සෙනෙහස් අවාරේ 22

කල්පනා උන්නේ කුතුහලයක් හිතේ තියාගෙනය. සිසිමාධවී හිස් තේ කෝප්පයකුත්, බන්දේසියත් අතේ තියාගෙන කාමරයෙන් එළියට අයුරුත්, කම්මුල් දිගේ බේරුණ කඳුලකුත් පිහිදාගන්නවා දුටු කල්පනා සිතුවේ සිතන්නට හැකි නරකම දේය.  එහෙත් ඇය ඒ විත්තියක් අම්මා එක්කවත් කියන්න කට ඉස්සර කරගත්තේ නැත. සිසිමාධවීට සුමධුරගේ කාර්‍යාල කාමරයට ගොස් එළියට එද්දී කඳුලක් පිහිදන්න හේතුවන කාරණාව කුමක්ද කියා කල්පනා දහඅතේ කල්පනා කරාය.

සුමධුර උන්නේ කාර්‍යාල කාමරයේ දොර වහගෙනය. හොර අල්ලන්න මෙන් තට්ටුත් නොකර, සද්දයක් නොඇසෙන පරිද්දෙන් කල්පනා දොර හැර බලද්දීත් සුමධුර උන්නේ මේසය මත එලාගෙන උන් ඩ්‍රාෆ්ටින් පේපර් එකක් උඩ යමක් සටහන් කරමින් ය. කල්පනා සුමධුරගේ කාර්‍යාල කාමරය පුරා විමර්ශනශීලී බැල්මක් යැව්වේ සිසිමාධවීගේ කඳුලක් අස්සේ හැංගී තිබූ සුමධුර විසින් කිසිදා කියනු ඇතැයි හිතන්නට බැරි කාරණාව දැනගන්නට මෙනි.

“ඇයි?”සුමධුර ඇසුවේ කල්පනාගේ ඒ බැල්මේ රැඳවී තිබුණ කුකුස ගැන පැහැදිලි අදහසක් හිතාගන්නට බැරුවය.

“නෑ නිකන්” කියා කල්පනා කිව්වේ යම්කිසි හොරයක් හිතේ තියාගෙනම බව හිතුණ හන්දා “නිකන්? හොරෙක් අල්ලන්න වගේ වටපිට බලන්නෙ ඇයි නිකන්?” කියා සුමධුර ඇසුවේය.

“අල්ලන්න මොකක් හරි හොරෙක් ඉන්නවද මේකෙ?” කියා අසමින් කල්පනා දොර වහන්නේ නැතුවම කාමරයෙන් පිටව ගියේ සුමධුරට හිතන්නට කුතුහලය පිරුණ කාරණා රැසක් ඉතුරුකරමිනි.

කල්පනා හීන්සිරුවේ උඩුමහලට නැග්ගේ තමන්ගේ හිතේ ඇවිලුණ ගින්නෙන් බිඳක් අම්මාගෙ හිතෙත් අවුලවනවද කියා සිතමිනි. කල්පනා ඒ සිතුවිල්ලේ උඩුමහලට එද්දී අයිරාංගනී උන්නේ නිස්කාන්සුවේ සැඳෑ හිරු එළිය විඳිමින් කාමරයේ සඳලුතලයට වීය.

“අම්මා මෙතන නේද?” කල්පනා අයිරාංගනීව ඇමතුවේ සුමධුරගේ කාමරයෙන් එද්දීත් මුවේ අලවාගෙන ආ කුඩුකේඩු සිනහව එක්කමය. කල්පනා තමාව ඇමතූ හඬට හිස හරවා බැලු අයිරාංගනීත් ඒ සිනහව නොදුටුවා නොවේ.

“වෙන ඉතින් කොහෙ කියල ඉන්නවද? උඩ තට්ටුව තමයිනෙ මගෙ හිර ගේ” කියා අයිරාංගනී හිනාඋනේ ඒ කුඩුකේඩු හිනාව පිටුපස්සෙ කල්පනා කුමනාකාරයේ ගින්නක් ලෑස්ති කරගෙන ඉන්නවාද කියා හිතාගන්න බැරුවය.

“අම්මා උඩ තට්ටුවට වෙලා ඉද්දි මල්ලි පල්ලෙහට වෙලා ඉන්නව. උඩ වෙන්නෙ මොනවද කියල පහල අය දන්නෙ නෑ. පහල මොනව වෙනවද කියල උඩ අය දන්නෙ නෑ”

“උඩ පහල ඉතින් මොනව වෙන්නද කල්පනා”

“නෑ ඉතින් දැන් මොනව උනත් මේ ගෙදර කෙල්ලෙක් ඉන්නවනෙ” ඇද පැද කල්පනා කියද්දි ඇය අයිතිවෙන්නේ තමන් ජීවත්වන උසස් සමාජයටද කියා අයිරාංගනී නැවත හිතුවාය. තමන්ගේම දරුවා උනත් ඇත්ත ඇත්තමය. කල්පනා කොච්චර හැසිරීමෙන්, ඇඳුමෙන් පැළඳුමෙන් උසස් වූවද ඇගේ ඇතැම් ගතිගුන ද පුරුදුද පෙන්වන්නේ ග්‍රාමීය ලක්ෂණ බව අයිරාංගනීට නොරහසකි.

