පෙමාතුර – 46

මෝසම් වැස්ස දුක් ගීතයක් ගයමින් සිටියේ ය. මම කාමරයේ ඒ අතටත් මේ අතටත් සක්මන් නො සන්සුන් සක්මනක යෙදෙමින් සිටියෙමි. හිමයක සිසිල ද ග්‍රීෂ්මයක දාහය ද එක වර දැනෙමින් තිබිණ. ඒ සියල්ල හදෙහි දැනවූයේ මිහිරකි. අර ජනේලයෙන් පෙනෙනා වැස්සේ තෙමෙනා ආශාවක් මට දැනිණ. මම වීදුරු දොර හැර ගෙන සඳැල්ලට ගියෙමි. හිරිකඩ හීතල තවරා ගත් තෙත්බර සුළඟක් කඩා වැදී මා වට කොට ගත්තේ ය. මුවට මඳහසක් ආවේ ඉබේ ම ය. 

සතුටෙහි වෙස් මුහුණ ට මුවහ වී සන්තාපය ද පැමිණෙන්නට පුළුවන් බව ඒ මොහොත ද මට පසක් කරන්නට වූයේ ය. අතීත කාමී සිත විසල් ව ඉදිරිපස සඳැල්ලෙහි මවා ගෙන සිටියේ ය. මම සිනහ වෙමින් හා කඳුළු උතුරමින් තිබි දෑසින් එදෙස බලා ගෙන ඉන්නට වීමි. 

කාමරය දෙසින් දුරකතනයේ හඬ ඇසුණේ යන්තම් ය. වැසි හඬ නිසා ඇතැම් විට නෑසී යන්නට තිබි එය අන්තිම මොහොතේ මගේ සවන් මත පතිත වූවා කියා සිතමි. ක්ෂණික ව හදවතෙහි ඇති වූයේ ගැස්මකි. ඒ විසල් කියා සිතන්නට මට සිතුණේ ඇයි කියා සැබවින් ම නො දනිමි. නමුත් දුරකතන තිරය මත සනිටුහන් ව තිබුණේ ‘සිදත්  අංකල්’ යනුවෙන් ඉංග්‍රීසි අකුරෙනි. මම එකතකින් පපුව අල්ලා ගන්නා ගමන් සුසුමක් අතෑරියෙමි.

“මං ඒත් හිතුව දුව මේ වෙලාවෙ වැඩකද දන්නෙත් නෑ කියල”

තාත්තා කතා කළා බඳු උණුහුම් වීමක් හදට දැනිණ. තාත්තා හැරෙන්නට ඒ මා වෙනත් වැඩිහිටි පිරිමියෙකුගෙන් තාත්තා සෙව් විරල අවස්ථාවකි. සමහර විට තාත්තා නැති වීම ගැන, මේ වෙලාවේ තාත්තා ගේ හෙවනැල්ල නැති වීම ගැන මා නො දැන සිටි අඩුවක් මගේ යටි හිතෙහි තියෙන්නට ඇත. සිදත් අංකල් දුව කියා කතා කරත්දී උණුහුමක් ව දැනුණේ යටි හිතේ වූ ඒ හිස් තැන වන්නට ඇත.

“වැස්සෙ සද්දෙට ෆෝන් එක රිං වෙනව ඇහුණෙ නෑ අංකල්”

“කොහොමද දුව ඉතින්…ඔයා හොඳින් නේද..ම්..”

මම වැස්සට සිනා සුණෙමි. සැබවින් මා හොඳින් ද කියා හෝ මා දන්නේ නැත.

“අම්ම මට කිව්ව මේ දවස් වල සිද්ද වෙන දේවල් ගැන. ඒකමයි මං දුවට කතා කරන්න හිතුවෙ. දුව දන්නවනෙ…හරි වෙලාවෙ හරි තීරණ නොගත්ත නිසා ජීවිතේම පසුතැවීමෙන් ජීවත් වෙන මිනිස්සු ඕන තරං. මමත් ඇතුළුව. ඒක වෙලාවකට හිතට හරි බරක් දරුවො. ඒ වගේම අඩුවක්”

විසල් ගැන අම්මා ඔහු සමගින් පවසන්නට ඇත. මගේ මානසික තත්වය වියවුල් යයි ඔවුන් සිතන්නට ඇත.

“දුවට හොඳ අම්ම කෙනෙක් ඉන්නව. තාත්ත නැති වුණත් ඕනම දෙයක් මාත් එක්ක කතා කරන්න දුවට පුළුවන්. අත්ඇරීම නිවනක් කියල කිව්වට අපි තාම නිවනට හුඟක් දුර මිනිස්සු දරුවො”

හිත රිදෙන්නට හේතුවක් මා දැන සිටියේ නැත. 

