ඈත දුර ආකාසේ – 17

“මගෙ අහිංසකය ඉස්පිරිතාලෙ දුක් විඳිනව.මෙතන මුං පාටි දානව..”

ආදිත්‍යගේ අම්මා නිවසට ගොඩ වූයේ කෝපයෙන් වියරු වැටී ය.රශ්මිත් රොෂේනුත් ඈ කෙතරම් කෝප ගන්වා තිබුණේදැයි කිවහොත් ඇයට අවශ්‍ය වූයේ විශාල රණ්ඩුවක් ඇති කර ගන්නට ය.

“මියුරු..ගේ ඇතුළෙන් ඉන්න..”

රනුක වහා මියුරුව ඇතුළු කාමරයකට ගත්තේ ය.කෑගසමින් වියරුවෙන් හැසිරෙන ගැහැනියට හොඳ දෙකක් කියන්නට ආ ආවේගය සඟවා ගත් මියුරු නිහඬව සිටින්නට සිතුවේ තුරුලි වෙනුවෙනි.

“ආන්ටි, ඇයි කෑගහන්නෙ.තුරුලි ආදිත්‍ය එක්ක සම්බන්දෙ ඉවර කරලත් ටික කාලයක්නෙ.දැන් එයා හොස්පිටල් ඉන්නේවා,එයාට වෙන කරදර අපේ ගෙදරට ඇත්තටම වැඩක් නෑ..”

ඉනික්බිති රනුක සාලයට ආවේ එසේ කියාගෙන ය.ආදිත්‍යගේ අම්මා ඔහුට හෙළුවේ පිළිකුල් බැල්මකි.අනාරාධිතව පුටුවකට ඇද වැටුණු ඈ ඊළඟ බැනුම් වර්ෂාව රනුකගේ හිස මත හෙළන්නට තීරණයක් ගත්තා ය.

“තමුසෙ නම් මෙහෙ බින්න බැහැගෙන නේද ඉන්නෙ? මගෙ කොල්ලටත් ඔහොම ලැජ්ජ නැති ගති තිබ්බනං මේ අම්මන්ඩිල උඩින්ම කැමති වෙයි.සිරිත් විරිත් දන්න හින්ද ඒ අහිංසකය මේ ගේට්ටුවෙන් මෙපිටට එන්න නැතුව ඇති..”

සඳලිට ඉවසීමේ සීමා බිඳී ගිය මුත් ඇයට පෙර වචන ගලා ආවේ අම්මාට ය.බොහෝ කාලයකට පෙර සිට තමන් දකිද්දී හොරෙකු මෙන් සැඟව යන ආදිත්‍යගේ සහ ඇයව මුණ ගැහෙන්නට පැමිණි රනුකගේ අතර තිබුණේ අහසට පොළොව බඳු වෙනස්කමකි.සඳලිගේ මිතුරු පිරිස අතර සිටි එක් තරුණයෙකු සඳලිට වඩාත් සමීප බව ඇය සැක කරන්නට ගෙන දින කිහිපයක් ගෙවෙද්දී සඳලි නැති සවසක ඔහු එළිපත්ත මත පෙනී සිටි දවස ඇයට අද මෙන් මතක ය.

“අම්මා,තාත්තත් ලංකාවෙ නැතුවනෙ අම්මා සඳලියි තුරුලියි බලා ගන්නෙ.මං ආවේ අම්මා එක්ක ටිකක් කතා කරන්න..”

ඈත ගමකින් සරසවියට ආ තමන්ගේ මඟ ගැන ඔහු පැහැදිලි විස්තරයක් පැවසූ හැටි ද ඉන් දින කිහිපයකට පසු සඳලිලාගේ තාත්තාට ඇමතුමක් දුන් හැටි ද ඇය සිහි කරන්නේ ආදරයෙනි.ගෙදර කෙනෙකු වන්නට ඔහුට වැඩි දවසක් ගියේ නැත.අසීරු අවස්ථාවකදී නෑදෑයෙකු ගෙන්වා ගත හැකිදැයි අසන්නට පුරුදු ව සිටි තාත්තා ද “පුතාට මං කිව්ව.එයා බලයි.” කියන්නට පටන් ගත්තේ ය.රනුක එවැන්නෙකි.නමුත් ආදිත්‍ය තවමත් තුරුලි සමඟ ප්‍රේමයක් ඇති බවවත් පැහැදිලි ව පවසා නැත්තෙකි.

