතක් දරා ගත නො හැකි තරම ය. මම ආදරයේ ගැඹුරු සාගර පත්ලේ කිමිදී එහි ගැඹුරෙහි වන අගනා මුදු ඇට සෙවූ කෙල්ලක වෙමි. මට සොයා ගත හැකි වූ අමිල වස්තුව වූ කලී විසල් මල්වැන්න ය. 

“මං ලෑස්තියි ඕන දේකට. ඩිවෝස් එක හම්බුණාම අපි බඳිමු”

ඔහු පිළිතුරක් දුන්නේ නැත.

“ඔයා කොයි විදිහකට හරි ඔයාගෙ ප්‍රශ්න විසඳගෙන එනව දනින්නයි මට ඕන වුණේ. මං හිතුවෙ නෑ ඒ මෙහෙමයි කියල..ඒකට කමක් නෑ…මෙහෙම හරි ආයෙ මට ඔයා ලැබුණනෙ. මං ආයෙ ඔයාව නැති කර ගන්නෑ. මේ ටික කාලෙට තනියම උහුල ගත්ත දුක් කන්ද….ඒක ඔයාට නෙවෙයි මගෙ අම්මට වුණත් හිතා ගන්න බැරි එකක්. ආදරේ වෙනුවෙන් මොනාද කරන්න බැරි විසල්. ලේන් අම්ම කෙනෙක් මුහුදට වැටිච්ච පැටියව බේරගන්න වලිගෙන් මුහුද හිඳින්න ගියා කියනව. මටත් ඔයා වෙනුවෙන් එහෙම කරන්න පුළුවන්. මට ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන්. මට ඔයා වෙනුවෙන් මාව නැති කර ගන්න වුණත් පුළුවන්. මේක තමයි වෙන්නැති ඉරණම අපිව ටෙස්ට් කරපු විදිහ”

ඒත් ඔහු කතා කළේ නැත. හිස් ම හිස් බැල්මකින් වැව් තලය දෙස බලා සිටියේ ය. වැව් තාවුල ගස් වල හෙවනැලි දිය මත වැතිර නැටුවේ ය. මහා පාළුවක් මට දැනිණ. විසල් මේ කාරණයේ දී මේ තරම් මුණිවත රකින්නට හේතුවක් මට වැටහුණේ ම නැත. 

“ඔයා තාමත් මාත් එක්ක තරහෙන්ද ඉන්නෙ විසල්…”

අවසන මා එසේ විමසුවේ දරා ගන්නට බැරි අසරණ කමකිනි. මේ වැව් දියට පැන මියෙන්නට හිතෙනා තරම් ඒ අසරණ කම ප්‍රබල වූයේ ය. 

විසල් මගේ මුහුණ දෙස කෙලින් බැලුවේ ය. මඳ වෙලාවකට පසු යළිදු වලාකුළු බැම්මට බර වූයේ ය.

“මං ඔයත් එක්ක කවදාවත් තරහ නෑ කිසා. තරහ වෙන්නත් බෑ”

“එහෙනං ඇයි මේ…ඇයි ඔයා අපි බඳිමු කියද්දි ගොළු වෙන්නෙ…ඔයාට තාමත් බැරිද මට සමාව දෙන්න…”

“සමාව දෙන්න ඔයා වරදක් කරල නෑ. ඔයා දෙයක් කළානං ඒ ආදරේ වැඩි කමට”

“ඉතින් දෙයියනේ එහෙනං ඇයි මේ…”

“ඒත් මට බෑ කිසා මට ම සමාව දෙන්න”

“වි…සල්…”

ඉතා කුඩා අංශු වලට මා බිඳී විසිරී යන හැඟීමකින් මම ඔහේ බලා සිටියෙමි. ඉරණම අප ව කොයි අතක ගෙන යන්නට හදනවාද කියා සිතා ගත නො හැකි ය. බිඳුණු හැඟීමකින් මම මා තුළ ම ගිලී යමින් සිටියෙමි. 

“විරංග කොහෙද දන්නෑ නේද…අපි මුකුත් බිව්වෙවත් නෑනෙ”

කියමින් හදිසියේ ම විසල් සිය දුරකතනය ගෙන විරංගට ඇමතුමක් ගත්තේ ය. ඔහු විනාඩි කිහිපයකින් පැමිණෙන බව පැවසිණ. එතෙක් අපි අවන්හලක් වෙත ගියෙමු. මඳ වෙලාවකින් ම විරංග එහි ආවේ ය. අපි කෙටි කෑම කමින් චොක්ලට් රස කළ කිරි තේ බිව්වෙමු.

“උඹ ආයෙ කොළඹට ට්‍රාන්සර් එක හදා ගත්තනං හරි නේද…අම්මගෙ තනියට කවුරුත් නැති ප්‍රශ්නෙ තමයි නේද…”

“දැන් මාමලත් තරහයි. අම්මත් කල්පනා කරන එකමයි වැඩේ. අවුල් ජාලෙක මං ඉන්නෙ බං”

“ඒත් ඉතින් මට මෙයාව එක්කගෙන හැම දාම කැන්ඩි දුවං එන්න බෑ හරිද…අපිත් වැඩ තියන මිනිස්සුනෙ”

“මචං විරංග…”

විසල් විරංග ගේ මාතෘකාව වෙනස් කරමින් ඔහු ගේ මාර්ගයට පිවිසියේ ය. ක්ෂණික නිහැඬියාවක් අප අතරේ ඇති විය. විසල් කියන්නට යන කාරණය තරමක් බරපතල සෙයක් ඒ ස්වර කම්පනය වූ තානයෙන් ම සිතා ගත හැකි විය.

“විරංගයි කිසායි දෙන්නම ඉස්සරහ මට මේක කියන්න ඕන. කිසා…තව දුරටත් ඔයා මං ගැන බලාපොරොත්තු තියං ඉන්න එපා. මං කවුද කිසා…අඩු ගානෙ ඔයා එනකල්වත් බලං ඉන්න මට පුළුවන් වුණාද…ඒත් විරංග එහෙමද….ඌ බලං හිටිය. මටත් කතා කර කර ඔයා ගැන හෙව්ව. ඔයාට ඇත්තටම ආදරේ කරන්නෙ මූ කිසා. ඔයා විරංග එක්ක අලුත් ජීවිතයක් පටං ගන්න. මට විශ්වාසයි…මට අමුතුවෙන් කියන්න දෙයක් නෑ. විරංග ඔයාව හොඳට බලා ගනී”

ඔහු එහෙම කීවේ කෙසේ ද? මගේ ආදරය ගැන මැනවින් දැන හිඳියදීත් ඔහු එහෙම කීවේ කොහොමද? මම ඉවත බලා ගතිමි. 

“විරංග….මචං උඹට විතරයි ඒක කරන්න පුළුවන්…ටික දවසක් යනකොට කිසාගෙ හිත හැදෙයි. ඒ වෙනකල් ඉවසං බලන් ඉන්නත් පුළුවන් උඹට විතරයි. මේ කෙල්ලට කවදාවත් මං ගැන කියල රිද්දන්නනං එපා මචං. මට එච්චරයි උඹෙං ඉල්ලන්න තියෙන්නෙ”

මා මහ හඬින් පුටුව පස්සට දමමින් නැගී සිටියේත්, මට කෑ ගැසී හැඬුණේත් එකට ය. තවත් මොහොතක් හෝ එතැන නො රැඳී මම අවන්හලෙන් පිටතට දිව ගෙන ම ආවෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

නිබ්බුත ගීත -29

මේ ජීවිතයට මම අතිශය ආදරය කරමි. ජීවත් වූ මේ කෙටි කාලයට ජීවිත සිය ගණනක් ජීවත් වූවා සේ මට දැනේ. එය දුක ද...

සුහදිනි – 78

ජය ඝෝෂා නැඟෙමින් තිබුණේ පරාජය පිළි නොගන්නා රසිකයන්ගෙනි.හඹා යා යුතු ඉලක්කය දිගු දුර එකකි.එහෙත් එය නොහැකි ඉලක්කයක් ද නොවේ.අහස් තමන්ගේ ඉනිම ඇරඹුවේ...

(අ)හිමි සිහින -232

මිනිස්සුන්ට විවිධ අදහස් මති මතාන්තර තියෙන්න පුලුවන්.ඒ මිනිස්සු රූපයෙන් පමණක් නොවෙයි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මයෙන් මනුෂ්‍යත්වයෙන් ධනයෙන් බලයෙන් යසසින් ආදරයෙන්, කරුණාවෙන් වගේ  සියලු දෙයින්...

නිබ්බුත ගීත -28

මා හිටියේ යහනේ වැතිර ගෙන ය. මගේ පාලනයකින් තොර ව එක දිගට කඳුළු ගලා යමින් තිබිණ. උපන් දා සිට සැපක් කියා දෙයක්...

සුහදිනි -77

අවසන් මහා තරගයක් කියන්නේ සෑම කෙනෙකුම බලාපොරොත්තු  දල්වා බලා සිටින දවසකට ය.රාජ්‍ය නායකයාගේ පටන් සාමාන්‍ය රට වැසියන් දක්වාම තරුණයන් එකොළොස් දෙනෙකු බලාපොරොත්තුවෙ...