ඩයට් කරන ඔබට ගැළපෙන Low-Sugar Fruits ගැන දැනගන්න

සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට නම් ඔබ අනිවාර්යයෙන්ම හොඳ ආහාර රටාවකට හුරු විය යුතුයි .එම ආහාර රටාව සඳහා ඔබ එළවළු සහ පලතුරු තෝරා ගන්නා විට ඒවා ඔබට දිනපතා පරිභෝජනයට ගත හැකි , සීනි අන්තර්ගතය අවම ඒවා වීමත් වැදගත් . සියලුම එළවළු සහ පළතුරුවල සීනි සහ කාබෝහයිඩ්‍රේට අඩංගු වූවත් ඒවා ඔබෙ ආහාර වේලෙන් ඉවත් කිරීම වෙනුවට සීනි අඩු තන්තු සහ ජලය වැඩි ප්‍රමාණයක් අඩංගු එළවළු සහ පලතුරු ඔබ තෝරා ගත යුතුය .

මේ ලිපියෙන් ඔබට කියන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් වෙනුවෙන් වෙහෙසෙන ඔබට පරිභෝජනයට ගත හැකි සීනි අන්තර්ගතය අඩු එළවළු සහ පලතුරු ගැනයි

පලතුරු වර්ග

ඇපල්

ඇපල් යනු ලොව පුරා දක්නට හැකි පෝශ්‍යදායී සහ පහසුවෙන් ලබාගත හැකි පලතුරක් .මධ්‍යම ප්‍රමාණයේ ඇපල් ගෙඩියක එනම් ග්‍රෑම් 182 ක කාබෝහයිඩ්‍රේට ග්‍රෑම් 25 ක් සහ තන්තු ග්‍රෑම් 5ක් අඩංගු වන අතර සීනි ග්‍රෑම් දහනමයක් අඩංගු වේ .බර පාලනය කරන ඔබට ඇපල් යනු ඉතාම හොඳ පළතුරක් .

ස්ට්‍රෝබෙරි

වෙනත් ඕනෑම බෙරි වර්ගයක මෙන්ම ස්ට්‍රෝබෙරි වල සීනි අන්තර්ගතය අඩු වනවා මෙන්ම තන්තු අන්තර්ගතය ඉහළය .සම්පූර්ණ ස්ට්‍රෝබරි කෝප්පයක එනම් ග්‍රෑම් 144 ක , කාබෝහයිඩ්‍රේට ග්‍රෑම් 11ක් ,තන්තු ග්‍රෑම් තුනක් සහ සීනි ග්‍රෑම් හතක් අඩංගු වේ .ඊට අමතරව විටමින් සී ,කැල්සියම් , පොටෑසියම් ,මැග්නීසියම් සහ ප්‍රතිඔක්සිකාරක ද ස්ට්‍රෝබරි වල අඩංගු වේ

මිදි

මිදි යනු ඔබේ උදෑසන ආහාරය සඳහා සුදුසු සීනි අන්තර්ගතය අඩු සහ ජල අන්තර්ගතය ඉහළ පලතුරකි .මිදි ග්‍රෑම් සීයක සීනි අඩංගු වන්නේ ග්‍රෑම් හතක් පමණි . එය විටමින් සී සහ ප්‍රබල ප්‍රතිඔක්සිකාරක වලින් සමන්විතය .

අලිගැටපේර

ලොව පුරා පෝෂණවේදීන් අලිගැටපේර සම්පූර්ණ ආහාරයක් ලෙස නම් කර ඇත්තේ එහි අන්තර්ගත වන අධික තන්තු , ප්‍රතිඔක්සිකාරක සහ සෞඛ්‍ය සම්පන්න මේද හේතුවෙනි . අලිගැටපේර ග්‍රෑම් සීයක තන්තු ග්රෑම් හතක් සහ කාබෝහයිඩ්‍රේට ග්‍රෑම් නමයක් සහ සීනි ග්‍රෑම් නමයක් අඩංගු වේ . බොහෝදෙනා උදෑසන ආහාරය සඳහා භාවිතා කරන අලිගැටපේර පාන් වලට තැවරුමක් ලෙසද , සලාද සඳහා ද , යුශ ලෙසද , අතුරුපසක් ලෙස ද භාවිතා කළ හැකිය .

එළවලු වර්ග

පිපිඤ්ඤා

පිපිඤ්ඤා යනු බොහෝ දෙනා සලාද සඳහා භාවිතා කරන ඉහල ජල අන්තර්ගතයකින් යුත් එළවලුවකි. පිපිඤ්ඤා ග්‍රෑම් 100ක අඩංගු වන්නේ සීනි ග්‍රෑම් දෙකක් පමණි. සලාද වලට අමතරව බොහෝ දෙනා පිපිඤ්ඤා තනි ආහාරයක් ලෙසද ලබාගන්නේ එහි අඩංගු ඉහළ ජල පරිමාව හේතුවෙනි .

Iceberg සලාද කොල

බොහෝ දෙනා භාවිතා නොකරන නමුත් අඩු සීනි අන්තර්ගතයක් ඇති නිසා භාවිතා කිරීමට සුදුසු සලාද කොළ වර්ගයක් ලෙස iceberg සලාද කොළ හැඳින්විය හැකිය . iceberg සලාද කොළ ග්‍රෑම් සීයක අඩංගු වන්නේ සීනි ග්‍රෑම් දෙකක් පමණි . අඩු කාබ් සහිත සලාද ආහාරයට ගන්නා ඕනෑම කෙනෙකුට තම සලාදය රසවත් කිරීම සඳහා මෙම iceberg සලාද කොළ භාවිතා කළ හැකිය

බ්‍රොකලි

බ්‍රොකලි යනු තද කොළ පැහැති එළවළුවක් වන අතර එහි මේදය හා සීනි අන්තර්ගතය ඉතා අඩුය .බ්‍රොකලි ග්‍රෑම් 100ක අඩංගු වන්නේ සීනි ග්‍රෑම් දෙකක් පමණි .විටමින් වර්ග රැසක්ද ,තන්තු ද ,කැල්සියම් ,යකඩ සහ පොස්පරස් ද අඩංගු බ්‍රොකලි යනු ආහාරයට ගත යුතුම එළවළුවක් ලෙස සැලකේ

ගෝවා

ගෝවා යනු ඔබට ඕනෑම ආකාරයකින් ආහාරයට ගත හැකි එළවළුවකි.ගෝවා ග්‍රෑම් 100 ක අඩංගු වන්නේ සීනි ග්‍රෑම් තුනක් පමණි .මේද අන්තර්ගතය අඩු ගෝවා වල විටමින් ඒ , සී, ඩී සහ කේ අඩංගු වන අතර යකඩ සහ මැග්නීසියම් යන පෝෂක කොටස්ද කොටස් ද අඩංගු වේ .

නිවිති

ජල අන්තර්ගතය අධික සීනි අන්තර්ගතය අඩු නිවිති යනු ඔබ ආහාරයට එකතු කරගත යුතුම එළවළුවකි .නිවිති ග්‍රෑම් සීයක සීනි ග්‍රෑම් දෙකක් අන්තර්ගත වන අතර ආහාර පාලනය කරන ඔබේ සලාද සඳහාත් , සෞඛ්‍ය සම්පන්න යුෂ වීදුරුවක් සඳහාත් ඔබ ආහාරයට ගන්නා මස් හෝ මාළු වර්ග සඳහාත් නිවිති භාවිතා භාවිතා කරන්නට ඔබට පුළුවන්

අඩු සීනි සහිත එලවලු සහ පලතුරු යනු ඔබට පූර්ණ හැඟීමක් ඇති කිරීමට සහ වැඩි කාලයක් කුසගින්න පාලනය කිරීමට හැකි හොඳම විකල්පයකි. ඔබේ ආහාර වේල වඩාත් රසවත් සහ පෝශ්‍යදායි එකක් කිරීමට ඔබේ සෞඛ්‍යයට හිතකර මෙවැනි එළවළු සහ පලතුරු නිරතුරුවම භාවිතා කරන්නට සැලකිලිමත් වන්න

Related Articles

Don't Miss


Latest Articles