“ඔයාගෙ හිතට ගැටළුවක් වෙන ඕනම දෙයක් අපි එක්ක කතා කරන්න. අපි දරුවො වෙනුවෙන් අපේ පුහු මත බිඳල දාන්න බැරි තරං දරදඬු මිනිස්සු නෙවෙයි”

“අනේ අංකල්…”

“ලෝකෙ වැඩියෙන්ම ලස්සන ආදර කතා බිහි වෙලා තියෙන්නෙ අහිමි වීම් මත. අපි එහෙම කියන්නෙ ඒ කතා එතනිං කෙලවර වුණ නිසයි දුව. ආදරේ කාලෙත් එක්ක යම් යම් වෙනස්කම් වෙන්න පුළුවන් තමයි. ඒත් ආදරේ හැමදාම අපේ ළඟ තියෙනවනං ඒක කොච්චර සැනසිල්ලක් වෙන්න පුළුවන් ද කියල දන්නෙ ආදරේ අහිමි කර ගත්ත මිනිස්සු”

“අංකල්…ඇයි දැන් මේව කියන්නෙ…”

මා ඇසුවේ ඉතා හෙමිහිට පැකිළීමෙනි. ඔහු පිළිතුරක් දෙනු වෙනුවට සිනහවක් පෑවේ ය. 

“මං කැමතියි ඔයාගෙ ජීවිතේ ඔයා කවදාවත් පසුතැවීමක් නැතුව ජීවත් වෙනවනං. ආදරේ කරන අය එක්ක ජීවත් වෙන එක කොයි තරං පහසුද කියල දැනෙන්නෙ ආදරේ නැති තැනක අපහසුව විඳින අය විතරයි පුතේ”

ඒ පිරිමි හඬ තුළ සඟවා ගත් කඳුළු තිබූ බව මට දැනිණ. මේ මහා සමාජය නො පිළිගත්තා ට පිරිමින්ටත් කඳුළු තිබේ!

මා තුළ යම් පසුබෑමක් තියෙන්නට ඇත. එය මට ම සොයා ගත නො හැකි ලෙස, සොයා ගත නො හැකි තැනෙක හැංගී තියෙන්නට ඇත. විසල් ව හමු වන්නට යමු යයි විරංග කළ යෝජනාව නෑසුණා සේ සිටියේ මට මාවත් සොයා ගත නො හැකි තත්වයක් තිබු නිසා යයි දැනෙන්නේ දැන් ය. අඩු තරමින් ඔහු ට එක දුරකතන ඇමතුමක් දීමේ දැවැන්ත ඕනෑ කමක් මට තිබිණි. දුරකතනය අතට ගන්නට ගොස් කිහිප වර මම ඉන් වැළකී සිටියෙමි. දුරකතනය අංකනය කොට යළි අංක මකා දැමූ වාර ගණන කිව නො හැකි තරම ය. ‘ඔයාට කොහොමද විසල්…හොඳින් ඉන්නවා නේද’ යනුවෙන් ලියූ පණිවිඩ ද සිය ගණනක් මකා දමන්නට ඇත..අවසන මම ‘අන්සෙන්ට් ලව් ලෙටර්ස්’ ෆොල්ඩරයෙහි බහා ලනු වස් මේ ලිපිය ලීවෙමි.

අනේ විසල්. මේ වෙලාවෙ මට ඕනෙ ලියුම් ලිය ලියා ඉන්න නෙවෙයි. ඔයාව තදින් මට තුරුලු කර ගෙන කතා නොකර ඉන්න.

මෙහෙම දෙයක් වෙන්න කියල මං හීනෙකින්වත් පැතුවෙ නෑ කියල ඔයා නො දන්නව වෙන්න බෑ. මේක සතුටක් වගේ ම මහා වේදනාවක්. ඒක කියන්න මන් දන්න වචන මදි. සමහර දේවල් එහෙමයි. දැනෙනවා මිස පහදන්න බෑ. මාව තදින් වැළඳ ගත්තොත් ඔයාට දැනෙයි ඒ හැඟීම.

මට ආදරේ කළාට නෙවෙයි ආදරේ ගැන මේ තරං විශ්වාසයක් මගෙ පපුවෙ පැළ කළාට ස්තූතියි. මාව දරා ගත්තට නෙවෙයි මෙහෙම ආදරයක් දරා ගන්න මට අවස්ථාවක් දුන්නට ස්තූතියි. 

මන් දන්නව කවදාවත් මේව ඔයාගෙ මූණ බලාගෙන කියන්න මට බැරි වෙනව. ඊටත් වඩා අමතක වෙනව. 

ඔයා දැන් කනවද බොනවද නිදියනවද සැනසිල්ලෙ ඉන්නවද කියල මට හිතෙනව. අනිත් දේවල් පුරුද්දට කෙරුණත් සැනසිල්ලෙ ඉන්නෙ නං නැතුවැති. ඔයා කොහොම මොනව කරන්න යනවද කියල මට හිතා ගන්න බෑ. අඩු තරමින් ඔයාගෙන් එක කෝල් එකක් හරි එනකල් මං බලං ඉන්නවා.

ඔයා ඉන්න කීවොත් මං මෙහෙම ඉන්නව විසල්. කල්පයක් හරි. ඔයා එන්න කීවොත් මට ඒකට තත්පරයක් ඇති වෙයි.

මා බලා සිටියා ට ඔහු එසේ එන්න යයි කීවේ නැත. එන්න කියනවා තබා ඉන්නා බවක් හෝ හැඟවූයේ නැත. එය සැබවින් අතුරුදන් වීමකි. එය හරියට මගේ අතුරුදන් වීමේ ම අනිත් එක ය. අතීතය යළි යළිත් සිදු වේ!

විසල් ඉන්නා බවක් මට දැනිණ. නමුත් ඔහු කතා කළේ නැත. ඔහු හුස්ම ගන්නා හඬ පවා මගේ පපුව පත්ලෙන් ඇසිණ. නමුත් ඔහු ඉන්නා බවකට සලකුණක් හෝ වූයේ නැත. අප අතර අවකාශය මුළුමනින් ඔහු ගෙන් පිරී පැවතිණ. ඔහු ගේ හඬින් පිරී තිබිණි. ඔහු ගේ හුස්මෙන් උණුහුම් ව තිබිණි. 

ඔහු වෙනුවෙන් මම සිටියෙමි. නමුත් මට ඔහු සිටියේ නැත! මා නැකි ව ගිය අවස්ථාවේ විසල් ට දැනුණ හිස් කමේ හැඟීම අංශුවක් ගානේ මම උගනිමින් සිටියෙමි. ස්වභාව ධර්මය එහෙම ය. අප ට පාඩම් කියා දේ. ආගමානුකූල ව එය කර්මය කියා හඳුන්වමු. 

“මට එයා බලන්න යන්න ඕනෙ”

අවසන මම විරංග ට කීවෙමි. ඔහු වචනයක් හෝ අපතේ නො යවා, දවසේ ඔහු ට කරන්නට ඇති වැඩ කොටස ගැන කන්කෙඳිරි නොගා එහෙම ම රථය නුවර තෙක් ධාවනය කළේ ය.

අප ගියේ විසල් සේවය කළ රක්ෂණ සමාගමේ මහනුවර ශාකාව වෙත ය. පිළිගැනීමේ නිලධාරිනිය, අමුත්තන් පැමිණ ඇති බව දුරකතනය ඔස්සේ දැනුම් දෙන තුරු, අප පැමිණෙන බව අපි නො කීවෙමු. කීවා නම් විසල් මග හැර යා හැකි බව ට අදහසක් අපේ යටි හිත් වල තියෙන්නට ඇත. 

ඉතා කුඩා පිළිගැනීමේ අංශය වෙත ඔහු ආවේ මගේ හුස්ම මොහොතකට නතර කරවා ය. සුදු පැහැති අත් දිග කමිසයට වෙනදා වගේ පිළිවෙලට අළු පාට කලිසමක් හැඳ සිටියත් ඔහු ගේ මුහුණෙහි වෙනදා වූ පිළිවෙල වූයේ නැත. අපිළිවෙලට රැවුල් කොට වැවී මුහුණට වියවුල් සහගත බවක් ගෙනවිත් තිබිණි. ඇස් වල මඳ රත් පැහැය ඔහු ගේ පෙනුම දුක්බර කරවී ය. මා දුටු ඔහු ගේ මුහුණට පෙර පුරුදු සිනහව ආවේ නැත. ඒ බැල්ම තද එකකි. තොල් කොනක් හෝ හෙළවුණේ නැත. කම්මුල් වල පේෂින් ගල් වී ඇත ය කියා මට සිතිණ.

“කොහොමද මචං”

කියා ඔහු කීවේ විරංග ට ය. මම ඒ දුක් ඇස් දෙකට මත්තෙන් ඓතිහාසික මහනුවර නගරයේ තේජස්වී බව දුටිමි. 

විසල් අප අභියස අසුන් ගත වූයේ ය. මම නෙතු පිය නො සලා ඔහු දෙස බැලුවෙමි. ඔහු මගෙන් සිය බැල්ම මුදා ගෙන සිටියේ ය. වැරදීමකින් හෝ අපේ ඇස් හමු නො වෙන සේ හැසිරුණේ ය. ඔහු ළඟ පුරුදු ඔහු සුවද මගේ පපුව කීරි ගැස්වී ය. මම දෑසින් ඔහු ව මගේ ආත්මයට ම උරා ගන්නට වීමි.