“මේ පොඩි ළමයි නෙවේනෙ මිසිස් අලහකෝන්.රනුක මගෙ චූටි දුව මැරි කරන්න ඉන්න ළමයා.තාත්තගෙයි මගෙයි කැමැත්ත ඇතුව එයා දුවව ආස්සරේ කරන්නෙ.ගෙදර දේවල්වලට ඒ ළමයා සම්බන්ධ වෙන එකනම් අප්පිරිය කරන්නයි අපහාස කරන්නයි දෙයක් නෙවෙයි.ඒ දරුවගෙ අම්මා අවංකව ජීවත් වෙන්න කියල දීලා තියන නිසා පුතා දන්නව බොහොම පැහැදිලි මනුස්සයෙක් වගේ හැසිරෙන්න.ගෑනු ළමයෙක් යාළු කරන් අවුරුදු හය හතක් ගෙවෙනකං ආදිත්‍ය මේ පැත්තටවත් ආවේ නෑනෙ.ගෙදරට ආපු දවස් තිබ්බ.ඒත් ලොකු දුව එක්ක සම්බන්දයක් තියනව කියල මං එක්ක කතා කරල නෑනෙ.පිළි ගන්න බැරි අන්න ඒ වගේ හැසිරීම්.රනුකයි ආදිත්‍යයි වෙනස් ඒකයි..”

තමන්ට පසුබසින්නට කාලය පැමිණ ඇති බව ආදිත්‍යගේ අම්මා සිතුවා ය.ඇය මඳක් කල්පනා කරමින් හිඳ නැගී සිටියේ එනිසා ය.

“ඒ ළමයින්ට කසාද බඳින්න වයසක් යැ. කොල්ලො කෙල්ලො සම්බන්ධකං හදා ගත්තට ගෙවල් අස්සට ගිහිං මඟුල් කතා කරන්නයි, ගේඅස්සට දාගන්නයි තරං මං ගොඩේ ගෑනියක් නෙවෙ..”

සිනාවක් නැගෙන්නට එද්දී මේ නොගැලපෙන කතා පවසන ගැහැනියට දෙකක් කියන්නට උවමනාවක් සඳලිට හට ගත්තා ය.

“එහෙනම් ආන්ටි ඇයි මේ ඇවිල්ලා කෑගහන්නෙ.ආන්ටිත් ඔය කරන්නෙ ගෙවල් ගාණෙ ගිහිං මඟුල් කතා කිරිල්ලක් තමයි..”

“මගෙ දරුවට හොඳටම අමාරුයි.එයාව ඒ තත්වෙට ඇදල දැම්ම එක හරියි කියලද කියන්නෙ?”

සියල්ල පසෙකට වී අසා සිටි තුරුලි ආදිත්‍යගේ මව වෙතට ආවා ය.නිවසට පැමිණ විවාහ යෝජනාවක් ගෙන ආ මියුරුගේ අම්මාව ඇය තවම දැක නැත.ආදිත්‍ය සමඟ ප්‍රේමයක් ඇතිදැයි අසමින් මහ පාරට ඇය බලන්නට ආ ගැහැනිය තෑගිබෝග ද සමඟ වරින් වර ඈ බලන්නට ආවේ ද තුරුලි යන එන මඟට ය.සරසවි යාම වැදගත් ගැහැනු ළමයෙකුට නොගැලපෙන බව ද කිසිම විලාසිතාවක් නොකරන කෙල්ලන්ට සමාජයේ ඇති තැන ද පිරිමින්ව ඉවසා දරා ගත යුතු අන්දම ද ගැන සියළු දේශන ඇය ලබා දුන්නේ ද මහ පාරේදී ම ය.කාලයත් සමඟ පුතුගේ හිත රිදවන අමන කෙල්ලෙකුට හොඳ දෙකක් කියන්නටයැයි කියමින් ඈ බැංකුවට කඩා වැදුණු දවස් තුරුලි සිහි කළා ය. මාස කිහිපයකට වරක් කුඩා මෝටර් රථයක් පිරෙන්නට ගමේ බෝගයන් රැගෙන රසවත් කැවිලි පාර්සලයක් ද සමඟ නෑගම් එන රනුකගේ අම්මාටත් තාත්තාටත් තමන් ඉරිසියා කරන එකම හේතුව දැන් තුරුලිට පැහැදිලි ය.

ඒ මේ ගැහැනිය නිසා ය.

පුතෙකුට රජ ඔටුනු පළඳවන්නට යන බොහෝ අම්මලාට ඔවුන් මිනිසුන් කරන්නට අමතකව යයි.දාසියක සේ බැලමෙහෙවර කරමින් හැම දෙයක්ම දරා ගන්නට වෙනත් නිවසක මලක් මෙන් හැදුණු දියණියකට බල කරන ඔවුන්‍ට තමන් උස්මහත් කර ඇත්තේ සමාජ පිළිලයක් බව අමතකව යයි.මේ ද එවැන්නියකි.නමුත් ඇයට ඇගේ තැන සිහි කර දිය යුතු බව තුරුලිට සිතිණ.

“ආන්ටි, එයා ඔහොම වෙලා ඉන්නෙ මම,රශ්මි මේ කිසිකෙනෙක් නිසා නෙවේ..ඔයා නිසයි..”

කෝපයට පත් කාන්තාව ගිනි පුපුරු විසිවෙන නෙත්වලින් බලා සිටියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles