කොලජන් නිසි ලෙස සිරුරට ලබා ගැනීමේ වැදගත්කම

කොලජන් ගැන බොහෝ දෙනා කතා බහ කලත් ඒ ගැන හරි හැටි දැනුමක් බොහෝදෙනාට නැහැ.වර්තමානයේ නිෂ්පාදනය කෙරෙන බොහෝ රූපලාවන්‍ය නිෂ්පාදන වල මෙන්ම ආහාර අතිරේක වලත් කොලජන් අඩංගු බව සඳහන් වනවා.කොලජන් මගින් ඔබේ සන්ධි ,මාංශ පේශීන් , සම සහ හිසකෙස් වලට බොහෝ ප්‍රයෝජන අත් වන නිසා මේ ලිපියෙන් ඒ ගැන කතා කරන්න Smartlady අපි හිතුවා 

කොලජන් කියන්නේ මොනවාද ? 

කොලජන් කියන්නේ ඔබේ ශරීරයේ නිපදවන අත්‍යවශ්‍යම ප්‍රෝටීන් වලින් එකක්.ඔබේ සම, හිසකෙස් ,අස්ථි ,නිය ,මාංශ පේශීන් ,සන්ධි ,රුධිරවාහිනී ,කාටිලේජ සෛල ඇතුළුව බොහෝ අවයව වල කොලජන් තිබෙන අතර කොලජන් සෑදි තිබෙන්නේ ඇල්ෆා දාම තුනකින් ය.ඒ සෑම ඇල්ෆා දාමයක් ම සෑදී තිබෙන්නේ ඇමයිනෝ අම්ල ( ප්‍රෝටීන් තැනීමේ කොටස් ) දහස් ගණනකින් ය.

කොලජන් යනු අපේ ශරීරයට ව්‍යුහය ,ප්‍රත්‍යස්ථතාවය සහ තද බව ලබාදීම සඳහා වගකිව යුතු සම්බන්ධක පටක වලින් තීරණාත්මක කොටසකි.කොලජන් වලින් පොහොසත් ආහාර මගින් කොලජන් නිපදවන සමේ සෛල උත්තේජනය කර ඔබේ ශරීරයේ කොලජන් නිෂ්පාදනය ශක්තිමත් කරනවා.

ශරීරයේ කොලජන් අඩු උනොත් මොකද වෙන්නේ ?

සම වියපත් වීම

 කොලජන් අඩුවීම හේතුවෙන් ඔබේ සමේ නම්‍යතාවය , දිදුලන බව සහ ස්වාභාවික ක්ෂය වීම් වලට එරෙහිව ආරක්ෂා වීම නැතිවී යයි.හිරු එලියට සම ඉක්මනින් හානි වීම,රැලි සහ ගැඹුරු රේඛා ඇතිවීම සහ සම එල්ලා වැටීම ඔබේ සමේ කොලජන් අඩු වී යන බවට දැක්වෙන ලකුණු වේ .

හන්දිපත් රුදාව 

ඔබේ සිරුරේ ඇති කාටිලේජය දෙවන වර්ගයේ කොලජන් වලින් සෑදී තිබේ.කාටිලේජ නිර්මාණය කර ඇත්තේ ඝර්ශනයකින් තොරව ඔබේ අස්ථි එකිනෙක මත ලිස්සා යාමට උපකාරී වන ලෙසය.කොලජන් නැති වීමත් සමගම එම කාටිලේජ ක්ෂය වී ඔස්ටියෝ ආතරයිටිස් නම් තත්ත්වයට පත්වේ. සන්ධිවල කැක්කුම සහ ඉදිමීම ඔස්ටියෝ ආතරයිටීස් හි දක්නට ලැබෙන රෝග ලක්ෂණ වේ.

දුර්වල අස්ථි

ඔබේ අස්ථිවල ව්‍යුහය සහ ශක්තිය බොහෝ සෙයින් රදා පවතින්නේ ඒවායේ ඇති ප්‍රෝටීන් සියයට අසූවකට වඩා වැඩි ප්‍රමාණයක් අඩංගු කොලජන් මතය.අස්ථි බිඳීම් වලට ලක්විය හැකි දුර්වල අස්ථි ,ඔබේ අස්ථි සම්බන්ධ පටකවල කොලජන් නැතිවීම හේතුවෙන් විය හැකිය.සමහර අධ්‍යයන වලට අනුව කොලජන් නැතිවීම ඔස්ටියෝපොරෝසිස් තත්වයන්ට පවා බලපාන බව සොයාගෙන ඇත. 

කොලජන් අඩංගු ආහාර මොනවද? 

හිසකෙස් , සම , අස්ථි සහ නිය සඳහා ඔබට කොලජන් අඩංගු ආහාර පරිභෝජනය කළ හැකිය.ඔබ අනුභව කරන කොලජන් අඩංගු ආහාර ඇමයිනෝ අම්ල වලට කැඩී ගොස්,  කොලජන් සෑදිය හැකි හෝ කොලජන් අවශ්‍ය ඔබේ ශරීරයේ කොටස් වෙත බෙදා හැරේ .බොහෝ සත්ව ප්‍රභවයන් අපේ ශරීරයට කොලජන් ලබාගත හැකි හොඳම මාර්ගයන් ය.

සම සහිත මාලු

මුහුදු මාලු වල සම කොලජන් සහිතය.ඊට අමතරව මාලු වල සමයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන ඔමේගා – 3 අඩංගු බැවින් සම සහිත මාළු යනු සෞඛ්‍ය සම්පන්න මේද ප්‍රභවයක් ලෙස ද සැලකේ.

කුකුල් මස් 

ඩයට් කරන ඔබට ඉතා හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් වන කුකුල් මස් ආහාරයට ගැනීමෙන් ශරීරයෙ කොලජන් නිෂ්පාදනය වැඩි කර ගැනීමට හැකියාව තිබෙනවා.

බිත්තර

කොලජන් නිෂ්පාදනය කෙරෙන ඇමයිනෝ අම්ල බිත්තර වල අඩංගු බැවින් ඔබේ ආහාර වේලට බිත්තර එකතු කර ගැනීම ඉතාම ගුණදායකය.

පැඟිරි අඩංගු පලතුරු

කොලජන් නිෂ්පාදනය සඳහා විටමින් සී ද විශාල කාර්යභාරයක් ඉටු කරයි.එම නිසා ප්‍රමාණවත් තරම් විටමින් සී ලබා ගැනීම ද වැදගත්.දොඩම් ,ලෙමන් ,දෙහි සහ නාරං වැනි පලතුරු ඔබේ ආහාරයට එකතු කර ගැනීම මගින් ශරීරයට දෛනිකව අවශ්‍ය විටමින් සී ලබා ගැනීමට හැකිවන අතර ඔබ ආහාරයට ගන්නා සලාදයකට වුවත් දෙහි එකතු කර ආහාරයට ගන්න ඔබට පුළුවන්.

කොළ වර්ග

 සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක කොළ වර්ග වලට හිමිවන්නේ ප්‍රධාන තැනක්.සමේ කොලජන් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා දිනපතා කොළ වර්ග ඔබේ ආහාරයට එකතු කර ගැනීමට ඔබට පුළුවන්. මීට අමතරව සලාද කොල ,ගෝවා කොල ,බ්‍රොකලි වැනි දේවල් මගින් සලාද සකස් කර ඒවා ඔබේ ආහාර වේලට ඇතුළත් කර ගැනීම ද ඔබට කළ හැකියි .

බෝංචි

බෝංචි යනු කොලජන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන ඇමයිනෝ අම්ල බොහෝ විට අඩංගු ප්‍රෝටීන් බහුල ආහාරයකි.ඊට අමතරව ඒවායෙහි පොලිතීන් නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය වන තවත් පෝෂකයක් ලෙස සැලකෙන තඹ ද අඩංගුය .

කජු 

කජුවල සින්ක් සහ තඹ අඩංගු වන අතර එම පෝෂකයන් දෙකම ශරීරයේ කොලජන් නිෂ්පාදනය කිරීමේ හැකියාව වර්ධනය කරයි

තක්කාලි 

විටමින් සී වලින් පොහොසත් තවත් ප්‍රභවයක් ලෙස තක්කාලි සැලකේ.මධ්‍යම ප්‍රමාණයේ තක්කාලි ගෙඩියක කොලජන් සඳහා වැදගත් වන පෝෂක වලින් සියයට තිහක් පමණ සැපයිය හැකි බව පර්යේෂණ මගින් සනාථ කරගෙන තිබෙනවා.

 
ඔබේ සම, නිය සහ අස්ථි සම්බන්ධ බොහෝ ගැටළු වලට විසඳුමක් ලෙස කොලජන් අඩංගු ආහාර ලබා ගැනීම ඉතා වැදගත්.මේ ලිපියේ අප ඉහත සඳහන් කළ මෙම ආහාර වර්ග ඔබේ දෛනික ආහාර වේලට එකතු කර ගැනීම මගින් ඔබේ ශරීරයේ කොලජන් නිෂ්පාදනය හොඳ මට්ටමක පවත්වාගෙන යාමට ඔබට හැකියාව තිබෙනවා 

Related Articles

Don't Miss


Latest Articles