“ඉතින්…කොහෙ යන ගමන්ද විරංග මේ…”

මගේ පපුව හිර වූයේ ය. විසල් ගේ මුවග වූ මන්දස්මිතය දුකෙන් උපන් එකකි. 

“වෙන කොහෙද බං…උඹව බලන්නම තමයි ආවෙ”

විරංග මදෙසත් විසල් දෙසත් මාරුවෙන් මාරුවට බලමින් දෙඩුවේ අපහසුවකින් යයි සිතමි. දෙදෙනෙකු අතරේ පාලම් තනන්නට යන අයට මේ අපහසුවට මුහුණ දෙන්නට සිදු වනු ඇත.

“විසල් ට පොඩි වෙලාවකට ඔෆිස් එකෙන් රිලීස් වෙන්න පුළුවන් නං…අපි ටිකක් එළියට ගිහිං කතා කරමු”

අසුනෙහි මඳක් ඉදිරියට බර ව, දෙවැලමිට දෙදණහිස් මත්තෙහි තබා ගෙන සිටි විසල් සිය උවන බිමට ම හරවා ගෙන තත්පර කිහිපයක නිහඬ කල්පනාවකට වැටුණේ ය. ඊළඟට ක්ෂණික ව හිස එසවූ ඔහු විරංග දෙස බලා,

“පොඩ්ඩක් හිටපං”

කියා ඇතුළට ගියේ ය. මා එතෙක් අල්ලා ගෙන හුස්ම පිටතට දැම්මේ එවිටයි. විරංග නිවී සැනසිල්ලේ මදෙස බැලුවේ ය. මම කිසිදු අකුරක් නො ලියවුණ හිස් කඩදාසියක් තරම් හිස් ව ඔහු දෙස බලා සිටියෙමි. 

මඳ වෙලාවකින් ඔහු යළි ආවේ ය. මම රියෙහි පසු අසුනට ගියෙමි. විසල් ඉදිරි අසුනට ගොඩ වූයේ ය.

ඒ තරම් සංඛ්‍යාතයකින් මගේ හද ගැස්ම ඉන් පෙර තීව්‍ර වී ඇතැයි නො සිතමි. මේ විදිහට ආගන්තුකයන් වෙන්නට හදන තරමට අප අප වෙත දැඩිව බැඳී ඇතැයි දැනුණේ ය. 

වැව රවුම පේන මානයේ වූයේ ය. නමුත් එක ම තැනක රිය වට කිහිපයක් කැරකුණා සේ මට දැනිණ. නුවර වීදි කොහොමත් මට දැනෙන්නේ එහෙම ය. 

“මට යාළුවෙක්ව මීට් වෙන්නත් තියනව. මං කියන්නද…ඔය දෙන්නා කතා කරනකල් මං ටක් ගාල ඒ වැඩේ කරං එන්නද…”

වැව රවුමේ රිය වේගය බාල කරමින් විරංග අප දෙස බැලුවේ ය. මම වහා රියෙන් බැස ගතිමි. 

“බැහැපං”

විරංග විසල් ට එසේ කියනවා ඇසුණා නොව මට ඒ හැඩය අනුමාන කළ හැකි විය. විසල් රියෙන් බැස්සේ දෙගිඩියාවෙන් කියා සිතමි. මම රොබරෝසියා ගස් හෙවනෙන් වලාකුළු බැම්මට ලං වීමි. එදා විසල් ගේ ගෙදර යන ගමන් අප වැව රවුමේ ඇවිද්ද හැටි මට සිහි විය.

“මොකද්ද මේකෙ තේරුම…මොකටද මාව මීට් වෙන්න ආවෙ…”

ඔහු දැඩි ව ඇසුවේ ය. මම සන්සුන් ව ඒ මුහුණ බැලුවෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...

හිමගිරි අරණ -19

"එකට වැඩ කරන නිසා අයියේ අක්කේ නංගි මල්ලි කියා ගත්තෙ නැතුවට මම අක්කා තමයි." හිමාෂා කියන්නේ හිනැහෙමිනි.කාර්යාලයේ හිඳින වයසින්...

(අ)හිමි සිහින -123

මම මගේ ක්ෂේත්‍රයේ මට හැකි උපරිමයෙන් ඉදිරියට එන්නට වෙනකොට කටයුතු කරමින් සිටියා.හැබෑවටම මම ඒ වෙනකොට රටේ බොහෝ පිරිසක් දන්නා චරිතයක් බවට පත්වෙමින්...

ශරදාකාසේ -33

පංචලී පුතෙකු බිහි කළා ය. පෞද්ගලික රෝහලක සුව පහසු ලෙස ඒ අත්දැකීම විඳ ගන්නට ශාරද ඇය ට අවස්ථාව උදා කර දී තිබුණේ...