“කෙල්ලෙක්?” අයිරාංගනී හිස හරවා දෙනෙත ඔරවා කල්පනා දෙස බැලුවේ ඇත්තටම ඇය කියන්නට තනන්නේ ල්කුමනාකාරයේ කුණු රසයක් ගෑවුණ දෙයක්ද කියා හිතාගන්නට බැරිවුණ හන්දාය.

“මං කිව්වෙ අර සිසී පල්ලෙහට වෙලා ඉන්නවා, අයියත් කවදාවත් නැතුව කලින් ගෙදර එනවා, හොඳ නෑනෙ මං මේ අම්මට කියන්නෙ රෝද පුටුවෙ උන්නට කමක් නෑ පොඩ්ඩක් ඇහැයි කණයි දාගෙන ඉන්න කියල. අපි දන්නෙ නෑ කොයිවෙලා කාගෙ කාගෙ කොහෙ කොහේ ගිනි ගනීවිද කියල” කල්පනා එසේ කියා අයිරාංගනී දෙස බලද්දීත් ඇය උන්නේ සමච්චල් සහගත හඬින් හිනාවෙමිනි. ඒ වූ කලීහීන් හිනාවක වුවද් එහි සම්පූර්ණයෙන්ම ගැබ් වී තිබුණේ තමන් කෙරේ එල්ල වූ සමච්චලයක් බව කල්පනා තේරුම්ගත්තාය.

“අම්මා ඉතින් දැන් හිනාවෙයි. ඔව්ව පත්තුවෙච්ච කාලෙක අම්මට ඔය හිනාවෙන කටින්ම තමා අඬන්න වෙන්නෙ”

“මං හිතන්නෙ ඔක්කොටම වඩා පත්තුවෙලා ඉන්නෙ කල්පනා” අයිරාංගනී එසේ කියමින් ආයෙම වරක් අර හීන් හිනාව නැගුවාය.

“තමන් හිත ඇතුලෙ අවුලුවගන්න ගින්දරවලට සමහර වෙලාවට කිසි හේතුවක් නෑ කල්පනා.ඒ ගින්දර නිකන් ඔහේ හුලඟට හෙලවි හෙලවි පත්තු වෙවී තියෙනව විතරයි.තමන්ව තමයි ඕකෙන් පිච්චෙන්නෙ. දැන් කල්පනාට වෙලා තියෙන්නෙත් ඒකෙ.නිකන් කිසි හේතුවක් පදනමක් නැති ගින්නක් හිතේ අවුලුවාගෙන නිකන් මාවත් පුච්චන්න හදනවා”

“මං එහෙම මේ පත්තුකරන්න හදපු ගින්නක් නෑ. මම කිව්වෙ මෙහෙම දේවලුත් මේ ලෝකෙ වෙන්න පුලුවන් කියල”

“එහෙම දෙයක් වෙන්න ඉතින් විදියක් නෑනෙ කල්පනා. බොරු මනස්ගාත නොහිත ඉන්න. ඒ ළමය ඇත්තටම උඹලට වඩා හොඳයි කියල මට හිතිච්ච වාර අනන්තයි. මේ තමන්ගෙ මනුස්සය ලෙඩ ගානෙ මැරෙන්න ඉද්දි, දරුවො දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක් වෙච්ච ගෑණියෙක්, කෙල්ලෙකුත් නෙවෙයි ගෑණියෙක් තමන්ගෙ දරු පවුලට කන්න බොන්න දෙන්න බැලමෙහෙවර කරද්දි කතා හදල නිකන් පව් පුරෝගන්න එපා. අනික කල්පනා මල්ලි ගැන නොදන්නව නෙවෙයිනෙ. හරි වයසෙදි කසාද බැන්දනම් සුමධුරටත් කල්පනාගෙ දරුවො දෙන්නගෙ වයසෙ දරුවො ඉන්නෝන. මේ ගෑණියෙක් ගේන එක ගැන කියද්දිත් අරහං මනුස්සය ගැන නොදන්නව වගේ කතාකරන්න එපා”

“ඔය අරහං වගේ ඉන්න මිනිස්සු තමයි නොහිතපු වෙලාවල්වල නොහිතන දේවල් කරගන්නෙ”

“එහෙම හරි කරගෙන සුමධුර එකලාසයක් වෙනවනම් බැරිය” අයිරාංගනීගේ ඒ වදන් කල්පනාව තිගස්සන්ටත් කෝපගන්වන්නටත් හේතු වූවකි.

“අම්මා හරි පුදුම කතාවක්නෙ කියන්නෙ. අයියා අපිට නොගැලපෙන තැනකින් කසාදයක් කරගත්තත් කමක් නෑ කියලද අම්මා කියන්නෙ?”

කල්පනා ඇසූ දෙයට උත්තරදෙන්නට අයිරාංගනී හදිස්සි වුණේ නැත. මේවා එහෙම හදිස්සි වී උත්තර හොයන්නට හෝ දෙන්නට හැකි කාරණා නොවේ. කල්පනා විසින් නැගුවේ ඉතාම සරල ප්‍රශ්නයකැයි කෙනෙක්ට හිතන්නට හැකි නමුත් ඒ සරල ප්‍රශ්න ඇහුලේ තිබෙන්නේ ජීවිත කාලයක් පුරාවට දෙදෙනෙකුගේත් තවත් බොහෝ අයගේත් සතුටට, දුකට, කඳුලට, සිනහවට හේතුවන ජීවන දර්ශනයක් බව අයිරාංගනී ජීවත්වීමෙන්ම ඉගෙන ගෙන උන්නාය.

“නොගැලපෙන ගැලපෙන තැන් තීරණය කරන්න ඕන සුමධුර මිසක්කා කල්පනාවත් මමවත් නෙවෙයි. අපිට විතරක් නෙවෙයි කල්පනා මේ ගෙදරට එන ගෑණි ගැලපෙන්න ඕන සුමධුරටත් ගැලපෙන්න ඕන”

“එහෙම කියල අපිට පෑහෙන්න බැරි තැනකින් අයියා කටයුත්තක් කරගත්ත දවසට තමා අම්මට තේරෙන්නෙ”

“අනේ මට තව මොනව තේරෙන්නද ළමයො? මේ අවුරුදු හැත්ත ගාණට තේරිච්ච දේවල් මදෑ. තව මොනව තේරෙන්නද? දැන් ඔය සුමධුර ඔහොම කිසි දෙයක් ගැන ආසාවක් නැතිවෙන්නත් හේතු වුණේ ඔහොම අපිට හොඳටම පෑහෙන තැනකින් කටයුත්තක් කරගන්නගිහින් නෙ.ඉතින් එහෙම බලද්දි අපිට ගැලපෙන තැනකින් කරගන්න කසාදෙකින් උනත් සුමධුර හොයන සැනසීමයි නිස්කාංසුවයි ලැබෙවි කියල කියන්නෙ කොහොමද?”

 අම්මා කියන දේ ඇත්ත වුවහොත් තමන් මේ නිවසත් දේපල සහ ව්‍යාපාර ගැන හිතා ඉන්නා සිහින සියල්ල බොඳ වන බව කල්පනාට පැහැදිළිය.

කල්පනා ගෙදර ගියේත් ඒ බයත් කල්පනාවත් හිතේ තියාගෙනමය. මේ දේපල, ඉඩකඩම්, වත්කම් කිසිවක් වෙන ගැහැණියකට සුමධුර හා කෙරෙන යම් බන්ධනයක් ඔස්සේ ලැබේද එය තමාට ජීවිත කාලයක් පුරා හිතෙන් පිච්චෙමින් ඉනට හේතුවක් වන බව කල්පනා දනී.

“මං මේ වයසක ගෑණියෙක් ගන්නෙ නැතුව තරුණ එකෙක්ව අම්මා බලාගන්න ගත්ත එකයි වරද” කියා කල්පනා රෑ නින්දට යන්නට පෙරත් මුමුණද්දී සද්ද නැතුව ඉන්න පුලුවන්කමක් රහල්ට තිබුනේ නැත.

“හරි පිස්සුවක්නෙ කල්පනා මේක. දැන්වත් ඔය සුමධුරට හම්බෙච්ච දේපල ඉඩකඩම් ගැන තියෙන තණ්හාව හිතෙන් අතෑරගන්න. තමන්ගෙම අයියටනෙ ඔය තණ්හා කරන්නෙ”

“තණ්හාව? තණ්හාවක් ගැන නෙවෙයි මනුස්සයො මං කියන්නෙ. අයියා ඔය අපිට පොඩ්ඩක්වත් ගැලපෙන්නෙ නැති ගෑණියෙක්ව කසාද බැඳගෙන අන්තිමේ අපේ ගෙවල් මුඩූක්කු වගේ වෙයිද කියල මං මේ බයෙන් ඉන්නෙ”

“ඉගෙන ගත්තෙ නැති ගෑණියෙක් වගේ හැසිරෙන්න එපා කල්පනා. සුමධුර කවුරු බැන්දත් අම්මට ඒක ප්‍රශ්නයක් නැත්තම් ඔයාට ගැටලුවක් වෙන්න විදියක් නෑනෙ. ඔයා දැන් කසාද බැන්ද මනුස්සයෙක්. ඔයාට දැන් ඒ පවුලෙ දේවල් අයිති නෑ”

“ආහ් එහෙම වෙන්නෙ කොහොමද? ඒව මටත් අයිති දේවල්. මගේ දේවල්. මං ඉපදිච්ච ගෙදර මගෙ තාත්තා ගොඩනගපු දේවල් වල අයිතියක් මටත් තියෙනව. කොහෙවත් ඉන්න ගෑණියෙක්ට එහෙම එකපාර ඇවිල්ල හිතුමනාපෙ ඒව අයිතිකරගන්න බෑ. අපේ තාත්තල හරිහම්බ කල දේවල් ඉස්සෙල්ල අයිතිවෙන්න ඕන මට”
















අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles