“…. ඔයාට අමතක වෙන්න විදියක් නැහැනේ චායා .. මම ඔයාට දේවල් හිතාගන්නවත් කල් නොදී අතුරුදන් වුනා … යකා විතරයි මම යන්නේ කොහේද කරන්නේ මොකක්ද කියලා දැනගෙන උන්නේ.. ඔයා දන්නවානේ, ඌ අපේ දේකට පණ වුනත් දීලා උදව් කරන එකෙක් .. මට වෙන්න ඕනි දේ කිව්වාම ඌ ඒ දේ ඒ විදියෙන්ම කරන වගකීම බාරගත්තා …… මං ගියා .. ඒ ගිහින් සති දෙකක් විතර යනකල්, මට ඔයා ගැන ආරංචියක් ලැබුනේම නැහැ …ඉන් පස්සේ ඉඳන්, මාසෙකට දෙකකට වතාවක් , මම ඔයා ගැන දේවල් දැනගත්තා ..ඔයාගේ පින්තූර දැක්කා… ඒ හැමදේම පස්සේ උන්නේ විජේසිරි අඤල්…”
තමා අතින් වැඩි කතා පිටවේයැයි බියෙන් චායා ට දැනගැනිමෙන් උද්‍යෝගයක් දැනෙන වැකිය අවසානයේ අමුණා දැම්මාය. චායා තිගැස්සුණාය. මෙය කිසිලෙසකින්වත් විශ්වාස කරන්නට හැකි කතාවක් නොවේ.
” එතකොට ..ඔයා හිටියේ රටද ?…”
චායා එක්වරම ඇසුවාය.
” හ්ම්ම්ම්…”
” ඔයා රට ගියේ, අක්කාගේ සර්ජරි එක සම්බන්ධ දේකටද ?..”
” හ්ම්ම්..”
” ඇයි ඒක මට නොකියා ගියේ එහෙනම් ?.. මෙච්චර අවුරුදු දොළහක් තිස්සේ මට එක ඉඟියක්වත් නොදී ඉන්න තරම් මොකක්ද මට නොතේරෙන කතාව ?…”
සස්මිතගේ හිස තුල පැටලුම් දහසක් විය. එකි එක ලෙහමින් චායාට පිළිතුරු බැඳීමේ අපහසුව සස්මිත හොඳින්ම වටහාගෙන උන්නේය.
” ඒක තමයි මගේ තීරණේ…. කිසිම කෙනෙක්ට ප්‍රශ්න කරන්න අයිතියක් නොදුන්න මගේ තීරණේ…”
චායාට රිදෙන බව දැන උවත් , මෙවෙලෙහි කතාවෙහි දිශාව වෙනස් කර ගැනීමේ රිසියෙන් සස්මිත එලෙසින් කීවේය.
” මටවත් අයිතියක් නැද්ද ?…”
” තියෙනවා …… අයිතියක් තියෙනවා…. අහන්න … ඒත් මම උත්තර දෙන්නේ අද නෙවෙයි …”
සස්මිත තමා කෙතරම් අසාධාරණදැයි දැන දැනම එලෙස කීවේය. චායාගේ හිස තුලද මහා පැටලුමක් ගොඩ නැගෙන්නට ගෙන තිබුනේය. ඕ සියල්ල අමතක කර , සස්මිතගේ පැමිණීමේ උත්කර්ෂය පමණක්ම විඳිමින් මාසයක්, දෙකක් ගෙවා දමා තිබුනා වුවද, මෙවන් අවස්තාවන්හිදී තමා කෙතරමින් අසරණ වනවාදැයි ඕ අත් විදිමින් උන්නාය.
එනිසාම ඕ කලේ නිහඬව හිඳීමය.
” මං ඔයා මට කොහොම මොන දේ කිව්වත් ඉවසනවා මැණිකේ .. මේ උන්නා වගේ ඉවසලා, තව ටික කාලයක් ඉන්න කියලා විතරයි මම ඉල්ලන්නේ .. පින්සිද්ද වෙයි .. මං අසාධාරනයි .. අනෙක් කාටත් වඩා මං හින්දා අසාධාරනේ වුනේ ඔයාට … මං පිළිගන්නවා.. මට තව ටික දවසක් ඕනි චායා ..”
සස්මිතගේ හඬ හමුවේ චායාගේ හිසෙහි වූ පැටලුම් සියල්ල පසෙකට තල්ලු වී ගියේය. අවැසි වන්නේ සස්මිත ගේ ජීවිතය සුවපහසු වීමය. ඔහු තම දෑස මානයේ වීමය. ඔහුගේ ප්‍රේමයේ සුළඟ තමා මතින් පමණක්ම හමායන බව දැන හිඳීමය. තම ප්‍රේමය ඔහු මත සුව සිහින සදන බව ඔහු විසින්ම පවසන තත්පර උදා වීමය. මේ සියල්ල දෑස් මානයේ, සිත් මානයේ තිබෙද්දී අතීතය හාරා අවුස්සමින්, වද විඳීම අවැසි නොවන බව චායා හිතන්නට පටන් ගත්තාය. සැනින් ඕ දෙදෙනා අතර වූ දුරස්ත බව දුරැලගත්තාය.
” ඔයා කාලා එහෙමද ?.. දැන් කොහොමද ඔහේ තත්වේ ?…”
සස්මිත සැනසුම් සුසුමක් හෙලුවේය. ඒත් සමඟම හිත පුරා අංගාර පුපුරු පැතිරී යන දැවීමද සස්මිතට දැනුනේය. චායා ජීවිතය පුරාම තමා වෙනුවෙන් කෙතරමක කැපකිරීම් කරාදැයි දැන දැනම, තමා ඇයගෙන් තව තවත් අවස්තා බලාපොරොත්තු වීම ඇයට කෙරෙන කෙතරමක අසාධාරනකමක්ද ?..”
” මෙහෙ ඉතින් දවල් කලබලේ නෑ.. කට්ටිය තවම ඉන්නේ තෝන්තුවෙන් …විජේසිරි අංකල්ගේ බිස්නස් වල ප්‍රශ්න එහෙම එහෙන් මෙහෙන් කතා වෙනවත් ඇහුනා/…”
” එහෙම දේවල් තියෙනවා නම් අපේ අයියා මැදිහත් වෙලා උදව්වක් කරාවි සස්මිත … ඔයා බලලා අයියාට කියනන්.. ඒ නැතත් අපේ තාත්තත් කෙලින්ම මැදිහත් වේවි …”
” හරි කෙල්ල….”
දෙදෙනා පැයක් ඉක්ම යන තුරුම ඇමතුමෙහි උන්හ. පසුදා චායාට රූගටහ් කිරීම් දෙකක්ම යෙදී තිබුණි. සස්මිත විජේසිරි මහතාගේ නිවසේ අයවලුන් සමඟ කල් ගත කරමින් ඔවුන්ගේ දුක බෙදාගනිමින් උන්නේය.
” තාත්තාගේ ලොකුම බලාපොරොත්තුවක් තිබුණේ මල්ලිව, චායා නංගී එක්ක කොහොමම හරි සෙට්ල් කරවන එක … ඒ වෙනුවෙන් අපෙන් කෙරෙන්න දෙයක් තිබුනොත් ඕනිම වෙලාවක කතා කරන්න … අපි මේ කතා මුල ඉඳලම දන්න අය… තාත්තා වෙනුවෙන්, අපි ඔයා එක්ක ඉන්නවා… චායාගේ තාත්තාගෙයි, අපේ තාත්තාගේයි යාලුකම වෙනුවෙන් අපේ තාත්තා කල දේවල් වලින් ඔයාගේ ජීවිතේට ලොකු අසාධාරණයක් වුනා කියලා තාත්තා සෑහෙන්නම දුක් වුනා මල්ලී .. ඒ වගේම චායා නංගිට ඒකෙන් සෑහෙන්නම අසාධාරණයක් වුනා කියලත් තාත්තා දුක් වුනා… ඒ හැමදේම ඉක්මනින් හරිග්සස්සන්න පුලුවන් කියලා තාත්තා නිතරම කිව්වා… ඒත් අපි හැමෝගෙම අවාසනාව …”
සස්මිත ඇගේ හැඬුම් නවතන්නට ගියේ නැත.
” අක්කලා මට මගේම පවුල අක්කේ.. මගේ පවුල මාව අතෑරපු කාලෙක, මාව බලාගත්තේ කවුද කියලා මට අමතක නැහැ…”
” ඒ කිසි දේකට කාටවත් දොස් කියන්න බෑ මල්ලී .. අපේ තාත්තය් ඔයයි ඒ කරපු දේවල් , ඔයාලා මවාලා පෙන්නපු විදියෙන් පිළිගත්ත ඕනිම කෙනෙක්ට ඇති වෙන්නේ තරහක් තමයි …”
සස්මිත හිස වනා එකඟ වූයේය.
” චරක මල්ලී කොහොමද ?..”
” මගේ බොස් විදියට එළ පොරක් අක්කේ.. ඒත් මස්සිනා විදියට නම් පොඩ්ඩක්වත් හොඳ වෙන එකක් නෑ… චාය ඌගේ පණ…”
” එහෙමයි කියලා තවත් මේවා කල් දදා, දෙන්නාගේ ජීවිත එහෙ මෙහෙ පල්වෙන්න දෙන්නෙපා මල්ලි.. මරාගෙන මැරෙන්න හරි කියලා දැන් යුද්ධ පිටියට යන්න .. එන එන විදියට බලමු .. ඔය ගරිල්ලා මෙතඩ් එක මෙවෙලේ මෙතනට හරියන්නේ නෑ .. මේක මේ මම කියන දෙයක් නෙවෙයි .. අපේ තාත්තා පහුගිය දවසක මා එක්ක කිව්ව එකක්…”
සස්මිත ඉදිරි සැලසුම් වල ඇති අපැහැදිලි අවිනිශ්චිත බව නිසාම පිළිතුරු නොදී උන්නේය.
දින දෙකකින් සස්මිත යලි රාජකාරියට වාර්තා කලේය. චරකගේ පියා පෞද්ගලිකවම සස්මිත ගෙන්වාගෙන විජේසිරි සහ ඔහු පිළිබඳව වන තොරතුරු විමසුවේය.
” විජේසිරි වෙනුවෙන්, ඔය ළමයට ඕනි දෙයක් මගෙන් ඉල්ලන්න පුලුවන් … ඒම මගේ පොරොන්දුවක්..”
ඔහු පවසද්දී, අවශ්‍ය වන්නේ චායාම පමණක් බවත්, හැකිනම් ඇයව තමාට දෙන ලෙසත් යටි හිතින් කීවේය. චරකගේ පියාට පෙනෙන්නට ව්‍යාජ, කෘතඥ පූර්වක සිනහවක් පෑවේය.
සස්මිත එදින දවස ගෙවුවේ අමාත්‍යාංශයේ චරක යොදාගෙන තිබූක්ෂේත්‍ර චාරිකා කිහිපයක් සමඟය.
ඒ එක් තැනකදී මුණ ගැසුණු චරකගේ මිතුරෙකු සා චරක අතරේ දෙබසකින් සස්මිතගේ හදවත කුඩුපට්ටම්ව ගිය බව දැනුනේය.
” උඹ පොඩ්ඩක් බලපංකෝ . සල්ලි නෙවෙයි බං, අපේ නංගිව තේරුම් අරගෙන , ඒකිව බලාකියාගෙන, ආදරෙන් ඉන්න පුලුවන් එකෙක් … ජොබ් එකක් අක්‍රන, ගෙයක් දොරක් හදාගෙන පිලිවෙලකට ඉන්න පොරක් උනා නම් එච්චරයි ..”


